Monthly Archives: දෙසැම්බර් 2010
2011 දී අළුතෙන් සිතමු…..
ඔන්න අදම මම දිනපොත ලියන්න ගත්තා….
අද 2010 වසරේ අවසාන දිනය, ලංකාවෙ අයට නම් අවසාන පැය කීපය. කොළඹ නම් බොහෝ දෙනෙක් ලොකු ලොකු සාද වලට යයි රුපියල් දස දහස් ගණනක් වියදම් කරලා. ගම්වල අය නම් ගෙදර පොල් තිබුනොත් හෙට උදේට කිරිබතක් උයලා ගෙදර ඉන්න අයත් එක්ක කාවි.
මට නම් අළුත් අවුරුද්දත්, පරණ අවුරුද්දත් වෙනත් දිනක්, එක හා සමානයි. දවසක් මාරු වෙන්න දින දර්ශනය දිහා බලනවා ඇරෙන්න සුවිශේෂ දවසක් මගේ දින දසුනේ නැහැ. මේ ඔක්කෝම දේ යම් යම් අය සිතින් මවාගත් දේ සහ වෙළඳ උපක්‍රම. මේ ගැන Richard Brodie ලියපු Viruses of Mind කියන පොතේ හොඳට විස්තර කර ගියෙනවා.
මම කියන්නේ නැහැ සාදවලට යන්න එපා කියලා. ඒක තම තමන්ගේ සමාජයීය ආර්ථික තත්ත්‍වය සහ කැමැත්ත. අපි හෙට සිට අනුන් ගැනත් තරමක් හෝ සැලකිලිමත් වෙමු. ඒ කියන්නේ දකින දකින හිඟන්නාට සල්ලි දෙන්න කියලත් නෙමෙයි. ඒ අනුන් ගැන සැලකිලිමත් වීම මම ඔබටම බාර කරනවා. ඒ මොකද කියනවා නම් සමහරු මුදලින්, සමහරු ශ්‍රමයෙන්, සමහරු දැනුමින් අනිත් අයට උපකාර කරන්නට පුළුවන් නිසා. ඔබට ගැලපෙන ක්‍රමය ඔබම තීරණය කරන්න.
ඒ වගේමයි. මොහොතක් නැවතිලා බලන්න; ඔබේ ජීවිතය ගිය අවුරුද්දේ සාර්ථකද ? අසාර්ථකද ? ඹබ කරන්නට හිතා සිටි දේ සියල්ල කරගත්තාද ? ඔබ ඉදිරියට ගිහින් ද – පසු පසට ගිහින් ද ? හෙට ලබන අවුරුද්දේ ඔබ කරන්නට හිතාගෙන සිටින්නේ කුමක්ද කියා….
ඒ අතරෙම අනෙක් අයට සුබ නව වසරක් කියන්නත් අමතක කරන්න එපා. එය හදවත පත්ලෙන්ම කියන්න.. හිනා වෙලා කියන්න… හෙට, කාටහරි පොඩි උදවුවක් කරන්න… වයසක කෙනෙකුට බස් එකට නගින්න උදවු කිරීම වගේ සුළු දෙයක් වෙන්න පුළුවන්… ඒත් ඒකෙන් ඒ මනුස්සයගේ මූණේ ඇඳෙන හිනාව ඔබට අවුරුද්ද පුරා මතකේ තියේවි…..
අද ඉඳලා අපි අළුත් විදියට සිතමු…
සුබ නව වසරක් වේවා…..