Daily Archives: ජනවාරි 30, 2011

2011 ජනවාරි 30 : කියවන්න, තනියම බැරි නං තව කාත් එක්ක හරි කියවන්න….. ඕපාදූප නොවෙයි……… පොත්.


අද ඉරිදානේ… ගෙදර ඉන්න දවස…

අද නම් ටිකක් උදෙන් නැගිට්ටා… ඒ කියන්නේ 9.00 ට විතර… ඒත් ඇල්කෙමි පැටියා ඇඳට පැනලා නැගිට්ටවපු නිසා… උදේ (උදේ කියන්නම බෑ) නැගිටලා ඔන්න ඇල්කෙමිච්චිගෙන් ඉල්ලීමක් ආවා පළතුරු බීමක් හදන්න කියලා… සාමාන්‍යයෙන් ඉරිදාට පොඩි පොඩි විශේෂ කෑම හැදෙනවා ගෙදර, මම පළතුරු බීම හදන්න දස්සයා.. එක එක පළතුරු දාලා බ්ලෙන්ඩරේට දාලා ගත්තාම පාට පාට පළතුරු බීම හැදෙනවා… අපේ ගෙදර කවදාවත් කොකා කෝලා, ස්ප්‍රයිට් වගේ පැණි බීම ජාතිවත්, කෘත්‍රිම පළතුරු බීම ජාතිවත් නැහැ. අවශ්‍ය නම් පළතුරු ගෙනත් ගෙදර බීම හදාගන්නවා… ඒක ඇඟට ගුණයි…

ඉතින් දෙඩම් ගෙඩි 3 ක බික් අරගෙන ඇට අයින් කරලා, බ්ලූ බෙරි ගෙඩි 15 ක් සහ බ්ලැක් බෙරි ගෙඩි 10 ක් දාලා වතුර කෝප්ප එකහමාරක් දාලා හොඳට බ්ලෙන්ඩ් කළා… ඒක කෝප්ප 3 කට දාලා අයිස් ක්‍රීම් හැන්දක් බැගින් දාලා පවුලේ අයට පිළිගැන්වූවා… බ්ලූ බෙරි වෙනුවට මිදි ගෙඩි දාන්නත් පුළුවන්. තමන්ට කැමති විදියට කැමති පළතුරු දාගෙන හදාගන්න පුළුවන්..

බ්ලූ බෙරි

බ්ලැක් බෙරි

මම කැමති අනෙක් බීම තමයි කැරට් යුෂ.. කැරට් අල කීපයක් සුද්ද කරලා බ්ලෙන්ඩරේට දාලා වතුර කෝප්ප කීපයක් දාලා දෙහි ගෙඩියක් ඉස්ම දාලා බ්ලෙන්ඩ් කළාම නියමයි… සීනි සහ ලුණු කැමති පදමට දාගත්තාම රස කියලා වැඩක් නෑ… කැමති නම් පෙරා බොන්නත් පුළුවන්, නැතිනම් කැරට් කැබලි එක්ක බොන්නත් පුළුවන්… කැබලි එක්ක බොනවා නම් ඇඟට තන්තු එක් වීමත් සිදු වෙනවා..  පැපොල් යුෂ බීමත්, පැණි කොමඩු බීමත් මගේ ප්‍රියතම බීම ජාති… හදලා බලන්න… කඩෙන් ගන්න බීම වලට වඩා ගුණවත්….

රූපවාහිනියේ Australian Open  ටෙනිස් තරඟාවලියේ පිරිමි අවසාන තරඟය නැරඹුවා තුන් දෙනාම එක්ක… ඇල්කෙමි පැටියත් හරි හරියට අපිත් එක්ක ඒවා නම් බලන්න දස්සයා… ඊට පස්සේ අපි තුන් දෙනාම පුස්තකාලයට ගියා… ඇල්කෙමිච්චි පොත් කියවන්න හොර වුනාට පැටියාට පොත් කියවන එක ගැන නම් හරිම සතුටුයි… කියවනවා කිවුවට ගොඩක්ම ගෙදර ගේන්නේ කාර්, වාහන, සත්තු පිළිබඳ පොත්… පැටියට තවම කියවන්න බෑ, අපි තමයි කියවන්න ඕනා… මට මතකයි ඉස්සර අපේ ගෙදර තිබුණ පොත් කන්දරාව… ඒ විතරක් නම් මදෑ.. රසවාහිනී, නවයුගය, ශ්‍රී සඟරාව ආදී සඟරා… දවස, රිවිරැස, ආදී පත්තර වලින් ලබාගත් දැනුම තමයි මේ ඇඟේ තවම දුවන්නේ. දැනුත් පොතක් අහුවුනොත් කියවලා ඉවර වෙනකල් බිම තියන්නේ නැහැ…. දැන් නම් වැඩිපුර කියවන්නේ ආගම දහම, ජීවිතය හැඩගස්වාගන්න ආකාරය ගැන ලියැවෙච්ච පොත්.  ඒත් අළුත් පරම්පරාව නම් රූපවාහිනියට දැඩි ලෙස ඇබ්බැහි වෙලා.. ඔවුන් කියවා දැනුම ලබා ගන්නවාට වඩා දැකලා (Visual learners) දැනුම ලබා ගන්නවා. ඒ වුනත් ඒ දැනුම මතකයේ රැඳීම තාවකාලිකයි.. ඒ නිසාම තමයි Semester ක්‍රමයට ඉගෙන ගන්නා අයගේ මතකයට වඩා අවුරුද්දක් පුරා ඉගෙනගෙන විභාගවලට මුහුණදෙන අයගේ මතකය වැඩි…

ඉතින්, ඔබේ දරුවාටත් නින්දට යනවිට හෝ කුඩා පොතක් කියවන්න පුරුදු කරන්න…. කියවීම මිනිසා සම්පූර්ණ කරනවා විතරක් නොවෙයි.. මිනිසා මිනිසෙක් කිරීමත් කරනවා… ඔබත් කියවන්න මැරෙනකම්ම ඉගෙනගන්නවානේ අපි…..

තනියම කියවන්න බැරිනම් කාත් එක්ක හරි කියවන්න…. ඕපදූප නෙවෙයි… පොත්..

%d bloggers like this: