Monthly Archives: ජනවාරි 2011
2011 ජනවාරි 31 : මාසයක් ගතවුනා… දැනුනෙවත් නෑ…
අද ජනවාරි මාසේ අන්තිම දවස, මුලින්ම දිනපොත ලියන්න අරන් මාසයක් වෙනවා. මොන වැඩකටයුතු තිබුණත්, නිදාගන්න යන්න ඉස්සර දිනපොත අන්තර්ජාලයට එක් කරන එක පුරුද්දක් වෙලා. දවස් 31 ට විවිධ මාතෘකා ලියැවුනා. පෞද්ගලික අත්දැකීම් මෙන්ම කාට හෝ වැදගත් යමක් ලියැවුනා කියලා හිතෙනවා ප්‍රතිචාර දිහා බැලුවාම. මාසෙටම 1100 කට අධික ප්‍රමාණයක් දිනපොත බලලා: ස්තුතියි මගේ දිනපොත බැලුවාට. ඊටත් වඩා ස්තුතියි ප්‍රතිචාර වලට…
ඇල්කෙමිච්චි නම් කියන්නේ හැමදාම කියන බණේ මයි.. ගෙදරට කිසි වැඩක් නොකර ලෝකෙ හදන්න යන්න එපා කියලා… ඒත් එකෙක් හරි මගේ ලිපි බලලා අළුතෙන් හිතන්න පුරුදු වුනොත් ඒකත් ලොකු දෙයක්… මගෙන් ගෙදරට වැඩ නොකෙරෙනවම නොවෙයි, ඉතින් ඔය ඇල්කෙමිච්චි ඉන්නේ ගෙදරට වැඩ කරන්න… ( හෙට දිනපොත ලියැවුනේ නැත්තම් මාව බලන්න ක්‍රිස්ටියානා ඉස්පිරිතාලෙට එන්න….)
හැබැයි සමහර දේවල් අතපසු වෙනවා… අනේ ඉතින් අපිත් මිනිස්සු නේ….
ඇත්තෙන්ම කාලෙ ගියා නම් දැනුනෙම නෑ… පහුගිය මාසය දිහා බලත්දී මාසෙන් සතියක් පමණම ලෙඩ රෝග වලට ගතවෙලා… වැඩ නොකෙරුණාම නොවෙයි… මේ මාසේ වැඩිපුරම ගත වුනේ මගේ රසායනාගාරයේ පොඩි එවුන්ගේ වැඩවලට… මටයි කියලා වැඩ ගොඩක් කරගන්න බැරි වුනා. ඒත් මම ඔවුන්ට මඟ පෙන්වීමෙන් බොහෝ දේ ඉගෙන ගත්තා… වැදගත්ම දෙයකට කෙරුණේ කාලගුණ විප්පිරියාස ගැන දිග ලිපියක් ලියලා දිවයින පත්තරේට තැපැල් කළා…. කතෘ තුමාට හිතෙයිද දන්නෙ නෑ ඒක දාන්න….. දිවයිනේ දැම්මේ නැත්නම් වෙන පත්තරේකට වත් දානවා…
දැන් පොඩ්ඩකත් ආත්මාර්ථකාමී වෙලා මටම කියලා යමක් කරගන්න ඕන නිසා හදාගත්තා ලොකු වගුවක්.. මේ මාසය ඇතුළත නිම කරන්න ඕන සියළුම දෑ ඒකේ ලියාගත්තා… ඒ අනුව වැඩ කරනවා. මගේ බලාපොරොත්තුව මගේ මේ පර්යේෂණය මේ මාසය ඇතුළත නිම කරන්නයි. ඊට පස්සේ අළුතෙන් තවත් එකක් ගැන සිතාගෙන යනවා…
කාළය පියාඹා යන්නේ හරිම වේගවත්ව… කළ දෑ පිළිබඳ සිතා, කරන්න ඇති දෑ පිළබඳ තක්සේරුවක් කළාම තමන් යා යුතු ඉලක්කය ආසන්නයට හෝ යන්න පුළුවන්…
අපි බලමු, මේ ලියන කියන වැඩ කටයුතු අස්සේ මගේ රාජකාරි වැඩත් හරි ඉලක්කයට යාගන්න පුළුවන් වේද කියලා.. එකම පරහකට සිටින්නේ ලෝක කුසලාන තරඟාවලිය…. ඒක පටන් ගත්තාම නම් වැඩ කිරීමේ වේගය 1/10 ක් දක්වා අඩු වෙනවා… මොනවා කරන්නද ? අපි උපතින්ම ක්‍රිකට් පිස්සෝ නේ….
2011 ජනවාරි 30 : කියවන්න, තනියම බැරි නං තව කාත් එක්ක හරි කියවන්න….. ඕපාදූප නොවෙයි……… පොත්.
අද ඉරිදානේ… ගෙදර ඉන්න දවස…
අද නම් ටිකක් උදෙන් නැගිට්ටා… ඒ කියන්නේ 9.00 ට විතර… ඒත් ඇල්කෙමි පැටියා ඇඳට පැනලා නැගිට්ටවපු නිසා… උදේ (උදේ කියන්නම බෑ) නැගිටලා ඔන්න ඇල්කෙමිච්චිගෙන් ඉල්ලීමක් ආවා පළතුරු බීමක් හදන්න කියලා… සාමාන්‍යයෙන් ඉරිදාට පොඩි පොඩි විශේෂ කෑම හැදෙනවා ගෙදර, මම පළතුරු බීම හදන්න දස්සයා.. එක එක පළතුරු දාලා බ්ලෙන්ඩරේට දාලා ගත්තාම පාට පාට පළතුරු බීම හැදෙනවා… අපේ ගෙදර කවදාවත් කොකා කෝලා, ස්ප්‍රයිට් වගේ පැණි බීම ජාතිවත්, කෘත්‍රිම පළතුරු බීම ජාතිවත් නැහැ. අවශ්‍ය නම් පළතුරු ගෙනත් ගෙදර බීම හදාගන්නවා… ඒක ඇඟට ගුණයි…
ඉතින් දෙඩම් ගෙඩි 3 ක බික් අරගෙන ඇට අයින් කරලා, බ්ලූ බෙරි ගෙඩි 15 ක් සහ බ්ලැක් බෙරි ගෙඩි 10 ක් දාලා වතුර කෝප්ප එකහමාරක් දාලා හොඳට බ්ලෙන්ඩ් කළා… ඒක කෝප්ප 3 කට දාලා අයිස් ක්‍රීම් හැන්දක් බැගින් දාලා පවුලේ අයට පිළිගැන්වූවා… බ්ලූ බෙරි වෙනුවට මිදි ගෙඩි දාන්නත් පුළුවන්. තමන්ට කැමති විදියට කැමති පළතුරු දාගෙන හදාගන්න පුළුවන්..
මම කැමති අනෙක් බීම තමයි කැරට් යුෂ.. කැරට් අල කීපයක් සුද්ද කරලා බ්ලෙන්ඩරේට දාලා වතුර කෝප්ප කීපයක් දාලා දෙහි ගෙඩියක් ඉස්ම දාලා බ්ලෙන්ඩ් කළාම නියමයි… සීනි සහ ලුණු කැමති පදමට දාගත්තාම රස කියලා වැඩක් නෑ… කැමති නම් පෙරා බොන්නත් පුළුවන්, නැතිනම් කැරට් කැබලි එක්ක බොන්නත් පුළුවන්… කැබලි එක්ක බොනවා නම් ඇඟට තන්තු එක් වීමත් සිදු වෙනවා.. පැපොල් යුෂ බීමත්, පැණි කොමඩු බීමත් මගේ ප්‍රියතම බීම ජාති… හදලා බලන්න… කඩෙන් ගන්න බීම වලට වඩා ගුණවත්….
රූපවාහිනියේ Australian Open ටෙනිස් තරඟාවලියේ පිරිමි අවසාන තරඟය නැරඹුවා තුන් දෙනාම එක්ක… ඇල්කෙමි පැටියත් හරි හරියට අපිත් එක්ක ඒවා නම් බලන්න දස්සයා… ඊට පස්සේ අපි තුන් දෙනාම පුස්තකාලයට ගියා… ඇල්කෙමිච්චි පොත් කියවන්න හොර වුනාට පැටියාට පොත් කියවන එක ගැන නම් හරිම සතුටුයි… කියවනවා කිවුවට ගොඩක්ම ගෙදර ගේන්නේ කාර්, වාහන, සත්තු පිළිබඳ පොත්… පැටියට තවම කියවන්න බෑ, අපි තමයි කියවන්න ඕනා… මට මතකයි ඉස්සර අපේ ගෙදර තිබුණ පොත් කන්දරාව… ඒ විතරක් නම් මදෑ.. රසවාහිනී, නවයුගය, ශ්‍රී සඟරාව ආදී සඟරා… දවස, රිවිරැස, ආදී පත්තර වලින් ලබාගත් දැනුම තමයි මේ ඇඟේ තවම දුවන්නේ. දැනුත් පොතක් අහුවුනොත් කියවලා ඉවර වෙනකල් බිම තියන්නේ නැහැ…. දැන් නම් වැඩිපුර කියවන්නේ ආගම දහම, ජීවිතය හැඩගස්වාගන්න ආකාරය ගැන ලියැවෙච්ච පොත්. ඒත් අළුත් පරම්පරාව නම් රූපවාහිනියට දැඩි ලෙස ඇබ්බැහි වෙලා.. ඔවුන් කියවා දැනුම ලබා ගන්නවාට වඩා දැකලා (Visual learners) දැනුම ලබා ගන්නවා. ඒ වුනත් ඒ දැනුම මතකයේ රැඳීම තාවකාලිකයි.. ඒ නිසාම තමයි Semester ක්‍රමයට ඉගෙන ගන්නා අයගේ මතකයට වඩා අවුරුද්දක් පුරා ඉගෙනගෙන විභාගවලට මුහුණදෙන අයගේ මතකය වැඩි…
ඉතින්, ඔබේ දරුවාටත් නින්දට යනවිට හෝ කුඩා පොතක් කියවන්න පුරුදු කරන්න…. කියවීම මිනිසා සම්පූර්ණ කරනවා විතරක් නොවෙයි.. මිනිසා මිනිසෙක් කිරීමත් කරනවා… ඔබත් කියවන්න මැරෙනකම්ම ඉගෙනගන්නවානේ අපි…..
තනියම කියවන්න බැරිනම් කාත් එක්ක හරි කියවන්න…. ඕපදූප නෙවෙයි… පොත්..
2011 ජනවාරි 29 : පවුල් කෑම
අද සෙනසුරාදා : උදේ වැඩට ගියා..
ඇල්කෙමි පැටියා සතියේ දවස්වල ඉස්කෝලේ යන නිසා වේලාසනින් නිදි කරවනවා. හැබැයි සති අන්ත දවස්වල නම් තාත්තා ගෙදර එනකල් කොහොමහරි ඇහැ ඇරගෙන ඉන්නවා. පවුලේ ඔක්කොම එක්ක එකතු වෙලා රෑට කෑම කන්න පුළුවන් නිසා…. ඉතින් වැඩ ඇරිලා ගෙදර එනවිට ඇල්කෙමිච්චි ආප්ප හදලා…
ඔන්න ඉතිං රෑ කෑමට තුත්දෙනාම මේසයට වාඩි වුනා… ගෙදර ඉන්න කිටියත් පැත්තකින් වාඩි වුනත් එයා ආප්ප කන්නෙ නෑ… පොඩි වුනාට පොඩි එකාගෙ මුල්ම ප්‍රශ්නය වුනේ අද දවස කොහොමද කියලා.. රෑ කෑම මේසය හැම දෙනාටම කතා කරන්න විවෘතයි.. බොහෝ කතා මේ මේසයේදි සිදු වෙනවා. වැඩියෙන්ම ප්‍රශ්න නං අහන්නේ පැටියා… එයාට ලෝකේ නැති ප්‍රශ්න… ඒ ඔක්කෝටම උත්තර බඳින්නත් වෙනවා….
ඒ ඔක්කෝම ඉවර කරලා පැටියාව සෝදලා, කතා දෙකක් කියවලා, කාර් ගැනත් කතා කරලා නිදි කරවන්න අම්මාට බාර දීලා තමයි මේ සටහන ලියන්නේ….
පවුලක් වුනාම හැමෝම විවෘතව එකිනෙකාට කතා කරන්න පුළුවන් නම්, ඒක හැමෝටම හරි පහසුයි. ඒ විතරක් නොවෙයි පවුලේ බැඳීමත් වැඩි වෙනවා. මේ නිසාම දරුවන් දෙමව්පියන්ට දක්වන ඇල්මත් දෙමව්පියන් දරුවන්ට දක්වන ඇල්මත් යන දෙකම ඉතා ඉහළට යන්නේ මේ වගේ පවුලේ අවස්ථාවන් වැඩි වෙන තරමටයි.
දරුවන් සමග ගතකරන අවස්ථා වැඩි කරගත්තොත් ඔබ දරුවන් නිසා හිත් කළකිරවගන්න අවස්ථා ප්‍රමාණයත් ඒ හා සමානව අඩු වෙනවා….
ඉතින් දහසක් වැඩ තිබුණත්, ලෝකේ මොන රාජකාරි තිබුණත් අපගේ ඉහළම සම්පත දරු සම්පතයි… ඔවුන් හරියට හදාගත්තොත් ආඩම්බරයත් නරකට හැදුනොත් අවමානයත් ඔබටමයි…
2011 ජනවාරි 28 : පිරිසිදු පරිසරයක වැඩ කරනවිට කාර්යක්‍ෂමතාවය වැඩි ද ?
හිම පතනයෙන් පස්සේ පාරවල් තරමක් සුද්ද කරලා… වාහන යන්න පුළුවන්…. මිනිස්සු නැවතත් පුරුදු පරිදි වැඩට බැහැලා.
අද අපේ රසායනාගාරයට අළුතෙන් කැබිනට් දෙකක් ලැබුනා. බොහෝ කාලයක් තිස්සේ සැපයුම් අංශයේ හිරවෙලා තිබිලා අද තමයි ගෙනාවේ. මම මේ ගැන නිතරම මතක් කරමින් සිටියේ. මොකද කියනවා නම් සමහර රසායන ද්‍රව්‍ය තවමත් තබා ඇත්තේ රසායනාගාරයේ මේස මත. එය එතරම් ආරක්‍ෂාකාරී දෙයක් නෙවෙයි. සෑම දෙයටම නියමිත තැනක් තියෙනවා. මේ නිසා අපට කැබිනට් දෙකක් ලැබෙනවා නම් හොඳයි කියලා අපි ගොඩක් කල් ඉඳලා ඉල්ලලා සිටියේ.
මේ නිසාම දැන් අපේ රසායනාගාරය නැවත සුද්ද කරලා, නියමිත දෑ නියමිත තැන්වල තියලා පිළිවෙලක් කරන්න පුළුවන්. කැබිනට් දෙක බිත්ති වලට සවි කරන්න සඳුදා වෙනකල් බලන් ඉන්න වුනත්, ශිෂ්‍යයෙක් එක්ක මම බොහොමයක් රසායන ද්‍රව්‍ය යම් පිළිවෙලකට තැබුවා. කැබිනට් සවි කළාට පස්සේ එය අඩුක්කු කරන එක විතරයි දැන් තියෙන්නේ…
යම් තැනක ඇති දේවල් පිළිවෙලට තිබෙනවා නම් සොයාගන්න හරිම ලේසියි. මේ නිසා ඒ දේවල් සොයාගන්න අමතර කාළයක් වැය කරන්න ඕන වෙන්නේ නැහැ. 5S කියන ක්‍රමයෙන් හඳුන්වා දී තිබෙන්නේ මෙයයි. බොහෝ පෞද්ගලික අංශයේ සේවා ස්ථානවල මෙම එස් 5 සහ එයටත් වඩා ගැඹුරුව විහිදුන ප්‍රමිතිකරණ ක්‍රම උපයෝගී කරගෙන කාර්යක්‍ෂමතාවය සහ ඵලදායීතාවය වැඩි කරගන්නවා.
- Seiri – Sorting – වෙන්කිරීම
- Seiton – Straightening or Setting in Order – පිළිවෙලකට තැබීම
- Serso – Systematic Cleaning – ක්‍රමාණුකූල පිරිසිදුකිරීම
- Seiketsu – Standardizing – ප්‍රමිතිකරණය
- Shitsuke – Sustaining discipline – විනයක් ඇතිව පවත්වාගෙන යාම
මෙසේ එස් 5 වැඩ පිළිවෙලට අනුව කටයුතු කරන විට කිසිදු දෙයක අපිළිවෙලක්, අස්ථානගත වීමක් ආදිය සිදු වන්නේ නැහැ. සෑම දෙයක්ම ක්‍රමාණුකූලව කරන්න පෙළඹෙනවා. එපමණක් නොවෙයි, ඉක්මනට යමක් කරන්නත්, එමඟින් කාර්යක්‍ෂමතාවය, ඵලදායීතාවය ඉබේම වැඩි වෙනවා……. මුලදී තරමක් අමාරුයි හැඩ ගැහෙන්න.. නමුත් කාළයක් යනවිට ඉබේම පුරුදු වනවා…
මේ නිසාම
6. Safety – අනතුරු රහිත හෝ අඩු වීම
7. Security – ආරක්‍ෂාව
8. Satisfaction – සන්තෝෂය
ඇතිවෙනවා… මේ නිසා සේවා ස්ථානය ප්‍රියජනක තැනක් වෙනවා.
මමත් හිතන් ඉන්නේ මෙම එස් 5 වැඩපිළිවෙලින් ටිකක් හෝ රසායනාගාරයට ඇතුලත් කරන්න… බලමු, මගේ උත්සාහය සාර්ථක වේද කියලා….
ඔබත් පිළිවෙලකට වැඩ කරන කෙනෙක් ද ?
2011 ජනවාරි 27 : හිම වරුසා වැහැලා…… පලාතම සුදු පාටයි….
ඊයෙ රෑ ගෙදර ආවේ මහා හිම පතනයක් මැද්දේ. ගෙදර එනකොට පාර ආඳා වගේ ලිස්සනවා… යන්තම් වාහනේ නවත්තලා ගෙට පැනගත්තා… අද උදෑසන වනවිට අඩියක් පමණ හිම පතනයක් වෙලා…. වාහන පේන්නෙත් නෑ පාරක් පේන්නෙත් නෑ. වටේම සුදුම සුදු පාටයි…
ඇල්කෙම් පැටියාට Snow man කෙනෙක් හදන්න ඕන වුනා… බැල්කනිය පුරවලා හිම… ඒවා බාල්දියකට දාලා හැදුවා උස හීන්දෑරි හිම මිනිහෙක්… සාමාන්‍ය හිම මිනිස්සු රවුම්, මහත අය… අපේ ගෙදර අය ටිකක් කෙට්ටු නිසා හිම මිනිහත් කෙට්ටු වෙලා…
ඊට පස්සේ කාර් එක සුද්ද කරන්න ගියා… පාර සුද්ද කරන වාහනේ ඇවිල්ලා අඩි දෙකක විතර හිම තට්ටුවක් කාර් එක ඉදිරියේ තැන්පත් කරලා ගිහින්.. කාර් එක වටේ ගියෙන හිම ටික සවලකින් අයින් කරලා ඇල්කෙමිච්චිගෙන් සහ ඇල්කෙමි පැටියාගේ සහයෙන් යන්තම් කාර් එක පිරිසිදු කරගත්තා… බඩේ six packs එන තරමට ව්‍යායාම කරන ආකාරයටම හිම කුට්ටි අයින් කරලා රසායනාගාරයට යන්න පිටත් වෙනකොට දවල් 12 විතර වෙලා. අද කොහොමත් විශ්ව විද්‍යාලය වහපු නිසා යන්නම අවශ්‍යතාවයක් නැති වුනත්, පොඩි එවුන් ඇවිත් ඇති නිසා ගිහින් බලලා එන්න සිතුවා. විශ්ව විද්‍යාලයේ වාහන නවත්වන ස්ථාන තවමත් පිරිසිදු කරලා නැහැ. ඉඩ ඇති තැනකින් නවත්වලා රසායනාගාරයට ගියා. හිතුවා වගේම පොඩි එවුන් දෙන්නෙක් ඇවිත්.. උන් දෙන්නත් ටිකකින් ගෙවල් බලා යනවා කිව්වා. ලොක්කා ඇවිත් නෑ.. වෙලාවකට තරහත් යනවා ලොක්කා එක්ක… හරියට අපිට ඕනවට වගේ රසායනාගාරයේ වැඩ කෙරෙන්නේ….
මෙහේ තියෙනවා තොග කඩවල මිලට බඩු ගන්න පුළුවන් විශාල වෙළඳසැල් සමුහයක්, Costco, BJ’s, Sams Club, යන නම් වලින්. බොහෝ දෙනෙක් ඒවායේ සාමාජිකත්‍වය අරගෙනයි ඉන්නේ. මේ නිසා තරමක් අඩු මිලට එකවර එක් භාණ්ඩ වර්ගයකින් තරමක විශාල ප්‍රමාණයක් ගන්නා විට සෑහෙන්න අඩු මිලට ලැබෙනවා. එවැනි ස්ථානයකින් බඩු ටිකකුත් අරගෙන ගෙදර ආවා. කාලා බීලා ටිකක් නිදහසේ ඉන්නවිට ඇල්කෙමිච්චිට මතක් වුනා අද පොඩි එවුන් (සහ ලොකු එවුන්) හිම මත ලිස්සා යාමේ ක්‍රීඩා කරන තැනක්.. හිම වැටෙන දවස්වලට පවුල් පිටින් එතැනට එනවා.. එතැන හිම මත ලිස්සා යාම සඳහාම පොඩි කන්දක් හදා තිබෙනවා. එතැනට යනකොට සෙනඟ පිරිලා. ලොකු කුඩා භේදයක් නැතිව හිම මත ලිස්සා යනවා කන්ද උඩ සිට… ඒත් අනෙක් අයගේ ආරක්‍ෂාව පිළිබඳ හැමෝම සැලකිළිමත් වෙනවා… ඇල්කෙමි පැටියාට එපා වෙනකල් එතැන හිම මත් ලිස්සා ගිහින් ආයෙම ගෙදර ආවා..
ඔන්න ඔහොමයි අද දවස ගෙවුවේ…. ඒ වුනාට සොබා දහම සමඟ ඔට්ටු අල්ලපු නිසාම ඇඟපත හොඳට රිදෙනවා… ඇල්කෙමිච්චිට කියලා කොත්තමල්ලි ටිකක් හදවගෙන බොන්න ඕන……
2011 ජනවාරි 26 : සැනසීම ලැබෙන්නේ ඉවසන්නාටය….
අද 26 යි අද අපේ නගාගේ උපන්දිනේ… ඈට සුභ උපන් දිනයක්…..
උදෑසන ඇහැ ඇරෙනවිට නැවතත් හිම කන්දක් වැටිලා… කාළගුණේ මහත්තය හිම වැටෙන කතාවක් කිවුවෙත් නෑ… ඒත් අඟල් 3 ක විතර හිම තට්ටුවක් හැමතැනම… පොඩි එකාගේ ඉස්කෝලෙත් වහලා… ඉතින් ඒකාවත් පංගාර්තු කරගෙන කාර් එක පිරිසිදු කළා.. ඊට පස්සේ රසායනාගාරය බලා වාහනේ පැද්දා, බොහොම හෙමින්…… හිම වැටුන නිසා අද වොලිබෝල් තරඟයත් කල් දාලා… කොහොම වුනත් අද අපත් එක්ක ක්‍රීඩා කරන්න නියමිතව තිබුණේ බොහොම දුර්වල කණ්ඩායමක්… ලබන සතියේ දෙනවා වැඩේ…
රසායනාගාරයේ වැඩත් කරදරයක් නැතිව ගත වුනා.. ඊට පස්සේ තමයි ආයෙම හිම වැටෙන්න පටන් ගත්තේ.. ඒ වතාවේ නම් හිම වැටුනේ වැස්සත් සමඟ… මේ නිසාම වාහනය පැදවීම තරමක් අපහසුයි… ඒත් සමහර කලබල කාරයෝ හයියෙන් යන්න ගිහින් අනෙක් වාහන වලත් ලයිට්කණු වලත් තාප්ප වලත් හප්පගෙන ඉන්නවා දකින්න පුළුවන්…
මොකක්ද මේ කළබලේ ? හිම වැටෙන විට පාරවල් ලිස්සන බව දැන දැනත්, ඔවුන් පිස්සන් වගේ පාරේ වාහන එළවන්නේ… මේක ලංකාවෙත් බොහොම පොදු ලක්‍ෂණයක්… වාහනේ පදවන්නේ හෝන් එකට එක අතක් තබාගෙන.. මෙසේ කලබලෙන් ගියත් වැඩිම වශයෙන් විනාඩි 5 කට වඩා වෙලාවක් ඉතිරි කරගන්න වෙන්නේ නැහැ. ඊට වඩා භයානකයි අනතුරුදායක ලෙස වාහන පැදවීම… වේලාසනින් කොතැනකට හෝ යාමට අවශ්‍ය නම් කළ යුත්තේ තරමක් කල් වේලා ඇතිව නිවසින් පිටත් වීම විනා සියල්ලන්ම කරදරේ දමාගෙන අනතුරුදායක ලෙස වාහනය පැදවීම නොවෙයි.. පුද්ගලික බස් එලවන අයට මේ බ්ලොග් එක බලන්න වෙලාවක් නැති නිසා ඒ අය ගැන කියන්නේ නැහැ මෙතන…
අනුන්ට ඉවසන්න කියලා බණ කියන මට අද මගේ පුතාම කියනවා.. තාත්තා… Be patient… කියලා… ඒ ඒකව නිදි කරවන්න ඇඳට ආවෙ නැති වුනාම මම කෑගැහුවා කියලා… ඔන්න දැන් හැදෙන එවුන්…..
ඉතින් පොඩ්ඩක් ඉවසලා හෙමින් යන්න පුරුදු වෙන්න… පරක්කු වෙනවා නම්, ගෙදරින් පොඩ්ඩක් වේලසනින් පිටවෙන්න…. ඒක හිතටත් ඇඟටත් ගුණයි..
අර ඉස්සර සන්ෆ්ලවර් ලාගේ සින්දුවක් තියෙන්නේ…
අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ…………. කියලා….
2011 ජනවාරි 25: ස්තුතියි…. සුභ දවසක්….
හැමදාම වගේ අද උදේම කොලු පැටියාව ඉස්කෝලෙ පන්තියට අරන් ගියාම ගුරුතුමිය අපත් සමඟ කතා කරලා සැප දුක් අහනවා… ඒක ඉතින් හැදාම පුරුද්දක් වගේ……. නමුත්, එය හැම දෙමවුපියෙකුටම හරි වටිනවා…. ඒ තමන් තම දරුවාගේ ගුරුතුමිය පෞද්ගලිකව හමුවීම නිසා ඔවුන් අතර යම් සබඳතාවයක් ගොඩ නැඟෙනවා.. එය දරුවාටත් ගුරුවරුන්ටත් ලොකු වාසියක්….
පාසලේ ප්‍රධාන දොරටුව නිතරම වසා අගුළු දමා තියෙන්නේ. මෙහි දරුවන්ගේ ආරක්‍ෂාව පිළිබඳ ඕනැවටත් වඩා සිතනවා. මේ නිසාම එක් ගුරුවරියක් නිතරම ප්‍රධාන දොරටුව අසළ රැඳී සිටිනවා පාසල පටන් ගන්නාතෙක්… එතැන සිට එය බලා ගන්නේ පාසලේ ලේකම් වරියක්..මේ සැම දෙනාම හරිම නිහතමානීයි.. නිතරම ප්‍රිය වචනයෙන් කතා කරන්නේ… සෑම දෙනාටම ප්‍රියමනාප විදියට සළකනවා…කිසිම විටක සැරෙන් කතා කරනවා ඇසී නැහැ. දරුවනට වුවත් හැකි තරම් හොඳින් කතා කරලා ඒ කාර්යය කරවගන්න බලනවා… බැරිම වෙලාවට තමයි දඬුවමක් දෙන්නේ (මේ ක්‍රමය නම් වැඩිය මා අනුමත කරන්නේ නැහැ, ටිකක් දඬුවම් දෙන්න ඕනා)
කොතැනකට ගියත් ඔවුන් කාටත් සලකන්නේ තමන්ගෙන් සේවයක් ගන්න ආපු කෙනෙකුට වගේ.. නැතිනම් කස්ටමර් කෙනෙකුට වගේ.. කාරුණිකව, නිහතමානීව… මේ නිසාම බොහෝ දෙනෙක් ඒ ඒ ආයතනයෙන් පිටතට යන්නේ නැවත ඒ තැනට පැමිණෙන අදහසින්… නමුත් රාජ්‍ය අංශයේ මේ කටයුත්ත ලංකාවට නොදෙවනි නැහැ… එසේ නමුත් මඟ තොටදී වුවත් හමුවන බොහෝ දෙනා අවම වශයෙන්වත් සිනාවකින් වත් සංග්‍රහ කරන්න අමතක කරන්නේ නැහැ.. නමුත් ලංකාවේ මෙසේ කරන්න අමාරුයි… මොකද ගැහැණු ළමයෙක් එසේ හිනා වුනොත් අනෙකා හිතන්නේ වැඩේ හරි කියලා… පිරිමි ළමයෙක් එසේ සිනා වුනොත් හිතන්නේ මනමාල කමට එනවා කියලා… වැඩෙත් බලාගෙන ගියාම ඇත්ත… බොහෝ දෙනා අනෙක් පක්‍ෂය දිහා බලන්නේ සුභවාදීව නොවෙයි.. එසේම එයට හේතු ද තියෙනවා.. මේ ගතියෙන් ඈත්වෙන්න ලාංකිකයාට බොහෝ දුර යන්න තියෙනවා… එසේමයි… ගෑණියෙක් ගේ කකුලක් යන්තම් දණහිසට ඉහළින් දැක්කොත් සමහර පිරිමි සිතෙන්ම ඒ ගැහැණිය නිරුවත් කරලා හමාරයි.. ඒ මදිවට ආණ්ඩුවත් තව තවත් තහංචි දානවා.. මේ නිසාම බොහෝ දෙනෙකුගේ සිත් හැම අතින්ම අසහනයෙන් පිරිලා… මේකට විසඳුමක් නම් මටත් හිතාගන්න අමාරුයි…
පොඩ්ඩක් මාතෘකාවෙන් ඈතට ගියා…
ඉතින් ඔබත් අනුන්ට නිහතමානී ලෙස සළකනවාද ? අවම වශයෙන් කාර්යාලයේදීවත් ? තමන්ගෙන් සේවයක් ගන්න එන අහිංසක මනුස්සයෙකුටවත් ඔබ කාරුණිකව කතා කරනවාද ?
හිතලා බලන්න… නැතිනම් අද ඉඳලා එසේ කරන්න… බලන්න අවට අය ඔබ ගැන ප්‍රසංශා කරන අයුරු… සමහර විට ඔබටම දැනේවි ඔබේ වෙනස…
2011 ජනවාරි 24 : Global Warming නිසා වෙච්චි ඇබැද්දියක්………….
ඔන්න ඉතිං 22 රෑ උපන්දිනය සමරලා නිදිමතේ සීතලේ ගෙදරටම වෙලා ඉරිදා දවස ගෙවලා දැමුවානේ….. කම්මැලි කමට අඩුම ගානේ කාර් එක start කරන්නවත් ගියේ නෑ. ඒ තරමට සීතලයි… ෆැරන්හයිට් වලින් ම 14 යි, ඒ කියන්නේ සෙල්සියස් නම් ඍණ 10 යි… ලංකාවේ උන්දලා ධන 16ට බැස්සාම කෙඳිරි ගෑවා නේ පහුගිය දවස්වල…. මෙන්න මෙහෙමයි අපි කටු කන්නේ….
ඉතින් ඔන්න සඳුදා උදේ වැඩට යන්න හිතාගෙන කාර් එක start කරන්න බැලුවා… කර කර ගානවා විතරයි කෝ හෙල්ලුම් පොල් මැල්ලුම්…. අරහෙන් ඇල්කෙමිච්චි බනිනවා, “ ඕකනේ මම කිවුවේ ඊයේ පොඩ්ඩක් කාර් එක start කරලා එන්න කියලා…කොහේද අහනවා යැ….. ලැබ් එකට විතරයි මොලේ තියෙන්නේ….” කියන සුපුරුදු දේශනාව…. ඒ අස්සේ කොළු පැටියාව ඉස්කෝලේ දාන්නත් ඕනා…
ඒ අතරේ තමයි අපේ apartment complex එකේ නඩත්තු කටයුතු කරන වයසක මනුස්සයා වාහනෙන් එතැනින් ගියේ… එතකොටම දුවලා දුවලා ගිහින් ඒ මනුස්සයව කතාකරගෙන ඇවිත් jump start පාරක් දාලා යන්තම් start කරගත්තා… එහෙම කරගෙන කොළු පැටියගේ ඉස්කෝලෙට ගිහින් දාලා මගේ රසායනාගාරය ලඟට ඇවිත් බැහැලා කාර් එකේ යතුර අරගෙන ඇල්කෙමිච්චිගෙ යතුර දාලා start කරන්න හැදුවා විතරයි ආයෙම sorry…. ඔන්න එතින හිටපු අපේ චයිනීස් යාළුවෙකුගේ කාර් එකකින් ආයෙම Jump start පාරක් දාගෙන ගරාජයකට ගිහින් අළුගෙන් බැටරියක් දාගත්තා… ඒ අතරෙම කැඩිලා තිබුණ බල්බයකුත් මාරු කරගෙන වැඩේ ඉවර වෙනකොට ඩොලර්ම 150 කට වැඩේ සිද්ධ වෙලා… දැන් ඉතින් අළුතෙන් බැටරියක් දාන්නත් කාළේ හරි.. ඒ නිසාම වැඩිය දුකක් නැහැ..
ඒත් මම මේ සිද්ධියේ සම්පූර්ණ වගකීම පවරන්නේ Global warming වලටයි. ඒක එහෙම වුනේ නැත්නම් අපට මෙච්චර සීතල වෙන්නේ නෑ.. සීතල නොවුන නම් බැටරිය විසර්ජනය වෙන්නෙත් නෑ… එහෙම නොවුන නම් ඩොලර් 150 ක් යන්නෙත් නෑ… මේ ඔක්කෝම global warming නිසා…
හොඳයි හෙම නෑ කියලා කාරණා සහතව ඔප්පු කරන්න බලන්න…..
2011 ජනවාරි 23 : 18 වන උපන් දිනයේ 20 වන සංවත්සරය සැමරීමි
අද 23 යි: කොච්චර නාකි වුනත්, හැම අවුරුද්දෙම ජනවාරි 23 වෙනකල් බලන් ඉන්නේ පොඩි කාලේ වගේ උපන් දිනය එනකල්. පොඩි කාලේ නම් අම්මාගෙනුයි තාත්තාගෙනුයි මොකක් හරි පොඩි තෑග්ගක් ලැබෙනවා. පොටෝ කෑල්ලකුත් ගන්නවා… පස්සේ පස්සේ ඒවා කිරිබත් හැදීමකට සහ පොතකට හෝ වෙනත් සුළු දේකට සීමා වුනත්, හිතේ තරහක් තිබුනේ නැහැ. ඊටත් පස්සේ යාළුවොත් එක්ක උපන් දිනේ සමරන්න පුරුදු වුනත් හැමදාම වගේ දෙමවුපියන්ගෙන් සහ ඥාතීන්ගෙන් උපන් දින සුභ පැතුම් ලැබුනා. ඊටත් පස්සේ ඒ අයට අමතරව එක එක ගෑණු ළමයින්ගෙනුත් උපන් දැනයට විවිධාකාර දෑ ලැබුනා.. ඒවා මෙතන කියන්න ගිහින් ඇල්කෙමිච්චිගෙන් ගුටි කන්න වෙනවා. පිළිවෙලක් වුනාට පස්සේ නම් පහුගිය කාළේ දිගටම තෑගි, surprise birthday party වගේ දෑ ඇල්කෙමිච්චිගෙන් ලැබුණා.
පහුගිය අවුරුදු තුනේම මගේ උපන්දිනය සැමරුවේ වෙනත් අයත් එක්ක බෙදාගෙන. 2009 දි එය සැමරුවේ අමුත්තන් 200 ක් පමණ සහභාගි වුන මල්ලීගේ විවාහය දා. කේක් ගෙඩිය කපන්න 4 දෙනයි. 26 දා උපන් මගේම නංගියි, 27 දා උපන් සුදු නංගි සහ කළණි නංගි කියන ඥාති සහෝදරියන් දෙන්නයි සමඟ බෙදා හදාගෙන තමයි එදා උපන් දිනේ සැමරුවේ. 2010 සැමරුවේ ජනවාරි 24 වෙනිදා උපන් තවත් යෙහෙළියක් සමඟ ඇයට Surprise එකක් කරන්නට. ඊයේ තිබූ මගේ මිතුරාගේ විවාහ සංවත්සරය සමඟ ඒකාබද්ධ කරලා 2011 උපන් දිනය සැමරුවා.
උදේ වනවිට මූණු පොතට උපන් දින සුබ පැතුම් සෑහෙන ප්‍රමාණයක් ලැබී තිබුණා. ඒ සැමට ස්තුතියි. තව ටිකකින් ඒ ගැන කියලා Post එකක් දානවා පොදුවේ.. ඉතින් මේ සැම දෙනාම යන්තම් හෝ මගේ මිත්‍රත්වය ගැන සැලකිල්ලක් ඇති අය. ඒ ගැන ඇත්තේ සංතෝසයක්. අනේ මමත් තවත් අයට වැදගත් කිනම් අයුරකින් හෝ වැදගත් නේද කියලා හිතෙනවා.
මගේ ජීවිතයේ ගෙවුනු කාළය පිළිබඳ මට ඇත්තේ මිශ්‍ර හැඟීමක්. සමහර විට මම මීට වඩා උනන්දු වුනා නම් මීටත් වඩා හොඳ තැනක ඉන්න තිබුණා. නමුත් මම මගේ පවුල, ඥාතීන් සහ මිත්‍රයන් සමඟ මේ ගත කරන ජීවිතය ඒ සමාජමය වශයෙන් අසාර්ථක වෘත්තීයමය සාර්ථකත්‍වයට වඩා වටිනවා. අතක් පයක් කඩා නොගෙන මේච්චර දුර ආපු එක ගැන නම් ඇත්තේ අප්‍රමාණ සංතෝෂයක්…….. ඒ මගේ දැක්ම.
සමහර අවුරුදු වල නම් පන්සලට දානයක් දී හෝ නැති බැරි අයට දානයක් දී උපන් දිනය සැමරුවා. බොහෝ දෙනා එසේ නැති බැරි අයට, ළමා නිවාස වලට, වැඩිහිටි නිවාස වලට දාන දී උපන් දිනය සමරනවා. එය ඉතා හොඳ ක්‍රියාවක්. පින් ලැබීම කෙසේ වෙතත්, එය ලබන්නාගේ සිතේ ඇතිවන පහන් සිතුවිලි නිසා ඔබට අත්වන සුවය නම් අනන්තයි.
ඉතින්, මට මගේ උපන් දිනය හැමදාම විශේෂයි. ඒ මගේ මමත්වය නිසා. මම බ්ලොග් ලියන්නෙත්, මගේ වෘත්තීයමය ජීවිතය සහ සමාජයීය ප්‍රතිරූපය ඉහළට නංවන්න තැත් කරන්නෙත් මගේ ඇති මමත්වය නිසා. මෙය කාටත් පොදුයි. කවුරුහරි කියනවා නම් තමන් පොදු සේවයට කැප වෙලා ජීවත් වෙනවා කියලා, ඒක අමූලික බොරුවක්. ලෝකයේ කිසිම දේශපාලුවෙක් අනුන්ට සේවය කරන්න දේශපාලනය කරන්නේ නෑ වගේම ලෝකයේ කිසිම කෙනෙක් අනුන් වෙනුවෙන් ජීවිතය 100% ක් කැප කරන්නෙත් නෑ… ඒක තමයි මේ ලෝකයේ හැටි…
2011 ජනවාරි 22 : හොඳ මිතුරු සමාගමයක සුව පහස….
අද 22: මගේ හොඳම මිතුරෙක් සහ ඔහුගේ බිරියගේ විවාහ සංවත්සර දිනය… තව ටික වෙලාවකින් අපි එහි යනවා සාදයකට…
හෙට මගේ 18 වන උපන් දිනයේ 20 වන සංවත්සරය… ඒකත් මේ සමඟම සමරන්නයි හිතන් ඉන්නේ… ඒ නිසාම අද සටහන බොහොම කෙටි එකක්… වැඩි විස්තර හෙට දිහාට ….
නමුත් නවතින්න කළින් එකක් කියන්න ඕනා.. අපට තනිව කොහේවත් ජීවත් වෙන්න බැහැ… මිතුරු මිතුරියන් අත්‍යවශ්‍යයි….ඔවුන් මට ඉන්නා ආකාරයේ හොඳ මිතුරන් නම් ඒ මිතුරන් හා ගත කරන කාළයේ සුවය තවත් වැඩියි… කාගෙවත් කුණු අවුස්සන්නේ නැතිව, එකිනෙකා කොටවන්නේ නැති, විනෝදයට බර, එකිනෙකාට උදවු කරගෙන ඉන්න මිතුරු මිතුරියන් පිරිසක් ඔබටත් ඉන්නවා නම්, ඔබත් වාසනාවන්තයි…
මගේ මිතුරු මිතුරියෝ නම් ඉහත කී ආකාරයේ මිතුරු මිතුරියෝ පිරිසක්.. අපි එක දවසක් වෙන් වෙලා ගියාම, ඊළඟට හමු වෙන දවස වෙනකල් ඇඟිලි ගැණ ගැණ ඉන්නේ…. මොකක් හරි හේතුවක් යොදාගෙන හමු වෙනවා…
ඒ අතින් අපි හරිම වාසනාවන්තයි….
මේ සටහන – ඩෙලවෙයාර් මේරිලන්ඩ් සහ පෙන්සිල්වේනියා ප්‍රාන්තවල ජීවත් වෙන මගේ හොඳම මිතුරු මිතුරියන් වෙනුවෙන්…