Daily Archives: ජනවාරි 23, 2011

2011 ජනවාරි 23 : 18 වන උපන් දිනයේ 20 වන සංවත්සරය සැමරීමි


අද 23 යි: කොච්චර නාකි වුනත්, හැම අවුරුද්දෙම ජනවාරි 23 වෙනකල් බලන් ඉන්නේ පොඩි කාලේ වගේ උපන් දිනය එනකල්. පොඩි කාලේ නම් අම්මාගෙනුයි තාත්තාගෙනුයි මොකක් හරි පොඩි තෑග්ගක් ලැබෙනවා. පොටෝ කෑල්ලකුත් ගන්නවා… පස්සේ පස්සේ ඒවා කිරිබත් හැදීමකට සහ පොතකට හෝ වෙනත් සුළු දේකට සීමා වුනත්, හිතේ තරහක් තිබුනේ නැහැ. ඊටත් පස්සේ යාළුවොත් එක්ක උපන් දිනේ සමරන්න පුරුදු වුනත් හැමදාම වගේ දෙමවුපියන්ගෙන් සහ ඥාතීන්ගෙන් උපන් දින සුභ පැතුම් ලැබුනා. ඊටත් පස්සේ ඒ අයට අමතරව එක එක ගෑණු ළමයින්ගෙනුත් උපන් දැනයට විවිධාකාර දෑ ලැබුනා.. ඒවා මෙතන කියන්න ගිහින් ඇල්කෙමිච්චිගෙන් ගුටි කන්න වෙනවා. පිළිවෙලක් වුනාට පස්සේ නම් පහුගිය කාළේ දිගටම තෑගි, surprise birthday party වගේ  දෑ ඇල්කෙමිච්චිගෙන් ලැබුණා.

පහුගිය අවුරුදු තුනේම මගේ උපන්දිනය සැමරුවේ වෙනත් අයත් එක්ක බෙදාගෙන. 2009 දි එය සැමරුවේ අමුත්තන් 200 ක් පමණ සහභාගි වුන මල්ලීගේ විවාහය දා. කේක් ගෙඩිය කපන්න 4 දෙනයි. 26 දා උපන් මගේම නංගියි, 27 දා උපන් සුදු නංගි සහ කළණි නංගි කියන ඥාති සහෝදරියන් දෙන්නයි සමඟ බෙදා හදාගෙන තමයි එදා උපන් දිනේ සැමරුවේ. 2010 සැමරුවේ ජනවාරි 24 වෙනිදා උපන් තවත් යෙහෙළියක් සමඟ ඇයට Surprise එකක් කරන්නට. ඊයේ තිබූ මගේ මිතුරාගේ විවාහ සංවත්සරය සමඟ ඒකාබද්ධ කරලා 2011 උපන් දිනය සැමරුවා.

18 වන උපන්දිනයේ 20 වන සංවත්සර කේක් ගෙඩිය

උදේ වනවිට මූණු පොතට උපන් දින සුබ පැතුම් සෑහෙන ප්‍රමාණයක් ලැබී තිබුණා. ඒ සැමට ස්තුතියි. තව ටිකකින් ඒ ගැන කියලා Post එකක් දානවා පොදුවේ.. ඉතින් මේ සැම දෙනාම යන්තම් හෝ මගේ මිත්‍රත්වය ගැන සැලකිල්ලක් ඇති අය. ඒ ගැන ඇත්තේ සංතෝසයක්. අනේ මමත් තවත් අයට වැදගත් කිනම් අයුරකින් හෝ වැදගත් නේද කියලා හිතෙනවා.

මගේ ජීවිතයේ ගෙවුනු කාළය පිළිබඳ මට ඇත්තේ මිශ්‍ර හැඟීමක්. සමහර විට මම මීට වඩා උනන්දු වුනා නම් මීටත් වඩා හොඳ තැනක ඉන්න තිබුණා. නමුත් මම මගේ පවුල, ඥාතීන් සහ මිත්‍රයන් සමඟ මේ ගත කරන ජීවිතය ඒ සමාජමය වශයෙන් අසාර්ථක වෘත්තීයමය සාර්ථකත්‍වයට වඩා වටිනවා. අතක් පයක් කඩා නොගෙන මේච්චර දුර ආපු එක ගැන නම් ඇත්තේ අප්‍රමාණ සංතෝෂයක්…….. ඒ මගේ දැක්ම.

සමහර අවුරුදු වල නම් පන්සලට දානයක් දී හෝ නැති බැරි අයට දානයක් දී උපන් දිනය සැමරුවා. බොහෝ දෙනා එසේ නැති බැරි අයට, ළමා නිවාස වලට, වැඩිහිටි නිවාස වලට දාන දී උපන් දිනය සමරනවා. එය ඉතා හොඳ ක්‍රියාවක්. පින් ලැබීම කෙසේ වෙතත්, එය ලබන්නාගේ සිතේ ඇතිවන පහන් සිතුවිලි නිසා ඔබට අත්වන සුවය නම් අනන්තයි.

ඉතින්, මට මගේ උපන් දිනය හැමදාම විශේෂයි. ඒ මගේ මමත්වය නිසා. මම බ්ලොග් ලියන්නෙත්, මගේ වෘත්තීයමය ජීවිතය සහ සමාජයීය ප්‍රතිරූපය ඉහළට නංවන්න තැත් කරන්නෙත් මගේ ඇති මමත්වය නිසා. මෙය කාටත් පොදුයි. කවුරුහරි කියනවා නම් තමන් පොදු සේවයට කැප වෙලා ජීවත් වෙනවා කියලා, ඒක අමූලික බොරුවක්. ලෝකයේ කිසිම දේශපාලුවෙක් අනුන්ට සේවය කරන්න දේශපාලනය කරන්නේ නෑ වගේම ලෝකයේ කිසිම කෙනෙක් අනුන් වෙනුවෙන් ජීවිතය 100% ක් කැප කරන්නෙත් නෑ… ඒක තමයි මේ ලෝකයේ හැටි…

%d bloggers like this: