Daily Archives: ජනවාරි 3, 2011
2011 ජනවාරි 03 : ලෙඩ නිවාඩු
අද අවුරුද්දේ මුලින්ම වැඩට යන්න නියමිත දිනය… ඒත් මම ගෙදර. ඉරිදා පන්සල් ගිහින් පෙරේතකමට කිරිබත් කාලා සහ සීතලට නිරාවරණය වෙලා ද කොහෙද උණයි කැස්සයි හෙම්බිරිස්සාවයි හැදිලා. ඊයේ බෙහෙත් බීලා අඩු වුනත්, උදේ නැගිටිනකොට ආයෙමත් උණ ටිකක් වැඩි වෙලා. ඒ නිසා ලොක්කට E-mail එකක් යවලා ගෙදර නැවතුනා. බොහෙත් බීලා හොඳ නින්දක් නිදාගෙන ඇහැ ඇරුණේ දැනුයි.
ලොක්කටත් ලැබ් එකේ මගේ පොඩි එවුන්ටත් මම නැතුව පාඩුයි. මොකද ලැබ් එක ඇදගෙන යන්නේ මම නිසා. පොඩි එවුන්ට වැඩ කියලා දෙන්න, එවුන්ව හරියට දක්කගෙන යන්න රුඩොල්ෆ් වගේ මම තමයි ඉන්නේ. එහෙම නැති වුනොත් ලොක්කට ලැබ් එකට ඇවිත් පොඩි එවුන් එක්ක වැඩ කරන්න වෙනවා.
මම නිවාඩු දැම්මේ මගේ ගැන සිතලාම නොවෙයි. මට ගිහින් පොරවගෙන හරි ඉඳලා වැඩ කරවන්න තිබුණා. නමුත් මම බැලුවේ අපේ කණ්ඩායමේ ඉන්න අනෙක් 9 දෙනාගේ සෞඛ්‍යය ගැනයි. මගෙන් කාටහරි මේ දේ බෝ වුනොත් (එහෙම වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි) ඒක කණ්ඩායම පුරාවටම යනවා. එවිට අපේ ඵලදායීතාවය අඩු වෙනවා. Journal of Occupational and Environmental Medicine සඟරාවේ දක්වලා ඇති විදියට අසනීපව රාජකාරියට පැමිණෙන සේවකයන්ගෙන් රෝගීවන අනෙක් සේවකයන් නිසා සාමාන්‍යයෙන් 10% ක පමණ ඵලදායීතාවයක් අඩු වන බව ගණන් බලා තිබෙනවා.
ඒ විතරක් නොවෙයි. කිසිවක් කැමති නැහැ බලෙන් අසනීප වෙන්න. ඒ නිසා අසනීපව කෙනෙක් සේවයට පැමිණි පසු අනෙක් සේවකයන් ඒ පුද්ගලයා දිහා බලන්නේ/සලකන්නේ අප්‍රසාදයෙන්. මගේ මිතුරෝ නම් කිවුවා “ගෙදරට වෙලා ඉන්න – හොඳ වෙනකල් මේ පැත්ත පලාතෙ එන්න එපා” කියලා. මමත් ඒක ගරු කරනවා. අපේ රසායනාගාරයේ සම්මතයක් තමයි රෝගී වුනොත් සුව වෙනකල් නෑවිත් ඉඳීම. එවිට හැමෝගෙම හිතත් ගතත් සනීපයි.
ලංකාවෙ නම් බොහෝ අය බොරුවටත් ලෙඩ නිවාඩු දානවා. ඒ නිසා ලංකාවෙ නම් රෝගී වීම නිසා ඵලදායීතාවය අඩු වෙන්නේ නැහැ. අඩු වෙන්නේ වැඩ නොකර නිකම් ඉඳීම නිසා… බොරුවට ලෙඩ නිවාඩු දැමීමත් හොඳ දෙයක් නොවෙයි. ඒ කියන්නේ තමා අවංක සේවකයෙක් නොවන බවයි…
ඉතින් ලෙඩ වුනොත්, අනිත් අය ගැනත් හිතන්න. ඔබ රෝගී වෙන්න අකමැති වගේම, ඔවුනුත් රෝගී වෙන්න අකමැතියි….
අනිත් අයට ලෙඩ දාන්නේ නැතිව, හැමෝම එක්ක හොඳින් ජීවත් වෙමු.