Daily Archives: ජනවාරි 20, 2011

2011 ජනවාරි 20 : ඇත්තටම මට උඹ ගැන හරි සන්තෝසයි…(අනුනට ඊර්ෂ්‍යා කරන්න එපා)


අද මටත් මගේ හොඳම මිතුරාටත් බොහොම සන්තෝස දවසක්… මට වඩා ඔහුට… ඒ ඔහුට නව රැකියාවක් ලැබුන නිසා.. ඉතින් මටත් හරි සන්තෝසයි…

ඔහු මාත් සමඟ එකටමයි ඉගෙන ගත්තේ, තුර්කි ජාතිකයෙක් වූ ඔහුත්, ඔහුගේ බිරිඳත් ඔවුනගේ දියණියත් අපේ පවුලේ හොඳම මිතුරෝ. මගේ පුතාගේ හොඳම යෙහෙළිය ඔවුනගේ දියණියයි. පුතු ඉපදුන වෙලේ ඇල්කෙමිච්චි ළඟින්ම හිටියේ ඔහුගේ බිරිඳ, අපට රෝහලට කෑම අරන් ආවේ ඔහු. ඒ තරමට අපිට ඔවුන් සමීපයි. ඔහු ආචාර්ය උපාධිය ලැබුවේ මට වඩා අවුරුද්දකට පෙර, ඒ සමඟම ඔහුටත් පර්යේෂක තනතුරක් ලැබුණා විශ්ව විද්‍යාලයේ. එයට දැන් කල් පිරෙන්න කාළය හරි නිසා ඔහු ස්ථිර රැකියාවක් හොයමින් සිටියේ, සමහර වෙලාවකට බොහොම කළකිරීමෙන් සිටි ඔහු මාර්තු මස මුලදී තුර්කියට ආපසු යන්නයි සිතා සිටියේ. නමුත් දැන් ඔහුට බ්‍රිස්ටල් මයර්ස් ස්ක්‍විබ් ආයතනයේ විද්‍යාඥ තනතුරක් ලැබුණා. එය අප සැමටම සතුටුදායක පුවතක්.. ඉතින් මම ඒ බව දැනගත් වහාම කළේ ඔහුට සුබ පැතීම…

මම දැනගෙන හිටියා ඔහුට හොඳ තත්ත්‍වයක් උදා වන බව, අති දක්‍ෂ පුද්ගලයෙක් වූ ඔහු සමහර විට තාර්කික ශක්තිය අතින් සිටියේ අප සැමට වඩා ඉදිරියෙන්… අපි දෙදෙනාම පන්තිවල ඉදිරියෙන් සිටියත්, පර්යේෂණ කිරීමේදී ඔහුගේ දැක්ම ඉතා තියුණුයි… ඒ නිසාම ඔහු පර්යේෂණ අතින් සිටියේ අන් අයට වඩා බොහෝ ඉදිරියෙන්. මට ඔහු ගැන ඊර්ෂ්‍යාවක් නෑ.. අපි දෙදෙනාම අප දෙදෙනාගේ විවිධ දක්‍ෂකම් වලට ගෞරව කළා මිස අනෙකා අභිබවා යන්නට උත්සාහ කළේ නැහැ. අප දෙදෙනාට තිබුනේ විවිධාකාර දක්‍ෂකම්. මා ක්‍රිකට් සහ වොලිබෝල් ක්‍රීඩා වලට දක්‍ෂකම් පාද්දී ඔහු බාස්කට්බෝල් ක්‍රීඩාවේ රුසියෙක් වුනා. නමුත් බිලියඩ් ක්‍රීඩාවෙදි නම් අප දෙදෙනා අතර දැඩි තරඟයක් තිබෙනවා.. ඒ තරඟය පැවැත්වෙන වෙලාවෙදි විතරයි.. එතැනින් එළියට ආවාම නැවතත් අපි පුරුදු මිතුරෝ…

මගේ හොඳම මිතුරෙකුට යහපතක් වෙනවා නම් ඒ ගැන මට සතුටු විය හැකිව තිබිය යුතුයි. ඊර්ෂ්‍යා කරනවාට වඩා කළ යුත්තේ තවත් මහන්සි වී තමාත් ඒ තැනට යාමට කටයුතු කිරීමයි. මේ ලෝකයේ බොහෝ දෙනා අනුන්ට ඊර්ෂ්‍යා කරනවා, ඒ මත නපුරුකම්, තරහ වීම් කරනවා. නමුත් එයින් තමන්ට ඇති වන වාසියක් නැහැ. සිදු වන්නේ තමන්ගේ වෙලාව නාස්තිය සහ ලේ අපිරිසිදු වීමයි….

ඉතින්, ඔබත් අනුනට ඊර්ෂ්‍යා කරනවාද ? එහෙමත් නැතිනම් අනුන් දියුණු වනවා බලා, ඔබත් සිතට ධෛර්යය අරගෙන දියුණු වන්නට උත්සාහ කරනවාද ?

තීරණය ඔබ සතුයි…………….

%d bloggers like this: