Daily Archives: ජනවාරි 21, 2011
2011 ජනවාරි 21 : ඔබේ වැඩ කිරීමේ ධාරිතාව කොපමණද ?
බ්‍රහස්පතින්දා වෙනකොට බොහෝ දෙනෙක්ගේ වැඩ කරන ධාරිතාවය අඩු වෙනවා…අද වෙනකොට සති අන්තය එනකල් බලා ඉන්නේ නිවාඩුවේ ඉන්න, මිතුරන් හමුවෙන්න, පාටියක් දාන්න, ටිකක් හෝ නැතිවෙන්න බොන්න, ආදී දේ වලට…
සමහරවිට බ්‍රහස්පතින්දාට කියන්නේ Thirsty – Thursday කියලා.. ඒ කියන්නේ සමහර අය බොන්න පටන් ගන්නේ බ්‍රහස්පතින්දා ඉඳලාමයි. සතිය මැද වුනත් දිවා ආහාරයට කාර්යාලයෙන් පිට තැනකට ගියාම වයින් වීදුරුවක්, බියර් එකක් බොන එක මෙහේ අයගේ සාමාන්‍ය පුරුද්දක්. එහෙම කළා කියලා කරටි කැඩෙන්න වැටෙන්න ගහන්නේ නෑ.. ඒ වගේම ඒ ඒ වෘත්තීන්ට අනුව මත්පැන් පානය කළ හැකිද නැත්ද යන්න නිර්දේශ කෙරෙනවා. සාමාන්‍යයෙන් රසායනාගාරයේ ඉන්න අපට නම් මඳ පමණින් ගත්තා කියලා වැරැද්දක් නෑ, නමුත් අපි කවුරුවත් සතියේ දිනවල දවාලේ නම් එහෙම කරන්නේ නෑ.. ඒත් අපේ කණ්ඩායමේ පර්යේෂණ පිළිබඳ සතිපතා සාකච්ඡා කෙරෙන Group Meeting එකට නම් බියර් පැක් දෙක තුනක්, පිට්සා කිහිපයක් ආදී කෑම වරදින්නේ නෑ එවිට නම් හැම දෙනාගේම අතේ මොනවා හරි දෙයක් තියෙනවා.. බොහෝ දෙනෙක් සිකුරාදා එනකල් ඉන්නේ සති අන්තය බලාගෙන වුනත් පර්යේෂණ කළ්ඩායම් වල අයට නම් සෙනසුරාදාත් වැඩ… ඒකත් දිනචර්යාවේම අංගයක් වෙලා. බොහෝ දෙනෙක් සෙනසුරාදා තරමක් අඩුවෙන් වැඩ කරලා වේලාසනින් ගෙවල්වලට යනවා තම තමන් යොදාගත් දෑ සඳහා… ඉරිදා තමයි සිදහසේ ඉන්න දවස…
මේ සියල්ල මෙසේ වුනත්, බොහොමයක් දෙනා සතියේ වැඩ කරන දින කිහිපයේ තමන්ගේ උපරිමයෙන් කරන්නට වග බලා ගන්නවා. වැඩ කිරීම හෝ නොකිරීම තමන් සතු කාරියක් වුනත්, ඒ දේ හරියට නිම කිරීම තමන්ගේ ඉදිරි ගමනට හොඳ නිසාම ඒ අය උපරිමයෙන් වැඩ කරනවා. ලංකාවේ වගේ දේශපාලනයට හෝ ඇඳුනුම්කමට උසස්වීම් නොලැබෙන නිසා හරියට වැඩ කිරීම සෑම දෙනාගේම නිතැතින්ම සිදු වෙනවා. ඒ නිසාම කාර්යක්‍ෂමතාවයත් ඵලදායීතාවයත් ඉහළ මට්ටමක තියෙනවා. ඒ අතරේම සුළු විනෝදයක්, ඉඳහිට අන්තර්ජාලයට ඇතුළුවීම, මූණු පොතේ මිතුරන් බැලීම ආදියත් කරන්න අමතක කරන්නේ නෑ..
ලංකාවේ තත්ත්‍වය නම් කියන්න කණගාටුයි, සමහර අය බලන්නේම නිකං ඉඳලා ගාණ කඩා ගන්න. මෑතකදී මම ලංකාවට නොගියත්, ගියපු වතාවල හැම තැනදීම මුහුණ දෙන්න ලැබ්නේ එකම ආකාරයේ අත්දැකීම් වලටයි. බොහොමයක් දෙනා තමන් කරන්නේ සේවයක් ය යන කාරණය අමතක කර තිබෙනවා. තමන් කුමන අංශයක, තත්ත්‍වයක සිටියත්, තමන්ගෙන් සේවය ලබන්නා පාරිභෝගිකයෙක් බව අමතක කර තිබෙනවා. පාරිභෝගික තෘප්තිය බලු බෙට්ටක් වැනි තත්ත්‍වයකට දමා ඇති අතර, පාරිභෝගිකයා නොව තමා රජෙක් කියායි බොහොමයක් දෙනා සිතාගෙන ඉන්නේ. මේ නිසාම බොහොමයක් සේවා ලබන්නන්ට අත් විඳින්න වෙන්නේ බොහොම අප්‍රසන්න අත්දැකීම්.
උදාහරණයක් ලෙස පෞද්ගලික බැංකුවක සේවය ගතහොත්, එවැනි ස්ථානයකදී ලැබෙන අවධානය කිසිම විටක රජයේ කාර්යාලයකදී ලැබෙන්නේ නැහැ. සියළුම දෙනා කටයුතු කරන්නේ බොහොම ඇල්මැරුණු ස්වභාවයෙන්…
ඉතින්, ඔබ යම් තැනකට වැඩක් කරවගන්න ගියාම ඔබටත් එවැනි අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා ඇති… සමහර විට පොඩි අල්ලසක් දෙන්නත් වෙලා ඇති වැඩේ ඉක්මනට කරවගන්න.. එසේමයි අනෙක් අයටත් ඔබ වැඩ අතපසු කරනවා නම් සිදු වන්නේ..
ඉතින් පෞද්ගලික අංශයේ නම් කියන්නේ පාරිභෝගිකයා සතුටු කරන්න නොවෙයි ඔහුව අතිශයින් සතුටු කරන්න කියලා. Not to satisfy the customer, make him delighted… ඒ කියන්නේ පාරිශෝගිකයා ඔබේ සේවා ස්ථානයෙන් යනවිට, නැවතත් එතැනට සතුටු සිතින් එන තැනට කටයුතු කරන්න කියලායි…
ඔබ, ඔබේ උපරිම ධාරිතාවයෙන් වැඩ කරනවාද ? නැත්නම්, යන්තම් ඔබේ රාජකාරිය කර, පැත්තකට වෙනවාද ?