Daily Archives: ජනවාරි 8, 2011
2011 ජනවාරි 08 : හිම පියල්ලක් වෙන්න….
අද සෙනසුරාදා… අසනීපව නොසිටියා නම් අද මමත් රසායනාගාරයට යන්න ඕන. අදට යොදාගෙන තිබුණ රසායනාගාරය පිරිසිදු කිරීමත් මගේ අසනීපය නිසාම ලොක්කා පස්සේ සතියකට මාරු කළා… ඒ අතින් නම් ලොක්කා හරි හොඳයි…
ඊයේ පටන් ගත් හිමපතනය තවමත් පහව ගොස් නැහැ. ටිකින් ටික හිම වැටෙනවා. මේ හිම පතනය එතරම් ගණන් ගත යුත්තක් නොවූවත්, මගේ අසනීපය හොඳටම සුව කරගන්නතෙක් පිටතට නොයන්න තීරණය කළ නිසාම අද ගෙදර නැවතුනා. ඒ විතරක් නොවෙයි, මේ උණට ප්‍රතිකාරයක් වශයෙන් ගන්නා “නයික්විල්” (NyQuil) යන ඖෂධයෙන් කැප්සියුල් දෙකක් පානය කරලා නිදාගත්තාම මලා සේ නින්ද ගිහින් ඇහැ ඇරෙනකොට උදේ 10.30 යි.
ඉතින් පොඩිපුතු එක්කලා හිම වැටෙනවා බලන් හිටියා ටිකක් වෙලා. එයාට නම් හරිම සතුටුයි හිම වැටීම…. ඒ අතරෙදියි මට සිහි වුනේ කිසිම හිම පියලි දෙකක් එක සමාන නෑ කියන කාරණය. මටත් මේක හරිම ප්‍රහේලිකාවක්…. ලෝකයේ හිම පතනය වන සෑම තැනකම හිම පියලි එකිනෙකට වෙනස් ද ? ලෝකයේ එක සමාන හිමපියලි දෙකක් හොයා ගන්නම බැරිද ? ඉතින් පොඩ්ඩක් මේ ගැන සොයාබලන්න මම විකපීඩියාවට ගොඩ වැදුනා…
ඒ අනුව එකිනෙකට සමාන හිම පියලි දෙකක් සොයා ගැනීම අසීරු බවයි කියැවුනේ. හිම පියල්ලක් තැනෙන්න අවම වශයෙන් ජලය අණු 1019 ක් වත් එකතු විය යුතුයි ලු… එසේ එකතු වීමේදී මේ අණු ඇසිරීමේ ක්‍රම ගණන අනන්ත නිසා (ඉංග්‍රීසියෙන් කියනවා නම් Degrees of Freedom කියන දේ අනන්ත වන නිසා) කිසිම හිම පියල්ලක් අනෙකකට සමාන වෙන්න අපහසුයි.
ඉතින් මේ ලෝකේ බිලියන හතක් වන මිනිස්සුත් එකිනෙකාට වෙනස් නේද ?
එකම වෙලාවෙන් මව්කුසෙන් එළියට එන නිවුන්නු හැඩයෙන් සමාන වුනත්, ගතිගුණින්, හැසිරීමෙන් එකසමාන වෙන්නේ නෑ…මෙසේ එකිනෙකා එකිනෙකාගෙන් වෙනස් වුවත්, සමහරු නම් එකම කාණ්ඩයට දාලා සලකන්න පුළුවන් අය.. එකවල්ලේ පොල් කියන්නේ ඒ වගේ අය.. සමහරු හොඳ ගතිගුණ අතින් එක වල්ලේ පොල් වෙත්දි, තවත් සමහරු අනිත් පැත්තෙන් සමානකම් දක්වනවා…
ඹබ කවුද ? ඔබට සමාන කෙනෙක් ලොවෙන් සොයා ගන්න පුළුවන් ද ? ඔබ අනූපම (Unique) ද ? කාටවත් උපමා කළ හැකිද ?
කරන්නන් වාලේ අනුන්ව අනුකරණය කරන අයත් අද අප අතර ඉන්නවා. අල්ලපු ගෙදර මනුස්සයා TV එකක් ගෙනාවොත්, ඊට වඩා ලොකු එකක් ගේන්න අනිත් ගෙදර මනුස්සයා උත්සාහ කරනවා. සමහර විට තමන්ට දරාගන්න බැරි තරමේ වියදම් දරනවා ලෝකෙට පේන්න වැඩ කරන්න ගිහින්…හිතලා බලන්න… තමන්ටම කියලා අනන්‍යතාවයක් නැති අය දුරක් යත්දී සමාජයේ අතරමං වෙනවා…… ඔබට ඒ බව සමාජයේ ජීවත් වන් බොහොමයක් බැසගිය සුපිරි තරු දිහා බැලුවම වටහා ගන්න පුළුවන් වේවි…
ඔබ කාව වත් අනුකරණය කරනවාද ? ඔබත් තමන්ගේ තරමට, තමන්ගේ පාඩුවේ, තමන්ගේ ගමන යන හිම පියල්ලක් වගේ Unique කෙනෙක් ද ?