Monthly Archives: ජනවාරි 2011

2011 ජනවාරි 21 : ඔබේ වැඩ කිරීමේ ධාරිතාව කොපමණද ?


බ්‍රහස්පතින්දා වෙනකොට බොහෝ දෙනෙක්ගේ වැඩ කරන ධාරිතාවය අඩු වෙනවා…අද වෙනකොට සති අන්තය එනකල් බලා ඉන්නේ නිවාඩුවේ ඉන්න, මිතුරන් හමුවෙන්න, පාටියක් දාන්න, ටිකක් හෝ නැතිවෙන්න බොන්න, ආදී දේ වලට…

සමහරවිට බ්‍රහස්පතින්දාට කියන්නේ Thirsty – Thursday කියලා.. ඒ කියන්නේ සමහර අය බොන්න පටන් ගන්නේ බ්‍රහස්පතින්දා ඉඳලාමයි. සතිය මැද වුනත් දිවා ආහාරයට කාර්යාලයෙන් පිට තැනකට ගියාම වයින් වීදුරුවක්, බියර් එකක් බොන එක මෙහේ අයගේ සාමාන්‍ය පුරුද්දක්. එහෙම කළා කියලා කරටි කැඩෙන්න වැටෙන්න ගහන්නේ නෑ.. ඒ වගේම ඒ ඒ වෘත්තීන්ට අනුව මත්පැන් පානය කළ හැකිද නැත්ද යන්න නිර්දේශ කෙරෙනවා. සාමාන්‍යයෙන් රසායනාගාරයේ ඉන්න අපට නම් මඳ පමණින් ගත්තා කියලා වැරැද්දක් නෑ, නමුත් අපි කවුරුවත් සතියේ දිනවල දවාලේ නම් එහෙම කරන්නේ නෑ.. ඒත් අපේ කණ්ඩායමේ පර්යේෂණ පිළිබඳ සතිපතා සාකච්ඡා කෙරෙන Group Meeting එකට නම් බියර් පැක් දෙක තුනක්, පිට්සා කිහිපයක් ආදී කෑම වරදින්නේ නෑ එවිට නම් හැම දෙනාගේම අතේ මොනවා හරි දෙයක් තියෙනවා.. බොහෝ දෙනෙක් සිකුරාදා එනකල් ඉන්නේ සති අන්තය බලාගෙන වුනත් පර්යේෂණ කළ්ඩායම් වල අයට නම් සෙනසුරාදාත් වැඩ… ඒකත් දිනචර්යාවේම අංගයක් වෙලා. බොහෝ දෙනෙක් සෙනසුරාදා තරමක් අඩුවෙන් වැඩ කරලා වේලාසනින් ගෙවල්වලට යනවා තම තමන් යොදාගත් දෑ සඳහා… ඉරිදා තමයි සිදහසේ ඉන්න දවස…

මේ සියල්ල මෙසේ වුනත්, බොහොමයක් දෙනා සතියේ වැඩ කරන දින කිහිපයේ තමන්ගේ උපරිමයෙන් කරන්නට වග බලා ගන්නවා. වැඩ කිරීම හෝ නොකිරීම තමන් සතු කාරියක් වුනත්, ඒ දේ හරියට නිම කිරීම තමන්ගේ ඉදිරි ගමනට හොඳ නිසාම ඒ අය උපරිමයෙන් වැඩ කරනවා. ලංකාවේ වගේ දේශපාලනයට හෝ ඇඳුනුම්කමට උසස්වීම් නොලැබෙන නිසා හරියට වැඩ කිරීම සෑම දෙනාගේම නිතැතින්ම සිදු වෙනවා. ඒ නිසාම කාර්යක්‍ෂමතාවයත් ඵලදායීතාවයත් ඉහළ මට්ටමක තියෙනවා. ඒ අතරේම සුළු විනෝදයක්, ඉඳහිට අන්තර්ජාලයට ඇතුළුවීම, මූණු පොතේ මිතුරන් බැලීම ආදියත් කරන්න අමතක කරන්නේ නෑ..

ලංකාවේ තත්ත්‍වය නම් කියන්න කණගාටුයි, සමහර අය බලන්නේම නිකං ඉඳලා ගාණ කඩා ගන්න. මෑතකදී මම ලංකාවට නොගියත්, ගියපු වතාවල හැම තැනදීම මුහුණ දෙන්න ලැබ්නේ එකම ආකාරයේ අත්දැකීම් වලටයි. බොහොමයක් දෙනා තමන් කරන්නේ සේවයක් ය යන කාරණය අමතක කර තිබෙනවා. තමන් කුමන අංශයක, තත්ත්‍වයක සිටියත්, තමන්ගෙන් සේවය ලබන්නා පාරිභෝගිකයෙක් බව අමතක කර තිබෙනවා. පාරිභෝගික තෘප්තිය බලු බෙට්ටක් වැනි තත්ත්‍වයකට දමා ඇති අතර, පාරිභෝගිකයා නොව තමා රජෙක් කියායි බොහොමයක් දෙනා සිතාගෙන ඉන්නේ. මේ නිසාම බොහොමයක් සේවා ලබන්නන්ට අත් විඳින්න වෙන්නේ බොහොම අප්‍රසන්න අත්දැකීම්.

උදාහරණයක් ලෙස පෞද්ගලික බැංකුවක සේවය ගතහොත්, එවැනි ස්ථානයකදී ලැබෙන අවධානය කිසිම විටක රජයේ කාර්යාලයකදී ලැබෙන්නේ නැහැ. සියළුම දෙනා කටයුතු කරන්නේ බොහොම ඇල්මැරුණු ස්වභාවයෙන්…

ඉතින්, ඔබ යම් තැනකට වැඩක් කරවගන්න ගියාම ඔබටත් එවැනි අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා ඇති… සමහර විට පොඩි අල්ලසක් දෙන්නත් වෙලා ඇති වැඩේ ඉක්මනට කරවගන්න.. එසේමයි අනෙක් අයටත් ඔබ වැඩ අතපසු කරනවා නම් සිදු වන්නේ..

ඉතින් පෞද්ගලික අංශයේ නම් කියන්නේ පාරිභෝගිකයා සතුටු කරන්න නොවෙයි ඔහුව අතිශයින් සතුටු කරන්න කියලා. Not to satisfy the customer, make him delighted… ඒ කියන්නේ පාරිශෝගිකයා ඔබේ සේවා ස්ථානයෙන් යනවිට, නැවතත් එතැනට සතුටු සිතින් එන තැනට කටයුතු කරන්න කියලායි…

ඔබ, ඔබේ උපරිම ධාරිතාවයෙන් වැඩ කරනවාද ? නැත්නම්, යන්තම් ඔබේ රාජකාරිය කර, පැත්තකට වෙනවාද ?

2011 ජනවාරි 20 : ඇත්තටම මට උඹ ගැන හරි සන්තෝසයි…(අනුනට ඊර්ෂ්‍යා කරන්න එපා)


අද මටත් මගේ හොඳම මිතුරාටත් බොහොම සන්තෝස දවසක්… මට වඩා ඔහුට… ඒ ඔහුට නව රැකියාවක් ලැබුන නිසා.. ඉතින් මටත් හරි සන්තෝසයි…

ඔහු මාත් සමඟ එකටමයි ඉගෙන ගත්තේ, තුර්කි ජාතිකයෙක් වූ ඔහුත්, ඔහුගේ බිරිඳත් ඔවුනගේ දියණියත් අපේ පවුලේ හොඳම මිතුරෝ. මගේ පුතාගේ හොඳම යෙහෙළිය ඔවුනගේ දියණියයි. පුතු ඉපදුන වෙලේ ඇල්කෙමිච්චි ළඟින්ම හිටියේ ඔහුගේ බිරිඳ, අපට රෝහලට කෑම අරන් ආවේ ඔහු. ඒ තරමට අපිට ඔවුන් සමීපයි. ඔහු ආචාර්ය උපාධිය ලැබුවේ මට වඩා අවුරුද්දකට පෙර, ඒ සමඟම ඔහුටත් පර්යේෂක තනතුරක් ලැබුණා විශ්ව විද්‍යාලයේ. එයට දැන් කල් පිරෙන්න කාළය හරි නිසා ඔහු ස්ථිර රැකියාවක් හොයමින් සිටියේ, සමහර වෙලාවකට බොහොම කළකිරීමෙන් සිටි ඔහු මාර්තු මස මුලදී තුර්කියට ආපසු යන්නයි සිතා සිටියේ. නමුත් දැන් ඔහුට බ්‍රිස්ටල් මයර්ස් ස්ක්‍විබ් ආයතනයේ විද්‍යාඥ තනතුරක් ලැබුණා. එය අප සැමටම සතුටුදායක පුවතක්.. ඉතින් මම ඒ බව දැනගත් වහාම කළේ ඔහුට සුබ පැතීම…

මම දැනගෙන හිටියා ඔහුට හොඳ තත්ත්‍වයක් උදා වන බව, අති දක්‍ෂ පුද්ගලයෙක් වූ ඔහු සමහර විට තාර්කික ශක්තිය අතින් සිටියේ අප සැමට වඩා ඉදිරියෙන්… අපි දෙදෙනාම පන්තිවල ඉදිරියෙන් සිටියත්, පර්යේෂණ කිරීමේදී ඔහුගේ දැක්ම ඉතා තියුණුයි… ඒ නිසාම ඔහු පර්යේෂණ අතින් සිටියේ අන් අයට වඩා බොහෝ ඉදිරියෙන්. මට ඔහු ගැන ඊර්ෂ්‍යාවක් නෑ.. අපි දෙදෙනාම අප දෙදෙනාගේ විවිධ දක්‍ෂකම් වලට ගෞරව කළා මිස අනෙකා අභිබවා යන්නට උත්සාහ කළේ නැහැ. අප දෙදෙනාට තිබුනේ විවිධාකාර දක්‍ෂකම්. මා ක්‍රිකට් සහ වොලිබෝල් ක්‍රීඩා වලට දක්‍ෂකම් පාද්දී ඔහු බාස්කට්බෝල් ක්‍රීඩාවේ රුසියෙක් වුනා. නමුත් බිලියඩ් ක්‍රීඩාවෙදි නම් අප දෙදෙනා අතර දැඩි තරඟයක් තිබෙනවා.. ඒ තරඟය පැවැත්වෙන වෙලාවෙදි විතරයි.. එතැනින් එළියට ආවාම නැවතත් අපි පුරුදු මිතුරෝ…

මගේ හොඳම මිතුරෙකුට යහපතක් වෙනවා නම් ඒ ගැන මට සතුටු විය හැකිව තිබිය යුතුයි. ඊර්ෂ්‍යා කරනවාට වඩා කළ යුත්තේ තවත් මහන්සි වී තමාත් ඒ තැනට යාමට කටයුතු කිරීමයි. මේ ලෝකයේ බොහෝ දෙනා අනුන්ට ඊර්ෂ්‍යා කරනවා, ඒ මත නපුරුකම්, තරහ වීම් කරනවා. නමුත් එයින් තමන්ට ඇති වන වාසියක් නැහැ. සිදු වන්නේ තමන්ගේ වෙලාව නාස්තිය සහ ලේ අපිරිසිදු වීමයි….

ඉතින්, ඔබත් අනුනට ඊර්ෂ්‍යා කරනවාද ? එහෙමත් නැතිනම් අනුන් දියුණු වනවා බලා, ඔබත් සිතට ධෛර්යය අරගෙන දියුණු වන්නට උත්සාහ කරනවාද ?

තීරණය ඔබ සතුයි…………….

2011 ජනවාරි 19 : කෙළින් කතා කරන්න….


අදත් ඉතින් ලොක්කා නැහැනේ…තවමත් මමයි ලොක්කා..

ඊයේ රසායනාගාරයට වැඩට ආවෙ නැති ඇමරිකන් ශිෂ්‍යයා අද වැඩට ඇවිත්… ඊයේ එන්නේ නෑ කියලා කාටවත් කිවුවේ වත්, E-mail එකක් වත් දුරකථන පණිවිඩයක් වත් කාටවත් දීලා තිබුණේ නැහැ. මට තරමක් තරහ ගිහින් තිබුණේ ඒකා එක්කලා.. හේතුව තමයි නොකියා නෑවිත් ඉඳීම… මොන හේතුව වුනත් කියලා නෑවිත් ඉන්නවා නම් හැමෝම දන්නවා අද මෙයා එන්නේ නෑ කියලා… රසායනාගාරයේ තවත් පොඩි එවුන් දෙන්නෙක් ම ඊයේ වැඩට ආවේ නෑ ලෙඩ වෙලා, නමුත් ඔවුන් දෙන්න මට දන්වලා තිබුණා.

මේ නිසාම මම කොලුවාට බැන්නා තරමක් තදින්… මම කිවුවා මීට පස්සේ එන්නේ නැත්නම් අවම වශයෙන් දන්වලා එවන්න කියලා… මේකා කොහොමත් ටිකක් වෙන්න Common sense අඩු පොරක්… සද්ද නැතිව අහගෙන හිටියා…

හැබැයි පස්සේ මට ආයෙම ඇවිත් කතා කළා… මම කෙළින්ම කියන දේ මූණටම කියන නිසා ඒ ගතිය හොඳයි කියලා… මම කිවුවේ ඉතින් වැරැද්ද දැක්ක තැන මම කියනවා, ඊට පස්සේ මගේ කිසිම තරහක් නෑ කියලා… ඒ වගේම මට බලයක් තියෙනවා ඔවුන්ට කෑගහන්න- බනින්න, උන්ව හදන්න.. ඒක එවුන්ගේ අනාගතයටයි වැදගත් වෙන්නේ. මට කිසිම ප්‍රයෝජනයක් නෑ..

මම මගේ ලොක්කාටත් කියලා තියෙන්නේ, මගේ හෝ කාගේ හරි වැරැද්දක් තියෙනවා නම්, මූණ පුම්බගෙන ඉන්නේ නැතිව කෙළින්ම කියන්න කියලා.. මේ අය අමෙරිකන් කාරයෝ වුනත්, සමහර අයනම් කිසිම දෙයක් කියන්නේ නැතිව ඉඳලා වෙනත් මොකක් හරි වෙලාවක පරණ දේවල් ඔක්කෝම ඇදගෙන කෙඳිරි ගානවා…

මම නම් කියන්න තියෙන දේ කෙළින්ම කාට වුනත් කියනවා, ඒ වගේම ඒ සිද්ධිය එතැනින් අමතක කරලා දානවා.. මේ නිසාම බොහෝ අයත් සමඟ ප්‍රශ්න ඇති වෙන්නේ නෑ..

ඒත් මෑතදී මට මිතුරෙක් අපූරු කතාවක් කිවුවා.. ඒ තමයි මම මූණු පොතෙන් අඳුරගත්තු මගේ පාසලේ මට වඩා අවුරුද්දක් වැඩි මහල් මිතුරෙක් මහා මැතිවරණය කාළේ මූණු පොතේ මම එයාට දාපු Comment එකකට මාත් එක්ක තරහ වෙලා මිනිහා මාව Friend List එකෙන් අයින් කරලා කියලා.. හැබැයි මම දන්නෙත් නෑ ඒ කතාව.. මම හිතුවේ මිනිහා මූණු පොතෙන් අයින් වෙලා කියලා…වෙනත් තැනක මම මිනිහාට හොඳ Comment එකකුත් දාලා මොකද සද්දයක් නැත්තේ කියලත් අහලා තියෙනවා ඊටත් ගොඩාක් පස්සේ…  මෙහෙම ගති තියෙන මිනිස්සුත් අපි අතර ඉන්නවා…

තමන්ගේ හිතේ කහට තියාගෙන විඳවනවාට වඩා කියන්න තියෙන දේ කෙළින් කියලා කරුණු පහදලා දීලා ජීවිතය විඳින එක ඊට වඩා හොඳයි නේද ?

අපි මේ ලෝකේ සදා කාලිකව ඉන්න ආපු මිනිස්සු නෙවෙයි නේ… ඉන්න ටිකේ හැමෝම එක්ක සතුටින් ඉඳලා කෙනෙක්ගේ සිතේ හොඳ මතකයක් ඉතිරි කරලා මේ ලෝකෙන් යන්න පුළුවන් නම් ඒක තමයි හොඳම…..
කෙළින් කතා කරලා කෙලින් හරියට වැඩ කරමු…

සමහර උදවිය මේ අදහස සමඟ එකඟ නොවෙන්නත් පුළුවන්… ඒක ඒ අයගේ කැමැත්ත….

2011 ජනවාරි 18 : වැහි දවස් වලටවත් අනුන් ගැන පොඩ්ඩක් හිතමු…..


අද උදේ ඇහැ ඇරෙන විට හතර වටේටම අයිස් වැටිලා…. හිම වැටෙනවාට වඩා අයිස් වැටෙන එක භයානකයි. හිම වැටෙනකොට පොළව ලිස්සනවා අඩුයි, නමුත් අයිස් වැටෙනකොට පොළව මත ලිස්සනසුළු අයිස් තට්ටුවක් බැඳෙනවා. මේ නිසා අනතුරු සිදු වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි. විශේෂයෙන්ම අයිස් මත ලිස්සා ගිහිල්ලා වාහන අනතුරු ගොඩක් වෙනවා .

අද පාරවල් මෙන්න මේ වගේ

ගිය සතියේ ඔළුවට වෙච්චි අනතුරට පස්සේ පුතු ඉස්සෙල්ලාම පාසලට යන්නේ අද.. ඉතින් පොඩි එකාව පන්තියට අරගෙන ගියාම ඒ පන්තියේ ඉන්න පැටවු ටිකට හරි සන්තෝසයි යාළුවා ආයෙම ආපු එකට… ඒ අයටත් කතා කරලා ගුරුතුමියො දෙන්නටත් කතා කරලා හිම කැට වැටෙන වැස්සේ රසායනාගාරයට ආවා…

ඒ එනකොට තමයි දැක්කේ, මට ඉදිරියෙන් ගිය වාහනය වතුර එකතු වුන තැනකින් තරමක් වේගයෙන් යනකොට, පාරේ අයිනෙන් ගිය යුවතියට හොඳටම නෑවෙන්න වතුර පාරක් වැදුනා… වාහනේ වේගය අඩු කරලා ඇයට වතුර ඉසෙන එක නැවැත්තුවත්,  ඇයව නෑවුව වාහනය අයිති පුද්ගලයාට මැදඟිල්ල ඔසවා කළ ප්‍රතිචාරයෙන් පස්සේ මටත් සිනහා ගියා, එක අතකට ඇගේ ඒ ප්‍රතිචාරය හරි කියලා…

මට මතක් වුනේ මම පාසල් යන දවසක සිදු වූ සිදුවීමක්. මම ගමන් කළ වාහනය දිනක් මඩ වලක වැටී ඒ අසලින් ගමන් ගත් පාසල් යුවතියකගේ සුදු ගවුම සම්පූර්ණයෙන්ම මඩින් නැහැවුනා… ඇයගේ මුහුණේ තිබුණ අසරණකම මටත් රථයේ රියැදුරාටත් බොහොම සිතට වද දුන්නා.. අප වාහනය නවතා ඇයට කතා කරන්නට හැදුවත් ඈ මිතුරියන් රෑනක් සමඟ සිදු වූ අකරතැබ්බයට පිළියම් කරමින් සිටියා. (අපට හොඳහැටි බණින්න ඇති ඔක්කෝම එකතු වෙලා) ඇත්තටම සිදු වුනේ අප ඒ මඩවල නොදැකීමයි…

ඇය නැහැවුනේ නම් මෙවැනි මඩ ගොඩක් නොවෙයි....

දුටුවා නම් අපේ අතින් එවැනි වැරැද්දක් සිදු වෙන එකක් නැහැ. එදායින් පසු මම නම් කිසිම දවසක වැහිදාට අනවශ්‍ය ලෙස වේගයෙන් වාහන පදවන්නේ නැහැ. ඒ වගේම කිසිවෙකු පාරේ ගමන් කරනවා නම් ඒ අය ගැන සළකා බලා සෙමෙන් ධාවනය කරනවා… මේ නිසාම මගේ අතින් අනෙක් අය නැහැවෙනවා බොහොම අඩුයි.

ලංකාවෙත් මේ දවස්වල හරි වැස්ස.. ඔබත් වාහනයක හිමිකාරයෙක් හෝ රියැදුරෙක් නම්, ඔබත් සිතා බලන්න: සීතලේ පාරේ ගමන් කරනවිට ඇඟ පුරාවට නාගෙන යන්න වතුර පාරක් ඔබට වැදුනොත් ඔබට දැනෙන හැඟීම කුමක් ද කියා…. එසේ නම්… අනෙක් අය ගැනත් එසේම සිතන්න… අනෙක් අයත් කැමති නැහැ වැදගත් ගමනක් යනවිට හෝ කාර්යාලයට හෝ පාසලට යනවිට මඩ නාගෙන යන්න…

ඉතින්… වැස්ස වෙලාවට හෙමින් වාහන පදවන්න.. ලංකාවෙ පාරවල්වල ඇති අලි නාවන තඩි වලවල් බේරලා පරිස්සමින් යන්න. සමහර විට එය ඔබේ වාහනයට මෙන්ම ඔබ අනතුරකට පත් වීමට ඇති ඉඩකඩ ද වළකා ලන්නට පුළුවන්…

අපි අනුන් ගැනත් පොඩ්ඩක් හිතමු…..

2011 ජනවාරි 17 : ඔබ කර අරින පුද්ගලයෙක් ද ? නායකයෙක් ද ?…….


අද සඳුදා… සාමාන්‍යයෙන් අද අමෙරිකාවේ බොහෝ ආයතන වලට නිවාඩු දවසක්. මාටින් ලූතර් කිං ගේ උපන් දිනය නිසා. නමුත් විශ්ව විද්‍යාලවල පර්යේෂණ කරන අයට නම් නිවාඩු දවසක් නෙවෙයි. ඒ වගේම, අපේ ලොක්කා සමුළුවකට සහභාගි වෙන්නට මේ සතියෙම කැලිෆෝර්නියාවේ ගිහින්. ඉතින් මම තමයි ලොක්කා… පොඩි එවුන් අට දෙනෙක් බලා ගන්න එක ලේසි පාසු දෙයක් නෙවෙයි, ඒ විතරක් නෙවෙයි, මමත් වැඩ කරන්න එපායෑ…

උදේ වැඩට එනකොටම දෙන්නෙක් ලෙඩ වෙලා, ඒ දෙන්නව ගෙදර යවලා අනෙක් අයගේ වැඩ බලාගෙන යනවිට තමයි වැඩ එක දෙක වුනේ… අපේ රසායනාගාරයේ වගේම අනෙක් බොහොමයක් රසායනාගාරවලත්  සාමාන්‍ය වායුගෝලයේදී අස්ථායී රසායනික සංයෝග පරිහරණය කිරීමට, නයිට්‍රජන් හෝ ආගන් වැනි නිෂ්ක්‍රීය වායුවක් පිරවූ පෙට්ටියක් වැනි Glove Box නම් උපකරණයක් භාවිතා කරනවා.

පොඩි එවුන්ගෙන් එක් අයෙක් පොස්ෆීන් අඩංගු සංයෝගයක් මේ Glove box ඇතුලේ ඉහිරවලා… මේ සංයෝගය පුදුමාකාර දුර්ගන්ධයකින් යුක්තයි, ඒ වගේම ගිණිගන්නා සුළුයි. මේ සංයෝගය Glove Box එකේ වායුව පිරිසිදු කරන උත්ප්‍රේරකයටත් විෂ සහිතයි. ඒ නිසාම ඉක්මනින්ම පිරිසිදු කළ යුතුයි. එය පිරිසිදු කරන්න පැය ගණනක් වෙහෙස වෙන්නට සිදු වුනා. මෙය මට අයිති රාජකාරියක් නොවුනත්, අපේ කණ්ඩායම වෙනුවෙන් ඒ වෙහෙස දරන්නට සිදු වුනා.මේ අහිතකර දෑ ආශ්වාස වෙලා සමහර විට මගේ ජීවිතයත් දින කීපයකින් කෙටි වෙන්නට ඇති… නමුත් කළ යුතු දෑ ඒ අවස්ථාවේ කළ යුතු මයි. වෙනත් කෙනෙක් කරනකල් බලා සිටියා නම් සමහරවිට ඩොලර් 40,000 ක් වටිනා Glove box  එකේ වටිනා කොටස් කිහිපයක් නැති වෙන්නට තිබුණා.

අපි හැම විටම අදාල නිළධාරියා හෝ අදාල ලිපි ගොණුව ලැබෙන තෙක් කළ යුතු ඒ වැඩ කොටස පසුවට තිබ්බොත් අපේ ජීවිතයේ හෝ රාජකාරියේ වැඩ කෙතෙක් අතපසු වෙන්න පුළුවන් ද ? රෝහලක මෙසේ රාජකාරි අතපසු කළහොත් සමහර විට රෝගියෙක් ජීවිතයෙන් වන්දි ගෙවන්න පුළුවන්. එසේ සිදු වූ අවස්ථා අනන්තවත් මේ සිරි ලංකාවෙන් අපට අසන්නට ලැබෙනවා…

ඉතින්… ඔබත්, හදිසි අවස්ථාවක හෝ ඔබේ සේවය අවශ්‍ය වෙනත් අවස්ථාවක මඟහැර ගොස් තිබෙනවා ද ? එසේ තිබෙනවා නම් ඇත්තෙන්ම ඔබ ඔබ ගැනම ලැජ්ජා විය යුතුයි… දැනුදු ඔබට ඔබේ ඒ ගතිය මඟ හරවා ගත හැකියි… වෙනත් කෙනෙකු කිසියම් පොදු රාජකාරියක් කරන තුරු නොසිට, ඒ ක්‍රියාව තමන් විසින්ම ඉටු කරන්න… නායකයෙක් කියන්නේ එසේ පෙරමුණ ගන්නා පුද්ගලයෙක්… ලංකාවෙ නායකයො දැන් අඩුයි කියලා දේශපාලන නායකයෙක් ඊයේ පත්තරේකටත් කියලා තිබුණා…. කරන සුළු දේකින් පවා සමහර විට ඔබ නායකයෙක්ද එහෙමත් නැත්නම් පසුපස යන්නෙක් ද කියලා බලන් ඉන්න අයට තීරණය කරන්න පුළුවන්….

හැමෝටම නායකයෝ වන්නත් බැහැ… එසේම, සමහරුන්ට නායකත්‍ව ලක්‍ෂණ හදා ගන්නත් පුළුවන්…  නායකයෙක් සැම තැනම කැපිලා පේනවා. එසේම ඉතා ඉක්මනින් විවිධාකාර උසස් තනතුරු කරා ගමන් කරනවා.  දියුණු වෙන්න උත්සාහ කරන්න ඕනා.. එසේම ඒ සඳහා අවස්ථාව පාදා ගන්න, පසුපසට වෙලා ඉඳලා බැහැ…

2011 ජනවාරි 16 : මාසෙකට එක දවසක්වත් නිදහසේ ඉන්න


අද ඉරිදා… නිදහසේ ගෙදර ඉන්න දවස.හොඳ නින්දකින් පස්සේ උදේ ඇහැ ඇරෙනකොට උදෑසන 9.30 යි… සතියේ හැමදාම උදේ ඇහැ ඇරෙන නිසා විශේෂයෙන් යොදාගත් වැඩක් නැත්නම්, ඉරිදට ටිකක් දවල් වෙනකල් නිදාගන්න ඇල්කෙමිච්චිගෙන් අවසර ලැබෙනවා. ඒ ලද අවසරයෙන් ප්‍රයෝජන අරගෙන පස්ස පැත්තට ඉර පායනකම් ටිකක් නිදාගත්තා. ඉරිදා උදෑසන අපේ නිවස වෙන්වෙලා තිබෙන්නේ දුරකථන ඇමතුම් සඳහා. ගෙවල් වලට නෑදෑයොන්ට සියළුම දෙනාට කතා කරලා අවසන් වෙනවිට දවල් 12 පසු වෙනවා. දිවා ආහාරයෙන් පස්සේ මම නම් රූපවාහිනියේ විකාශය කෙරුණු අමෙරිකානු පාපන්දු තරඟාවලියේ අවසන් පූර්ව තරඟයක් නැරඹුවා.

සවස ආයෙමත් පොඩි නින්දක් දාලා දැන් තමයි අන්තර්ජාලය පැත්තේ සැරිසරන්න පටන් ගත්තේ. සතියක් තිස්සේ වැඩ කරලා, විවිධ කටයුතු වලට සහභාගි වෙච්චි ගතටත් සිතටත් ඉරිදා දවසේ විවේකයෙන් ගත කිරීම ලැබ දෙන්නේ නව පණක්. ලබන සතියෙත් පරණ පුරුදු ශක්තියෙන්ම වැඩ කරගෙන යන්න මේ නැවත ආරෝපණය කාටත් අත්‍යවශ්‍යයි.

අපේ සිරුරු වයසට යත්ම ගෙවීගිය කොටස් ප්‍රතිනිර්මාණය වීමේ වේගය අඩු වෙනවා. මේ නිසාම ශරීරය වැහැරීම, අධිකව වෙහෙස දැනීම මෙන්ම මානසිකව වුවත් ආතතිය වැඩි වීම වැනි ක්‍රියා අපටත් නොදැනීම සිරුර තුළ සිදු වෙනවා. මේ නිසා තමයි අවුරුදු 20 දි පමණ අප දුව පැන කරපු ක්‍රීඩා අවුරුදු 40 වුනාම ඒ අයුරින්ම කරන්නට බැරි.. තේරෙන භාෂාවෙන් කියනව නම්, සනත් ජයසූරියත් ටීම් එකෙන් කැපෙන්නේ මේ හේතුව නිසා. ඉතින් මේ ගෙවෙන කොටස් වලට පොඩ්ඩක් විවේකයක් දෙන්න, අළුතෙන් යමක් හිතන්න සිතට විවේකයක් දෙන්න, සතියකට එක දවසක් හෝ විවේකයෙන් ගත කරන්න පුළුවන් නම්, ඒක ඉතාම හොඳයි..

හැම සතියෙම මේ කටයුත්ත කෙරෙන්නේ නම් නැහැ, සමහර විට නොයෙකුත් හිත මිතුරන්ගේ දේ වලට උදව් පදව් කිරීමට හෝ ඥාතීන්ගේ කටයුතු, ආගමික හෝ සමාජයීය කටයුතු, නිවසේ පිළිසතර කිරීම්, දරුවන්ගේ කටයුතු වැනි දහසකුත් එකක් දේ ඔබට තිබෙනවා. එසේම ඔබ අනුන් වෙනුවෙන් සිය ජීවිතය කැප කරනවා වගේම ඔබටත් කියා දවසක් හෝ තිබිය යුතුයි…

ඉතින්, ඔබේ ජීවන රටාවට අනුව, එක්කෝ ඈත පලාතකට යන්න, නැත්නම් තනිවම ටික වෙලාවක් හෝ සිටින්න… එය පුදුම සැහැල්ලුවක් සිතට ඇති කරාවි… සමහරවිට සිතට කවි සිතුවිලි පහළ වන්නටත් බැරි නෑ….

2011 ජනවාරි 15 : දුන්නොත් දානේ, ලැබෙයි නිධානේ….


අද බොහොම කාර්ය බහුල දවසක්… උදෑසනම පුතුගේ නව පාසල සඳහා වූ සැසියකට සහභාගී වෙලා මිතුරකුගේ නිවසේ පැවති දානයකට ගියා. මේ රටේ දානයකට යත්දී බොහෝ දෙනා කළින් නියම කරගත් පරිදි එක් ව්‍යංජනයක් හෝ කිහිපයක් පිළියෙල කරගෙනයි යන්නේ. ඒ අනුව අපත් ව්‍යංජන කිහිපයක් පිළියෙල කරගෙන ගියා.

දානයට ස්වාමීන් වහන්සේලා සිවු නමක් වැඩම කළා. එතැන සිටි අපේ මිතුරෙකු නායක හාමුදුරුවන්ගෙන් අපූරු පැණයක් ඇසුවා. එනම්, දානයක් සාංඝික කිරීමට ස්වාමීන් වහන්සේලා කී නමක් වැඩම කළ යුතුදැයි කියා. දානයක් යනු විනය කර්මයක් නොවන නිසා එක් ස්වාමීන් වහන්සේ නමක් වුවත් සෑහෙන බවයි උන්වහන්සේගේ මතය වුනේ. එසේම දානයක් ඕනෑම කෙනෙකුට ප්‍රදානය කළ හැකියි.  සතුනට, නැති බැරි මිනිසුන්ට, මිතුරන්ට, උපාසක උපාසිකාවනට සහ ශ්‍රද්ධාවන්තයිනට වශයෙන්. නමුත් දානයක මහත් ඵල මහානිස්ස නිසි ලෙස ලැබෙනුයේ ඒ දානය ධාර්මිකව උපයාගත් දෙයින්, ලෝභ නොමැතිව, ශ්‍රද්ධා සම්පන්න උදවියට දීමෙන් බව උන් වහන්සේ ප්‍රකාෂ කළා…

දානයක් යනු දීමක්. එසේ යමක් දීමේ හැකියාව ඇත්තේ තෘෂ්ණාව අඩු තැනැත්තන්ටයි. යමෙකුට කිසිවක් දීම මෙලොව හෝ පරලොව  සැප පිණිස කෙසේ හේතු වූවත් ඒ දේ ලබන පුද්ගලයාගේ සිත නම් සන්තෝසයට පත්වන බව නොඅනුමානයි..

ඔබ සතුවත්, ඔබ පාවිච්චි නොකරන දෑ අනන්තවත් ඇති.. නැති බැරි මිනිසුන්, අවතැන් වූ මිනිසුන් අනන්තවත් අප අවටම සිටිනවා… ඔබ අනවශ්‍ය ලෙස ඒ දෑ ගොඩගසා නොගෙන, අසරණ අය සමඟ බෙදාගෙන ඒ අයගේ මුව‘ඟ එක් සිනා රැල්ලක් සටහන් කිරීමට දවසක් හෝ උත්සාහ කළාද ?

එසේ නැත්නම්, ඔබට තවමත් අවස්ථාව තිබෙනවා… ගංවතුරෙන් අවතැන් වූ දහසක් දෙනා වෙත ඔබේ පරිත්‍යාගයේ දෑත් දිගු කරන්න පුළුවන්… සමහර විට, ඔබට කරදරයක් සිදු වූ විට, එයින් කෙනෙක් ම ඔබට පිහිට වේවි….

2011 ජනවාරි 14 : සූර්ය දිව්‍ය රාජයා කෝප වූ තෛපොන්ගල් මංගල්‍යය…….!


ජනවාරි 14 සාමාන්‍යයෙන් ලංකාවෙ නම් නිවාඩු. මොකද තෛපොන්ගල් නිසා. තෛපොන්ගල් කියන්නේ දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ  ද්‍රවිඩ ජනතාව අස්වනු නෙලා ගෙට ගෙන ආ පසු සූර්ය දෙවියන්ට පුදන මංගල්‍යයක් (Pongal) ලෙසයි… මෙය සාමාන්‍යයෙන් ජනවාරි (thai)මස 13 – 15 අතර දිනවල පැවතෙනවා.

මෙවර නම් නැගෙනහිර පලාතේ ජනතාවට තෛපොන්ගල් නොවෙයි, උන් හිටි තැන් පවා නැති වෙලා තියෙනවා: සූර්ය දිව්‍ය රාජයා කෝප වෙලා ද දන්නේ නෑ… අසාමාන්‍ය වර්ෂාපතනයත් එක්කම පැමිණි අධික සීතල බොහොමයක් දෙනාට දරාගන්න බැරි තත්ත්‍වයක තිබුනා… මෙසේ අකාලයේ වැසි වැහැලා මිනිසුන් කරදරයේ වැටෙන්නේ රටේ පවත්න අයහපත් පාලනය නිසා කියලයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ ඔහුගෙන් කෑලි අහුලාගත් එක්සත් ජාතික පක්‍ෂයේ දයාසොරි ජයසේකර කියන්නේ… එසේ නම්, අධික හිමපතනය වූ නිසා අමෙරිකාවේ සහ යුරෝපයේ නායකයිනුත්, අධික වැසි වැටීම ගැන ඕස්ට්‍රේලියාවේ සහ බ්‍රසීලයේ නායකයිනුත් ඒ ව්‍යසනයන්ට වගකියන්න ඕනා…

ඇත්තටම සළකා බැලුවොත් මේ සියළුම ව්‍යසන වලට ලෝකයේ සියළුම දෙනා වගකිවයුතු වෙනවා. වසර දෙසීයක් පමණ කාලයක් තිස්සේ පරිසරයට කරපු හානියට පරිසරය මිනිසාට දඬුවම් ලබා දෙනවා. 2010 වසර තුළ පමණක්, ස්වභාවික ව්‍යසන නිසා මිනිසුන් 250,000 ක් දෙනා මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළා. මේ සියළුම මරණ සංඛ්‍යාව වළක්වා ගැනීම අපහසු විය හැකි වුවත්, සමහර දෑ වලක්වාගත හැකිව තිබෙන්න ඇති. එසේමයි, ලොව වැඩිවන ජනගහනය පාලනයට කිසියම් ක්‍රමයක් තිබිය යුතුයි.. මෙය ඒ ස්වභාවික වරණයේ ප්‍රතිඵල විය හැකියි.

මහා පිපිරුම (Big Bang) සිදු වූ දිනයේ සිට අද දක්වාම විශ්වය ප්‍රසාරණය වෙමින් පවතිනවා, එසේත් නැත්නම් විශ්වයේ අහඹුතාවය වැඩි වෙමින් පවතිනවා. පෘථිවිය සංවෘත පද්ධතියක් සේ ගත් කළ පවා, මෙම අහඹුතාවයේ වැඩි වීම අපට දැකගන්නට පුළුවන්, ජනගහනය වැඩි වෙනවා, බලශක්ති පරිභෝජනය වැඩි වෙනවා. මේ ආදීවශයෙන් ගත් කළ පද්ධතියේ අහඹුතාවය වැඩි වන විට පද්ධතිය සමතුලිත බව නැති වෙනවා. මේ සමතුලිත බව නැතිවීම තමයි ප්‍රතික්‍රියාවක් කියන්නේ. මේ අහඹුතාවයේ වැඩි වීම කවදා හෝ පෘථිවියට දරාගන්න බැරි තත්ත්‍වයකට පත් වෙනවා. එවිට මේ පද්ධතිය විනාශ වෙන්නට පුළුවන්. දැනටමත් ඒ විනාශයේ ලක්‍ෂණ පහළ වෙමින් පවතිනවා.

ඉතින් මේ පද්ධතිය විනාශය කරා යන ගමනේ වේගය අඩු කරන්න අපට පුළුවන්. ජනගහනය වැඩි වීම අපට පාලනය කරන්නට බැහැ, සත්ව සංහතියේ පරිණාමයට ඉදිරියටත් ඔවුන් පැනතිය යුතු නිසා සෑම සතෙක්ම පැටවුන් බිහි කරනවා.මෙය කිසිවෙකුටත් පිලනය කරන්නට බැහැ. නමුත් අපේ පරිසරයේ පවතින දෑ නැවත නැවත පරිභෝජනය හෙවත් ප්‍රතිචක්‍රීකරණය මගින් මේ විනාශය අඩු කරගන්නට අපට පුළුවන්. මේ පිළිබඳ වැඩි විස්තර සහිත ලිපියක් ඉදිරියේදි එළිදක්වන්නම්…

2011 ජනවාරි 13 : අනාගත අභියෝගය : අනාගන්න එපා……..


අද ජනවාරි 13 : මූණූ පොතේ ලංකාවේ මිතුරු මිතුරියන්ගේ කංකෙඳිරිය වෙලා තියෙන්නේ දරාගන්න බැරි හීතල ගැන….

මම පිළිගන්නවා, ලංකාව වැනි ඝර්ම කලාපීය රටක උෂ්ණත්‍වය මෙසේ පහළ යාම අසාමාන්‍ය දෙයක්. එසේමයි, හැම දෙනාටම  මතක ඇති මීට මාස හයකට පමණ තිබුණ දරාගන්න බැරි රස්නය…. මේ ගැනත් බොහෝ දෙනා කෙඳිරි ගෑවා මට මතකයි. ඇත්ත තමයි, අධික සීතල වගේම අධික උණුසුමත් මිනිස් ශරීරයට දරාගන්න අමාරුයි. ඒත් සහරා කාන්තාරෙ වගේම උත්තර ධ්‍රැවයෙත් මිනිසුන් ජීවත් වෙනවා.  නමුත්, මේ සියල්ල දැන් කණපිට පෙරළෙමින් පවතිනවා. අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 න් 49 කම කොහේ හෝ හිම මිදිලා, බ්‍රසීලයේ, ඕස්ට්‍රේලියාවේ, ලංකාවේ  ගංවතුර නිසා මිලියන ගණනක් අවතැන් වෙලා, යුරෝපයට උතුරු අමෙරිකාවට, නොසිතන තරම් හිම පතනයක් වාර්තා වෙලා, මධ්‍යම අමෙරිකානු ප්‍රදේශවල නියඟයක් උදාවෙලා…. ඒ මදිවාට යුරෝපයේ විශාලතම ගිණිකන්ද වන සිසිලියේ එට්නා ගිණිකන්දත් ලාවා පිටකරන්න පටන් අරන්….

විදාරණය වන ඉතාලියේ එට්නා ගිණි කන්ද

විදාරණය වන ඉතාලියේ එට්නා ගිණි කන්ද

මේ සියල්ල මා පෙර දිනයක සඳහන් කළා සේම සොබාදහම වියරු වැටීමෙන් සිදු වන අතුරු ප්‍රතිඵල… සොබා දහමේ සමතුලිතතාවය බිඳිලා. මිනිසා සොබාදහම විනාශකරන තරමට සොබා දහමත් මිනිසාව විකාශ කරන්න පටන් අරන්… මේ සීතල කාළය නිම වෙලා ඊලඟට රස්නේ කාලයක් ආයෙත් ඒවි.. එතකොට ධ්‍රැව වල ඇති හිම දියවෙලා මුහුදු මට්ටම ඉහළ යාවි… ලෝක ජනගහනයෙන් 2/3ක් ජීවත් වෙන්නේ මුහුදුබඩ ආශ්‍රිත ප්‍රදේශවල… එවිට නැවතත් අපේ ඇස් ඇරේවි….

හැමදාම ව්‍යසනයක් වුනාම අපි ඒ ගැන කතා කරනවා, ක්‍රියා කරනවා. නමුත් අනෙක් දවස්වල අපි පරිසරය විනාශ කිරීමේ කටයුත්තේ යෙදෙනවා. දැන් බලන්න මේ අවස්ථාවේ ඔබ අවට අනවශ්‍ය විදුලි උපකරණ කීයක් ක්‍රියා කරනවාද කියලා… එක් පුද්ගලයෙකුගේ මේ ක්‍රියාව මිනිසුන් මිලියනයක් විසින් සිදු කෙරෙන විට ඇතිවන බලපෑම අති විශාලයි… ඔබ අවට ඇති විදුලි උපකරණ ක්‍රියා කළත්, නොකළත්, විදුලි පරිපථයට සම්බන්ධනම් යම් විදුලිය ප්‍රමාණයක් වැය කරනවා. මේ නිසා විදුලි බලය අපතේ යෑමක් සිදු වනවා… මේ නිසා රටකට වැඩි වශයෙන් විදුලිය නිපදවන්න වෙනවා, එවිට රටේ විදුලි පරිභෝජනය සහ එය නිපදවීමට වැය කෙරෙන ශක්තිය ඉහළ යනවා. එය පරිසරයට දරා ගන්න බැහැ… මෙය චක්‍රයක් වශයෙන් ගමන් කරනවා…. එසේම වැඩි විදුලි පරිභෝජනයක් වන නිසා ඔබට වැඩිපුර මුදලක් විදුලිබල මණ්ඩලයට ගෙවන්න වෙනවා…නිකං සල්ලි අපරාදේ…

ඔබ අවට ඇති ක්‍රියාත්මක කර නොමැති විදුලි උපකරණවල පේනු ගලවා දැමීමෙන්, ඔබට සැළකියයුතු ප්‍රමාණයකින් විදුලිය ඉතිරි කර ගත හැකියි. එය ඔබටත්, රටටත්, ලෝකයටත් ඔබ කරන සේවයක්….මේ සුළු ක්‍රියාවෙන් ලෝකයට ඔබ යමක් ඉතිරිකර දෙන්න… ඔබ මිය ගියාට පසු ඔබේ දරුවන්ට ජීවත් වෙන්නට මේ ලෝකය ඉතිරිකරලා යන්න… මීට පෙර සිතුවේ නැත්නම් අද පටන් අරඹන්න…..

හිතන්න, ඔබ මේ විනාශ කරන්නේ ඔබේ දරුවන්ගේ අනාගතයයි….

2011 ජනවාරි 12 : වසර 2020 දී ඔබ කොහේද ? ඔබම තීරණය කරන්න….


අද බදාදා: අද අන්තර් දෙපාර්තමේන්තු වොලිබෝල් තරඟාවලියේ තවත් තරඟයක් පැවැත්වෙන දිනය. ගිය සතියේ අසනිපව සිටි නිසා යන්න බැරි වුනා. අද ගියාමයි තේරුණේ වැඩේ.

Free Radicals නමින් හැඳින්වුන අපේ කණ්ඩායමට මහාචාර්යවරු තිදෙනෙක්, පර්යේශකයන් දෙදෙනෙක්, තාක්‍ෂණික නිලධාරීන් දෙදෙනෙක්, දෙපාර්තමේන්තුවේ ලේකම්වරියක්, සහ කාන්තා වොලිබෝල් කණ්ඩායමේ විශ්‍රාමලත් පුහුණුකාරිණිය (වයස අවු 67යි ) ඇතුලත්ව තිබුණා. අනෙක් කණ්ඩායම ඉංජිනේරු පීඨයේ කණ්ඩායම: බොහොම කඩිසර එහෙත් අපේ වගේම සංයුතියකින් සමන්විත වුන, කණ්ඩායමක්. වට තුනක තරඟයෙන් 2: 1 ලෙස අප ජයග්‍රහණය කළේ දැඩි තරඟයක් දීලා. සියළුම තරඟ වට ලකුණු 26 ඉක්මවා සම සමව ගොස් සියුම් ලෙස ජයග්‍රහණය කළ වටයන්. අවසානයේ සෑම දෙනාම සතුටින් අතට අත දී විසිර ගියා. කිසිදු තරහක් මරහක්, හොර කිරීමක්, නැතිව ඉතා හොඳට තරඟය පැවැත්වුනා.

ලංකාවේ පෞද්ගලික ආයතනවලත් මෙවැනි තරඟාවලි සම්පාදනය කෙරෙනවා. නමුත් රාජ්‍ය අංශයේ මෙසේ වනවා දැයි මම නම් දන්නේ නැහැ. එසේම රාජ්‍ය අංශයේ සේවකයන්ට ව්‍යායාම කිරීමේ පහසුකම් සලස්වනවා ද යන්නත් කොතැනකවත් සඳහන් වන්නේ නැහැ.  විශ්‍රාම ගිය වයස ඉක්මවා ගිය අයත් මෙසේ ක්‍රීඩා කිරීම නම් ලංකාවේ සිදුවන්නේම නැහැ.

දැන් ලංකාවේ මිනිසුන් බොහොමයක් ඇඟ හොර වෙච්චි උදවිය. ඇඟපත හොලවලා වැඩ කරන්න කම්මැලියි. ගෙදර ආ ගමන්ම රූපවාහානිය ඉස්සරහට වෙලා ඉඳලා නිදාගන්නවා….  ඒ නිසාම, හෘද රෝග, දියවැඩියාව, ආදී නොයෙකුත් රෝග අඩුවයසෙන්ම වැළඳෙනවා. සථුලතාවයත් එන්න එන්නම රට ආක්‍රමණය කරනවා. මෑතකදී මම දැක්කා ලංකාවේ පළමු බර අඩු කිරීමේ ශල්‍යකර්මය (Weight Loss surgery) සිදු කළා කියලා. ඇත්ත වශයෙන්ම දාගැබ්, වැව් බැඳපු මුතුන් මිත්තන් හිටිය අපේ රටට මෙය ලැජ්ජා වෙන්න ඕන කාරණයක්.  අපි මේ කොහේද යන්නේ ? වසර 2020 වන විට ලංකාවේ ජනගහනයෙන් 50% ක් දියවැඩියා රෝගීන් වන බවට ගණන් බලා තිබෙනවා. ඔබත් ඒ ගොන්නට වැටෙනවාද කියා සිතා බලන්න…

ඔබට තෝරා ගතහැකි මාර්ග තුනක් තිබෙනවා. එක්කෝ 2020 වන්නට පෙර මිය යා හැකියි. එසේත් නැතිනම් දැන්ම නිසි ලෙස ආහාර පාලනයකර, නිසි ලෙස ව්‍යායාම කර නිරෝගී 50% ට අයත් වෙන්නට පුළුවන්, එසේත් නැතිනම් ඔබේ මෙම ජීවන රටාවම ගෙනගොස් 2020 දී දියවැඩියාව, හෘදරෝග වැළඳුන 50% ට එක්වන්නට ඔබටත් පුළුවන්…..

තීරණය ඔබේ අතේ….

%d bloggers like this: