Daily Archives: ජනවාරි 13, 2011

2011 ජනවාරි 13 : අනාගත අභියෝගය : අනාගන්න එපා……..


අද ජනවාරි 13 : මූණූ පොතේ ලංකාවේ මිතුරු මිතුරියන්ගේ කංකෙඳිරිය වෙලා තියෙන්නේ දරාගන්න බැරි හීතල ගැන….

මම පිළිගන්නවා, ලංකාව වැනි ඝර්ම කලාපීය රටක උෂ්ණත්‍වය මෙසේ පහළ යාම අසාමාන්‍ය දෙයක්. එසේමයි, හැම දෙනාටම  මතක ඇති මීට මාස හයකට පමණ තිබුණ දරාගන්න බැරි රස්නය…. මේ ගැනත් බොහෝ දෙනා කෙඳිරි ගෑවා මට මතකයි. ඇත්ත තමයි, අධික සීතල වගේම අධික උණුසුමත් මිනිස් ශරීරයට දරාගන්න අමාරුයි. ඒත් සහරා කාන්තාරෙ වගේම උත්තර ධ්‍රැවයෙත් මිනිසුන් ජීවත් වෙනවා.  නමුත්, මේ සියල්ල දැන් කණපිට පෙරළෙමින් පවතිනවා. අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 න් 49 කම කොහේ හෝ හිම මිදිලා, බ්‍රසීලයේ, ඕස්ට්‍රේලියාවේ, ලංකාවේ  ගංවතුර නිසා මිලියන ගණනක් අවතැන් වෙලා, යුරෝපයට උතුරු අමෙරිකාවට, නොසිතන තරම් හිම පතනයක් වාර්තා වෙලා, මධ්‍යම අමෙරිකානු ප්‍රදේශවල නියඟයක් උදාවෙලා…. ඒ මදිවාට යුරෝපයේ විශාලතම ගිණිකන්ද වන සිසිලියේ එට්නා ගිණිකන්දත් ලාවා පිටකරන්න පටන් අරන්….

විදාරණය වන ඉතාලියේ එට්නා ගිණි කන්ද

විදාරණය වන ඉතාලියේ එට්නා ගිණි කන්ද

මේ සියල්ල මා පෙර දිනයක සඳහන් කළා සේම සොබාදහම වියරු වැටීමෙන් සිදු වන අතුරු ප්‍රතිඵල… සොබා දහමේ සමතුලිතතාවය බිඳිලා. මිනිසා සොබාදහම විනාශකරන තරමට සොබා දහමත් මිනිසාව විකාශ කරන්න පටන් අරන්… මේ සීතල කාළය නිම වෙලා ඊලඟට රස්නේ කාලයක් ආයෙත් ඒවි.. එතකොට ධ්‍රැව වල ඇති හිම දියවෙලා මුහුදු මට්ටම ඉහළ යාවි… ලෝක ජනගහනයෙන් 2/3ක් ජීවත් වෙන්නේ මුහුදුබඩ ආශ්‍රිත ප්‍රදේශවල… එවිට නැවතත් අපේ ඇස් ඇරේවි….

හැමදාම ව්‍යසනයක් වුනාම අපි ඒ ගැන කතා කරනවා, ක්‍රියා කරනවා. නමුත් අනෙක් දවස්වල අපි පරිසරය විනාශ කිරීමේ කටයුත්තේ යෙදෙනවා. දැන් බලන්න මේ අවස්ථාවේ ඔබ අවට අනවශ්‍ය විදුලි උපකරණ කීයක් ක්‍රියා කරනවාද කියලා… එක් පුද්ගලයෙකුගේ මේ ක්‍රියාව මිනිසුන් මිලියනයක් විසින් සිදු කෙරෙන විට ඇතිවන බලපෑම අති විශාලයි… ඔබ අවට ඇති විදුලි උපකරණ ක්‍රියා කළත්, නොකළත්, විදුලි පරිපථයට සම්බන්ධනම් යම් විදුලිය ප්‍රමාණයක් වැය කරනවා. මේ නිසා විදුලි බලය අපතේ යෑමක් සිදු වනවා… මේ නිසා රටකට වැඩි වශයෙන් විදුලිය නිපදවන්න වෙනවා, එවිට රටේ විදුලි පරිභෝජනය සහ එය නිපදවීමට වැය කෙරෙන ශක්තිය ඉහළ යනවා. එය පරිසරයට දරා ගන්න බැහැ… මෙය චක්‍රයක් වශයෙන් ගමන් කරනවා…. එසේම වැඩි විදුලි පරිභෝජනයක් වන නිසා ඔබට වැඩිපුර මුදලක් විදුලිබල මණ්ඩලයට ගෙවන්න වෙනවා…නිකං සල්ලි අපරාදේ…

ඔබ අවට ඇති ක්‍රියාත්මක කර නොමැති විදුලි උපකරණවල පේනු ගලවා දැමීමෙන්, ඔබට සැළකියයුතු ප්‍රමාණයකින් විදුලිය ඉතිරි කර ගත හැකියි. එය ඔබටත්, රටටත්, ලෝකයටත් ඔබ කරන සේවයක්….මේ සුළු ක්‍රියාවෙන් ලෝකයට ඔබ යමක් ඉතිරිකර දෙන්න… ඔබ මිය ගියාට පසු ඔබේ දරුවන්ට ජීවත් වෙන්නට මේ ලෝකය ඉතිරිකරලා යන්න… මීට පෙර සිතුවේ නැත්නම් අද පටන් අරඹන්න…..

හිතන්න, ඔබ මේ විනාශ කරන්නේ ඔබේ දරුවන්ගේ අනාගතයයි….

%d bloggers like this: