2012 පෙබරවාරි 20: ලංකාවේ කිරුළු නොපලන් රජු…. අති උත්තම ගැමුණු විජේසිංහ උතුමාණන් සැරදේවා……

මාවිල් ආරුවෙන් පටන් අරන් නන්දිකඩාල් දක්වා ත්‍රස්තවාදීන්ට ගහගෙන ගහගෙන ගිය අපේ ආණ්ඩුවේ කට්ටිය (ත්‍රිවිධ හමුදාව මොනවත් කළේ නෑ කියමුකො – පහසුව තකා) දෙවන වතාවෙ තුනෙන් දෙකක වැඩි ඡන්දෙත් එක්ක දිනනකොට අවුරුදු 30 ක් පටි තද කරගෙන හිටිය අපේ ජනතාව හුරේ දැම්මේ එක එකාගෙ ඕනෑ එපාකම් වලට නෙවෙයි.. හැබැහින්ම ජාතික හැඟීමෙන්… රටේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්ය, අනාගතය සුභ වේවිය කියන ඒකායන ප්‍රාර්ථනාවෙන්.

ඒ ප්‍රාර්ථනාව මල පල ගන්වමින් තුනෙන් දෙකකට ආසන්න බලයක් ලබා ගත්ත ආණ්ඩුව ඉතිරිය මුදල් දී ලබා ගත්තේ “මහ-ජනතාවට“ සේවය කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන්. ඒ චේතනාවත් මල් පලගන්වමින් ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගත්තේ ජනාධිපතිකමට යම් පුද්ගලයෙකුට ඉදිරිපත් විය හැකි වාර ගණන අසීමාන්තික කරමින්..! අපි ඒ සැම ජයවේවා කියලා (අකැමැත්තෙන් වුවත්) පිළිගත්තේ රට බේරා ගත් ජනපතිට කළගුණ සැලකීමක් ලෙස කියලයි සමහරු නම් කිවුවෙ… කොහොම වුනත් අපිත් ඒක ඒ කාලෙ අනුමත නොකළා නොවෙයි.

ඒ අල්ලපනල්ලේ මන්නාරම් ද්‍රෝණියෙන් ඛණිජ තෙල් නිධි ගෑස් නිධි සොයාගත්තාය කියන ආරංචිය ප්‍රකාශ කෙරෙද්දි මහජනතාව සැනසුම් සුසුම් හෙළුවෙ මැදපෙරදිග තෙල් ඒකාධිකාරයෙන් අපි මිදිලා ඇත්තටම සංවර්ධනය කරා පා නගන්න, තෙල් මිල, ජීවන වියදම ආදිය අඩු වේවිය කියන අහිංසක පැතුම හිතේ දරාගෙන. නොරොච්චෝලෙ විදුලි බලාගාරය හදන්න ඉබි ගමනේ ගිය පසුගිය රජයයන් වලට වඩා ඉක්මනින් එය තනා නිමකළ එක ගැනත් බොහෝ දෙනා සතුටු වුනේ විදුලි බල ඇමති තුමා මවා පාපු අඩු මිලට විදුලිය සිහිනයේ රැඳෙමින්… ගාළු කොළඹ අධිවේගී මාර්ගය තනන්න හිතූ ගණනට වඩා මුදලක් යට වුනත් අපේ රටටත් අධිවේගී මාර්ගයක් කියලා එකක් නීත්‍යානුකූලව තියෙනවා නේද කියලා මිනිස්සු උද්දාමයට පත් වුනා… (අනෙක් පාරවලුත් අධිවේගී තමයි ප්‍රයිවෙට් බස් කාරයොන්ටයි දේශපාලුවන්ටයි – ඒක වෙනම කතාවක්) ඔය අතරෙම පාතාල නායකයො එකා දෙන්නා අතුරුදහන් වෙනකොට- අවි ආයුධ පෙන්වන්න ගිහින් සියදිවි හානි කරගන්නකොට මිනිස්සු සතුටු වුනේ අනේ ඉතිං අවි ගත්තෝ අවියෙන්ම නැසෙති නේද කියලා… ඇමති මණ්ඩලේ කොච්චර වැඩි වුනත් කොච්චර අකාර්යක්‍ෂම වුනත් කාටවත් කිසිවක් කරගන්න බැරි වුනත් මිනිස්සු කට වහන් හිටියේ කවදා හරි හරි යයි කියලා බලාපොරොත්තුව හිතේ දරාගෙන…

ඒත් ඒ සියළුම බලාපොරොත්තු වතුරෙ ගිය බව මිනිස්සුන්ට දැනෙන්න ගත්තෙ ඒ අකාර්යක්‍ෂම ඇමති මණ්ඩලේ පඩි සහනාධාර වැඩි කරගෙන, තමන්ගෙ දේශපාලන බලේ භාවිතාකරලා අනුන්ව යටපත් කරලා, වැරදිකරුවො නිදහස් කරලා, කරන්න ඕන සියළු දහජරා වැඩ කරලා තමන්ගෙ බලය තහවුරු කරගන්න වලිකන වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැකලා… ඒ විතරක් නෙවෙයි විභාග ප්‍රතිඵලයක් හරියට දීගන්න බැරි, කිසිම ප්‍රශ්ණයක් ජනාධිපති තුමාගෙ මැදිහත් වීමකින් තොරව විසඳගන්න බැරි නපුංසකයො රැලක් තියාගෙන අපි මොනවා කරනවාද කියලා කාටවත් හිතාගන්න බැහැ.

ඒ කොහොම වුනත් ඒ අත්තනෝමතික ආණ්ඩුවට අභියෝග කරන්න කිසිවෙක් හිටියෙ නැහැ… කොටින්ම ජේ ආර් කියාපු පිරිමියෙක් ගැහැණියෙක් කරන්න බැහැ කියන කතාවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කරලා පෙන්වුයේ රනිල් වික්‍රමසිංහ දිගටම විපක්‍ෂ නායක තනතුරේ තබාගන්න සමත්වීමෙන්. කවුරු අභියෝග කළත් එක්කෝ ගුටි කනවා, මිය යනවා හෝ අතුරුදහන් වෙන තත්ත්‍වයට පත් වෙන්න තිබුණ ඉඩ කඩ වැඩියි.. නමුත් ඒ සියළුම බලපුළුවන්කාරකම් වලට අභියෝග කරන්න පුළුවන් මහා රජාණන් කෙනෙක් දැන් අපට පහළ වෙලයි ඉන්නෙ…

ඔබට මතක ඇති පසුගිය දිනක පළ කළ මේ දිනවල ලංකාවේ බලවත්ම පුද්ගලයා කවුද ? කියන පැණය…. එයට ලැබුණ අසූ හාරදාස් පන්සිය විසි දෙකක් වන පිළිතුරු අතුරින් තෝරාගත් පිළිතුරු කිහිපයක් පළ කළා… ඒ අනුව තරඟයේ ජයග්‍රහණය හිමි වෙන්නේ බුවාට. බුවා තමයි අසන ලද පැණයට නිවැරදි පිළිතුර සවිස්තරාත්මකව ආකර්ෂණීය අන්දමින් ඉදිරිපත් කිරීම නිසා ඉරානයෙන් ආනයනය කළ ඉස්තරම්ම වර්ගයේ භූමිතෙල් බෝතලයෙන් බාගයක් බුවාට පිරිනැමීමට මා අදහස් කළා… ඉතිරි බාගය නිවැරදි පිළිතුර ලබා දුන් අසූ හාරදාස් පන්සිය විසි එක්දෙනා අතර සමසේ බෙදී යනු ඇති.

අති උත්තම ගැමුණු විජේරත්න මහ රජතුමා

මේ බුවා ලබා දුන් පිළිතුරයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ – ලබාගත්ත ජනප්‍රියත්වය රැක ගන්නට බැරිය
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ – ලැබුනු ගෞරවය රැක ගැනීමට බැරිය
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා – කට පරිස්සම් කරගන්නට බැරිය
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ – ඡන්ද දිනන්නට බැරිය
කරු ජයසූරිය – පබා තරම් ඡන්ද ගන්නට බැරිය
සජිත් ප්‍රේමදාස – නායකත්වය ගන්නට බැරිය
බැසිල් රාජපක්‍ෂ – රටටම චාටර් නොවී කරගන්න දෙයක් කරගන්නට බැරිය
නාමල් රාජපක්‍ෂ – ගොන් කම ප්‍රදර්ශනය නොකර සිටීමට නොහැකිය
විදුලිබල ඇමති චම්පික රණවක – කිච නොවී සිටිය නොහැකිය
විමල් වීරවංශ – බොරුවට කැ ගහනවා හැර වෙනත් මොකුත් බැරිය
හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි – කරගත්ත දෙයක් නැතිය
මහාචාර්ය නලින් සිල්වා – කැම්පස් එකේ පට්ටම රැකගන්නටවත් බැරි ය
දෙමළ ජාතික සංධානයේ ආර් සම්බන්දන් – 13+ තියා 13 වත් ගන්නට බැරිය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස -?
තේ-රීම් කමිටු සභාපති අසන්තා ද මෙල් – ?
මහ බැංකු අධිපති අජිත් කබ්රාල් – ආර්ථික විද්‍යාව බැරිය
ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා – මොකුත්ම බැරිය
අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන – විභාගයේ ලකුණු ටික දීගන්නට බැරිය
උසස් අධ්‍යාපන ඇමති ඇස් බී දිසානායක – පෞද්ගලික විශ්ව විද්‍යාල පනත ගේන්නට බැරි වුනාය
ලාල් කාන්ත – කට විතරය වැඩ බැරිය

පෞද්ගලික බස් සංගමයේ බස් ගැමුණු විජේරත්න – ඉල්ලුව දේ පැය 24න් ලබාගත්තේය. බබා කියූ පරිදි 17% ක් ඉල්ලපු එකට 20 %ක් ලබා ගන්න වුන නිසාත් එතුමා ජනාධිපති තුමාට වඩා බලවත් ය…

ඉදින්…. අපේ අනාගත මහරජු අති උත්තම ගැමුණු විජේරත්න උතුමාණන් හට අපේ නමස්කාරය මෙයින් පුද කර සිටිමු….. කොහොම වුනත් තමන් නියෝජනය කරන කට්ටිය වෙනුවෙන් උපරිමය ලබා දෙන්න පුළුවන් කෙනෙක් පහළ වෙච්චි එකත් ලංකාවට ලොකු පිණක්…..

අනේ කූඹියනේ

අපටත් රජෙක් ඉන්නේ

ඉල්ලූ දේ ගන්නේ

ඊට පස්සේ තවත් ගන්නේ….

අපේ අනාගත මහරජු අති උත්තම ගැමුණු විජේරත්න උතුමාණන් හට…………………… ජයවේවා !

2012 පෙබරවාරි 18 : මේ දිනවල ලංකාවේ බලවත්ම පුද්ගලයා කවුද ?

පහුගිය දවස්වල වෙච්චි සිදුවීම් දිහා බැලුවාම මට හරි ප්‍රශ්නයක් ආවා…

මේ දිනවල  ලංකාවෙ බලවත්ම පුද්ගලයා කවුද කියලා… මට හරියට උත්තරයක් හොයාගන්න බැරි නිසා මම ලැයිස්තුවක් පළ කරනවා…. ඔබේ ඡන්දය ලබා දී ලංකාවේ බලවත්ම පුද්ගලයා කවුදැයි සොයා ගැනීමට උදවු වී ඉරාණයෙන් ආනයනය කළ ඉස්තරම්ම ලාම්පුතෙල් බෝතලයක් තෑගි වශයෙන් ලබා ගන්න.

  • ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
  • ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ
  • හිටපු හමුදාපති සරත් ෆොන්සේකා
  • විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ
  • කරු ජයසූරිය
  • සජිත් ප්‍රේමදාස
  • බැසිල් රාජපක්‍ෂ
  • නාමල් රාජපක්‍ෂ
  • විදුලිබල ඇමති චම්පික රණවක
  • විමල් වීරවංශ
  • හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
  • මහාචාර්ය නලින් සිල්වා
  • දෙමළ ජාතික සංධානයේ ආර් සම්බන්දන්
  • ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස
  • තේ-රීම් කමිටු සභාපති අසන්තා ද මෙල්
  • මහ බැංකු අධිපති අජිත් කබ්රාල්
  • ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා
  • අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන
  • උසස් අධ්‍යාපන ඇමති ඇස් බී දිසානායක
  • ලාල් කාන්ත
  • පෞද්ගලික බස් සංගමයේ බස් ගැමුණු විජේරත්න

ලැයිස්තුවෙ අගට යනකල්ම කියවන්න….කියවලා හරි උත්තරේ යටින් ලියන්න…. තමන්ගෙ උත්තරේ සාධාරණ කරන්න හේතුවත් ලිවුවොත් අගෙයි….

2012 පෙබරවාරි 16 : ඇමරිකාවෙන් නොමිලේ දෙන අරාබි වසන්තය අපට අනවශ්‍ය ඇයි.. ?

සමා වෙන්න………………………………….

මම හැමදාම කරන්නේ හිතට එන ඔක්කෝම කරුණු ටික ලිපියකට එකතු කරලා පස්සේ එය සංස්කරණය කිරීම. මේ නිසා සමහර විට කාලීන මාතෘකා වලට අදාල ලිපි පළ වන්නේ තරමක් පරක්කු වෙලා… මේ ලිපියත් ලියලා ටික දිනක්… ඒත්, ඊයේ සිදු වුන සිදුවීම් එක්ක බැලුවාම දැන් නම් මගේ හිතේ තියෙන්නේ මීට වෙනස් අදහසක්… ඕන මගුලක් කියලා ලියපු එක දානවා…..

නමුත් ඇත්තටම අපට වෙන විකල්පයක් නැති නිසාම කරන්න දෙයක් නෑ… අපිම මේ දේශපාලනයට ඡන්දෙ දීලා අපිම විඳවන්නේ අපේම තියෙන කරුමෙ වෙන්න ඇති…

ඇමරිකාව තමන්ට නැති වුනත් අනුන්ට ප්‍රජාතන්ත්‍රවාදය නොමිලේ දෙන්න දක්‍ෂය.. මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ගියේ ඇෆ්ගනිස්ථානයටය… ඉන්පසු ඉරාකයටත්, ඊජිප්තුව හරහා ලිබියාවටත් දුන් වසන්තයේ පළ විපාක අළුතින්ම විඳින්නේ මාල දිවයිනයි… ලබ්බට තැබූ අත පුහුලට තබන්නට වැඩි දවසක් නොයන්නා සේම ඉන්දියාවට අත නොතැබිය හැකි තැන අරාබි වසන්තය ඊලඟට කැන්දාගෙන එන්නේ ලංකාවටයි… ලංකාවේ බංකොලොත් දේශපාලන පක්‍ෂ මෙවැනි වාසනාවක් ලැබේ නම් අම්මා අප්පා වුනත් විකිණීමට සූදානම් නිසා එවැනි අවස්ථාවක් ලැබුණොත් අපේ රට බංකොලොත් භාවයට ඇද දමා තමන්ට බලය ලබා ගැණීමට කිසිවකු පසුබට වන්නේ නැත…

මා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට විරුද්ධ නැත, මෑතකදී මා දුටු කොන්දක් ඇති ජනාධිපතිවරයෙකු වූයේ ඔහුය… ගෝඨාභය රාජපක්‍ෂ මා දුටු අති කාර්යක්‍ෂම රාජ්‍ය නිලධාරියෙකි.. බැසිල් රාජපක්‍ෂ මා දුටු හොඳම වැඩ කරුවෙකි.. ඔවුන්ගේ පෞද්ගලික චරිත හෝ පුද්ගලික කරුණු කාරණා කෙසේ වූවත්, මේ තිදෙන නොමැතිව අප මෑතකදී ලැබූ වසන්තය ලබන්නට නොහැකිව තිබුණි. සරත් ෆොන්සේකා යනු මෑකතදී පහළ වූ දක්‍ෂතම හමුදාපතිවරයාය… බොහෝ දෙනා තම පෞද්ගලික දේශපාලන දැක්ම නිසා පිළිගැනීමට අපොහොසත් වුවත්, මේ චරිත හතර සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා නොවන්නට ත්‍රස්තවාදය පරාජය කිරීම, විදේශ බලවේගයන්ට නොනැමී යුද්ධය පවත්වාගෙන යාමට සහ අවසානයේ රට යුද්ධයෙන් මුදාගැනීම සිහිනයක් වන්නට තිබුණි. තම තමන්ගේ සහ අනුන්ගේ දේශපාලන න්‍යායපත්‍ර නිසාම රටේ අනාගතය ගැන සිතීම වෙනුවට තමන් ගැන සිතීම සහ තම දේශපාලන පැවැත්ම ගැන සිතීම නිසා මෙසේ මොවුන් විරසක වී තිබීම අභාග්‍යයකි.

යුද්ධය අවසාන වුනත් එල් ටී ටී ඊ සංවිධානය විදේශීයව ක්‍රියාත්මක වේ, දේශීයව එකල කටක් ඇරීමට පවා බිය වූ දෙමළ ජාතික සංධානය ශයිලොක් මෙන් මස් රාත්තලම ඉල්ලමින් සිටිති.. දේශීයව විවිධ ආගමික සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සිය අවස්ථාව එනතුරු මාන බලමින් සිටිති… සත්‍යය මෙයයි. මහින්ද රාජපක්‍ෂ රජය දැනුවත්ව සිටින හෝ නොදන්නා සත්‍යය මෙයයි. ඔවුන් එය නොදන්නවා යැයි සිතිය නොහැක. ඒ තරමට රටේ ඔත්තු සේවා ජාලය ප්‍රබලය. කොළඹ නගරය පුරාම 24/7 ආරක්‍ෂිත කැමරා 128 ක් ක්‍රියාත්මක වේ.. ගණන තවත් වැඩි විය හැක…

රට සංවර්ධනය කිරීමට රාජපක්‍ෂ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග බොහොමයකි. එසේ නමුත් අඩුපාඩු බොහොමයකි. ගාලු-කොළඹ අධිවේගී මාර්ගය  මෑතක දැකිය හැකි වූ සංවර්ධනයේ අග්‍ර ඵලය වුවත් හම්බන්තොට වරාය තවමත් සාර්ථක ප්‍රතිඵල ගෙන නොදුන් ව්‍යාපෘතියකි. මිහින් ලංකා වෙත මුදල් සම්භාරයක් පොම්ප කරනු ලැබූ සුදු අලියෙක්… ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ද ප්‍රශ්න ය. නොරොච්චෝලේ විදුලි බලාගාරය මගින් දෙන ලාභය එය වසා දමා ඇති නිසා ලැබෙන පාඩුවට වඩා වැඩිය. විදුලිබල මණ්ඩලයේ සහ ඛණිජ තෙල් සංස්ථාවේ සේවක අතිතරික්තයක් තිබුණත් කෝටි ගණනක් අතිකාල දීමනා සඳහා ගෙවන බව දිවයින පුවත්පතේ සඳහන් වී තිබුණි… අධ්‍යාපනය හැම පැත්තෙන්ම අවුල්ය උසස් පෙළ මෙන්ම සාමාන්‍ය අධ්‍යාපනය ද එතරම් යහපත් නැත. නිළ ඇඳුම් ප්‍රශ්න මෙන්ම ගුරුවරුන් හරිහැටි ඉගැන්වීම නොකිරීම, සිසුන්ගේ සාමාන්‍ය පෙළ- උසස් පෙළ සමත් ප්‍රතිශතය අඩු වීම ආදී දැනෙන ප්‍රශ්න ද මෙයින් ප්‍රධාන වේ. දේශපාලනය සෑම ක්‍ෂෙත්‍රයටම රිංගා ගැනීම නිසා අධ්‍යාපන ක්‍ෂෙත්‍රයද විභාග සහ ප්‍රතිඵල ද යන මේ සියල්ල අවුල් ජාලයක් වී ඇතත්, අදාල ඇමතිවරු/නිලධාරීන් කිසිදු වගකීමක් භාර ගැනීමක් දක්නට නොලැබීම විමතිය මෙන්ම කළකිරීම ද දනවන්නකි.

මේ අතරතුරදී දැයට කිරුළ වැනි මහා ධනස්කන්ධයක් වැය කරමින් දැවැන්ත සංදර්ශන පැවැත්වීම ද ඊට සමගාමීව මහජනතාවට දැනෙන සහනයක් නොලැබීම නිසාම කළකිරීම වැඩි වී ඇත. (ගම් උදාව ඔබට මතක ඇතැයි සිතමි) අපරාධ වැඩි වීම මෙන්ම දේශපාලන හයි හත්තිය ඇති සහ සම්බන්ධකම් ඇති අය පහසුවෙන්ම දඬුවමින් ගැලවීම (තංගල්ලේ මිණීමැරුම් නඩුව – වාද්දූවේ තරුණයින් ගේ මරණ) ආදී කටයුතු නිසා ද පවතින රජය කෙරෙහි ජනතාවගේ කළකිරීම වැඩි වී ඇත. එසේම දිනෙන් දින වැඩිවන විවිධ පාතාල ක්‍රියා, සුළු දේටත් මිනී මරා ගැනීමට යාම වැනි මිනිසුන්ගේ මිනිස්කම් පිරිහෙන ක්‍රියාකාරකම් වැඩි වීම, (කරණ්දෙණියේ වෛද්‍යවරයා ඝාතනය, වෛද්‍යවරයෙකු විසින් තවත් වෛද්‍යවරයෙකුට වස පෙවීමට සැලැස්වීම, කහවත්තේ ඝාතන) නිසාද මිනිසුන්ගේ අසහනය තවදුරටත් වැඩි වී ඇත. මේ අතරම රජයෙන් සිදු වන සමහර අත්තනෝමතික ක්‍රියා (එළවලු වෙළඳුන්ට පෙට්ටි බෙදා දීම) වැනි දෑ නිසා ද රජය කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ අප්‍රසාදය පළ වෙමින් පවතී. රජයට සම්බන්ධ පාර්ශව වන ජාතික හෙළ උරුමයේ සහ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලකයන් රජයේ න්‍යාය පත්‍රයෙන් බැහැරව තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට යාමෙන් රජය අපහසුතාවයට පත් වීම ද මේ අතර වේ.

මේ සියල්ල අතරතුර ඉන්ධන මිල හදිසියේ ඉහළ දැමීම නිසා මේ දිනවල සිදුවන අලකලංචි සියල්ල තවමත් නිමා වී නොමැත.. ඇරඹුනා පමණි. මෙහිදී ආණ්ඩු විරෝධී පක්‍ෂ සහ සංවිධානවල ප්‍රධාන ඉලක්කයක් වන්නේ රජය පෙරලීමයි. තමන්ට හැකියාවක් නොමැති වුනත් රජය අස්ථාවර කිරීමට ඔවුන් සැදී පැහැදී සිටිති. විපක්‍ෂයේ පක්‍ෂවල ඇති අසංවිධානාත්මක බව රජය තම වාසියට හරවාගෙන සිටියත් මේ අයුරින් සැමදා සිටිය නොහැකි බව ඔවුන් ද දන්නවා ඇත. මාල දිවයිනේ සිදු වූ කැරැල්ල ආදර්ශයට ගෙන අපේ රටේ ද උද්ඝෝෂණ සහ වර්ජන සංවිධානයට දැනටමත් යම් යම් සංවිධාන කැස කවනවා ඇත. ඉන්ධන මිල වැඩි වීම මුළු ලෝකයටම බලපා ඇත… ඉරානයට පැනවූ සම්බාධක මුවාවෙන් ලෝක තෙල් වෙලෙන්දෝ සියළුම දෙනා තම මඩි තර කරගනිති.  උදාහරණයක් ලෙස මා සිටිනා පලාතේ සාමාන්‍ය පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 3.54 කි (ගැලුමට ලීටර 3.78 – ඩොලරය රුපියල් 119 ලෙස ගත් විට) පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 111 ක් වේ. කැලිෆෝනියාවේ මේ ගණන මීට වැඩිය… මෙහි මිල පාලනයක් නැති නිසා ඉන්ධන අලෙවිසල් වල විවිධ ගණන් වලට තෙල් විකිණේ. තවද තෙල් වර්ගයෙන් වර්ගයට (Brand) ගණන් වෙනස් ය. Shell වලට වඩා Chevron අඩුය, ඊට වඩා BP අඩුය… වැඩි ලොකු නම් නැති තෙල් වර්ග ඒවාටත් වඩා අඩුය… නමුත් වාහනයේ තත්ත්‍වය සලකා බලා නිසි වර්ගය යෙදීම තමන්ගේ යුතුකමකි. කෙතරම් තෙල් ගණන් ගියත් මෙහේ විපක්‍ෂය පෙලපාලි යන්නේ නැත. තමන්ට එය පාලනය කිරීම අපහසු බව දෙපැත්තම දන්නා නිසාය. එසේම මේ රටවල බස් ගාස්තු වැනි දේ තෙල් මිල ඉහළ යන වාරයක් වාරයක් පාසා ඉහළ යන්නේද නැත.. මේ නිසා සාමාන්‍ය භාණ්ඩ වල මිල එකවර ඉහළ නොයයි. නමුත් සතෙන් සතේ භාණ්ඩ වල මිල ඉහල යනු නිති පතා දැකිය හැකි රටාවකි…

බොහෝ දෙනා අමරිකාව සුර පුරයක් යැයි සිතා සිටියත් බරක් ඔබාමාට අපේ ජනපති මහින්ද රාජපක්‍ෂට තරම් බලතල නැත. අපේ රටේ නොමිලයේ ලබා දෙන අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය ආදිය මෙහි බරපතල අවුල් ජාලයකි. සෞඛ්‍ය සේවය නම් එහෙම් පිටිම්ම අවුල් ජාලයකි. එය කොටින්ම මාෆියාවකි. ඖෂධ සමාගම්, රෝහල් සහ රක්‍ෂණ සමාගම් විසින් මිනිසුන් නොමරා මරනු ලැබේ. ඔබාමා කොතරම් වැඩේ හරිගස්සන්න බැලුවත්, ඒවායේ නියෝජිතයෝ කට්ටිය අල්ලාගෙන සියල්ල පාලනය කරති. වෙනකක් තබා කොකා කෝලා වැනි බීම වර්ග වලට දමන සීනි ප්‍රමාණය ගණනය කිරීමට ආහාර සහ ඖෂධ අධිකාරියට බලපෑම් කරන්නේ සීනි සමාගම් වලින් පත් කළ ඒජන්තවරුන් විසිනි. ඔවුන්ම අනෙක් අතට දියවැඩියාව සඳහා පර්යේෂණ වලට දායකත්‍වය සපයති.

නමුත් ප්‍රධාන ප්‍රශ්නය  වන්නේ ලංකාවේ රජය කොයි තරම් ජනතාව අතර අප්‍රසාදයට පත් වී තිබුණත්, ජනතාවට වෙනත් විකල්පයක් ඇද්ද යන්නයි. එක්සත් ජාතික පක්‍ෂයේ කොන්ද පණ නැති බව සහ අසංවිධානාත්මක බව නිසාම එයට සහාය දක්වන්නට මහජනතාව කැමැත්කත් දැක්වූවත්, හරි හැටි සංවිධානාත්මක භාවයක් නැති වීමම එය උපන්ගෙයිම මළ දරු උපතක් බවට පත් වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ පෙර තිබූ ආකර්ෂණීය භාවය ගිලිහී යාම සහ අභ්‍යන්තර අර්බුද නිසාම එහි ද සංවිධානාත්මක භාවයක් දැකිය නොහැක. එසේම අසාර්ථක වූ විප්ලව දෙකකට දායක වීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසනීය භාවය ද තරුණයන් අතරින් ගිලිහී ගොස් තිබීම මේ නොහැකියාවට හේතු වී තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධාන විරුද්ධවාදියා වූ සරත් ෆොන්සේකා මහතාට සමාජයේ සමහර කොටස්වල ජනතා ප්‍රසාදය හිමි වූවද, දැකට පවතින තත්ත්‍වය අනුව ඒ මහතාටද යමක් කිරීම අපහසු වී ඇත. එසේනම් ජනතාවට ඇති විකල්පය කුමක්ද ?

ජනතාවට පැහැදිලි විකල්පයක් නැත. මේ බව දන්නා නිසාම රජය පාළු ගෙයි වලං බිඳින ගොනෙකු ගේ තත්ත්‍වයට පත් වී ඇත. මැති ඇමතිවරු තමන්ට  රිසි පරිදි ක්‍රියා කරති, තමන් කැමති කැමති දේ කරති, විරුද්ධතාවයක් පැමිණියත් බලය පාවිච්චි කර එය සමනය කිරීම සුළු දෙයකි. මේ නිසාම රජය අප්‍රසාදයට පත් වුවත්, තමන්ගේ පැවැත්ම ඇති බව දන්නා නිසා ඔවුන් තමන්ට රිසි පරිදි බාල් නටති. රජය පෙරලීමට කිසිවකු නොපැමිණෙන බව දන්නා සේම රජය ද එවැනි අවස්ථාවකට මුහුණ දීමට සූදානම් බව පෙනෙනුයේ “ආණ්ඩුව පෙරලීමට අවශ්‍යනම් ඡන්ද පොලේදී එය සිදු කරන“ ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෑතකදී කළ ප්‍රකාශයකිනි. එසේ නම් අපට ආණ්ඩුව පෙරලීමට සිදු වන්නේ නැත, එසේම අපට විකල්පයක් ද නැත. 2/3 ක ජනතා වරමක් ගත් රාජපක්‍ෂ රජය ජනතාවට දැනෙන යමක් කරාවි යැයි ජනතාව ඇස් කන් අයා බලා සිටි කාළය ඉක්ම ගොසිනි. අප පැතූ ක්‍ෂෙම භූමිය රජයෙන් අපට නොදෙන බව ජනතාවට පසක් වී හමාරය.

Is there a light at the end of the tunnel ?

එසේ වුවත්, පිටරටකින් අපට දෙන ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපට පලක් නැත. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ එවුනට අවනත නොවන ආණ්ඩුවක් පළවා හැර ඔවුන්ගේ පදයට නටන නායකයෙක් පත් කර ගැනීමයි. ඔවුන් වසන්තය උදාකර දුන් හැම රටක්ම අවුලෙන් අවුලට පත් වී නන්නත්නාර වී ඇත. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අපට ඇවැසි නැත. අප කළ යුත්තේ අපේ එවුන්ට හරිමග යන්නට මඩු වලිගෙන් තලා හෝ හදා ගැනීමයි… එහෙත් අපට යමක් කරන්නට නායකත්වයක් දෙන්නට කෙනෙක් නැත… ඉන්න එකා හිර ගෙදරය. ඒකාට මැරෙනතුරු කවදාවත් එලියට එන්න නම් හම්බ වෙන්නේ නැත…..

2012 පෙබරවාරි 13 : ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු කිරීමට මෙය ෆේස්බුක් එකේ ශෙයාර් කරගන්න….

තෙලේ බලේ

ලෝක වෙලඳපොලේ තෙල් මිල ඉහළ ගොස් ඇති නිසා අද දින ඇල්කෙමියාගේ දිනපොත පළවන්නේ නැත.

ලෝක වෙලඳපොලේ තෙල් මිල වැඩි වීම ඔබට බලපා ඇත්තේ කෙසේදැයි අදහස් දැක්වීමට මෙය අවස්ථාවක් කරගන්න…..

ඔබේ වටිනා අදහස් එකතු කර ඉංගිරිසියට හෝ අරාබි භාෂාවට පරිවර්තනය කර අදාල පුද්ගලයින්ට යැවීමට කටයුතු සලසා ඇත.

ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමට එරෙහි වීම සඳහා මේ ලිපිය ෆේස් බුක් එකේ ශෙයාර් කරන්න… ශෙයාර් කරන හැම වතාවක්ම පාසා ලෝක තෙල් වෙලඳ පොලට ඩොලර් මිලියන එක බැගින් දැමීමට ෆේස්බුක් අයිතිකරුවන් එකඟ වී ඇත… මේ නිසා ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු කිරීම සඳහා මෙය ශෙයාර් කරන්න…

2011 පෙබරවාරි 12 : නිවේදනයයි…. කාමුක බව නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් දෑ කිරීම – බැලීම – කතා කිරීම හෝ සිතීම තහනම් වේ……

කාමුකබව – Sexy

sex·y

[sek-see] Show IPA

adjective, sex·i·er, sex·i·est.

1. concerned predominantly or excessively with sex;  risqué: a sexy novel.
2. sexually interesting or exciting; radiating sexuality: the sexiest professor on campus.
3. excitingly appealing; glamorous: a sexy new car.
sexy

1905, from sex + -y (2). Originally “engrossed in sex;” sense of “sexually attractive” is 1923, first in reference to Valentino. Related: Sexiness.
මේ අනුව ලිංගික ආසාව ඇති කරන දේ කාමුක දේ ගණයට අයත් වේ. එනම් ඇසූ විට, බැලූවිට හෝ කියැවූ විට ලිංගික ආසාවක් පහළ වීම.. ලිංගික තෘප්තියක් ලබා ගැනීමට ඇති ආසාව වැඩි කරන දෑ මෙම කාමුක ගණයට අයත් වේ…
මේ ලිපිය ලියන්නට හේතු වූයේ පසු ගිය ලිපියටම අදාලව සහ සමහරක් සිංහල බෞද්ධ යැයි කියාගන්නා බ්ලොග් අඩවි වල ගයාන් පෙරේරාගේ ගීතයට කාමුක දර්ශනයක් ඇතුලත් කර ඇති බවට පුන පුනා පැවසීම සහ ඒ පිළිබඳ වාරණයක් ලබා ගැනීමට පොලීසියට පැමිණිලි කිරීම නිසාය. ගයාන් පෙරේරා මගේ කවුරුවත් නොවන අතර මම කාටවත් කඩේ නොයන බවත් මුලින්ම පැවසිය යුතුය…. මම ලියන්නේ මට හැඟෙන පරිදි ඇත්තය…
මේ කාමුක දර්ශන ඇතැයි කියූ නිසාම මේ සිංදුව අඩංගු වීඩියෝව මම හොඳින් නැරඹුවා… (අපිත් ඉතිං රහත් වෙලා නෑනෙ මෙයාලා) ඔන්න ඉතිං සිංදුව යන අතරවාරෙ භවතු සබ්බ මංගලම් ගාථාවෙ කොටසක් කියැවෙන්න ගත්තා… ඒ අතරේ ගයාන් පෙරේරා ගිහින් අර ගෑණු ළමයා තුරුල් කරගත්තානේ… අම්මපා ප්‍රසිද්ධියේ කරන්න වටින වැඩක්ද ? මමත් බලං හිටියා දැන් ගලවයි දැන් ගලවයි කියලා… කොහෙද…. ගැලෙවුවෙ නෑනෙ… අපරාදෙ..
ඉතින් මම බැලුව වීඩියෝව මේ….
අනේ මීට වඩා කාමුක දර්ශන ඕන තරම් වෙන සිංදු වල තියෙනවා නේ. ඉතිං කාමුක දර්ශන තියෙන සිංදු ටිකක් හොයාගෙන මම අන්තර් ජාලයේ සැරිසැරුවා.. කාමුක දර්ශන කොහොම වෙතත් මෙන්න මේ වගේ දර්ශන තියෙන සිංදුත් ඕන තරම් තියෙනවා… මේවා තියෙන්නෙ නම් කැරෝකේ අඩංගු වීඩියෝ වල… රූපවාහිනියෙ පෙන්වන්නෙ නැතුව ඇති…
ඉතින් මෙන්න මේ සිංදුවත් බලන්න…
ගයාන්ගෙ මේ ටිකින් ටික සිංදුව නිසාම සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් කාමුක දේවල් අඩංගු ලැයිස්තුවක් ප්‍රකාශ කර තිබෙනවා… මේ නිසා මේ ලැයිස්තුවේ අඩංගු දේ කිරීම හිතටත් ගතටත් අනතුරුදායක වන්න පුළුවන්.
  1. පිරිමින් ගැවසෙන ස්ථාන වන පාරේ ටැප් එක අසල කාන්තාවන් දිය රෙදි ඇඳන් නෑම
  2. ප්‍රසිද්ධ ස්ථානවල (ජලාශ – මුහුදු වෙරළවල්)ටී-ශර්ට් ආදිය ඇඳගෙන කාන්තාවන් ස්නානය කිරීම.
  3. ගමේ ලිංවල පිරිමින් නාන අවස්ථාවලදී කාන්තාවන් ස්නානයට යාම.
  4. පිරිමින් අමුඩ ගසාගෙන නෑම හෝ වැඩපලවල යෙදීම
  5. කාන්තා යට ඇඳුම් සෝදා (හෝ නොසෝදා) පිරිමින්ට පේනනට වැලවල්වල වැනීම.
  6. පියයුරු පෙනෙන අයුරින් කර පලල් හැට්ට ඇඳීම
  7. තද ඩෙනිම් ඇඳීම
  8. බුරිය පෙනෙන්නට සාරිය ඇඳීම
  9. අත් නැති ඇඳුම් ඇඳීම
  10. දණ හිසින් ඉහළට නිරාවරණය වන සායවල් ඇඳීම
  11. බඩ පෙනෙන ඇඳුම් ඇඳීම
  12. ස්කිනි / බිකිණි, කොට සායවල් කොට කලිසම්  ඇඳීම
  13. පිහිණුම් තරඟ වලදී ශරීරය නිරාවරණය වන ඇඳුම් ඇඳීම
  14. ටෙලි නාට්‍ය වල රාත්‍රී ඇඳුමින් සිටින (හුචක්කු ඇඳගෙන) කාන්තාවන් පෙන්වීම – මෙහිදී මත්පැන් පෙන්වන විට මෙන් අදාල ස්ථානවලට කොටු දැමිය හැක
  15. රූපවාහිනී රියැලිටි වැඩසටහන්වල කාන්තාවන් ශරීරය නිරාවරණය වන ඇඳුම් ඇඳීම
  16. චන්න- උපුලී වර්ගයේ නැටුම්
  17. මිස් ශ්‍රී ලංකා වැනි තරඟවලදී නාන ඇඳුම් භාවිතාව හෝ එවැනි දර්ශන පෙන්වීම
  18. රූපවාහිනී ටෙලි නාට්‍යවල දර්ශන වල පිරිමියෙකු සහ ගැහැණියක කිසිම විටක එක කාමරයේ සිටීම පෙන්වීම
  19. සහ වයසක මිනිස්සුන්ගේ දර්ශන කාමය අවුස්සන ඕනෑම දෙයක්

මේ ලැයිස්තුවට ඔබට හැඟෙන ඕනෑම කාමය අවුස්සන දෙයක් ඇතුලත් කිරීමේ නිදහස ඇත… අප රටේ සංස්කෘතික අභිවෘද්ධිය වෙනුවෙන් ඔබේ කැපවීම අත්‍යවශ්‍ය මේ මොහොතේ එයට නොපමාව දායක වන්න…… කාමය අවුස්සන දෙයක් පෙනේ නම් එයින් වහාම ඈත් වී පිළිකුල් භාවනාව වඩන්න…

2012 පෙබරවාරි 10 : ආගමික අන්තවාදීන්ට වචනයක්….. “බලන් කඩතුරා හැර දෑසේ……….”

මේ සම්බන්ධව මේ දිනවල අනන්තවත් ලිපි ලියැවුනා.. මම මේ ලිපිය කෙටුම්පත් කරලා බොහෝ දිනක් ගත වුනත් වැඩ අධික වීම නිසාම නිම කිරීම අතපසු වුනා… කොහොම වුනත් මේ ලිපියත් පළ කරන්න හිතුවේ අනිත් අයගෙ අදහස් එක්ක මගේ අදහස් සැසැඳෙන්නෙ කෙසේද යන්න බලන්නත් එක්කයි.

කතාවෙ නිමිත්ත දැන් හැමෝම කතා වෙන ගීතයක් වන ගයාන් පෙරේරා ගායනා කරන ගීතය.

ප්‍රශ්නෙ තියෙන්නේ භවතු සබ්බ මංගලම් ගාථාව ගීතයකට යොදා ගැනීම… ඒක දැකපු කට්ටියට රාගය ඇවිස්සීම… අන්‍යාගමිකයෙක් සිංදුව කීම. ඒ වගේම ඉරාජ්ගෙ මුස්ලිම් ආගමට අපහාස වෙනවයි කියපු සිංදුව තහනම් කළ නිසා සමානාත්මතාවය අගයන්න (වෙන්න ඇති) මේකත් තහනම් කරන්න ඕන….

මීට ඉස්සර සිංදු වලට ගාථා යොදාගෙන නැද්ද ?

තියෙනවා..

පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයානෝ ගීතයේ මුල් පද ටික වන්නෙ නමස්කාරය.. නමුත් ගායනා කරන්නේ අමරදේව ශූරීන්… ඒක නිසා කමක් නැද්ද ? මට නම් කමක් නෑ..

බුද්ධං සරණං ගච්ඡාමි ගීතය සකල සතම බොදු බැතියෙන් ගීතය ගායනා කරන්නෙ අල්හාජ් මොහිදීන් බෙග්… ඒකත් කමක් නෑ… මොකද කියනවා නම් ඒවා බුදුගුණ ගීනෙ… අන්‍යාගමිකයෙක් ගායනා කළත්… ඒක ගැන මගෙත් කිසිම විරුද්ධත්වයක් නෑ…

සුනිල් එදිරිසිංහ මහතා දළදා හාමුදුරුවන්ගෙන් ආල සිතක් ලැබෙන්න පතන්නෙ පන්සල් ගිහින් සිල් ගන්න වෙන්න ඇති….

මේ වගේ අනන්තවත් ගීත තියෙනවා… ඒ වගේම පන්සල් වල ලවු කරන සින්දුත් තියෙනවා… මට මතක් වෙන්නෙ නෑ…

ඊලඟට සිද්ධ වෙන හොඳම සෙල්ලම තමයි පන්සල් වල සිදු වන විවාහ… මේ විවාහ වුනාට පස්සෙ මනාල යුවල යන්නෙ සිල් ගන්න නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ…

මේ වගේ දේවල් වුනත් සුනිල් පෙරේරාගෙ පුතා කියපු සිංදුව නිසා රාගය ඇවිස්සෙනවා…

එතකොට ගවුම් උස්සන් නටන ගංජා ගහන්න එන්න කියලා කියන… ගේම් දීලා වැලිකඩින් ආවා කියන සිංදු.. ඊලඟට පන්සල් වල ලවු කරන ටෙලි නාට්‍ය… ඒවා හොඳයි…

මේ සියල්ලම කියන්නෙ බුද්ධාගම බාගෙට දන්න යතුරු පුවරු වීරයො… සිංදුවකට ආගම යොදා ගැනීම වැරැද්දක් නම්, සුනිල් එදිරිසංහ මහතා කියපු ඉහත ගීතයත් වැරැද්දක්… තව ගීත රාශියක් ඇති… පන්සල් වල විවාහ වෙන එකත් වැරදියි…

පන්සල්වල වැඩ වාසය කරන හාමුදුරුවරුත්  නියමිත පරිදි විනයානුකූලව හැසිරෙන්න ඕන… ඒවා ගැන කවුරුවත් කතා වෙන්නෙ නෑ…

මේ කියන මමත් බෞද්ධයෙක්.. මම ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව අගය කරනවා.. මම හතර පෝයට පන්සල් නොගියට සිල් නොගත්තට මගේ ප්‍රතිපත්ති අනුව බුද්ධාගම දර්ශනයක් විදියට අගය කරනවා.. පිළිපදිනවා.. නමුත් මම හැම ගහටම ගලටම වඳින්න යන්නෙවත්, කවුරුවත් කිවුවට යම් දෙයක් පිළිගන්නෙවත් නෑ… මගේ හිතට එකඟව දන්නා පමණින් හරි යැයි හිතෙනවා නම් පිළිගන්නවා… දන්නෙ නැතිනම් දන්න කෙනෙක්ගෙන් අහගන්නවා…

මට හිතෙන විදියට අපේ කට්ටිය වලිගෙ පාගාගෙන..  බුද්ධාගමේ කට්ටිය වගේම මුස්ලිම් ආගමේ කට්ටිය…. කලා නිර්මාණයක් කියන්නෙ ආගම් ජාති කුල වර්ණ භේද යන සීමා මායිම් වලින් නදහස් වෙච්ච දෙයක්.. එහෙම වුනා කියලා කුණුහරුප කියන්න නිදහස තියෙන්න ඕන කියලා මම කියන්නෙත් නෑ….

Da vinci Code  චිත්‍රපටිය ලංකාවට ආපු කාලෙ වතිකානුවට නැති අමාරුවක් අපේ කතෝලික කට්ටියට තිබුණා. අන්තිමට චිත්‍රපටිය බලන්න හිටිය ගාන වගේ දෙගුණයක් චිත්‍රපටිය බැලුවෙ මේ මොකක්ද කියලා බලන්න.. ඇති මගුලක් නෑ.. අන්තිමට වුනේ චිත්‍රපටිය ජනප්‍රිය වුන එක විතරයි.. දැන් මේ සිංදුවට වෙලා තියෙන්නෙත් ඒකමයි.. මම මුලින් සිංදුව අහත්දි මෙහෙම දෙයක් තියෙනවා කියලා වත් මට තේරුණේ නැහැ.. සිංදු වල තේරුම සෙවීම මගේ විනෝදාංශය වුනත් මේ සිංදුවේ අමුත්තක් පෙනුනෙ නැහැ.. නමුත් කවුරු හරි වැඩක් නැතුව ඉන්න කාඩ්බෝඩ්  වීරයෙකුට ජනප්‍රිය වෙන්න  හිතිලා ෆේස් බුක් එකෙයි බ්ලොග් අවකාශයෙයි මේ මතය පතුරවන්න ගත්තා… අපේ මෝඩයොත් හිටු කියලා මේක බෙදා ගත්තා හිතන්නෙ නැතිව.. අර හරියට දම්වැල් ලියුම් (Chain mail) යවනවා වගේ.. ඉස්සරම Amy Bruce කියලා ලමයෙකුගේ පිළිකාවක් හොඳකරගන්න කියලා E-mail එකක් ගියේ… අපේ කට්ටියත් හිටු කියලා වටේටම බෙදා ගත්තේ.. අන්න ඒ වගේ…

මේ විදියට රට ගියොත් අපිත් ලගදිම ඇෆ්ගනිස්ථානයක් වෙන එක නවත්වන්න බැහැ.. හැම පිස්සුවටම වඩා භයානකයි ආගම් පිස්සුව…

දැන් ඉතින් පස් පවු වලින් වැලකිච්ච, කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැති, සුරා සූදුවෙන් මස් මාංශ වලින් තොර සුපිරිසිදු පෝස්ටර් බෞද්ධයො ඇවිත් මට ගල් ගහපල්ලා….

ඉතින් මේ විදියට ගියොත් අපේ රාජ්‍ය නායකයොන්ට අපහාස වන නිසා මෙන්න මේ සිංදුවත් අපි තහනම් කරමු…

ඒ සිංදුවට මෙතැනින් යන්න…

2011 පෙබරවාරි 04 : ෴….අපි නිදහස් වෙමු….෴

නිදහස් දිනය උදා වෙනවා අද… ඒ කියන්නෙ අපි මහ රැජිනගෙ රටේ පාලනයෙන් නිදහස් වුන එක කියලයි ඉස්සර ඉස්කෝලෙදි නම් ඉගෙන ගත්තේ… පුංචි කාලෙ ඉස්කෝලෙදි ජාතික කොඩිය උස්සලා ජාතික ගීය කියපු අපි ටිකක් ලොකු වුනාම ප්‍රේමදාස මහත්තයටයි ජේ ආර් මහත්තයටයි පේන්න අපි ගාල්ලෙ ලොකු පෙරහැරක් ගියා නැටුම් නට නට… ඒ අපට ලැබුණ ඩොමීනියන් නිදහස සමරන්න…..

එහෙම ලැබුණ නිදහස අපි මහ ඉහළින් හැමදාම සැමරුවා…. ඉතින් අපි ඒ නිදහස ඇත්තටම විඳිනවද ? අපි ඒ නිදහස අපි ලබනවද ? අපි නිදහස ඇත්තෙන්ම නිසි විදියට පාවිච්චි කරනවා ද? අපි ඇත්තටම නිදහස ගැන කතා කළත් අපි කොච්චර එක එක දේවලට ගැති ද ?

අපි අපේ දේශපාලනඥයින්ට ගැතියි… එවුන් මොනවා කළත් සමහරු ගුණ ගායනා කරනවා… හොඳ දේ අගය කරන්නත්, වැරදි දේ විවේචනය කරන්නත් මැලියි.. එක්කෝ බයයි… අපට එවුන් හරි හැටි පාලනය කරන්න අවස්ථාවක් නෑ… ඔවුන්ව තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවත් අපි ගැති බව නිසාම අතපසු කරලා.. නොගැලපෙන කට්ටියක් අපව පාලනය කරන්න යවලා අද අපි හූල්ලනවා… ලබන පාරවත් නිදහස් වෙන්න බලන්න….

අපි අපේ ලොක්කන්ට ගැතියි… සමහරු බයටත්, සමහරු ලාභ ප්‍රයෝජන තකාගෙන ඒ ස්වාධීනත්‍වය නැති කරගන්නවා…. ඉන් පසු යටත් වෙලා ඉන්නයි වෙන්නෙ… තවත් වෙලාවකට ලොක්කා අපිව යටපත් කරගෙන ඉන්න නිසා අපි යටත් වෙලා ඉන්නවා.. මක් නිසාද යත් අපි සමහර විට අපේ දක්‍ෂතා හරි හැටි තක්සේරු කරගෙන නැතිව, අපේ වටිනාකම පෙන්වන්නෙ නැතිව ඉන්න නිසා… තමන්ගෙ වටිනාකම වැඩි කරගෙන, ඒ දක්‍ෂතා හරි හැටි ප්‍රයෝජනයට අරගෙන අදීනව ඉන්න පුළුවන් නම්…..

කලා කාරයො සමහරක් විවිධ දේ වලට ගැතියි… බොහොමයක් දීනයි.. ස්වාධින නැහැ. ලොක්කන්ගෙ පුරාජේරුව වයනවා අතොරක් නැතිව.. තවත් සමහරු මුදලට ගැති වෙලා ප්‍රශස්ත මට්ටමට වඩා බොහෝ පහත් නිර්මාණ කරනවා.. තමන්ගේ අදීන බව තියාගෙන ඉන්න කලාකාරයෝ ඉන්නෙත් බොහොම අතලොස්සයි…

ජනමාධ්‍ය ගැන ගත්තොත් කියලා වැඩක් නෑනෙ… කට්ටියක් ආණ්ඩුවෙ රෙදි හෝදනවා තවත් කට්ටියක් විපක්‍ෂයේ රෙදි හෝදනවා..

මේ ආකාරයෙන් සමාජයේ බොහෝ දෙනා විවිධාකාරව ගැතිකම් කරනවා.. ඔබ කියාවි තම තමන්ට සමාජයේ පැවැත්ම සඳහා මේ දේවල් කරන්න වෙලා තියෙනවා කියලා.. නමුත් අපි වැල යන පැත්තට මැස්ස ගැහැවුවොත් මැස්ස කැඩුන දාට මොකද කරන්නෙ කියලා හිතුවාද ?

සමහර විට අදීනව සිටීම අවාසි සහගත වෙන්න පුළුවන්… නමුත් තමන්ට සතුටු වෙන්න පුළුවනි තමන් අදීනව ජීවත් වුනා කියලා…

මට ස්වාධීනව හිතන්න පුරුදු කළේ මගේ පියා.. මම දැකපු අදීනම පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් කෙනෙක්… වැරැද්ද දුටු තැන නැගී සිටින, බය නැතිව කතා කරන ඔහු පාසැලේ විදුහල්පතිව සිටි කාළයේ ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර් ගහන්න ගිය කොල්ලො කිහිප දෙනෙකුට මුළු පාසලම ඉදිරිපිට දඬුවම් කළේ පෞද්ගලික තරහකින් නොවෙයි.. ඒළමයි අකාලයේ ටයර් මත දැවෙනවා නොදකින්න… එකළ ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු වලට විරුද්ධ වෙන අයට මරණය උරුම වෙද්දි ඔහු එසේ නැගී සිටියේ තමන් ගැන සිතා නෙවෙයි… අර ළමයින්ගේ ජීවිත ගැන සිතලා… සමාව ඉල්ලලා ගෙදර ඉදිරිපිට බැනර් එකක් දාන්න කියලා ලියුමක් ආවත්… මම උන් ඉස්සරහ දෙකට නැවෙන්න යන්නෙ නෑ කියන ස්ථාවරයේම සිටියේ ඥාතීන් සියළුම දෙනාගෙ ඉල්ලීමට පිටුපාමින්… ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ඥාතියෙක් වැඩේ ගොඩින් බේරගත්තත්, ඔහුත් තාත්තගෙන් බැණුම් ඇහුවා….

ඉතින් ඒ අදීන පියාගෙ පුතෙක් වෙන්න ලැබීම ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. මම තවම ඔහු තරම් අදීන නැහැ.. මමත් තවමත් නොයෙක් දේ වලට ගැතියී……..

ඒ නිසාම නිදහස් දවසේ තබන මේ සටහන මගේ අදීන පියා වෙනුවෙන් පුද කරනවා… දීර්ඝායුෂ !

මේ ගිය අවුරුද්දේ නිදහස් දවසේ දිනපොතේ  ලියූ සටහන… මොනවා වුනත් මම මගේ දිනපොතට ගැතියි…..

2012 ජනවාරි 29: ලාංකීය සරසවි සිසුවා ඉගෙන ගන්න කන කට්ට, විදේශීය සරසවි සිසුවාගේ ගොබ්බකම සහ අපේ අධ්‍යාපනයේ වැදගත්කම…. පෙර කතාවේ ඌණ පූර්ණය…

පෙරේදා 25 වෙනිදා මම ලිවුවේ විදේශීය සරසවි සිසුවා ඉගෙන ගන්න කන කට්ට, ශ්‍රී ලාංකීය සරසවි සිසුන්ගේ මානසිකත්‍වය සහ අපේ ඇමතිවරුන්ගේ නොහැකියාව ගැන ලිපියක්… මේ ලිපිය දැකපු සමහරකට බොහොම හිතට රිදිලා තිබුණේ අපේ අධ්‍යාපනය පහත් කොට සලකනවා කියලයි.. ඇත්තෙන්ම මම මෙතැන අදහස් කළේ අපේ අධ්‍යාපන මට්ටම පහත දමන්නට හෝ අපේ විශ්ව විද්‍යාලවලින් බුද්ධිමතුන් බිහි නොවනවා යැයි කියන්න නොවෙයි. ඒ ලිපියෙන් මම අදහස් කළේ අපේ සිසුන්ට කොපමණ ඉහළට යන්න අවස්ථාවන් තිබෙනවද, ඔවුන් ඒවා කොයි තරම් නොසලකා හැරලා තියෙනවා ද කියලා පෙන්වන්නයි. ශ්‍රී ලංකාවෙ දෙන නිදහස් අධ්‍යාපනයෙන් බොහොමයක් දෙනා ඉහළ තනතුරු වලට ගොස් තිබෙනවා. ඒ වගේම ලෝකයෙත් ලොකු ලොකු දේවල් කරලා තියෙනවා. ඒකෙ දෙකක් නැහැ. නමුත් දැන් යන විදියට මේ වගේ බුද්ධිමතුන් ඉදිරියට බිහි වේවිද ? කියන ප්‍රශ්නය නිතැතින්ම මතු වෙනවා. කෝ ඉස්සර තිබූ විචාර බුද්ධිය, කෝ ඉස්සර තිබූ බුද්ධිමත් සංවාද ? උසස් ගණයේ නාට්‍ය – චිත්‍රපටි සංදර්ශන… අවම වශයෙන් තවමත් ඒවා විශ්ව විද්‍යාලවල සංවිධානය වනවා ද? වැඩිපුරම ඇහෙන්නේ වර්ජන – ගර්ජන සහ තර්ජන, ගහ ගැණිලි – මරා ගැණීම්….. ඉස්සරත් තිබුණු නවක වදය දැන් අමානුෂික තත්ත්‍වයටම පත් වෙලා…. කාට හරි මතකද  කරන්දෙණියේ රූපා රත්නසීලි ?  ඇය තමයි පේරාදෙණියේ නවක වදයට බයෙන් නේවාසිකාගාරයේ උඩ තට්ටුවෙන් පැනලා ආබාධිත වුන තරුණිය…(මේ පිළිබඳ වෙනත් අදහසක් දැක්වෙන ප්‍රතිචාරයක් පසුගිය ලිපියේ පහලින් ඇති…) ඇය මෑතකදී මිය ගියා..  මේ නවක වදයෙන් අනතුරට පත්වෙලා ප්‍රසිද්ධ වුන පළමු සරසවි ශිෂ්‍යාව. දැන් දැන් හැම අවුරුද්දකටම වගේ දෙතුන් දෙනෙක් ආබාධිත වන්නෙත් මැරෙන්නෙත් ඒ කාලෙ තිබුණ නවක වදය වැඩි දියුණු වීම නිසාම තමයි.

මගේ පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දක්වන රෙශාන් මෙහෙම අහනවා…ඇමරිකානු පාසල් සිසුවා (පහසුව තකා සිසු-සිසුවියන් දෙපිරිසම සිසුවන් ලෙස හඳුන්වනවා) විශ්ව විද්‍යාලයට යාම වෙනුවෙන් පිළියෙල වෙන්නේ කුඩා කාළයේ සිටමයි
දැන් එතකොට ලංකාවේ සිසුවා කුඩා කල සිටම විශ්ව විද්‍යාලයට යාමට සුඋදනම් වෙන්නේ නැද්ද? “

ලංකාවෙ සිසුවා සරසවි යන්න පෙරුම් පුරන්නේ සාමාන්‍යයෙන් පහ වසර සමත් වෙලා සාමාන්‍ය දැනුමක් තමන්ට ලැබෙනකොට.. පුංචි කාලෙ අපි කියනවා අපි ලොකු වුනාම දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, වෙනවා කියලා.. නමුත් අපි ඒ කියන්නෙ හරියටම දැනගෙනද ? නැහැ.. කියන්නන් වාලෙ කියනවා. නමුත් තරමක් දැනුම් තේරුම් යනකොට, විශ්ව විද්‍යාලයට ගියපු කෙනෙකු දකිනකොට අපිටත් ඉබේම අර සිහිනය සිත තුළට කා වදිනවා. මට නම් විශ්ව විද්‍යාල සිහිනය ඇරඹුනේ හය හත වසරෙදී… ඊට පෙර මට ඒ පිළිබඳ අවබෝධයක් තිබුණෙ නැහැ… නමුත් ඉතිං සමහර උනන්දුව ඇති අය මවගේ ගර්භාෂයේ ඉඳලාම විශ්ව විද්‍යාලයට යන්න පාඩම් කරනවා ඇති…

මේක අපේ සරසවි සිසුවාගේ ජීවිතයට සැසඳීමේදී මා සිතන පරිදි ඔවුනට ක්‍රියාකාරකම් අඩුයි, ඇගැයීම්, ගෙදර වැඩ, ව්‍යාපෘති ආදිය දෙනවා මදි…
ලංකාවේ සරසවියක ශිෂ්‍යයෙක් හැටියට වසර 4 ක් ගතකරලද මේ කියන්නේ? lol”

ඔබ සමහරවිට නොදන්නවා වන්නට පුළුවන්… නමුත් මේ විශ්ව විද්‍යාලවල දෙනු ලබන ක්‍රියාකාරකම් හා සැසඳීමේදී ලංකාවේ සරසවි වල දෙන ක්‍රියාකාරකම් ප්‍රමාණය 25% ක් වත් නැහැ.. මේ රටවල උසස් පෙළට සමාන වයසේ ළමයින්ට ඊට වඩා වැඩි ක්‍රියාකාරකම් ප්‍රමාණයක් ලැබෙනවා. මෙහේ ළමයි ඒ Assignment කරන්න විඳින දුක් දැක්කාම අපේ විශ්ව විද්‍යාල ළමයි කරන්නේ මොනවාද කියලා හිතෙනවා… ඒ වගේමයි ඒක ළමයින්ට දොස් කියලා බැහැ.. අපේ විෂය මාලා අනාගතයට සරිලන අයුරින් වෙනස් වෙන්න ඕන…

අනෙක් අයටත් පුළු පුළුවන් විදියට මම උත්තර බැඳලා ඇති… ගිහින් බලන්න…

ක්සැන්ඩරයා මෙන්න මෙහෙමත් කියලා තිබුණා. ඒකත් බලාගෙනම යන්න…

I'mPossible

ඉතිං කතාවට බහිමු… ලංකාවෙ සරසවි සිසුවා තරම් කටු කන (සහ සමහරු කටු ලෙවකන) ජාතියක් තවත් නැත්තේමය… ඔවුන් සරසවි යාමට පෙර උසස් පෙළ කරන අවධියේ, උදෑසන හතරේ සිට නැගිටගෙන පාඩම් කර, පාසැලට ගොස් පාසැලේ හරියට උගන්වන්නේ නැති නිසා දහසකුත් එකක් පෞද්ගලික පංති වලට ගොස් ගෙදර එන්නේ රෑ හත අට පහු වී… මෙසේ පැමිණෙන පාසැල් සිසුවා මානසිකව හෙම්බත් වී ගෙදර පැමිණියත්, යන්තම් කෑමකින් සප්පායම් වී නැවත පාඩම් වැඩවලට බසින්නේ සරසවි යෑම පරම අධිශ්ඨානය කරගෙන.. ගම්බද තත්ත්‍වය මීට වඩා වෙනස් ඔවුන්ට සමහර විට පෞද්ගලික පන්ති යන්න වත්කමක් නැහැ… ගෙදර දොරේ වැඩට උදවු වෙන්න, දෙමාපියන්ගෙ පවුල් බර කර ගහන්න වගේ දහසකුත් එකක් වැඩ… ඒ කෙසේ වෙතත් මේ සියළු බාධක මැඬගෙන ඔවුන් උසස් පෙළට මුහුණ දෙනවා.  අගෝස්තුවේ පවත්වන උසස් පෙළ ප්‍රතිඵල එන්නේ දෙසැම්බර් වල… අපේ රාජ්‍ය අංශයේ කාර්යක්‍ෂමතාවය මොනවට ඔප්පු කරමින් ප්‍රතිඵල ලැබෙනවා කිසිම වැරැද්දක් නැතිව… අපේ අධ්‍යාපන ඇමතිවරු ඉක්මනින්ම නිවන් දකින්න ඕන මේ වගේ කාර්යක්‍ෂමව වැඩ කරනවාට.. විභාග දෙපාර්තමේන්තුවෙ මහත්වරුන්ටත් ඒ පින අයිතිවේවා.. වාසනා වේවා..!

මෙහෙම විභාගය සමත් වන ලාංකීය සිසුවා සරසවි යන්න තවත් කලක් බලා ඉන්න අතරේ තමයි එස් බී ඇමති තුමා නායකත්‍ව පුහුණුව ලබා දෙන්න තීරණය කළේ… සමහරු ගියා.. සමහරු ගියේ නෑ.. ගියපු සමහරු හොඳ කිවුවා.. තවත් සමහරු නරක කිවුවා.. සමහරු ලෙඩ වුනා ඒ පිට දාලා තවත් සමහරු බොර දියේ මාළු බෑවා… යම් කිසි හොඳ චේතනාවකින්, යහපත් අභිප්‍රායකින් කළා නම් මේ නායකත්‍ව පුහුණාව ඉතාම සාර්ථක සහ ඵලදායක දෙයක් වන්නට තිබුණා.. සමහර විට ඉදිරියේදී එහෙම වෙයි… නමුත් අපේ ඔක්කොම මිනිස්සු තේ කෝප්පෙ කිඹුලන් දකින උදවිය… ඒ වගේමයි ඉන්න දේශපාලනඥයොත් දෙයියනේ කියලා මේ තත්ත්‍වය දිගටම පවත්වාගෙන යන්න පුළුවන් උපරිම විදියට වැඩ අවුල් කර ගන්නවා… ඒ නිසා ඉතින් කිසිම දෙයක සාර්ථකත්‍වයක් තිබුණත් පේන්නෙ වැරැද්දම තමයි… මේ නායකත්‍ව පුහුණුව ගැන ලියැවිච්ච දේවල් ගැන මේ බ්ලොග් අවකාශය පීරලා බලන්න… සබැඳි නම් දැන් හොයාගන්න වෙලා මදි.

ඉතින් කවදා විශ්ව විද්‍යාලයට යන්න හැකි වේද කියා බඩේ බිත්තර තම්බ තම්බ ඉන්න උසස් පෙල සමත් සිසුවා නායකත්‍ව පුහුණුවෙන් ජීවිතය බේරගෙන සරසවියට යනවා දෙමාපියො එක්ක… පළමු වසරේ අයියලා අක්කලා දෙමාපියෝ ඉදිරියේ තමන්ගෙ නංගිලා මල්ලිලා පිළිගන්නෙ බොහොම ආදරයෙන්.. “තොරන් ගහලා රබන් බැඳලා“. ඒ පළවෙනි දවසෙ.. දෙවන දවසෙ ඉඳලා තත්ත්‍වය වෙනස්.. (මේ සම-හරක් ඉන්න විශ්ව විද්‍යාලවල පමණයි) එදින ඉඳලා අළුත් සිසුන් කියන්නේ තමන්ගෙ බයිට් එක, ඒ ගැන ඉතිං දැන් විශ්ව විද්‍යාලවල ඉන්න නංගිලා මල්ලිලා ලිපියක් දානවා නම් වටිනවා…  මා අසා ඇති අන්දමට මේ කාළයේදී ළමයින්ට දේශනවලට යාමට, පුස්තකාලය පරිහරණයට අවස්ථාව ලැබෙන්නෙ නැහැ… වෙනත් ශාරීරික හා මානසික පීඩා සහ පර පීඩා කාමුකත්‍වයට අදාල සියළු දේවල් සිදු වෙන්නෙත් මේ කාළයේ තමයි… මෙයට විරුද්ධ වෙනවා කියන්නේ එක්කෝ මරණය බෙල්ලේ එල්ලා ගැනීම, දෙතුන් පාරක් වත් ගුටි කෑමට සිදු වීම වගේ බොහොම සුන්දර දේවල් අත්විඳින්න ලැබීම…. මේ පීඩනයට හසුවන සිසුන් සමහරක් මොළ ශෝධනයට ලක් වෙලා අර කණ්ඩායමට වැටෙනවා.. තවත් සමහරු මානසිකව අඩපණ වෙනවා.. තවත් සමහරු ඉදිරියට යනවා…

මෙසේ ඉගෙන ගන්නා දරුවන්ට නොයෙකුත් දුක් ගැහැට විඳින්නට ලැබෙනවා… හරි හැටි ඉන්න තැනක් නැතිව, කන්න පෝෂ්‍යදායක ආහාරයක් නැතිවයි මේ දරුවන් ඉගෙන ගන්නේ… කෙනෙක් කාලා ඉවර වුන පිඟාන රැගෙන ගිහින් රුපියල් දෙකේ අඩු බත් පිඟාන අරගෙන කාපු සිසුන් කොළඹ විශ්ව විද්‍යාලයේ හිටියා….ඒ දරිද්‍රතාවයේ උපරිමය.. ඔවුන් සමහරු ඉතා දියුණු වුනා.. තවත් සමහරු එහෙම වුනේ නැහැ. මේ අතර තරමක කාළයක් විශ්ව විද්‍යාලය වහලත් තියෙනවා… මහාචාර්ය තුමෙකුට අවිවිශිබමයේ උත්තමයෙක් ඉස්සරහ පඩයක් ගියාම ඒ උත්තමයා තරහ අවසර අරගෙන ජනාධිපති මන්දිරය දක්වා පෙළපාලියකින් ගිහින් ජනාධිපතිතුමාට ඒ අවනඩුව කියනවා… අනධ්‍යයන සේවක මණ්ඩලයත් අර තරම්ම ලාමක ටිං ටිං ලා නොවුනත් සමහර වෙලාවට ඩෝං ගිහින් වර්ජන කරනවා… මහාචාර්ය තුමන්ලාත් ඉතිං තමන්ට නොලැබෙන දේවල් ගැන පොඩි සද්දයක් දානවා… මේ විදියට වසරේ කිසියම් ම දවසක ටික කාලයක් විශ්ව විද්‍යාලය වහලා තියෙන නිසා උපාධි අපේක්‍ෂකයෙක් උපාධිය හදාරන වසර තුනෙන් හෝ හතරෙන් අවම වශයෙන් මාස කිහිපයක්වත් ගෙදර ඉන්නවා…

මේ අපේ අය කියන විදිය

මේ සියල්ල සාර්ථක කරගෙන විශ්ව විද්‍යාලයෙන් පිටවන දේ උපාධිධාරියා ඊලඟට වැටෙන්නේ රැකියා විරහිත උපාධිධාරී කණ්ඩායමට… අවිවිශිබමයේ මහතුන්ට නම් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න ටිකට් එක ඉබේම ලැබෙන නිසා වැඩිය අවුලක් නෑ.. (ඒ අය නම් කියනවා අපිට පක්‍ෂයක් නෑ කියලා… හැබැයි ඔක්කොම නවතින්නේ ජවිපේ දේශපාලන මණ්ඩලයේ… අපිට නේ මේ කියන්නේ)  නමුත් අනෙක් අය නිකම්ම නිකං සාමාන්‍ය උපාධිය විතරක්ම ලබාගෙන සමත් වුනොත් ලිප්ටන් වටරවුමේ තමයි..

නමුත්, තමන්ගේ අනාගතය ගැන සිතා ඉංග්‍රීසි ටිකක්, පරිඝණක දැනුම, සංඛ්‍යානය (ජ්‍යාමිතිය නෙවෙයි – ඒක දන්නෙ එස් බී), කළමණාකරණය වැනි තමන්ව මාකට් කරන්න පුළුවන් දක්‍ෂතා වර්ධනය කරගන්න උදවිය බඳවා ගැනීමට ඕනතරම් සමාගම් ඉන්න බව කවුරුත් දන්නා කරුණක්.. නමුත් අපේ විශ්ව විද්‍යාල සිසුවාගේ මනසට කාවද්දා තිබෙන – හැමදේම නිකං හෝ රජයෙන් ලබා දිය යුතුය – යන සංකල්පය නිසා බොහෝ දෙනෙක් බලන් ඉන්නේ විශ්ව විද්‍යාලයෙන් පිට වූ වහාම රජයෙන් තමන්ට ලොකු රැකියාවක් ලබා දිය යුතුය යන්නයි. මා දන්නා මගේ මිතුරෙක් රජයේ විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යා විශේෂ උපාධිය ඉගෙන ගන්න අතරේ වරලත් ගණකාධිකරණ පාඨමාලාවක්, පරිඝණක පාඨමාලාවක් හදාරලා විශ්ව විද්‍යාලයෙන් පිටවන විටම ඉතාම ඉහළ රැකියාවකට ගියා..

දැන් පවතින ආර්ථිකය හමුවේ රජයේ ආයතන හැර, කිසිම සමාගමක් පෞරුෂත්‍වයක් නොමැති, කණ්ඩායම් හැඟීමක් හෝ කණ්ඩායම් ක්‍රියාකාරකම් නොදන්නා, ඉංග්‍රීසි හෝ පරිඝණක දැනුම නොමැති තරුණ ශ්‍රම හමුදාවක් බඳවා ගැනීමට කැමැත්තක් නැහැ. එය ඒ සමාගම් වලට අවාසියි, මේ නිසා බොහොමයක් රජයේ උපාධි ධාරීන්ට පෞද්ගලික සමාගම්වල රැකියා ලැබෙන්නෙත් නැහැ. ඒ වගේමයි, මෑතකදී කළ සමීක්‍ෂණයකින් කියැවුනේ අපේ උපාධිධාරීන් සියයට 55 කට වඩා කැමැත්කත් දක්වන්නේ රාජ්‍ය අංශයේ රැකියාවක් කිරීමට බව.. මට නොතේරෙන කරුණ මෙයයි.. රාජ්‍ය අංශයේ සිදුවන බව ඇසෙන අකාර්යක්‍ෂමතාව, දේශපාලන උසස්වීම් ආදි දහසකුත් එකක් දේ ද මේ ළමයි මෙතැනට යන්න පොළඹවන්නේ ? නැතිනම් අඩු වැඩ ප්‍රමාණයක් කර වැඩි වැටුපක් ලැබීමටද ?

මේ අපේ උපාධිධරයාගේ තත්ත්‍වය..

විදේශීය සිසුන් බහුතරයක් අමු මොට්ටයෝ…(ඔන්න ඒ පාර තවත් කවුරුහරි මට බනියි ලෝකේ හොඳම සොයාගැණීම් කළ විදේශිය විද්‍යාඥයන් මොට්ටයො වෙන්නෙ කොහොමද කියලා ) සමහරුන්ට 10 න් වැඩි කරන්නත් කැල්කියුලේටර් අවශ්‍යයි… විද්‍යා අංශයේ මුල් වසරේ විද්‍යාගාරවල උගන්වන්නේ අපේ එකොලහ වසරේ කළ පර්යේෂණ- සහ උසස් පෙළ පර්යේෂණ. නමුත් ඉගෙන ගන්න එකා හරියට ඉගෙන ගන්නවා.. දෙවන තුන්වන වසර වෙනවිට බොහෝ දෙනෙකු හොඳ මට්ටමකට ඇවිත්… සමහරු පර්යේෂණ කරන්නත් පටන් ගන්නවා… ඒ සෑම සිසුවෙකුටම උපදේශනය සපයන්නට මහාචාර්යවරු පත් කර සිටිනවා.. ඒ සියළුම දෙනාගේ ප්‍රගතිය සමාලෝචනය වෙනවා.. බොහෝ දෙනාට තමන් කැමති විෂය ධාරාව හැදෑරීමට නිදහස තියෙන විදියටයි පාඨමාලා සකස් කර ඇත්තේ… වානිජ්‍යමය පැත්තෙන් සාමාන්‍ය උපාධිය කරන කෙනෙකුට පසුකාලීනව වෛද්‍යවරයෙකු වීමට පවා පුළුවන්. නමුත් ඒ සඳහා ඉගෙනගත යුතු අනිවාර්යය විෂයයන් තිබෙනවා… මේ වගේ සෑම විශ්ව විද්‍යාලයකම එක්නෙකට වෙනස්, තරඟකාරී අධ්‍යාපන රටාවක් සකසා තිබෙනවා. නමුත් බොහොමයක් සිසුන් සිටින්නේ සාමාන්‍ය මට්ටමේ. උසස් තලයක සිටින සිසුන් සිටින්නේ අර සාමාන්‍ය සිසුන්ට වඩා ගවු ගණනක් දුරින්… ඒ අය අති සාර්ථක පිරිසක් බවට පත් වෙනවා.. බොහෝ දෙනා ආචාර්ය උපාධිය, වෛද්‍ය විද්‍යාලය, කළමණාකරණය, නීති විද්‍යාලය වැනි ආයතන කරා ඇදෙනවා. තවත් සමහරු රැකියා සඳහා යනවා. දැන් දැන් ආර්ථික අවපාතයත් සමග සිසුන් දෙවන උපාධිය හැදීරීමෙ සම්භාවිතාවය වැඩි වී තිබෙන බවයි කියැවෙන්නේ. එයට හේතුව සමහර පශ්චාත් උපාධි පාඨමාලා (විශේෂයෙන් විද්‍යා සහ ඉංජිනේරු අංශයේ) ආචාර්ය උපාධිය හදාරන්නන්ට කිසියම් වේතනයක් විශ්ව විද්‍යාල මගින් ගෙවනවා. මේ නිසා බොහෝ දෙනාගේ ආර්ථිකය අවම වශයෙන් වසර පහක් වත් ස්ථාවරව පවතිනවා පමණක් නොවෙයි ආචාර්ය උපාධියකටත් හිමිකම් කියන්නට හැකි වෙනවා. එවිට තමන්ව මාකට් කර ගැනීමේ අවස්ථා, සුදුසුකම් තවත් වැඩි වෙනවා.

නමුත් බහුතරය Below Average – සමහරුන්ට තමන්ගෙ රටේ තියෙන දේවල් ගැන දැනුමක් නෑ… පිට රටවල් තියෙන්නේ කොහේද කියලා දන්නෙ නෑ.. ආදී වශයෙන් සමහරක් මැටි කඳන්..

මම කොපමණ දේවල් මෙහේදි ඉගෙන ගත්තත් මහාචාර්ය එස් පී දැරණියගල, එස් ඒ දැරණියගල, ජේ එන් ඕ ප්‍රනාන්දු, ඩබ් එස් ප්‍රනාන්දු, එම් ඩී පී කොස්තා, එච් ඩී ගුණවර්ධන, ආර් පී ගුණවර්ධන, උපාලි සමරජීව, ගාමිණී රාජපක්‍ෂ, කමල් බණ්ඩාර ගුණහේරත්,  සහ තවත් මහාචාර්යවරුන්ගෙන් ලංකාවෙදි ලබා ගත් මූලික දැනීමේ අගය නම් අඩු වුනේ නැහැ කවදාවත්.. ඒ වගේමයි ඒ අයගෙන් ඉගෙනගෙන මෙහේ ආ අනෙක් ළමයිනුත්, ඒ අයගේ සාර්ථකත්‍වයේ රහස අපට ලැබුණ මූලික දැනුම..  දැනුමට සම කරන්න දැනුමක් නැහැ… ඒ නිසාම තමයි තවමත් ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් පිටරටවල වුනත් බොහෝ ලොකු තනතුරු දරන්නේ… නාසා ආයතනය වගේ ස්ථානවල ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ රාශියක් සේවය කරනවා. විවිධ විශ්ව විද්‍යාල මහාචාර්යවරු විවිධ සමාගම් අධ්‍යක්‍ෂ, කළමණාකාර වරුන් මේ අතර ප්‍රධානයි… නමුත්… අපේ විෂය මාලා තවමත් එකතැන පල් වෙනවා.. සංවර්ධනය වෙන අළුත් දැනුම එකතු වෙන ප්‍රමාණය අඩුයි.. උගන්වන අය අළුත් දැනුමින් සන්නද්ධ වෙනවා අඩුයි.. මේ නිසා අළුත් දෑ ඉගැන්වෙන්නේ හරිම අඩුවෙන්.. මෙන්න මේ අඩුපාඩුව සම්පූර්ණ කරගන්න පුළුවන් නම් අපට බුද්ධිමත් තරුණ කැළක් තනන්න බැරි වෙන එකක් නැහැ.

දැන් බලමු දැනට පවතින පෞද්ගලික අධ්‍යාපන ආයතන ගැන.. ඒවාට ළමයින් එන්නේ සල්ලි ගෙවලා… සෙල්ලම් කරලා හරියන්නේ නැහැ.. ගෙවපු මුදලට හරියන උපාධියක්, ඩිප්ලෝමාවක් ගන්න ඕන. පෞද්ගලික ආයතන නිසා රැග් නැහැ.. සමහර කට්ටියක් පොඩ්ඩක් වෙන්න පොෂ් වගේත්..(අපි නං බඩේ ගොයියො ඒ කාලෙත්) සමහරු නං සුද්දගෙ භාෂාවෙන් තමයි බුදු අම්මෝ කියන්නෙත්… මේ අයගේ Market Value එක රජයේ උපාධිධාරීන්ට වඩා වැඩි වන්නේ ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම, පරිඝණක දැනුම සහ ආකල්ප (Attitude) මත…. උදාහරණයක් වශයෙන් 1998 දී යුනිලීවර් සමාගමේ රසායනඥයන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණය සඳහා අයැදුම්පත් 250 කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණා. ඒ අතර සියළුම පිළිගත් විශ්ව විද්‍යාලවල රසායන විද්‍යා විශේෂ උපාධිය හැදෑරූ අය, විවෘත විශ්ව විද්‍යාල උපාධිධාරීන් හිටියා. නමුත් තේරී පත් වුනේ රසායන විද්‍යා ආයතනයෙන් පැමිණි මමත් මගේ මිතුරෙකුත් පමණයි.. අපි දෙදෙනාගේම ආකල්ප, දැනුම, ඉංග්‍රීසි දැනුම සහ ඉදිරිපත් කිරීමේ හැකියාවන් කරට කර තිබුණේ.. අපි දෙදෙනා අවසාන වටයේ පස් දෙනා අතරට තේරුණ පසු අපි දැනගත්තා අපි දෙදෙනාගෙන් එක් අයෙකු එතැනට යන බව..(හිතුනෙ නෑ දෙදෙනාම ගනියි කියා).. එතැන සිදු වුනේ සමහර විට පිළිගත් විශ්ව විද්‍යාලවල සමහරවිට අපටත් වඩා සුදුසුකම් ඇති අය අභිබවා අපේ Total Package එක ඉදිරියට පැමිණීම වෙන්න ඇති…

මෙයයි සිදු නොවන්නේ… අපි දකින සමහරු අධ්‍යාපනයෙන් පරතෙරට ගියත් පුද්ගල සබඳතා පැත්තෙන් අන්තිම දුර්වලයි.. සමාජගත වන්නට, පිරිසක් ඉදිරියේ කතා කරන්නට, ඉදිරිපත් වීමට, ඉදිරිපත් කිරීමේ හැකියාවන්, නිර්භයව ප්‍රශ්න ඇසීම ආදියෙන් බොහෝ දෙනා පිටුපසින් ඉන්නේ.. මේ නිසා අවස්ථා ලැබෙනවා අඩුයි.. මට හිතෙන විදියට රජයේ විශ්ව විද්‍යාලවල පෞරුෂත්‍ව වර්ධන පාඨමාලාවකුත් තිබුණොත් තත්ත්‍වය මීට වඩා හොඳ වන්නට පුළුවන්….

ඉතින් දිග හෑල්ලක් ලිවුවා… දිග වැඩි වුනාද මන්දා… ඉතින් කෙටියෙන්ම කියනවා නම් අපේ කොල්ලන්ට කෙල්ලන්ට හිරි හැටි ඉගෙන ගන්න අවස්ථාවන් සලසලා දුන්නොත් ලෝකෙම හොල්ලන්න පුළුවන් වේවි. නමුත් උන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕන.. උන්ට පහසුකම් සලසන්න ඕන…. අළුත් දෑ කියලා දෙන්න ඕන.. අන්තර්ජාලය තියෙන්නේ ෆේස්බුක් බලන්නයි බ්ලොග් ලියන්නයි චිත්‍රපටි ඩවුන්ලෝඩ් කරන් බලන්නයි විතරක් නොවෙයි, දැනුම හොයාගෙන යන්න අනන්තවත් පාරවල් තියෙනවා කියලා මතක් කරලා දෙන්න ඕන. අන්න එදාට සමහර විට මේ රට අපි පතන ආසියාවේ අනාගත ආශ්චර්යය බවට පත් වේවි… නැත්නම් ඉතින් අපි අනාගත්ත ආශ්චර්යය බවට පත් වෙන එක ගැන නම් කතා දෙකක් නැහැ.. අධ්‍යාපනය රටක ජීවනාලියයි කියලා මේ ලොක්කන්ට කවදා තේරෙයිද මන්දා…

2012 ජනවාරි 25: විදේශීය සරසවි සිසුවා ඉගෙන ගන්න කන කට්ට, ලාංකීය සරසවි සිසුවාගේ මානසිකත්‍වය, සහ ඇමතිවරුන්ගේ නොහැකියාව….

ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ දැනට වැඩිපුරම කතා බහට ලක් වන මාතෘකා දෙක වනුයේ උසස් පෙළ ප්‍රතිඵල ගැටළුව සහ පෞද්ගලික විශ්ව විද්‍යාල පණත යන කරුණු දෙකයි. මේ දෙක අඩු වැඩි වශයෙන් කළින් කළට වැදගත්කම ඉහළ පහළ ගියත්, මේ දෙකම විවෘතව කතා කළ යුතු ප්‍රශ්න: නමුත් පවතින වාතාවරණය තුළ කවුරු මොන පැත්තට කතා කළත් ඔහු/ඇය නිතැතින්ම දේශප්‍රේමියෙක් හෝ දේශද්‍රෝහියෙක් බවට පත් වෙනවා. මේ ප්‍රශ්න පිළිබඳව බ්ලොග් අවකාශය තුළ බොහෝ දේවල් කතා වුනා.

කතන්දර කාරයා ලියපු ලිපියට මෙතැනින් යන්න

රත්ගමයා ලියපු ලිපියට මෙතැනින් යන්න

බ්ලොග් ගඩොල් ලිපියට මෙතැනින් යන්න

ඉතින් මේ කාරණය ගැන මට අමුතුවෙන් කතා කරන්න දෙයක් ඉතිරි වෙලා නැති තරම්. නමුත් මම අද කතා කරන්නේ ඒ කිසිවක් ගැන නොවෙයි. නමුත් ඒ දේට සම්බන්ධයි. ඇත්තෙන්ම කියනවා නම් පෞද්ගලික විශ්ව විද්‍යාල අපට අවශ්‍යයි කියන මතයේ තමයි මම සිටින්නේ. ඒ ගැන කිසිදු ගැටළුවක් නැහැ. ඒ මම පෞද්ගලික උපාධි ආයතනයකින් මූලික උපාධියක් ලැබූ නිසා පමණක් නොවෙයි, විවිධ විශ්ව විද්‍යාලවල උගන්වා, ඉගෙනගෙන ලැබූ අත්දැකීම් සියල්ල අනුසාරයෙන් තමයි මම ඒ ගැටළුව දිහා බලන්නේ. කෙටියෙන් කියනවා නම්, පෞද්ගලික විශ්ව විද්‍යාල පැවතීම නිසා රජයේ විශ්ව විද්‍යාලවලට ලොකු තරඟයක් ඇති වෙනවා. මේ නිසා සිසුන් නිකම් කාළය කා නොදමා, තමන්ගේ අනාගතය වෙනුවෙන් සටන් වැදීම උදෙසා ඔවුන් හොඳින් ඉගෙන ගන්න පෙළඹෙනවා. මේ සඳහා ඇති තරම් උදාහරණ තිබෙනවා. අපි ඒ ගැන පසුව කතා කරමු…

ඇමරිකානු පාසල් සිසුවා (පහසුව තකා සිසු-සිසුවියන් දෙපිරිසම සිසුවන් ලෙස හඳුන්වනවා) විශ්ව විද්‍යාලයට යාම වෙනුවෙන් පිළියෙල වෙන්නේ කුඩා කාළයේ සිටමයි. පවතින විශ්ව විද්‍යාල රටාවට අනුව පෞද්ගලික හෝ රජයේ විශ්ව විද්‍යාල දෙකොටසම මුදල් අය කරන බැවින් ඔවුන්ගේ මූලික පරමාර්ථය වන්නේ ඒ ඒ විශ්ව විද්‍යාල වල පාඨමාලා ගාස්තු අඩු කර ගැනීමට ශිෂ්‍යත්‍ව ලබා ගැණීම. මේ සඳහා ඔවුන් විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම්, විවිධ අධ්‍යාපනික වැඩසටහන්, ක්‍රීඩා, ආදී නොයෙකුත් දී වල නිරත වෙන්නේ කුඩා අවධියේ සිටමයි. බොහෝ සිසුන් පාසලේදී උසස් පෙළට සමාන පාඨමාලා (High School) තෝරා ගැනීමේදීත් ඔවුන්ගේ විශ්ව විද්‍යාල බලාපොරොත්තු වලට අනුවයි ඔවුන් ඒ විෂයයන් තෝරා ගන්නේ. ඒ සමඟම වාගේ උසස් පාසල් වල අවසාන වසරේ සමහර විෂයයන් සමහර විශ්ව විද්‍යාලවල සම්බන්ධීකරණයෙන් ග්‍රීෂ්ම නිවාඩු කාළවලදී (Summer Vacation) ඒ විශ්ව විද්‍යාලවල උගන්වනවා. මේ නිසා ඔවුන් තමන්ගේ විශ්ව විද්‍යාලවල පළමු වසරේ අවශ්‍යතාවයන්ගෙන් සමහරක් නිවාඩු කාල වලදීම සපුරා ගන්නවා. ඒ අතරවාරයේ ඔවුන් SAT නම් වූ විශ්ව විද්‍යාලවලට ඇතුලත්වීම සඳහා වූ විභාගයට පෙනී සිටිනවා. මේ විභාගය පවත්වන්නේ College Board නම් ආයතනය නිසා ඒ ලකුණු වල විශ්වාසනීයත්‍වය පිළිබඳ කිසිදු විශ්ව විද්‍යාලයකට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපේ රටේ වගේ ඒ ලකුණු වෙනස් කරන්න හෝ, විශේෂ තත්ත්‍ව මත විභාග වලට වාඩි වීම වැනි අකටයුතුකම් ද සිදු වන්නේ නැහැ. අවම වශයෙන් ජනාධිපති බුෂ්ගේ දියණියන්ටවත් මේ තත්ත්‍වය වෙනසක් නැහැ. මේ ලකුණු මට්ටම් මත තමයි සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගැනීම සිදු වන්නේ. නමුත් මේ ලකුණු පමණක්ම නොවෙයි, පාසලේ ලබා ගන්නා GPA ලකුණු මට්ටම, තමන් ඒ විශ්ව විද්‍යාලයට ඇතුලත් කරගත යුත්තේ ඇයිද, තමන්ගේ අනාගත අභිමතාර්ථ මොනවාද යන්න ඇතුලත් Personal Statement එක, සහ තමන්ගේ ගුරුවරුන්ගෙන් ලබා ගන්නා සහතික කරන ලද ලිපි (Reference Letters) ආදී සියල්ල සලකා බලායි මේ සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගන්නේ.

සාමාන්‍යයෙන් මා සේවය කරන ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයට පමණක් වසරකට අයදුම්පත්‍ර 20,000 ක් පමණ ලැබෙනවා. ඉන් ඇතුලත් කර ගන්නේ 3000 ක් පමණයි. මේ තත්ත්‍වය ඉහළ මට්ටමේ තියෙන විශ්ව විද්‍යාලවල මීටත් වඩා වැඩියි. ඇමරිකාවේ විශ්ව විද්‍යාල විවිධාකාර අන්දමින් වර්ග කර තිබෙනවා. ඒ පිළිබඳ මෙතැනින් බලන්න. මේ නිසා සිසුන්ටත් දෙමාපියන්ටත් තමන්ගේ දරුවා ඇතුලත් කරන්නට යන විශ්ව විද්‍යාලය සහ ඒවායේ තත්ත්‍වයන් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්. එසේම මේ තත්ත්‍වයේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් වීමට නොහැකි බොහෝ දෙනා Community College නම් තාක්‍ෂණික ආයතනවලට ඇතුලත් වෙනවා. ඒ මුදල් නොමැතිකම හෝ නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැති වීම යන දෙකම හෝ ඉන් එකක් වන්නට පුළුවන්. නමුත් මේ ආයතන සමහරක් යම යම් සුවිශේෂ පාඨමාලා උගන්වන ආයතන නිසා ඒවායින් පිටවන අයටත් හොඳ රැකියා ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා.

මේ සියල්ලම නිකම් ලැබෙන දේවල් නෙවෙයි. ශිෂ්‍යත්‍වයක් ලැබුණත් එයින් ලැබෙන මුදල් මදි වෙනවා වියදම් පියවා ගන්නට. මේ නිසා දෙමාපියන් දරුවා ඉපදුන දා සිට අරමුදලක් එකතු කරනවා විශ්ව විද්‍යාල අරමුදල (College Fund) නමින්. එයත් මදි වියදම් පියවා ගන්න, බොහෝ දෙනා විශ්ව විද්‍යාල මගින් අනුමත කරන ලද බැංකු මගින් ණය මුදල් ලබා ගන්නවා. වසර හතරක සාමාන්‍ය වියදම ඇමරිකානු ඩොලර් ලක්‍ෂය පනිනවා. ඒ අනුව විශ්ව විද්‍යාලයකින් පිටවන බොහෝ සිසුන් ඉන් පිටවන්නේ ණයකාරයන් ලෙසින්. මේ ණය ඔවුන් විසින් අවුරුදු 10 ක් හෝ 20 ක් ඇතුලත ගෙවා දැමීමේ බැඳුම්කරයකට යටත්වයි ඔවුන් ලබා ගන්නේ. මේ නිසා නොගෙවා සිටින්නට බැහැ. මේ මූල්‍යමය පැත්ත.

මීට අමතරව වියදම් සඳහා ආදායම් උපයා ගන්නට සිසුන් විවිධාකාර රැකියා කරනවා. සමහරු හෝටල්වල වේටර්කම්, ඉන්ධන පොළවල් වල රැකියා, මැක්ඩොනල්ඩ්ස්, බර්ගර් කිං වැනි ආහාර හලවල රැකියා, ආදිය කරනවා. තවත් සමහරු කුණු එකතුකර වෙන්කරන ස්ථාන, වැනි පහත් යැයි සැලකෙන ස්ථාන මෙන්ම වෛද්‍ය මධ්‍යස්ථාන, බැංකු වැනි උසස් ස්ථානවලත් රැකියා කරනවා. මේ සියල්ල කරන්නේ ඉතාමත් අඩු වේතනයකට, බොහෝ සිසුන් ආදායම් උපයන්නේ ඔවුන්ට ලැබෙන කොමිස් වලින්. මීට සතියකට පමණ පෙර එක්තරා කෙනෙක් බොහෝ දෙනෙකුගේ ඊ මේල් වලට එවා තිබූ ලංකා බැංකුවේ සේවය කරන අයගේ ශ්‍රම මංකොල්ලයක් ගැන සඳහන් ලිපියක් කියවීමේදී මට ඇත්තෙන්ම සිතුනේ මොවුන් කොයි තරම් ලිං මැඩි මානසිකත්‍වයක සිටිනවාද යන්න. මේ සියළු රැකියා මගින් මේ සිසුන් කරන්නේ ආදායම් උපයන එක පමණක් නොවෙයි, විශ්ව විද්‍යාලයෙන් පිටව ගිය දවසක රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමේදී අදාල වන සුවිශාල අත්දැකීම් සහ පළපුරුදු සම්භාරයක් එකතු කරගන්නවා.මේ නිසා එය ඔවුන් පැකිළීමකින්, මැසිවිලි නැගීමකින් තොරව ඉටු කරනවා. එමෙන්ම කිසියම් වරදක් සිදු වුන හොත් සේවයෙන් පහ කිරීම නියත වන නිසා ඔවුන් ඒ සියල්ල කරන්නේ බොහෝ පරිස්සමින් සහ පාරිභෝගිකයා උපරින්ම සතුටු වන විදියට.

මේ සියල්ල ඔවුන් කරන්නේ සිය පන්ති කාලසටහනට අවහිරයක් නොවන විදියට, එක්කෝ රෑට, එසේත් නැතිනම් පන්ති නොමැති වෙලාවට… මේ නිසාම ඔවුන්ට විශ්ව විද්‍යාලයෙන් දෙන ගෙදර වැඩ කරන්නවෙලාවක් නැති තරම්.. එවිට ඔවුන් නිදි වරාගෙන පාඩම් වැඩ කරනවා.. මේ විශ්ව විද්‍යාලවල දෙන ගෙදර වැඩ සුළුපටු නැහැ. ඒ වගේම ඒ බොහොමයක් ගෙදරවැඩ වල ලකුණු අවසාන විභාගයේ ලකුණු වලට එකතු වෙනවා. කොපි කරලා අහු වුනොත් ගෙදර (මේ ලඟදිත් එක්කෙනෙක් ගෙදර යැව්වා අපේ දෙපාර්තමේන්තුවේ නම්) මේ නිසා ඉගෙන ගැනීමට ආසාවක් ඇති සියළුම දෙනා කෙසේ හෝ මේ සියල්ල සමබර කරගෙන ඉගෙන ගන්නවා. ඒ වගේම රෑ නිදි වරාගෙන වැඩ කරන නිසා සමහරු පන්ති දෙකක් අතරවාරයේ ඇති සුළු වෙලාවෙත් පොත් මල්ල හිසට තියාගෙන කොහේහරි බංකුවක හෝ ශාලා දෙකක් අතර ඇති කොරිඩෝරයක නිදා ගන්න එක බොහොම සුලභ දසුන්.. ඒ නිසා ඒ සිසුන්ට රැග් කරන්න, මල් කඩන්න වෙලා නැහැ…

ඒ වගේම මෙහේ නීති හරි තදයි, රැග් කිරීම (Hazing) නීති විරෝධි ක්‍රියාවක්. හැම විශ්ව විද්‍යාලයකම පොලීසියක් තියෙනවා. ලොකු විශ්ව විද්‍යාලවල නම් හැම තැනම කැමරා සවි කරලා 24/7 නිරීක්‍ෂණය වෙනවා. මේ නිසා කිසිදු නීති විරෝධි ක්‍රියාවක් සිදු වීමේ ඉඩකඩ අඩුයි..( අපේ අය පොලීසියත් එක්ක නයි වෛරයි නේ) ඒ වගේම පොලීසිය තමන්ගේ ගෞරවය රැක ගැණීමත්, පොලිසියට තමන්ගේ ගෞරවය දීමට සිසුනුත් වගබලා ගන්නවා. මේ නිසා ගැටුමක් නැහැ. ඒ වගේම පොලීසිය සමග ගැටුනොත් මෙහේ දඬුවම් සැරයි.. ඒ නිසා කවුරුවත් පොලීසියට ගහන්න යන්නෙ නෑ…..

ඒ වගේමයි මෙසේ අමාරුවෙන් ඉගෙන ගන්න සිසුන් ඉන් පිටව ගියාම ඔවුන්ට නිසි රැකියා ලබා ගන්න රජය උදවු කරනකල් බලන් ඉන්නෙ නැහැ. රජයෙන් උදවු කරන්නෙත් නැහැ. සියළුම දෙනා රැකියා සොයාගන්නේ තමන් විසින්මයි.. මේ නිසා අපට රැකියා දියවු කියලා ධවල මන්දිර වට රවුම ලඟ කවුරුවත් පිකටින් කරන්නෙත් නැහැ. බොහෝ විශ්ව විද්‍යාලවල වෘත්තීය සේවා කේන්‍ද්‍ර (Career Services Centers) පිහිටවලා තියෙන්නේ විශ්ව විද්‍යාලවලින් පිටවන සිසුන්ට රැකියා සොයා ගැනීමට මඟ පෙන්වීමට. මෙහිදී අයැදුම්පත්‍ර සැකසීම, ලිපි ලිවීම පමණක් නොවෙයි සම්මුඛ පරීක්‍ෂණ වලට මුහුණ දීමට පවා පුහුණු කරවනවා. ඒ සියල්ල කරවලයි සිසුවෙකු විශ්ව විද්‍යාලයෙන් පිටතට යවන්නේ. මේ නිසා මුදල් ගෙවා ඉගෙන ගන්න එකේ වටිනාකමට සරිලන දෙයක් ඔවුනට ලැබෙනවා. ඒ විතරක් නොවෙයි, සියළුම පාඨමාලා ප්‍රමිතිකරණය කරලා තියෙන්නේ, විභාග සියල්ල නිසි ලෙස කෙරෙන නිසා සල්ලි ගෙවුවත් නියමිත පරිදි දක්‍ෂතාවය අනුවයි සිසුන් සමත් වෙන්නේ.

මේ සියල්ල කළත් නාස්තිකාර පුත්‍රයින් නැතුවා නොවේ… ඔවුන් අකාලයේ ජීවිතය අගාධයට දමා ගන්නවා… දැන් දැන් විරැකියාව වැඩිනිසා ඉගෙන ගැණීමේ තරඟයත් උපරිමයි…. මේ නිසා ඔවුන් කොහොම හරි බලන්නේ කුමක් හෝ රැකියාවකට ගොස් පසුව හොඳ රැකියාවකට යන්නයි…. බොහෝ දෙනා රැකියාවක් ඇතුව හෝ පශ්චාත් උපාධියක් සඳහා විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමේ හැකියාව සහිතවයි සාමාන්‍ය උපාධිය නිම කරන්නේ…

මෙන්න මේකයි ඇමරිකානු සිසුවාගේ සරසවි ජීවිතය….. මේක අපේ සරසවි සිසුවාගේ ජීවිතයට සැසඳීමේදී මා සිතන පරිදි ඔවුනට ක්‍රියාකාරකම් අඩුයි, ඇගැයීම්, ගෙදර වැඩ, ව්‍යාපෘති ආදිය දෙනවා මදි… ඒ වගේම විවිධ අධ්‍යාපනික ක්‍ෂෙත්‍රයන් අනුවත් මේ තත්ත්‍වය වෙනස් වෙනවා. විද්‍යා අංශ උපාධි අපේක්‍ෂකයෙකුට වඩා වැඩි නිදහසක් කලා අංශ උපාධි අපේක්‍ෂකයෙකුට තිබෙනවා.. මේ නිසා දේශපාලනය වැනි අමතර දේවලට නැඹුරු වීමේ ප්‍රවණතාවය වැඩියි..

මට හිතෙන විදියට නම් සිසුන් දේශපාලනය කළාට කමක් නැහැ, නමුත් ප්‍රමුඛත්‍වය දිය යුත්තේ අධ්‍යාපනයටයි. අවිවිශිබමයේ හිටපු කැඳවුම්කරු දන්න වෛද්‍යවරයෙක් වෙන්න ඇවිත් දැන් දේශපාලනය කරනවා. දන්ත වෛද්‍ය පීඨයට ඇතුලත් වෙන්න හිටපු කෙනෙක්ගේ අවස්ථාව අහුරලා ඔහුත් ජීවිතය වෙනත් පැත්තකට හරවා ගත්තා… මේ මනුස්සයා ඉඩ ඇහිරූ අර දන්ත වෛද්‍ය පීඨයට ඇතුලත් වෙන්න අවස්ථාව තිබූ ඊලඟ සිසුවාගේ සිසු අයිතිවාසිකම් වෙනුවෙන් කියන්න ඔහුට තියෙන්නෙ කුමක්ද ?

සමහර විට අපි මේ සිසු නායකයෝ පිටරට විශ්ව විද්‍යාලවල සංචාරයකට යවලා, ඔවුන්ගේ ඇස් ඇරෙව්වා නම් මෙයට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබුණා… නමුත් ඔවුනට පමණක් දොස් කියා පළක් නැහැ, ඔවුන් උද්ඝෝෂණ කරන තත්ත්‍වයට ඇද දැමූ අවස්ථාවාදී දේශපාලනය වගේම, පවතින රජයේ අධ්‍යාපනික අමාත්‍යාංශයේ ඇති පරිපාලනමය දුර්වලතා ද මඟ හැරවාගත යුතු වෙනවා. ඇමතිවරු හැට හැටහමාරක් හැටියත්, ඔවුනට හරියට වැඩක් කරගන්න බැරිනම් කළ හැකි කෙනෙකුට පැවරිය යුතුයි. ඇමතිවරු අධ්‍යාපනඥයෝ නොවෙයි, ඔවුන් දන්නේ දේශපාලනය (ඒකත් හරියට දන්නෙ නෑ) මේ ඇමතිවරු පත් කරන්නේ ඔවුන්ගේ සුදුසුකම් බලා නොවෙයි, ජනාධිපති තුමාට ඔවුන් පාලනය කරගැනීමේ පහසුව බලා… ඒ නිසා වැඩක් දන්න කෙනෙක් එතැනට පත් වෙන්නෙ නෑ.. ඇමතිවරු කරන්නේ තමන්ගේ හෙංචයියෝ ඉහළ තැන් වලට පත්කර ගැනීම.. සියල්ල සිදු වන්නේ තම තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් මිස රටේ අභිවෘද්ධිය තකා නොවෙයි…

ඉතින් මෙහෙම රටක සිසුන් උද්ඝෝෂණය කරන එකත් අමුත්තක් නොවෙයි… ඔවුන්ට වැරැද්දක් කියන්නත් බැහැ.. නමුත් කරගන්න එකා හරියට කරගෙන තමන් ගොඩ යනවා කියන එකත් අමතක කරන්න බැහැ.

ආරක්‍ෂක ලේකම් තුමා කියලා තිබුණා ආණ්ඩුව පෙරලන්න ඕන නම් ඡන්ද පොලේදී ඒක කරන්න කියලා… හරි විදියට නම් දැන් විපක්‍ෂයට පුළුවන් උගත් බුද්ධිමත් ඡන්ද අපේක්‍ෂකයෝ ටිකක් හොයලා ඡන්දයට ඉදිරිපත් කරන්න… ඡන්ද දායකයොන්ට පුළුවන් පගා මරුවො, මිනීමරුවෝ, කසිප්පු- කුඩු මුදලාලිලා, මැරයෝ ඔක්කොම ඉවතට දාලා රට ඉදිරියට ගෙනයන්න පුළුවන් කට්ටියක් පත් කරගන්න..

නමුත් පක්‍ෂ දෙකෙන්ම පත් කරන්නේ පරණ සෙට් එකම තමයි… මොකද කියනවනම් ලංකාවෙ දේශපාලනය කරන්න අවශ්‍ය සුදුසුකම් ඒවා පමණයි… මොළයක් ඇති වැඩක් කරන්න පුළුවන් දේශපාලනඥයො හිටියෙ ඉස්සර….. දැන් ඔක්කොම කෝටි ගණන් වියදම් කරගෙන එන්නෙ රටට ඇති ආදරේකට නෙවෙයි….තමන්ටයි තමන්ගෙ පරම්පරාවටයි කරගන්න….. ඒක ඉතින් අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ පව… !

අධ්‍යාපනය කියන්නේ රටක අනාගතය. ඒක අර පාරම් බාන දෙන්නට කියලා දෙන්න කෙනෙක් නැති එක ගැන දැක්කාම ලංකාවෙ ඉන්නෙ ඔක්කෝම අපෘෂ්ඨවංශීන් ද කියලත් හිතෙනවා…

යන ගමන් මේ සිංදුවත් අහගෙනම යන්න.. (සිංදුව විතරක් අහන්න ඕන නම් විනාඩි 2:00 ට යන්න) මේකෙ තියෙන්නෙ ඔක්කොම ඇත්ත නෙ…

2012 ජනවාරි 23: ජීවිතයක් පටන් ගත්ත හැටි….. කාටවත් නොකියූ කතාවක්…..

දිනය 1973 ජනවාරි 23 දා.

ස්ථානය රජයේ රෝහල ඇල්පිටිය

වේලාව මධ්‍යහන 12 පසු වී මිනිත්තු කිහිපයක්…

ඇල්පිටිය රෝහලේ සිය පළමු දරු ප්‍රසූතිය බලාපොරොත්තුවෙන් සිටි 26 හැවිරිදි තරුණ මවක් සූතිකාගාරය තුළට ලහි ලහියේ ඇතුළු කෙරුණා… මව ප්‍රමාණයෙන් කුඩා වීමත් රෝහලේ පහසුකම් මඳ වීමත් නිසාදෝ දරුවා ලැබෙද්දී මව ඉතා අසාධ්‍ය තත්ත්‍වයකයි පසු වුනේ.. මවට ඉතාමත් අසාධ්‍ය වූ නිසාම වහාම මව පමණක් කළුතර නාගොඩ රෝහල වෙත රැගෙන ගියත්, දරුවා දෙස බලන්නට කිසිවෙකු සිටියේ නැහැ. සිටියේ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යලයේ එවකට උසස් පෙළ හදාරමින් සිටි දරුවාගේ පුංචි අම්මා පමණයි. දරුවාගේ පියාත්, තවත් කිහිප දෙනෙකුත් කළුතර නාගොඩ රෝහලට ගියේ මවට අවශ්‍ය රුධිරය ලබා දීමට… නමුත් ඔවුනට දැනගන්නට ලැබුණේ ඇය ඉතාම අසාධ්‍ය තත්ත්‍වයේ කළුබෝවිල රෝහලට රැගෙන ගිය බවයි…

මේ අතර ඇල්පිටිය රෝහලේ තනිව සිටි මේ දරුවා නිවසට රැගෙන ගියේ අර දරුවාගේ පුංචි අම්මායි… තවමත් සෝදා පිරිසිදු වත් නොකළ මේ දරුවා පුංචි අම්මලා තිදෙනෙකුගේ රැකවරණය යටතට පත් වුනා… ගෙදර එළදෙනගෙන් දොවාගත් කිරි පාං තිරයකින් මේ දරුවාට පොවමින් මේ පුංචි අම්මලා තිදෙනාත් ආච්චීත් දරුවා බලා ගත්තත් ඔවුන්ගේ සිතේ තිබුණේ දරුවා ගැන හැඟීමක් නොවෙයි. ජීවිතයත් මරණයත් අතර පොරබදන තම දියණිය, තම සොහොයුරිය ජීවත් වේ දැයි යන සිතිවිල්ල… දරුවාගේ සීයාත් මාමලාත් දරුවා දෙසවත් නොබැලූවේ “අපේ කෙල්ල මරාගෙන උපන් එකා අපට වැඩක් නැත” යන හැඟීමෙන්…

දරුවාගේ මව අධික රුධිර වහනය නිසාම සිහි මුර්ඡා තත්ත්‍වයේ දින තුනක් ම පසු වෙලා තිබුණේ ඒ වනවිට… රුධිරය ලබා දුන්නත් ඒ කාළයේ තිබූ තත්ත්‍වය සහ පහසුකම් අනුව අවශ්‍ය රුධිර ප්‍රමාණය ලැබිලත් නැහැ… කෙසේ හෝ ජීවිතයත් මරණයත් අතර දින පහක් පොර බැදූ ඇය අවසානයේ ජීවිතය සොයා යළි පැමිණියා….

සියල්ලන්ටම සැනසුම් සුසුමක් හෙළුනේ එවිට ලු… දින කීපයකින් නිවසට පැමිණි ඇය පළමු වරට සිය පුතු දැක බලා ගත්තේ එදිනයි…. කොපමණ දරු මුණුබුරෝ සිටියත්, එදා පටන් ඒ පවුලේ සුරතලා වුනේ ඒ පුතු…. ඊට වඩා ලොකු පුතෙකු  ඒ මුණුබුරන් අතර සිටියත්, අර සැම දෙනාටම “ලොකු පුතා” වූයේ ඒ පුතු….. ජීවිතයේ නොයෙකුත් හැල හැප්පීම්, සමහට අනතුරුදායක අවස්ථා, ආදිය සියල්ල පසු කරමින් පැමිණි ඒ පුතුට දැන් අවුරුදු 39 ක්.. ඒ පුතු ඈ ලඟ දැන් නැති වුනත්, නිතරම ඈ ගැන සොයා බලනවා… මව තරම් ඒ දරුවාගේ පියා දුක් නොවින්දත්, අදත් ඒ දෙදෙනා ඒ පුතුගේ උපන් දිනය සිහි කර, අතීතය මතක් කරනවා. ඒක හැම අවුරුද්දකම සිදු වෙනවා…. මේ දැනුත් ඒක වුනා…

ඉතින් ඒ පුතු මේ ලෝකෙට ගෙන ආ ඒ දෙමවුපියෝ දෙදෙනා තමයි ඒ පුතුට ඉන්න ලොකුම සම්පත් දෙකක් වන්නේ…. ඒ පුතු තම උපන් දිනය සමරන්නේ තමන් ගැන මතක් කරලා නොවෙයි.. තමන් මේ ලෝකයට ගෙන ඇවිත්, මේ තාක් කල් හදා වඩා මෙසේ පොළවේ පය ගසා සිටීමට අධ්‍යාපනය, ගුරු හරුකම්, ගුණ යහපත් කම් කියා දුන් ඒ අමිල සම්පත් දෙකට නිරෝගී සුව, දීර්ඝායුෂ පතා…. ඒ දරුවා මුල සිටම හදා වඩා ගත් පුංචි අම්මලා මාමලා කාණ්ඩයට නිරෝගී සුව, දීර්ඝායුෂ පතා…. ඒ දරුවගෙ දෙමාපියන් බලා කියා ගන්න සහෝදරයාටත්, සහෝදරියටත් අපමණ ස්තුතිය, ප්‍රණාමය..

ඉතින් ඒ සියළු දෙනාට නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ…

මෙතෙක් කල් හෙවනැල්ලක් වගේ පස්සෙන් ආපු ඒ දරුවගෙ බිරිඳවත්, මේ ලෝකෙම එළිය කරන පැටියවත් අමතක කරන්නෙත් නැහැ…..

ඒ දරුවා ලියන දේවල බලන ඔබටත් බොහොම තුති…..

Follow

Get every new post delivered to your Inbox.

Join 31 other followers