Daily Archives: ජනවාරි 10, 2011

2011 ජනවාරි 10 : ළමා රෝහලේ ඇත්තන්ගේ කරුණාව…


අද සඳුදා වුනත් දිනපොතේ  පෙර නිමිත්ත වන්නේ ඊයේ රෑ සිදුවෙච්චි සිද්ධියක්…

මේ ප්‍රදේශයේ ඉන්නේ ලාංකික පවුල් කිහිපයයි. අපි නිතරම වගේ හමුවෙනවා… බොහෝවිට සෑම සති අන්තයකම වගේ… ඒ පවුල්වල අයටත් දරුවන් සිටිනවා… විවිධ වයස් මට්ටම්වල, ඔවුන් බොහොම එකතුයි..

ඊයෙ උදේ කතාකරගත් පරිදි, අපි හැමෝම එක් මිතුරකුගේ නිවසට එක් වන්නට යෙදුනා සවස 7.00 ට පමණ.. ඉතින් අප තිදෙනා යොදාගත් වෙලාවට අප මිතුරාගේ නිවසට ළඟා වුනා… අපේ පොඩි පුතුත් ඒ දරුවන් ක්‍රීඩා කරමින් සිටි තැනට ගියේ ඔවුන් සියළුම දෙනා හොඳින් දන්නා නිසයි. එවේලේ ඔවුන් Wii ක්‍රීඩා උපකරණවලින් ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියේ… මට උණුසුම් කබාය ගලවන්නටවත් වෙලා ගියේ නැහැ, එක් මිතුරකුගේ මව මගේ පුතාව ඔසවාගෙන මවෙත පැමිණියා. ඔහුගේ නළලෙන් ලේ ගලනවා. සිදුවී ඇත්තේ ඔවුන්ගේ එක් අයෙකු අතේ තිබූ Wii පාලකයක් මගේ පුතාගේ නළලේ වැදීමයි.

තුවාලය ටිකක් දරුණු නිසා අප සියළුම දෙනා තීරණය කළා ඔහුව  A.I.Dupont Childrens’ Hospital නම් ළමා රෝහලේ හදිසි අනතුරු අංශයට ගෙන යාමට. එතැනට ගිය වෙලේ පටන් මගේ සිතට දැඩි සැනසිල්ලක් දැනුනා. හේතුව තමයි ඔවුන් රෝගීනට සලකන අපූරුව..  මුලින්ම සිදු කළේ රෝගියාගේ විස්තර ලබා ගැනීම. පුතාගේ උපන් දිනය ලබා දුන් පසු පිළිගැනීමේ නිලධාරිනිය එය පරිඝණකයට ඇතුළු කළා, ඉන්පසු ලබාගත්තේ පවුල් නාමය: එවිට ඔහුගේ සියළු විස්තර පරිඝණක තිරය මතට පැමිණියා. මෙරටේ කිසියම් කෙනෙකුගේ උපන් දිනය සහ පවුල් නාමය ඇතුළු විස්තර කිහිපයක් ඇතුලත් කිරීමෙන් සියළු විස්තර ලබාගත හැකි වන පරිදි පුද්ගල දත්ත බැංකුව සකසා තිබෙනවා.

විනාඩි කිහිපයක් ඇතුළත පළමු පරීක්‍ෂණය සිදු කර තුවාලයෙහි ස්වභාවය නිර්ණය කර එය දැඩි අවධානයක් අවශ්‍ය නොවන තුවාලයක්  නිසා අපට අමුත්තන් රැඳෙන ශාලාවේ මඳක් රැඳෙන්නට සිදු වුනා. ඒ අවස්ථාවේ රෝහලට නිතර නිතර තුවාල වූ ළමුන් රැගෙන ආ නිසාත්, රෝහලේ රාජකාරියේ නිරතව සිටියේ වෛද්‍යවරුන් දෙදෙනකු නිසාත් තරමක ප්‍රමාදවීමක් තිබුණා. නමුත් හෙදියක් පැමිණ අපට තවත් ප්‍රමාදවිය හැකි බව සහ ඔවුනට සමාවන ලෙස පවා කාරුණිකව දැනුම්දුන්නා. එසේ වුනත් ඒ ස්ථානය ඉතා පිරිසිදු ප්‍රියජනක තැනක්, කුඩා දරුවනට ක්‍රීඩා කිරීමට ස්ථානයක්, පරිඝණක කිහිපයක් ආදී පහසුකම් තිබූ අතර කෙතරම් තදබදයක් තිබුණත් කිසිවකු අනවශ්‍ය ශබ්ධ නැගීමක් හෝ කලබල කිරීමක් තිබුනේ නැහැ. සියළුම දෙනා තම තමන්ගේ වැඩ කරගෙන තමන්ගේ වාරය එනතුරු සිටියා.

පැයක පමණ ප්‍රමාදයකින් නැවත අපව රෝහලේ ප්‍රතිකාර ලබා දෙන වාට්ටුව කරා රැගෙන ගියා.  මුලින්ම අපගෙන් ඔවුන් නැවත වරක් සමාව අයැද සිටියා, ඒ අතරම පුමාදයට හේතුද සැළකර සිටියා. මුලින්ම පුතුගේ තුවාලයට හිරි වැටෙන බෙහෙතක් තවරා පැය බාගයක් පමණ සිටින්නට සැලැස්වූවා. ඒ අතරතුර රෝගීනට පහසුකම් සලසන නිලධාරිනියක පැමිණ අපේ අවශ්‍යතා කිහිපවරක් සොයා බැලුවා..ඉන් පසුව වෛද්‍යවරයා පැමිණ කාරුණිකව සහ මිත්‍රශීලීව පුතු සමඟ දෙඩමළු වෙමින් ඔහුට වේදනාවක් නොදැනෙන ලෙස තුවාලයට මැහුම් 3ක් යොදා තුවාලය ආවරණය කළා. ඉන් පසු තුවාලය පරෙස්සම් කරගත යුතු අයුරු කියා දී, නැවතත් අපව අමුත්තන් රැඳී සිටීමේ ශාලාව වෙත පිටත් කළා. ඉන්පසු අදාල ලිපි කටයුතු පිළිබඳ කාර්යයන් නිම වූ පසු අප නිවසට පැමිණෙන විට හරියටම මධ්‍යම රාත්‍රිය පහු වුනා පමණයි. අප පැය පහක් පමණ රෝහලේ රැඳී සිටියත් අපට වෙහෙසක් නොදැනුනේ ඔවුන් කාරුණිකව අප සියළුදෙනාට සැළකූ නිසයි.

නැවතත් අද සවස රෝහලෙන් දුරකථන ඇමතුමක් දී පුතුගේ තත්ත්‍වය විමසා බැලුවා… මේ නිසාම ඒ රෝහල සහ නිලධාරීන් පිළිබඳ අප සැමට ඇත්තේ ඉතා පැහැදීමක්…  දැන් පුතුට සනීපයි.. ඔහු හොඳින් සිටිනවා….මෙය ශ්‍රී ලාංකික රෝහල් පද්ධතිය සහ පෞද්ගලික රෝහල් පද්ධතිය හා සසඳා බලන කල්හි අහසට පොළව මෙන්. පහසුකම්, දත්ත පද්ධති ආදියෙහි වෙනස පිළිබඳ අපට ප්‍රශ්නයක් නැතත්, ආගන්තුක සත්කාරය ගැන නම්  පොදුවේ ශ්‍රී ලාංකික හෙදියන් ඉන්නේ ගවු ගණනක් පිටුපසින්… නමුත් සමහර කාරුණික නිලධාරීන් නැතුවා නොවේ.

රෝගීන් රෝහලකට පැමිණෙන්නේ සහනයක් බලාපොරොත්තුවෙන්, ඔවුනට කාරුණිකව සලකන කාර්යය ඇත්තටම අමුතුවෙන් කියලා දිය යුත්තක් නෙවෙයි. නමුත් සමහර හෙදියන් සහ වෛද්‍යවරුන් සිය නිලයේ බලය ඕනැවටත් වඩා අනුන්ගෙන සැලකුම් ලබා ගැනීමට හෝ තමන්ගේ බලය පෙන්වීමට අයුතු ලෙස යොදාගන්නවා. මෙය ආණ්ඩුවෙන් කියා දිය යුත්තක් නොවෙයි. තමන් විසින්ම සිතා බලා අනුන් කෙරෙහි කරුණාවෙන් ක්‍රියා කළ යුත්තක් ලෙසයි මට නම් හැඟෙන්නේ… කරුණාවෙන් කාට හෝ සළකනවා නම් ඒ පුද්ගලයාට කව්රුත් කැමතියි. එසේම ගෞරවයත් නිතැතින්ම ලැබෙනවා… ගෞරවය සහ කැමැත්ත බලෙන් ලබාගත හැක්කක් නොවෙයි… එය තමන් විසින් උපයාගත යුත්තක්….

අපට නොයෙක් විට අසන්නට ලැබෙන්නේ රෝගීනට අකාරුණිකව සැළකූ ආකාර සහ රෝගීන්ට වැරදි බෙහෙත් වර්ග ලබා දීම්, ශල්‍යකර්මයකින් ඉවත් කළ යුතු පාදය වෙනුවට නිරෝගී පාදය ඉවත් කිරීම ආදී අවාසනාවන්ත සිදුවීම්. එසේමයි, කිසිදු ජනමාධ්‍යයක් රෝහල්වල වන හොඳ කටයුතු පැසසිය යුතු ක්‍රියා මතුකර දක්වන්නේ නැති එක…

අනේ අපේ රටේ මිනිස්සුත් අනුන්ට හැම විටම කරුණාවෙන් සළකනවා නම් අපේ රට කොයිතරම් සාමකාමී වාසනාවන්ත රටක් වේවිද ?

%d bloggers like this: