Daily Archives: ජනවාරි 9, 2011

2011 ජනවාරි 09 : බෙල්ලන්විල පන්සලෙත් හොරු…….


අද ඉරිදා…. ගෙදර ඉන්න දවස….

උදේ ඉඳලා ගෙවල් වලින් දුරකථන ඇමතුම් එනවා…. අපි හැමදාම ඉරිදාට බලාපොරොත්තු වන දුර ඇමතුම තමයි ඇල්කෙමිච්චිගේ ගෙදරින් එන දුර ඇමතුම… ඇල්කෙමිච්චිටත් වඩා ඇල්කෙමිච්චිගෙ මෑණියන්දෑ මම බෑණාට හරි ආදරෙයි…. තමන් කොච්චර අසනීපව හිටියත්, අපේ අසනීප තත්ත්‍වය ගැන තමයි නිතර සොයා බලන්නේ. ලංකාවට ගියාමත් කැමති කැමති කෑම හදවලා දෙනවා. ඒ වගේමයි ඇගෙන් ජීවිතයට ලැබෙන අවවාද අනුශාසනා; තමන් ධර්මයෙහි පිහිටා, අනුන්වත් ඒ මාර්ගයේ ගෙනයන්න – යවන්න දරන වීරිය ආදිය .  අනේ මේ නැන්දම්මා ජාති ජාතිත් සංසාරයේ හම්බවෙන්න ඕන.

ඒත් අද උදේ ඈ ගෙනා ආරංචිය ඇහුවාම තවමත් ලංකාවේ මහ ජරා මිනිස්සු ජීවත් වෙනවා නේද කියන හැඟීම සිතට ආවා. ඇල්කෙමිච්චිගෙ නංගි බෙල්ලන්විල පන්සලට ඊයේ ඇගේ සැමියා සහ දියණිය සමඟ ‍ගොස් ඇත්තේ අවුරුද්දේ මුල් දිනවල පන්සලට ගොස් වතාවත් කිරීමට නොහැකි වූ නිසා. ඇය සිය දියණිය stroller එක මත තබා සිය සැමියා සමඟ පහන් දැල්වීමේ කටයුත්තේ නියැලී තිබෙනවා. සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් ඈ සිය දියණියගේ ගමන් මල්ලත් සමඟම ඇගේ අත් බෑගයත් Stroller එකේම තබා තිබෙනවා… ඒ අසළ මිනිසුන් කිහිප දෙනෙක් සහ කාන්තාවන් කිහිප දෙනෙක් ගැවසී තිබුණත්, ඔවුන් එය වැඩි ගණනකට නොගෙන ඇත්තේ එය සාමාන්‍ය දෙයක් ලෙස සිතායි.

නිවසට පැමිණෙන්න සූදානම් වුන විටයි ඇයට තේරුම් ගොස් ඇත්තේ ඇගේ අත් බෑගය නොමැති බව…  ඇගේ අත් බෑගය පන්සලේ පහන් දල්වන අවස්ථාවේ එතැන ගැවසුන කිසිවෙකු විසින් රැගෙන ඇති බවයි සැම දෙනාගේම නිගමනය වුනේ. එම අත් බෑගයේ මුදල්, ජංගම දුරකථනය, ක්‍රෙඩිට් කාඩ් පත්, රියදුරු බලපත්‍රය ඇතුළු සමහරක් වටිනා ලියකියවිලි අඩංගුව තිබුණා. එසේම ඇගේ ජංගම දුරකථනය තුළ ඇගේ දියණියගේ ඡායාරූප සහ වීඩියෝ ද පටිගත කර තිබූ බවයි පසුව ඈ අප සමඟ පැවසුවේ..

මෙය බොහෝ අනුහස් ඇතැයි සැලකෙන බෙල්ලන්විල පන්සලේ දිම සිදු වූවක්… පන්සල්වල ඇති අනුහස් හෝ දෙවියන් පිළිබඳ එතරම් විශ්වාසයක් මා සිතේ නැතත්, සාමාන්‍යයෙන් පන්සලක සිදු වන මෙවැනි ක්‍රියා පිළිබඳ මා තුළ නම් ඇත්තේ අප්‍රසාදයක්.. පන්සලකට යත්දී වටිනා දේ අඩංගු අත් බෑග් ගෙන නොයාම සාමාන්‍ය සිරිත වුවත්, ඇගේ බෑගයේ මූල්‍යමය වශයෙන් එතරම් වටිනා දෙයක් තිබී නැහැ… තිබී ඇත්තේ ඈට පමණක් වටිනා වූ Sentimental Value අතින් වැදගත් භාණ්ඩ කිහිපයක් පමණයි.

ඇයි මේ මිනිස්සු පන්සල් වලදීත් හොරකම් කරන්නේ.. ? පන්සලක්, පල්ලියක්, කෝවිලක් යනු මිනිසුන් සිත් සැහැල්ලුවෙන් වැඳුම් පිදුම් කිරීමට එන තැන්…  මෙසේ සොරකම් සිදු වන විට පන්සලකට මිනිසුන් යාමේ මූලික අභිප්‍රාය පසෙක ලා තම තමන්ගේ භාණ්ඩ පරිස්සම් කිරීමේ තෘෂ්ණාව සිතට වද දෙනවා.. මෙවිට ඇත්ත වශයෙන්ම පන්සලට නොයනවාට වඩා පවක් සිද්ධ කර ගැනීමක්….

මිනිසුනේ… සමහර විට ඔබට අමාරුකම් ඇති…. ඒත්, කෙනෙකුගෙන් හොරකම් කරගැනීම ඒ අමාරුකම් පියැවීමේ දීර්ඝකාලීන පියවරක් නොවෙයි. එය පහසු වෙන්නට පුළුවන්, නමුත් කුරුමානම වැරදුනොත් ඇට කුඩුවෙන සම්භාවිතාවත් ඒ වාගේම සරළයි…

පූජ්‍ය සිද්ධස්ථාන කියන්නේ මිනිස්සු සිත නිදහස් කරගන්න පැමිණෙන තැන්… ඒවා ඒ අයුරින්ම නිදහසේ වන්දනාමාන කරගන්න ලැබෙනවා නම් ලෝකය කොයිතරම් ලස්සන වේවිද ? ලංකාවේ කවදා ඒ තත්ත්‍වය දැක ගන්න ලැබේවිද ?

%d bloggers like this: