Daily Archives: ජනවාරි 18, 2011
2011 ජනවාරි 18 : වැහි දවස් වලටවත් අනුන් ගැන පොඩ්ඩක් හිතමු…..
අද උදේ ඇහැ ඇරෙන විට හතර වටේටම අයිස් වැටිලා…. හිම වැටෙනවාට වඩා අයිස් වැටෙන එක භයානකයි. හිම වැටෙනකොට පොළව ලිස්සනවා අඩුයි, නමුත් අයිස් වැටෙනකොට පොළව මත ලිස්සනසුළු අයිස් තට්ටුවක් බැඳෙනවා. මේ නිසා අනතුරු සිදු වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි. විශේෂයෙන්ම අයිස් මත ලිස්සා ගිහිල්ලා වාහන අනතුරු ගොඩක් වෙනවා .
ගිය සතියේ ඔළුවට වෙච්චි අනතුරට පස්සේ පුතු ඉස්සෙල්ලාම පාසලට යන්නේ අද.. ඉතින් පොඩි එකාව පන්තියට අරගෙන ගියාම ඒ පන්තියේ ඉන්න පැටවු ටිකට හරි සන්තෝසයි යාළුවා ආයෙම ආපු එකට… ඒ අයටත් කතා කරලා ගුරුතුමියො දෙන්නටත් කතා කරලා හිම කැට වැටෙන වැස්සේ රසායනාගාරයට ආවා…
ඒ එනකොට තමයි දැක්කේ, මට ඉදිරියෙන් ගිය වාහනය වතුර එකතු වුන තැනකින් තරමක් වේගයෙන් යනකොට, පාරේ අයිනෙන් ගිය යුවතියට හොඳටම නෑවෙන්න වතුර පාරක් වැදුනා… වාහනේ වේගය අඩු කරලා ඇයට වතුර ඉසෙන එක නැවැත්තුවත්, ඇයව නෑවුව වාහනය අයිති පුද්ගලයාට මැදඟිල්ල ඔසවා කළ ප්‍රතිචාරයෙන් පස්සේ මටත් සිනහා ගියා, එක අතකට ඇගේ ඒ ප්‍රතිචාරය හරි කියලා…
මට මතක් වුනේ මම පාසල් යන දවසක සිදු වූ සිදුවීමක්. මම ගමන් කළ වාහනය දිනක් මඩ වලක වැටී ඒ අසලින් ගමන් ගත් පාසල් යුවතියකගේ සුදු ගවුම සම්පූර්ණයෙන්ම මඩින් නැහැවුනා… ඇයගේ මුහුණේ තිබුණ අසරණකම මටත් රථයේ රියැදුරාටත් බොහොම සිතට වද දුන්නා.. අප වාහනය නවතා ඇයට කතා කරන්නට හැදුවත් ඈ මිතුරියන් රෑනක් සමඟ සිදු වූ අකරතැබ්බයට පිළියම් කරමින් සිටියා. (අපට හොඳහැටි බණින්න ඇති ඔක්කෝම එකතු වෙලා) ඇත්තටම සිදු වුනේ අප ඒ මඩවල නොදැකීමයි…
දුටුවා නම් අපේ අතින් එවැනි වැරැද්දක් සිදු වෙන එකක් නැහැ. එදායින් පසු මම නම් කිසිම දවසක වැහිදාට අනවශ්‍ය ලෙස වේගයෙන් වාහන පදවන්නේ නැහැ. ඒ වගේම කිසිවෙකු පාරේ ගමන් කරනවා නම් ඒ අය ගැන සළකා බලා සෙමෙන් ධාවනය කරනවා… මේ නිසාම මගේ අතින් අනෙක් අය නැහැවෙනවා බොහොම අඩුයි.
ලංකාවෙත් මේ දවස්වල හරි වැස්ස.. ඔබත් වාහනයක හිමිකාරයෙක් හෝ රියැදුරෙක් නම්, ඔබත් සිතා බලන්න: සීතලේ පාරේ ගමන් කරනවිට ඇඟ පුරාවට නාගෙන යන්න වතුර පාරක් ඔබට වැදුනොත් ඔබට දැනෙන හැඟීම කුමක් ද කියා…. එසේ නම්… අනෙක් අය ගැනත් එසේම සිතන්න… අනෙක් අයත් කැමති නැහැ වැදගත් ගමනක් යනවිට හෝ කාර්යාලයට හෝ පාසලට යනවිට මඩ නාගෙන යන්න…
ඉතින්… වැස්ස වෙලාවට හෙමින් වාහන පදවන්න.. ලංකාවෙ පාරවල්වල ඇති අලි නාවන තඩි වලවල් බේරලා පරිස්සමින් යන්න. සමහර විට එය ඔබේ වාහනයට මෙන්ම ඔබ අනතුරකට පත් වීමට ඇති ඉඩකඩ ද වළකා ලන්නට පුළුවන්…
අපි අනුන් ගැනත් පොඩ්ඩක් හිතමු…..