Daily Archives: ජනවාරි 2, 2011
2011 ජනවාරි 02 : වාසනාව දොර ඇරලා බලනවා…..
“අනේ ඔයාලා හරිම වාසනාවන්තයි” කියලා ඊයේ පන්සලට ආපු කෙනෙක් – තවත් කෙනෙකුට කියනවා ඇහුනා…. මට ඒ වෙලාවෙ ආපු සිතිවිල්ල තමයි, වාසනාව කියන්නේ හරියටම මොකක්ද කියලා… නිතැතින්ම මතකයට ආවේ “වාසනාව යනු ඕනෑකමයි” යනුවෙන් ගාල්ල “ඉගෙනුම” පෞද්ගලික ඉගැන්වීම් ආයතනයේ බිත්තියක ලියා තිබූ වැකියයි.
වාසනාව යනු ඕනෑකමද ? වාසනාව විග්‍රහ කරන මේ අර්ථ දැක්වීමට අනුව,
Luck or fortuity is good or bad fortune in life caused by accident or chance, and attributed by some to reasons of faith or superstition, which happens beyond a person’s control.
වාසනාව හෝ අවාසනාව කියන්නේ අහඹුතාවයක්. යමෙකු, යමක් සිද්ධවන අවස්ථාවේ එතැන සිටීමේ අහඹුතාවය (right person in the right place at the right time) තමයි වාසනාවට/ අවාසනාවට හේතු වෙන්නේ….
උදාහරණයක් ලෙස කිසිවෙකු ලොතරැයියක් ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ගනිමු.ලොතරැයිය ජයග්‍රහණය කිරීම සඳහා එය මිලදී ගත යුතු අතර ඒ සඳහා සිතිවිල්ලක් පහළ විය යුතුයි. එසේ පහළවන සිතිවිල්ල මෙහෙයවා යම් ස්ථානයකට ගොස් ලොතරැයිය මිල දී ගත යුතුයි. මෙසේ මිලදී ගන්නා ලොතරැයිය දිනුම් අදින අවස්ථාවේ සියළු සම්භාවිතාවයන් එකිනෙකට පෙළගැසී ඒ අංක සියල්ල පැමිණිය යුතුයි. මෙය සාමාන්‍යයෙන් දුර්ලභ අවස්ථාවක්. ලොතරැයි ඇදෙන්නේ බොහොම කළාතුරකින්….
එසේමයි අනෙක් වාසනාවන්ත / අවාසනාවන්ත අවස්ථා: කෙනෙකු මරණයෙන් බේරීම, තවත් කෙනෙකු අනතුරකට පත්වීම, කෙනෙකු හමුවීම, ආදී මව්කුස පිළිසිඳ ගැනීමේ අවස්ථාවේ සිට මරණය දක්වා අපේ ජීවිතයේ සියළුම කරුණු මෙන්න මේ අහඹුතාවයේ ප්‍රතිඵලයන්….
මේ අහඹුතාවයන් මෙසේ පෙළ ගැසෙන්නේ ඇයි ? ඒ එක් එක් පුද්ගලයාගේ කර්ම ශක්තිය අනුවයි. මේ අහඹුතාවයන් වෙනස් කිරීමට කිසිදු අයෙකුට නොහැකියි. එසේ වෙනස් කිරීමට සිතීමත් කර්මය අනුව බලපවත්වන්නක් නොවේද ? මට සිතෙන විදියට අපේ ජීවිතයේ සෑම අවස්ථාවක්ම මේ කර්ම ශක්තිය මත බලපවත්වන අහඹුතාවයේ ප්‍රතිඵලයයන්.
ඔබට කොහොමද හිතෙන්නේ ඒ ගැන ?….. අපි සාකච්ඡා කරමු….
01-01-11 ඔබ යන්නේ කොහිද ? කෙසේද ?
අද ජනවාරි පළමු වෙනිදා. රෑ තිස්සේ පාටි දාලා ඇහැ ඇරෙනකොට උදේ 10 යි. ඇල්කෙමිච්චි හදපු කිරිබත් දහවල් බුද්ධ පූජාවට තියලා, ඒකෙන්ම සප්පායම් වෙලා වොෂිංටන් බෞද්ධ විහාරයට ගියේ අවුරුද්දේ මුල ආගමික වතාවත් වලින් පටන් ගන්න. බණට යන්න පරක්කුයි වේග සීමාව පසු කරලා ගියා නම් බණ පටන්ගන්න වෙලාවටවත් යන්න තිබුණා. අපි පන්සලට යනකොට බණ ඉවරයි. ඒත් දුකක් නෑ… පස්සේ හාමුදුරුවෝ හමුවෙලා හොඳ බණ ටිකක් සාකච්ඡා කළා…..
ඒ අතරමඟ කතාවුනේ මිනිස්සු සංසාරේ යන ගමන ගැන… ඒකත් හරියට පාරේ වාහන එළවනවා වගේ…..
පාරේ මිනිස්සු වාහන එළවන විදිය දැක්කාම මට හිතුනේ කොහෙද මේ මිනිස්සු මෙච්චර කළබලේ යන්නේ කියලා. පාරේ වේග සීමාව පැයට සැතපුම් 65 ක් වුනත් සමහරු යන්නේ 85-90 ට පමණ…. ඒ සමහරු පොලීසියේ රේඩාර් එකටත් අහුවෙලා තිබුණා… විනාඩි ගාණක ඉතිරියට, එකසිය ගානට දඩ… ඒ විතරක් නෙවෙයි, පොඩ්ඩක් වැරදුනොත් කෙළවර වෙන්නේ එක්කෝ මරණයෙන්, නැත්නම් බරපතළ තුවාලවලින් සහ සෑහෙන අලාභයකින්….. තවත් සමහරු වීරයෝ වෙන්න ගිහින් විහින් නහිනවා… තවත් සමහරු මඳ පමණට සුරාව රාගෙන ඉස්කාගාරයක් තරමට වෙරි වෙලා වාහන පදවනවා. මේ අයගේ වීරකම් වලින් මිය යන්නේ ඔවුන් පමණක් නොවෙයි. අහළ පහළ අයත් අමාරුවේ වැටෙනවා…
ගිය අවුරුද්දේ ජනවාරි පළමු වෙනිදා අපේ නගරයේ ලොකු වාහන අනතුරක් වුනා. අනතුරට භාජනය වුනේ ගැහැණු ළමුන් දෙදෙනෙක්. එක් අයෙක් අපේ විශ්ව විද්‍යාලයේ අති දක්‍ෂ සිසුවියක් ලු. අනෙකා අධික ලෙස බීමත්ව රිය පදවා රියදුරු බලපත්‍රය පවා අහිමි කරගත් තැනැත්තියක්… ඒ අනතුරට හේතු වුනේ ඒ බීමත් ඉතිහාසයක් ඇති තැනැත්තියයි. ඒ අවස්ථාවෙදිත් ඇය බීමත්වයි ඉඳ ඇත්තේ…. කෙසේ හෝ මියගියේ ඇය නොවෙයි… අර සමාජයට වැඩක් කළ හැකිව තුබූ දක්‍ෂ තරුණියයි. මේ අවස්ථාවේ එතැනට පැමිණි පොළිස් නිළධාරියෙක් පවසා ඇත්තේ මියගොස් තිබෙන්නේ ජිවත්ව සිටිය යුතු තැනැත්තිය මිය යාමත්, මිය යා යුතුව තිබූ තැනැත්තිය ජීවත් වීමත් අවාසනාවට කරුණක් බවයි.
ලංකාවේ වසරකට වාහන අනතුරු වලින් මිය යන සංඛ්‍යාව 10,000 ක්… මෙය මහා ලොකුවට හැමෝම කෑ ගසන ඩෙංගු, H1N1, ආදී සියළුම රෝගවලින් මිය යන ප්‍රමාණයට වඩා වැඩියි… මේවායින් බොහොමයක් වැලැක්විය හැකි අනතුරු…..
අපි අද පටන් හිතමු… අප යන්නේ කොහේද ? කෙසේ යා යුතුද කියා….
මිනිසා යනු සමාජයීය සත්ත්‍වයෙක්. අපේ ජීවිත තනිව ගොඩ නැඟී නැහැ. අපි හැමදෙනාම – හැමට සම්බන්ධයි… ඒ සම්බන්ධයට ගරු කළ යුතුයි… අප ජීවිතය ගැන තනි අයිතියක් අපට නැහැ. ඒ නිසා ක්‍ෂණික තීරණ ගන්න නිසා, වගකීම් රහිත තීරණ නිසා අමාරුවේ වැටෙන්නේ ඔබ පමණක් නොවෙයි..ඒ නිසා අපි වගකීම් සහිත පුරවැසියන් වෙමු.
පොඩ්ඩක් හෙමින් ගියා කියලා වාහනේ ගෙවෙන්නෙ වත්, යා යුතු තැනට පැය ගණනක් පරක්කු වෙලාවත් යැවෙන එකක් නැහැ.. එහෙම පරක්කු වෙනවා කියලා සිතෙනවා නම් වේලාසනින් යන්න… හදිසිය මත අනතුරුදායක ලෙස ගිහින් අමාරුවේ වැටෙනවාට වඩා හෙමින් ගමන හැමදාම හොඳයි…
හාවගෙයි ඉබ්බගෙයි රේස් එකෙනුත් දිනුවේ ස්ථාවරව හෙමින් ගිය ඉබ්බා…..
මොලේ ඇති ඉබ්බෙක් වෙන්න…. මෝඩ හාවෙක් වෙලා අකාලයේ මිය යනවාට වඩා ඒක ඵලදායකයි…..