Daily Archives: ජනවාරි 31, 2011

2011 ජනවාරි 31 : මාසයක් ගතවුනා… දැනුනෙවත් නෑ…


අද ජනවාරි මාසේ අන්තිම දවස, මුලින්ම දිනපොත ලියන්න අරන් මාසයක් වෙනවා. මොන වැඩකටයුතු තිබුණත්, නිදාගන්න යන්න ඉස්සර දිනපොත අන්තර්ජාලයට එක් කරන එක පුරුද්දක් වෙලා. දවස් 31 ට විවිධ මාතෘකා ලියැවුනා. පෞද්ගලික අත්දැකීම් මෙන්ම කාට හෝ වැදගත් යමක් ලියැවුනා කියලා හිතෙනවා ප්‍රතිචාර දිහා බැලුවාම. මාසෙටම 1100 කට අධික ප්‍රමාණයක් දිනපොත බලලා: ස්තුතියි මගේ දිනපොත බැලුවාට. ඊටත් වඩා ස්තුතියි ප්‍රතිචාර වලට…

ඇල්කෙමිච්චි නම් කියන්නේ හැමදාම කියන බණේ මයි.. ගෙදරට කිසි වැඩක් නොකර ලෝකෙ හදන්න යන්න එපා කියලා… ඒත් එකෙක් හරි මගේ ලිපි බලලා අළුතෙන් හිතන්න පුරුදු වුනොත් ඒකත් ලොකු දෙයක්… මගෙන් ගෙදරට වැඩ නොකෙරෙනවම නොවෙයි, ඉතින් ඔය ඇල්කෙමිච්චි ඉන්නේ ගෙදරට වැඩ කරන්න… ( හෙට දිනපොත ලියැවුනේ නැත්තම් මාව බලන්න ක්‍රිස්ටියානා ඉස්පිරිතාලෙට එන්න….)

හැබැයි සමහර දේවල් අතපසු වෙනවා… අනේ ඉතින් අපිත් මිනිස්සු නේ….

ඇත්තෙන්ම කාලෙ ගියා නම් දැනුනෙම නෑ… පහුගිය මාසය දිහා බලත්දී මාසෙන් සතියක් පමණම ලෙඩ රෝග වලට ගතවෙලා…  වැඩ නොකෙරුණාම නොවෙයි… මේ මාසේ වැඩිපුරම ගත වුනේ මගේ රසායනාගාරයේ පොඩි එවුන්ගේ වැඩවලට… මටයි කියලා වැඩ ගොඩක් කරගන්න බැරි වුනා. ඒත් මම ඔවුන්ට මඟ පෙන්වීමෙන් බොහෝ දේ ඉගෙන ගත්තා… වැදගත්ම දෙයකට කෙරුණේ කාලගුණ විප්පිරියාස ගැන දිග ලිපියක් ලියලා දිවයින පත්තරේට තැපැල් කළා…. කතෘ තුමාට හිතෙයිද දන්නෙ නෑ ඒක දාන්න….. දිවයිනේ දැම්මේ නැත්නම් වෙන පත්තරේකට වත් දානවා…

දැන් පොඩ්ඩකත් ආත්මාර්ථකාමී වෙලා මටම කියලා යමක් කරගන්න ඕන නිසා හදාගත්තා ලොකු වගුවක්.. මේ මාසය ඇතුළත නිම කරන්න ඕන සියළුම දෑ ඒකේ ලියාගත්තා… ඒ අනුව වැඩ කරනවා. මගේ බලාපොරොත්තුව මගේ මේ පර්යේෂණය මේ මාසය ඇතුළත නිම කරන්නයි. ඊට පස්සේ අළුතෙන් තවත් එකක් ගැන සිතාගෙන යනවා…

කාළය පියාඹා යන්නේ හරිම වේගවත්ව… කළ දෑ පිළිබඳ සිතා, කරන්න ඇති දෑ පිළබඳ තක්සේරුවක් කළාම තමන් යා යුතු ඉලක්කය ආසන්නයට හෝ යන්න පුළුවන්…

අපි බලමු, මේ ලියන කියන වැඩ කටයුතු අස්සේ මගේ රාජකාරි වැඩත් හරි ඉලක්කයට යාගන්න පුළුවන් වේද කියලා.. එකම පරහකට සිටින්නේ ලෝක කුසලාන තරඟාවලිය…. ඒක පටන් ගත්තාම නම් වැඩ කිරීමේ වේගය 1/10 ක් දක්වා අඩු වෙනවා… මොනවා කරන්නද ? අපි උපතින්ම ක්‍රිකට් පිස්සෝ නේ….

%d bloggers like this: