Monthly Archives: පෙබරවාරි 2011

2011 පෙබරවාරි 28: ඇල්කෙමියාගේ පෝස්ටර් යුද්ධය…


මැතිවරණ කොමසාරිස් තුමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අපේක්‍ෂකයන්ට ඇති තරම් පෝස්ටර් ගහන්න ඉඩ දීල ලු….. අනේ සාදු… අහිංසක අපේක්‍ෂකයන්ට ඡන්දෙ දිනන්න දිනන්න පුළුවන් සෑම අවස්ථාවක්ම ලබා දෙන එක අපේ යුතුකමක්නේ… ඒ නිසා ඒ මහත්වරුන්ට නෝනාවරුන්ට අවශ්‍ය ප්‍රමාණයට සිරි ලංකාවට සේවය කරන්න, පරම්පරා ගණනාවකට සල්ලි හොයාගන්න අවස්ථාවක් ලබා දෙන්න ඕන නේ…

ඉතින් මේ අලකලංචි අස්සේ ඇල්කෙමියාටත් පෝස්ටරයක් ගහන්න වෙලා… මේක නම් මනාප හොයන්න කතිර ගහන්න ඉල්ලන පෝස්ටරයක් නොවෙයි.. ඊට වඩා තරමක් සංකීර්ණ පෝස්ටරයක්. ඒ පෝස්ටරය ගහන්න නිමිත්ත වන්නෙත් මනාප ඉල්ලන්න වගේ දේකට තමයි. ඒ වුනාට ඒ මනාප ඉල්ලන්නේ රසායනාගාරයට අළුතෙන් බැඳෙන්න බලාපොරොත්තු වන නවතම ආචාර්ය උපාධි අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ගෙන් වීම ටිකක් සහනයක්. අපි බොරු පොරොන්දු දෙන්නේ නෑ.. මවා පෑම් නෑ… අවංක නෑ… එඩිතර නෑ… ඇත්ත නොකියන්නෙම නෑ..  මේ නිසා රසායනාගාරයේ සිදු වෙන ඇත්ත වගේ දේවල් අඩංගු කරලා හදපු පෝස්ටරයක් තමයි හදන්න  යන්නේ.

මෙන්න මේ ඡේදය නම් සමහර අයට නොතේරෙන්න පුළුවන්… තරහ වෙන්න එපා.. මේ පුළුවන් තරමට සරළ කරලා තමයි කියන්නේ….අපේ රසායනාගාරයේ ප්‍රධාන ව්‍යාපෘති තුනක් කෙරෙනවා. එකක් තමයි සූර්ය බලශක්තිය ගබඩා කළ හැකි විශාල සංයෝග නිර්මාණය කිරීම සහ ඒවා භාවිතා කර ප්‍රකාශරසායනික පරිවර්තන මගින් ශක්ති පරිවර්තනය කිරීමට අදාල සංයෝග නිපදවීම. අනෙක් ව්‍යාපෘතිය වන්නේ මා මෙහෙයවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වෙනත් කාබනික සංයෝග බවට පරිවර්තනය කිරීමට හැකි උත්ප්‍රේරකයක් තැනීමේ ව්‍යාපෘතිය. තෙවැන්න වන්නේ මධ්‍යම ස්නායු පද්ධතියේ සංවේදන ප්‍රවාහනයේදී සිදුවන විවිධ ප්‍රතික්‍රියා අධ්‍යයනය කිරීම සඳහා සුදුසු සංයෝග නිර්මාණය කිරීම සහ මොළයේ ඔක්සිහාරක ආතතිය අධ්‍යයනය කිරීමට සුදුසු සංයෝග නිර්මාණය කිරීම යන ව්‍යාපෘති තුනයි.

ඉතින් මේ මුලින් කියපු ව්‍යාපෘති දෙකට අදාල පර්යේෂණ තරමක ප්‍රමාණයක් කෙරිලා තියෙන නිසා ඒ ව්‍යාපෘති දෙක ගැන පෝස්ටර් දෙකක් හදන්න අපි තීරණය කළා. කාබන් ඩයොක්සයිඩ් ව්‍යාපෘතිය ගැන පෝස්ටරය හදන්න බාර වුනේ මට. එක හදන්න ඕන Adobe Illustrator මගින්… කොහොම හරි දෙයියනේ කියලා මගේ පරිඝණකයේ මේ ප්‍රෝග්‍රෑම් එක තියෙන නිසා වැඩිය කරදර වෙන්න වුනේ නෑ… දවසෙම කළේ ඒකත් එක්ක ඔට්ටු අල්ල අල්ල පෝස්ටරේට වැඩ කෑලි දාපු එක. මේ නිසා අද දිනපොත ලියන්නත් රෑ වුනා…පෝස්ටරේ හදලා හෙට හවස වෙනකොට ලොක්කට බාර දෙන්න ඕනා. ලොක්කට බාර දුන්නට පස්සේ මස්කඩේ වගේ මේක හතර අතට කපනවා ෂුවර්… ඒ වුනාට හරියට හදලා දෙන්න එපායෑ.. කැපිල්ල අඩු වෙන්න… ඉතින් අද ටිකක් රෑ වෙනකල් වැඩ කරන්න වෙනවා. හෙට උදේට මැච් එක බලන්නත් නැගිටින්න එපායෑ… ඒකත් අතඅරින්න බෑ…

ඉතින් ඔන්න ඔහොමයි ඇල්කෙමියාගේ පෝස්ටර ගැහිල්ල… පෝස්ටරේ ප්‍රදර්ශනය කරන්න තියෙන්නේ සිකුරාදා.. හොඳ හොඳ ගැටිස්සියෝ ටිකක් පෝස්ටරේ බලන්න ඒවි කියලා හිතෙනවා… අනේ මන්දා මේ වයසට හිතෙන දේවල්… ශිහ්….

2011පෙබරවාරි 27 : මොකද ලෙඩේ…. බඩේ ලෙඩේ…. කවුද වෙදා… ජුසේ වෙදා….


අද උදේ පන්සල් යන්නයි ලෑස්ති වෙලානෙ උන්නේ.. ඒත් ඊයේ ඉඳලාම ටික ටික බඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙලා… සද්දේ දානවා, ගෑස් පිට කරනවා, එක යුද්ධයයි… ඉල්ලීම් කිසිවක් ඉදිරිපත් කරලත් නෑ… වෙච්ච වැරැද්දක් දන්නෙත් නෑ…. එක එක වෙලාවට එක එක වලි….

ඒ වගේම අපේ මිත්‍රයා සහ ඔහුගේ පවුලම ආවා රෑ කෑමට.. ඔහුගේ දෙමවුපියොත් තුර්කියේ ඉඳන්ම ඇවිත් නිවාඩුවකට… ඒ දෙන්නා ලංකාවෙ කෑමක් කාලා තියෙන්නේ ඊයෙමයි… දෙන්නට ඉංග්‍රීසි කතා කරන්න බැරි වුනත්, පරිවර්තකයෝ දෙන්න හරහා සන්නිවේදනය කරගත්තා…. බඩ සද්දෙ දැම්මත්, ඇල්කෙමිච්චි මේ වගේ වෙලාවකට උයන කෑමක් මගඅරිනවා කියන්නේ කරන්න බැරි වැඩක් නිසා, ඔන්න ඔහේ කාලා දැම්මා…. ඊට පස්සෙයි වැඩේ වැඩි වුනේ… බඩ ඒ පාර නම් වර්ජනයක් දාලා ඊජිප්තුවේ වගේ විරෝධතාවයක් දාන්න ගත්තා… කාපු දේවල් එපා කියලා විරෝධතාවක් දාන්න ගත්තා…. ඒ නිසාම වතුර ලොඩක් බීලා ඒ කාපු ටික මුහුද කරා යන්න සැලැස්වුවා…..පෙරදා උදේ ඇහැ ඇරිච්ච නිසාත්, ඇඟට ටික ටික අමාරුව දැනුන නිසාත්, ඉඟුරු-දෙහි-මීපැණි මිශ්‍රණයක් බීලා ඉක්මනින්ම නින්දට ගියා… ඒ ඊයෙ රෑ

අද උදේ ඇහැ ඇරෙනකොට තවමත් ඇඟට ටිකක් අමාරුයි… ඇල්කෙමිච්චිටයි පැටියටයිත් ලෙඩේ පැතිරිලා….ඒ නිසාම පන්සල් යන ගමන කල් දැම්මා.. කාලෙකින් දකින්න පුළුවන් ඉහළ ගණයේ ක්‍රිකට් තරඟයක් නැරඹුවා… ඉන්දියාව හැම අතින්ම පසුපසින් හිටියත් අවසාන පවර් ප්ලේ කාළය තරඟය වෙනස් කළ හැටි හරිම අපූරුයි… ඒ වගේමයි එංගලන්ත කණ්ඩායමේ ආගමනය… ඒ ඉවර වෙලා පැටියව චාටු කරගෙන පැටියගේ කොණ්ඩය කැපුවා.. හැමදාම පැටියගේ කොණ්ඩය කපන්නෙ මම, ඒ වගේම මගේ කොණ්ඩය කපා ගන්නෙත් මම… මෙතුවක් කාලෙකට මම කොණ්ඩය කපන්න ගෙව්වේ ඩොලර් 29 යි.. ඒ මැෂින් දෙකක් ගන්න ගිය මුදල පමණයි… ඒ අතින් මම ස්වයං පෝෂිතයි…. ඉස්කෝලේ යනකාලේ ශිෂ්‍යනායක මණ්ඩලයේ ඉන්නකොට අර කොණ්ඩය වවන් ආපු මල්ලිලා අල්ලලා කොණ්ඩය කපපු එකේ අත්දැකීම් අපතේ ගිහින් නෑ…  ආයෙම හොඳ නින්දක් දාලා නැගිට්ටා… පැටියත් එක්ක එකතු වෙලා NASCAR Sprint Cup කාර් රේස් එක නැරඹුවා… පැටියට කාර් රේස් බලන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ… ඒ වගේමයි බොහොමයක් තරඟකරුවන්ගේ නම් සහ අංකත් මතකයි.. පුස්තකාලයෙන් ගෙනාවත් ගේන්නේ කාර් සම්බන්ධ පොත්…

හොලිවුඩයේ මහා සිනමා උළෙල.. ඔස්කාර් සම්මාන උළෙල බලන්න සූදානම් වෙලා තමයි මේ දිනපොත ලියන්නේ.. හොඳ වෙලාවට ඔස්කාර් උළෙල  ලංකාවේ තිබුණේ නැත්තේ. එහෙම වුනා නම් නිළියොන්ට වෙන්නේ උඩ කෑල්ල වැහෙන්න රෙදි පොරවගෙන එන්න තමයි… ඇයි ආණ්ඩුවෙන් නීති දානවනේ.. ඒ වගේම කොටු ගොඩාක් දායි ඒ අය ෂැම්පේන් බොන හැම වෙලාවටම…. ඒ වගේමයි… ඔන්න ද්විත්ව පුරවැසි භාවය ගන්න බලාපොරොත්තු වෙන අයට ලොකු බාධකයක් වැටිලා… මම හිතන්නේ ලංකාවෙ පාලකයන්ට මොකෙක්දෝ යකෙක් වැහිලා… මෙච්චර හොඳට යුද්ධෙකුත් නැතිව කරගෙන යන්න තියෙන රට අවුල් කරන්නේ…..

ඉතින්.. ඔන්න ඔහොමයි අද දවස ගෙවිලා ගියේ… අදත් මේ සටහන ලිව්වේ ලියන්න ඕන නිසා… කිසිම පණක් නෑ ඇඟට…

2011 පෙබරවාරි 26 : අද විශේෂ – කෙහෙල් කොළ කැඳ


අද හෙනහුරාදා නේ.. සාමාන්‍යයෙන් පරක්කු වෙලා ඇහැ ඇරෙන දවසක් වුනත්, ශ්‍රී ලංකා – පකිස්ථාන් මැච් එක තියෙන නිසා උදේ 4.00 ට ඇහැ ඇරුණා…. මේ මැච් එකක් බලන්න විඳින දුකක්… ඔන්න ඉතිං අපිට මුලින් මුලින් අම්බානට වදිනකොට ආයෙම නිදාගන්න හිතුනත්, ලංකාව කෙරෙහි වූ අසීමිත ජාත්‍යාලය නිසාම උදේ 6 විතර වෙනකල් බොහොම අමාරුවෙන් මැච් එක බැලුවා. ඒ අස්සේ ඊයේ රෑ නින්ද ගියෙත් නෑ හරිකයට, අතේ දබරැඟිල්ලේ ඊයේ උදේ පුංචි වීදුරු බට කෑල්ලක් ඇණුනා. ඒක ඒ වෙලාවෙම අරන් දැම්මත්, පුංචි කෑල්ලක් ඉතිරි වෙලා වගෙයි, රෑ තිස්සේ ටික ටික රිදුනා.. ඒ නිසාම සැරෙන් සැරේ ඇහැ ඇරුණා..  ඉතින් ඔන්න ආයෙම ඇහැ ඇරෙන කොට අපේ කට්ටිය පකිස්ථානෙට නෙලන්න ලෑස්තියි…

ඊයේ ඇල්කෙමිච්චි යාළුවෙක්ගේ ගෙදර ගිහින් එනකොට කේල් කොළ ගෙනත් තිබුණා… නෑ නෑ මේ කෙහෙල් කොල නෙමෙයි.. කේල්……. මෙතැනින් බලන්නකෝ විස්තරේ.. ඉතිං අද කොළ කැඳ හදන්න සූදානම් කරගෙන හිටි නිසා කේල් කොළ දාලා කොළකැඳ හදමු කියලා පාලක මණ්ඩලෙන් අනුමත වෙලා ආවා… ඒ වෙනකොටත් ඇල්කෙමිච්චි හාල් ලිපේ තියලා කොළ කපලා ඉවරයි. මට තිබුණේ කොළ ටික බ්ලෙන්ඩරේට දාලා පොල්කිරියි වතුරයි දාලා හදාගෙන ඒක පෙරලා කැඳ එකට දාන්න විතරයි…  මේ කොළ හරිම ගුණයි.. විස්තරේ ඉහළ ඇති සබැඳුමෙන් බලන්න…

ඒකත් එහෙම කරලා ලංකාවෙ කට්ටියටත් කතා කරලා රසායනාගාරයට එනකොට 11.00 යි.. සෙනසුරාදා නිසා ගානක් නෑ.. ලොක්කත් ඇවිත් නෑ තවම… රසායනාගාරයට ඇවිත් පුංචි ශල්‍යකර්මයක් පටන් ගත්තා. මගේ ඇඟිල්ලේ ඇතැයි සැක කෙරෙන වීදුරු කටුව ගන්න.. රසායනාගාරයේ තිබෙන තියුණු මුවහත ඇති තලයක් අරන්, ඒක බන්සන් දාහකයෙන් පිරිසිදු කරලා. ඇඟිල්ල කපාගෙන කපාගෙන ගියා…අපේ චයිනීස් කෙල්ල කියලවා මම මගේ ශරීරයට හරිම ක්‍රෑර විදියටලු සලකන්නේ.. කොහොමද අහනවා තමන්ගේම ඇඟ තමන්ම කපාගන්නේ.. අනේ මන්දා.. මම බොහොමයක් ශල්‍යකර්ම ම‘විසින්මයි කරගන්නේ… කොහොම හරි කපාගෙන කපාගෙන යනකොට මෙන්න බොලේ පුංචි වීදුරු කට්ටක් මතු වුනා ඇඟිල්ලේ ඇතුලේ තිබිලා… ශල්‍යකර්මය සාර්ථකයි… ලෙඩා පණ පිටින්….

ඊට පස්සේ රසායනාගාරයේ වැඩ ටිකක් කරලා තමයි මේ දිනපොත ලියන්න වාඩි වුනේ… අද රෑට මගේ අර බ්‍රිස්ටල් මයර්ස් එකේ රැකියාව හමුබ වුන මිත්‍රයා සහ ඔහුගේ පවුලේ අය කෑමකට එනවා.. ඒ නිසා ටිකක් ඉක්මනින් යන්න ඕනා… දැන් නම් ටික ටික නිදිමතත් එනවා….

ඉතින් කෙහෙල් කොළ කැඳ මහලොකු අරුමයක් නෙවෙයි.. කැමති ඕනෑම කොළ වර්ගයක් දාලා කැඳ හදන්න පුළුවන් නේ…ඒ නිසා ඕනම කැඳක් හදන්න වැඩිය මහන්සි වෙන්න ඕන නැහැ… ලබන සතියෙ වෙනත් කැඳ ජාතියක් හදන්න ඕනෑ.. ග්‍රීස්ම කාලෙ ආවාම නම් ගෙදර වගා කරපු මුකුණුවැන්න හෝ ගොටුකොළ කැඳ බොන්න පුළුවන් වේවි…. හෙට පන්සල් යන්නයි හිතන් ඉන්නේ… පැටියට ආගම දහම ගැනත් ටිකක් අවබෝධයක් දෙන්න එපායෑ… ලංකාවෙ වගේ මෙහේ දහම් පාසැල් නෑනේ ලඟ පාතක…..

2011 පෙබරවාරි 25 : නිතරම Update වෙන එක ඇඟටත් මොළයටත් හරිම හොඳයි…


අද නම් හරි හුළං, සමහර වෙලාවට හුළඟ පැයට සැතැපුම් 60 (ඒ කියන්නේ පැයට කිලෝමීටර 100 ) ක් විතර වෙනවා කියලා කාලගුණේ උදේම රූපවාහිනියේ කිව්වා… මෙහේ කාලගුණේ ටිකක් ඇත්ත කියන මනුස්සයෙක් නිසා අපි සාමාන්‍යයෙන් එයා කියන දේ අහනවා.  උදේ නැගිටලා ඇල්කෙමියාගේ රසායනාගාරයට ඊලඟට පළ කරන්න හිතන් ඉන්න ලිපියේ ටිකක් ලිවුවා.. මම අහපු අසන්නන්ගේ ඉල්ලීම් ප්‍රශ්නෙට උත්තර දීපු හැමෝටම ඉස්තූතියි… ඒ අනුව තමයි ඊලඟ ලිපිය ලියැවෙන්නේ… ඒ නිසාම මමත් අළුතෙන් දේවල් කියවනවා.. අළුතෙන් දේවල් දැනගන්නවා… ඊට පස්සේ රසායනාගාරයට යන්න ලෑස්ති වුනා. ඇල්කෙමිච්චියි පැටියයි අද යාළුවෙක්ගේ ගෙදර යන්න ලෑස්තිය..  දවල් දවස ගතකරලා එන්න… මාව රසායනාගාරයෙන් දාගෙන දෙන්න එක්ක එහේ ගියා..

රසායනාගාරයේ අද ටිකක් වැඩ අඩු දවසක්. අද තමයි සතිපතා පැවැත්වෙන කණ්ඩායම් හමුව Group Meeting එක පැවැත්වෙන්නේ. එක්කෙනෙක් තමන් කළ පර්යේෂණ වල සමාලෝචනයක් ඉදිරිපත් කරනවා. තවත් කෙනෙක් යම් විද්‍යාත්මක සඟරාවක පළ වූ ලිපියක වැදගත්කම, හරි වැරදි ආදිය ඉදිරිපත් කරනවා… පහුගිය වාරෙ නම් මම බොහෝ වෙලාවට සති දෙකක් ඇර සතියක් මේ ලෙඩේට අහු වුනා… වාසනාවට මේ වාරයේ අළුතෙන් ළමයි ඇවිත් නිසා මට ටිකක් දුරින් දුරින් තමයි වැටිලා තියෙන්නේ. ඒ නිසා තරමක් විවේකීයි, නමුත් වැඩ ඒ තරමටම… ඉතින් දවසේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි ටිකක් විවේකීව ගලාගෙන ගියා…. එහෙම දවසුත් තියෙන්න එපායෑ… මගෙන් ටියුෂන් ගන්න කෙල්ලටත් අද වේලසනින් පන්ති ඉවර වෙලා. ඊට පස්සේ එයා එක්කලා පුස්තකාලයට ගිහින් පැයක් පාඩම් කියලා දුන්නා… ඒක ඉවර වෙලා රසායනාගාරයට එනකොට කට්ටිය මීටින් එකට යන්නයි ලෑස්තිය.. අද මීටින් එක ටිකක් දිගට ඇදිලා ගියා. අළුතෙන් පර්යේෂණ පටන් ගත්ත ජෝන් ගොයියා අද තමන්ගේ පළමු සමාලෝචනය කළා.. එයාගේ දත්ත ගොඩක් වැඩි නිසා ටිකක් දිගට කතාව ඇදිලා ගියා.. ඒ අතරේ හැමෝම වගේ බියර් බෝතල් දෙක බැගින් හිස් කළා.. ආ…. කියන්න බැරි වුනානේ.. අපේ මේ රැස්වීමට බියර් බෝතල් අනිවාර්ය අංගයක්.. කණ්ඩායමේ කෙනෙක් ඒ ඒ දවසට බියරුයි කන්න මොනව හරියි ගේනවා… අපි ඉතින් බියර් බිබී කෑම කකා තමයි සාකච්ඡා කරන්නේ…

ඒ සියල්ල ඉවර වෙනකොට ඇල්කෙමිච්චියි පැටියයි ඇවිත් රසායනාගාරයට මාව ගෙදර අරන් යන්න. පැටියට නම් කාර් එකේම නින්ද ගිහින්… තවමත් හරි හුළඟ… අද ඉතින් ඒ නිසාම වේලසනින් ගෙදර ආවා… ඇග්කෙමිච්චි ඊයෙ රෑ කොත්තු හැදුවා… ඉතිරි වෙච්චි කොත්තු ටිකකුත් කාලා, පැටියට කතාවකුත් කියලා දීලා ඒකව නින්දට දාලා තමයි දිනපොත ලියන්න වාඩි වුනේ…

ඉතින් මම කියන්න ගියේ අපි අපේ ක්‍ෂෙත්‍රෙය් සිදු වෙන බොහොමයක් සිදුවීම් පිළිබඳ දැඩි සැලකිල්ලෙනුයි ඉන්නේ. අපේ පර්යේෂණ හරිම තරඟකාරී නිසා ඒ ආශ්‍රයෙන් සිදු වන හැම වැදගත් සිදුවීමක්ම ගැන හරිම අවධානයෙන් සිටිය යුතු වෙනවා. යමෙක් අපේ පර්යේෂණ වලට සමාන යමක් එළිදක්වන්න හදනවා නම්, අපි ඊට වඩා ඉස්සර වීමට මේ අවධානය වැදගත්. අපි වගේම අනෙකුත් පර්යේෂණ කණ්ඩායම් සියල්ලම මේ නොනවතින තරඟයේ යෙදිලයි ඉන්නේ… ඉස්සර වුන එකා දිනුම්… ඔබ බොහොමයක් දෙනා වැඩි වශයෙන් මෙවැනි තරඟකාරී තත්ත්‍වයක නැති නිසා සමහර විට එවැනි update (යාවත්කාල – නවීකරණය) වීමක් අනවශ්‍ය වෙන්නට පුළුවනි. නමුත් ඔබ තමන්ගේ ක්‍ෂෙත්‍රෙය් එදිනෙදා සිදුවන දෑ ගැන අවධානයෙන් සිටියොත් සමහරවිට ඊලඟට වෙන්නට යන දේ ගැන තරමක හෝ අවබෝධයක් ඇති පුද්ගලයෙක් වන්නට පුළුවනි….

ටිකක් හිතලා බලන්න… මොලේ වෙහෙසුවාම පසු කාළෙක අල්සයිමර් රෝගය වැනි රෝග හැදෙන්නේ නැතිලු…

2011 පෙබරවාරි 24 : මේ ලෙඩේ ඔබටත් තිබේද ? පිරිමින්ට පමණයි….


ඊයෙ මහන්සි වෙලා ගෙදර ගිහින් උණු වතුරෙන් නාගත්තා… ටිකක් රෑ වෙලා ගෙදර ගිය නිසාම පැටියත් නිදි… රූපවාහිනියේ පටිගත කරලා තිබුණ  වැඩසටහන් ටිකක් බල බල ඉන්නකොට දන්නෙම නැතිව ඇල්කෙමිච්චිත් නිදා ගන්න ගිහින්…මටත් සෙටිය උඩම නින්ද ගිහින්… කොහොම හරි ආයෙම රිවයින්ඩ් කරලා බල බල හිටපු වැඩසටහන ඉවර වෙලා නින්දට යනකොට රෑ 12 පහුයි… ඇඟේ අමාරුව කොතරම්ද කියතොත් උදේ 8.00 වෙනකල්ම නින්ද ගිහින්… ඒතකොටම පැටියා ඇවිත් ඇඳට පැන්නා… එයා නිදාගන්නේ වෙනම කාමරයක… දැන්ම ස්වාධිනව නැගී සිටින්න පුරුදු කරන්න ඕනනේ…

ඔන්න ඉතින් පැටියත් එක්ක බොරුවට පොඩ්ඩක් නිදාගත්තා… ඒකටත් එක විදියකට ඉන්න බෑනේ… ඩිංගිත්තකින් සාලෙට යන්න ඕන කියලා කියනවා.. ඕවා ඔක්කොම කරගෙන රසායනාගාරයට එනකොට දහයයි.

ඇවිල්ලා තේ එකක් හදාගෙන පරිඝණකය ඉස්සරහ වාඩි වෙලා මැච් එක් පොඩ්ඩක් දාගත්තා විතරයි ලොක්කා එතන… මම ඉතින් කිව්වා මේ ආවා විතරයි කියලා.. ආ.. දැන්ද ආවෙ කියලා අහපි… මම කිවුවා ඉතිං ඔයා බැඳලත් නෑ ඔයාට ළමයිත් නෑ. මට ඒ දෙකම තියෙන නිසා ඉඳලා හිටලා පරක්කු වෙනවා කියලා… ඔන්න ඉතිං කට පියාගත්තා.. ඒ අතින් නම් හරි හොඳයි…

උදේ වරුව යන්තම් මට කියලා වැඩ ටිකක් කරගත්තා… හවස් වරුවේ අළුතෙන් රසායනාගාරයට ආපු පොඩි එකෙක්ව පුහුණු කරන්න වුනා.. ඒකා කරපු පරීක්‍ෂණයේ ප්‍රතිඵල ටිකක් සතුටුදායකයි.. ඒ නිසා තව වැඩ ගොඩගැහෙනවා… ඒ අතරේ පැටියයි ඇලකෙමිච්චියි රසායනාගාරයට ආවා කඩේ ගිහින් එනගමන්… තාත්තත් එක්ක රසායනාගාරයේ වැඩ කරන්න ඕනලු… මම කිව්වා අද නම් බර වැඩ පස්සේ දවසක බලමු කියලා.. කොල්ලා මම වගේ නෙවෙයි, කියන දේ අහනවා..

ඒ දෙන්නා ගෙදර දාලා ඇවිත් තවත් හැරෙන්න වුනේ නෑ රසායනාගාරයේ ඉන්න චයිනීස් පැටික්කි ප්‍රශ්න ගෝනියක් අරගෙන අහන්න ගත්තා… එක අතකට ඒකත් හොඳයි, අර මොලේ වැඩ කරන්නේ නැති පැති වලට ටිකක් එලිය වැටෙනවා අළුතෙන් දේවල් හිතනකොට…. ඒ ඔක්කොම ඉවර වෙලා දවසේ සැලසුම් කරගෙන හිටපු වැඩ කරලා ඉවර වෙලා තමයි මෙතැන වාඩි වුනේ… ඇල්කෙමිච්චි ගෙදරදිම කිවුවා “දිනපොත් කුරුටු ගගා ඉන්නේ නැතිව වේලසනින් ගෙදර එන්න “ කියලා…. ඒත් මොනවා කරන්නද? පටන් ගත්ත වැඩේ දාලා යන්න බෑනේ….කොහොම වෙතත් අදවත් පැටියා නිදාගන්න ඉස්සර ගෙදර යන්න ඕන….

ඒ අතරේ මෙන්න මෙහෙම දේකුත් කියෙව්වා… ඒ තමයි  හැබැයි මම නම් දන්න පිරිමින්ට මේ ලෙඩේ නෑ.. කියවලම බලන්නකෝ…

 

2011 පෙබරවාරි 23 : පැය එකහමාරක් ව්‍යායාම් කරලා සතියක් ආතල් එකේ ඉන්න…..


අද බදාදානේ… ආයෙම අන්තර් දෙපාර්තමේන්තු වොලිබෝල් තරඟාවලිය පැවැත්වෙනවා මේ වාරයට. අද ආයෙම පටන් ගත් තරඟාවලිය සති හතක් පැවැත්වෙනවා. අනෙක් කණ්ඩායම් දිහා බැළුවම මේ පාරත් කප් එක උස්සන්න පුළුවන් වෙන පාටයි.

අද දවසත් හරියට වැඩ, ඊයෙ පටන් ගත් ප්‍රතික්‍රියා දෙක නවත්වලා ඒවා තැන්පත් වෙන්නට හැරියා. නව වසරට රසායන විද්‍යා ආචාර්ය උපාධිය හදාරන්න බලාපොරොත්තු වන ශිෂ්‍යයෙක් දෙපාර්තමේන්තුව බලන්න ඇවිත්. ඔහුට අකාබනික රසායන විද්‍යා රසායනාගාර පෙන්වන එකත් මට හදිසියේම බාර වුනා. අදේ 11.00 ඉඳලා 11.30 වෙනකල් ඔහු සමග දෙපාර්තමේන්තුවේ ඇවිදලා දඩි බිඩි ගාලා ක්‍රීඩාමණ්ඩපය නැත්නම් Gym එකට දිව්වා.. ඒ වෙනකොටත් තරඟ පටන්ගන්න සූදානම් වෙලයි තිබුණේ… කෙටි පුහුණවකින් අනතුරුව තරඟ පටන් ගත්තා. අද තරඟය නම් පහසුවෙන්ම ජයගත්තා, ඒත් ඒ කණ්ඩායම සමඟ තරඟවට හතරක්ම සෙල්ලම් කළා අපටත් ඔවුන්ටත් ව්‍යායාමයක් ලැබෙන්නට. පැයක් පුරාවටම තරඟ පැවැත්වුනා. අනෙක් අය තම තමන්ගේ දෙපාර්තමේන්තු බලා ගියත්, ටික දෙනෙක් ව්‍යායාම් ශාලාවට ගියා. මමත් අද විනාඩි 10 ක් එකදිගට දුවලා ශරීරයේ උඩුකයට සහ උදරයට තරමක දැඩි ව්‍යායාම කිහිපයක් ලබා දුන්නා… හොඳහැටි දාඩිය දාගෙන පැය බාගයක්ම ව්‍යායාම් කළා… හොඳ ගණන්.

නැවත රසායනාගාරයට එනවිට සෑහෙන්න නැවුම් ගතියක් දැනුනා… සතියකට ව්‍යායාම් කරන්න වෙන්නේ එක දිනක් පමණක් වුනත්, ඒ ව්‍යායාම කිරීමම සෑහෙන වැදගත් නිසාත් මගේ මේ කුඩා ඇඟට මීට වඩා වැඩියෙන් ව්‍යායම කළොත් තියෙන බරත් අඩු වන නිසාත්, එක දිනකට වඩා ව්‍යායාම් කරන්න වෙලා නැති නිසාත් මේ කරන හරිය හොඳටම ඇති බවයි මට සිතුනේ… කොහොම වුනත්, ඒ ව්‍යායාම් කිරීමෙන් පස්සේ ඇඟට දැනෙන සනීපය නම් කියලා වැඩක් නෑ… රසායනාගාරයේ වුනත් සෑහෙන වැඩ කොටසක් කරගන්න පුළුවන් වුනා….

මේකත් ව්‍යායාම කිරීමේ එක වාසියක්.....

ඇඟට ඉඳලා හිටලා හරි දාඩිය දාන එක හොඳයිනේ… ව්‍යායාම කිරීම මගින් ලැබෙන වාසි බොහොමයි. ඇඟ මහන්සි කිරීම හරි ව්‍යායාම් කිරීම නිසා ඇඟේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා. මේ නිසා ලෙඩ රෝග වැළඳෙන එක අඩු වෙනවා. ඒ වගේමයි ව්‍යායාම කිරීම නිසා මොළයේ එන්ඩෝර්ෆින් (Endorphin) නම් රසායන ද්‍රව්‍යය තැනෙනවා. මෙය මිනිසුන් සතුටින් තියන්න උපයෝගී වන රසායනිකයක්. ඒ වගේමයි ව්‍යායාම කිරීම නිසා මිනිසුන් අසහනයට පත් වීම වලකිනවා. විශාදය අඩු වෙන අතර විශාදය ඇති රෝගීනට ව්‍යායාම කිරීම වෛද්‍යවරු නියම කරන්නේත් එක්තරා ප්‍රතිකාරයක් විදියට. ව්‍යායම කිරීම මගින් සිතේ සාංකාව, උද්වේගකර බව ආදිය නැති වෙනවා. මේ නිසා පුද්ගලයා සතුටෙන් සිටින අතර ආරවුල් වලට පැටලෙන්නේ නෑ.. කොටින්ම ගුටිකන වැඩ කරන්නේ නෑ….

රසායනාගාරයේ පාඨකයන්ට වඩාත්ම වැදගත් වෙන ආරංචිය තමයි ව්‍යායාම් කිරීම මගින් ශරීරය ශක්තිමත් වෙනවා වගේම ලිංගික ශක්තියත් වැඩි වෙනවාලු….. බොරු නම් මාස දෙක තුනක් එක දිගට ව්‍යායාම් කරලා වෙනස බලන්න කෝ….

2011 පෙබරවාරි 22: වැරදුනේ කොතැනද ?…..


අද උදේ ඇහැ ඇරෙනකොට අඟල් හතරක් විතර හිම වැටිලා… හීතලත් එක්ක…. මොනවා කරන්නද, රසායනාගාරයට යන්නත් එපායෑ…. පැටියගේ ඉස්කෝලෙ නම් වහලා… ඒ නිසා මිනිහට ටිකක් වෙන්න සන්තෝසයි… ඔන්න ඉතින් පැය බාගයක් විතර කාර් එක උඩයි වටෙයි තියෙන හිම අයින් කරලා රසායනාගාරයට ආවා… ඊයේ කරපු ප්‍රතික්‍රියා කිසිම එකක් හරියට වැඩ කරලා නැති පාටයි. ඉස්සරත් මේ ප්‍රතික්‍රියාම කරලා ලබා ගනිපු සංයෝග වල පාට නෙවෙයි අළුත් ඒවා…මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එකම වෙනස මම මේ ප්‍රතික්‍රියාවට උපයෝගී කරගත් එක් සංයෝගයක් මට වෙනත් රසායනාගාරයකින් ලැබුන එක පමණයි. නමුත්, මම එය භාවිතා කරන්නට පෙර සංයෝගයේ පිරිසිදුභාවය නිර්ණය කරන්න වෙනත් පරීක්ණයක් කරලා හරිහැටි නිරවද්‍යතාවය තහවුරු කරගගෙනයි පාවිච්චි කළෙත්…

ඔන්න පූසා හමගහන මෙහෙයුම දියත් කළා…. දැන් ඔන්න වැරදුනේ කොතැනද කියලා හොයාගෙන හොයාගෙන යනවා… මුලින්ම ආයෙම වතාවක් අර සංයෝගය පරීක්‍ෂා කළා. නියමයි කිසි ප්‍රශ්නයක් නෑ…සංයෝගය පිරිසිදුයි… තවත් පරීක්‍ෂණ දෙකක් කළා, ඒකෙත් වෙනසක් නෑ.. භාවිතා කළ ද්‍රාවණත් එකමයි.. දැන් මොකද කරන්නේ ? ඒක තමයි ප්‍රශ්නේ….

රසායනාගාරයේ ඇති පොත් පෙරලන්න වෙලාව හරි… ඒත් දැන් හොඳටම රෑවෙලා.. මේ දවස්වල ලෝක කුසලානෙ බලන්න ටිකක් උදෙන් ඇහැ ඇරෙන නිසා නිදිත් මතයි…කොහොම වුනත් හෙට වෙනකොට මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්තෙ නැත්නම් ඔක්කොම කොට උඩ.. තව කරන්න පරීක්‍ෂණ පෝලිමක් තියෙනවා… ඒ ඔක්කොම රඳාපවතින්නේ මේක මත…. ඔන්න ඔහොමයි රසායනාගාරෙ ජීවිතේ…. සමහර දවස්වල බමරෙ වැල්ලෙ ගැහුවත් කැරකෙනවා… සමහර දවස්වල ඔළුවෙන් හිටගෙන බමරෙ සිමෙන්ති පොළවෙ ගැහුවත් කැරකෙන්නේ නැති වෙලාවල් තියෙනවා…

දැන් නම් අළුතෙන් යමක් හිතන්න අමාරුයි… ඒ නිසා දැන් ගෙදර ගිහින් හෙට ඉඳලා ආයෙම පූසා හමගහන්න පටන් ගන්නවා…. ඇල්කෙමිච්චියි පැටියයි මඟ බලාගෙනත් ඇති. ඊයෙත් ගෙදර යන්න ගොඩක් රෑ වුන නිසා පැටියා වේලසනින්ම නින්දට ගිහින්.. තාත්තා ගෙදර ආවම ඇහැඇරවන්න කියලා අම්මට වැඩ පවරලයි නිදාගෙන තියෙන්නේ… අදවත් ඒකා නිදාගන්න ඉස්සර යන්න ඕන….

හෙට හමුවෙමු….

2011 පෙබරවාරි 21 :පූසෙකු හම ගැසීමට බොහෝ ක්‍රම ඇත….There is more than one way to skin a cat…..


මෙහෙම කිවුවාම අනේ ඇල්කෙමියා පූසොත් හමගහනවා කියලා බනින්නවත් බ්ලොග් ගඩොල් එකේ පිස්සු පූසො ටික තරහ වෙන්නවත්, සත්ව අවිහිංසා සංගමයට කියලා නඩු දාන්නවත් නම් එපා…. පූසොන්ට ජීවිත නවයක් තියෙනවා කියලා ඔබ හැමෝම දන්නවානේ… මේකත් අන්න ඒ වගේ බොහොම ප්‍රසිද්ධ කියමනක්. මේකෙන් කියන්නේ නෑ පූසෙක්ව හමගහන්න කියලා, නමුත් ව්‍යංගයෙන් ඇඟවෙන්නේ ඕනෑම දෙයක් කරන්න එක ක්‍රමයකට වඩා තියෙනවා කියලා.

සමහර වෙලාවට අපිට යම් දෙයක් කොතෙක් උත්සාහ කළත් කරගන්න බැරි වෙලාවල් තියෙනවා. ගමනක් යනකොට, ගණනක් හදනකොට, ප්‍රශ්නයකට පිළිතුරක් ලියනකොට, ගෑණු ළමයෙක් යාළු කරගන්න බලනකොට, වගේම ප්‍රතික්‍රියාවක් කරනකොට වුවත් එය කරගත හැකි විවිධ ක්‍රම තියෙනවා. මේ ක්‍රම සමහර විට සාම්ප්‍රදායික ක්‍රම නොවෙන්න පුළුවන්. සමහරවිට සම්ප්‍රදායෙන් පිට පැනලා කරන දේ හරි යනවා. (වර්ණපාල තියරිය මතකයි නේ)  මා ඉගෙන ගනිපු මූලිකම ප්‍රතික්‍රියාව තමයි ස්වභාව ධර්මය. මගේ මුල්ම රසායන විද්‍යා පර්යේෂක මහාචාර්ය වරයා කිව්වේ යමක් තැනීමේදී එයට අදාල රසායන ද්‍රව්‍ය එකතු කරලා බලලා ස්වභාවයෙන්ම එය සැදෙනවාද කියලා බලන්න කියායි. ඇත්තෙන්ම සරළ සංයෝග වලට ඒ නියමය හරිගියත්, සාමාන්‍ය වායුගෝලයට නිරාවරණය වූවිට වියෝජනය හෝ නරක් වන සංයෝගවලට ඒ නියමය අදාල නැහැ. ඒ වගේම සමහර ගිණිගන්නාසුළු රසායන ද්‍රව්‍ය භාවිතයෙන් තනන සංයෝගත් ඒ කාණ්ඩයට අයත් නැහැ. මේ නිසා යමක් තැනීමේදී ඊට පෙර එවන් දෙයක් තනා ඇත්දැයි සොයා, ඒ අනුව ක්‍රියාකිරීම වැදගත්.

නමුත්, සමහර දෑ අළුතෙන්ම සොයගන්න වෙනවා. එවිට තමන්ගේ නිර්මාණශීලීත්‍වය යොදාගෙන නව නිර්මාණ කිරීම වැදගත්. ඒ වගේමයි, යමෙක් මුලින් කළ දෙයක් ඊට වඩා අඩු මුදලකින්, අඩු කාළයකින්, අඩු ශ්‍රමයකින් කිරීමට සොයාගැනීමත් ඒ වගේම දෙයක්. සමහරවිට ඔබත් මේ අවස්ථාවලට අනන්තවත් මුහුණ දීලා ඇති. සිංහලෙන් Short Cut දාලා යනවා කියන්නේ මෙන්න මේකට, හැබැයි බොහොමයක් දෙනා short cut දාන්නේ කම්මැලිකමට. එතකොට වෙන්නේ පාඩු මිස ලාභ නොවෙයි. මේ නිසා short cut එකක් දැම්මත් හරි විදියට දාන්න…. අළුත් නිර්මාණ බිහි වන්නේ මෙන්න මේ හේතුව නිසා. වෙනත් කෙනෙකු කරන දේ වඩා හොඳට කරන්නේ කෙසේද යන්න හෝ අළුතෙන්ම යම් සිතුවිල්ලක් ක්‍රියාවට නැංවීම මෙයට අයත්.

ප්‍රශ්නයක් ආවම ඒකෙම ඇලිලා ඉන්නවට වඩා ඒකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා හොයන්න මේ ක්‍රමය උපයෝගී වෙනවා….. ඒ වගේමයි, පුරුදු කරගත්තාම තමන්ගේ නිර්මාණශීලීත්‍වයත් ඔපමට්ටම් වෙනවා… සමහර විට රැකියාවේ ඉදිරියට යන්නත්, වෙනත් සාර්ථක රැකියාවක් කරා ඇදෙන්නත්, ජීවිතයේ අනිකුත් දේවල් පහසු කරගන්නත් ඔබට පුළුවන් වේවි…

ඉතින් අදම හොඳ පූසෙක් හොයාගෙන හමගහන්න……

2011 පෙබරවාරි 20: World Cup එක නිසා වෙචිච අවුල සහ මහා කොළකැඳ පර්යේෂණය…..


අද ඉතින් ලංකාවෙ හැමෝටම වගේ සුවිශේෂ දවසක් නේ…. ලංකාවෙ ඉන්න අයට නම් දවසෙ බාගයක් ඉවර වෙලා දවල්ට කාලා රූපවාහිනී යන්ත්‍රය ඉස්සරහ පැලක් අටවගත්තාම නිකම්ම ලෝක කුසලාන තරඟ පේනවා. ලෝකේ අනිත් පැත්තේ ඉන්න අපිට නම් බොහොම කරදරයි. උදේ හතරට නැගිටලා කුණුකෙළ පිටින් පරිඝණකය ඉස්සරහට නිදිගැට කඩමින් ඇවිත්, අන්තර්ජාලයේ සැරිසරලා, හෝ මුදල් ගෙවලා ගත්ත පැකේජයක ආධාරයෙන් විකාශය කරන තරඟය බලන්න තමයි මේ දුක් විඳින්නේ. සමහරු නම් ඩොලර් 150 ක් පමණ ගෙවලා රූපවාහිනී සමාගම් වලින් ලබාදෙන පැකේජ ලබාගන්නවා. තවත් සමහරු අන්තර්ජාලයේ ඩොලර් 20 – 30 අතර ඇති පැකේජ ලබාගන්නවා. රූපවාහිනී තරම්ම පැහැදිලි නැති වුනත්, ඉහළ පැහැදිලිතාවයක් ඇතිව මේ වෙබ් අඩවි හරහා තරඟ විකාශය කෙරෙනවා. හැම තරඟයක්ම නරඹන්න තරම් ගායක් නැති, ඒ වෙනුවෙන් මුදල් ගෙවලා නරඹන්න තරම් උණක් නැති මේ මම වගේ අය අන්තර්ජාලයේ නොමිලේ විකාශය කරන, එතරම්ම පැහැදිලි නැති, නමුත් ක්‍රීඩකයොන්ගේ මූණ බලාගන්න පුළුවන් තරමේ පැහැදිලිතාවයක් ඇති තරඟ විකාශය කරන වෙබ් අඩවියක් සොයාගෙන තරඟය නරඹනවා.

ඔන්න ඉතින් පහුගිය සතියේ අන්තර්ජාලය පීරලා හොයාගත්ත වෙබ් අඩවි කිහිපයක් ලැප්ටොප් එකේ දාගෙන හිටපු මා, උදේ 4.00 ට එලාම් එකත් තියාගෙන නිදියගෙන නැගිට්ටා… ඇල්කෙමිච්චි මුලින්ම නීතියක් දාලා තිබුණේ කාමරේ ඉඳන් උදේට ලෝක කුසලානය බැලීම තහනම් කියලා… (මොනවා කරන්නද අප්පා…. විවාහෙත් කෙරෙන්න එපායෑ… ලෝක කුසලානෙ නම් මාසයක් තියෙයි… එහෙමද විවාහෙ….) ඒ වගේම ලැප්ටොප් එක HDMI කේබල් එකක් හරහා පැතලි තිර රූපවාහිනියට (ඉරිසියා කරන්න එපා…..අඟල් 47 ක පුංචි එකක්) සම්බන්ධ කරලා සම්පූර්ණ තිරයට දාගත්තාම ලංකාවේ රූපවාහිනී නරඹන Quality එක එනවා… අත්දුටුවයි සත්තයි…. ඕන නම් අත්හදා බලන්න… ඔන්න ඉතින් නිදිමතේ ලංකාව බැට් කරනවා බලන්න ගත්තා.. ඩිල්ෂානුයි තරංගයි බැට් කරනවා බලං ඉඳලා ටිකක් නින්දත් ගියා… කොහොම හරි මහේලයි ගන්දස්කාරයි දෙන්නා ලංකාව හොඳ තත්ත්‍වයකට ගෙනාවනේ…

ඊයෙ සැලසුම් කළා වගේම  අද උදේට මහා කොළකැඳ ව්‍යාපෘතියක් සැලසුම් කරගෙනයි උන්නේ.. ඇල්කෙමියාවත්, ඇල්කෙමිච්චිවත් ජීවිතේට තනියම කොළකැඳ හදලා නෑ…ඇල්කෙමියාට රෙසිපි ෆලෝ කරන්න එච්චර අමාරුවක් නෑනේ…. රසායනාගාරයේ කරන්නෙත් එකමනේ…. මෙහේ ඉතින් කොළ කැඳ හදන්න පලාකොළ තියෙනවායෑ.. ඔන්න ඉතිං වේලිච්ච ගොටුකොළ පැකට් එකක් කඩලා ඒ අදාල රෙසිපිය අනුව යන්තම් අතපය කඩාගන්නේ නැතිව කොළකැඳ එක හදාගත්තා…. බීලා බලනකොට මේලෝකෙ රහක් නැත්තෙම නෑ… එකම වෙනස අර නැවුම් කොළ රහ වෙනුවට මේලෝකෙ නැති ජරා වේලිච්ච කොළ රහක් ආපු එක විතරයි. ඒ අනුව පර්යේෂණයේ අවසාන නිගමනය වුනේ හදන කොළකැඳක් අමු කොළ වලින් පමණක්ම හැදිය යුතුය යන්නයි.. ඒ  අනුව ලබන සතියේ කර්ලි පාස්ලි කොළ කැඳක් හදන්න පාලනාධිකාරිය නොහොත් ඇල්කෙමිච්චි නිගමනය කළා.

ඒ සංගදියෙන් පස්සේ කොහොම හරි මැච් එකේ ඉතිරි ටික බලලා පැටියත් එක්ක ටිකක් සෙල්ලම් කරන්න ගත්තා… එතකොට තමයි තේරුණේ අර උදේ නැගිටපු එකේ අරුමය… ඔලුව කෙළින් තියාගන්න අමාරුයි…. ආයෙම ඇඳට වැටුනා විතරයි නින්ද ගියා ගියාමයි නැගිටිනකොට හවස 3.00 යි.. තවමත් ඔලුව බරයි… හවස පැටියත් එක්ක පොඩි රවුමක් ගියා ඇවිදින්න..  ආයෙ නම් කිසිම හේතුවක් නිසා උදේ නැගිටින එක ගැන නම් හිතන්න වෙනවා… දැන් ඉතින් වයසයි නේ… ඉලන්දාරි කාලෙ කර හයිරං දැන් මේ වයසක ඇඟට හරියන්නේ නෑ…

ඔන්න ඔහොමයි ලෝක කුසලානෙ ශ්‍රී ලංකාව සහභාගි වුන පළමු තරඟය මගේ දවස වෙනස් කරන්න බලපෑව ආකාරය…… මේ ලෝකෙ වැඩක් නොකෙරුණ, මෙහෙම දවසක් ආවෙ නැත්නම් හොඳයි කයලා හිතෙන එහෙම දවසුත් තියෙනවා මේ ඇල්කෙමියාගේ ජීවිතයේ…

හෙට අළුත් දවසක්….

2011පෙබරවාරි 19: දවස් 50 ක් එක දිගට මගේ දිනපොත හොරෙන් බලපු ඔබට ස්තුතියි… දිගටම බලන්න…..


ඇල්කෙමියාගේ දිනපොත මුලින්ම ලියන්න ගනිත්දි මමවත් හිතුවෙ නැහැ එක දිගට හැමදාම ලියන්න පුළුවන් වේවි කියලා. හේතුව තමයි අධික කාර්ය බහුල බව. එක්කෝ කොහේ හරි යන්න වෙනවා, නැතිනම් වෙනත් වැඩක්……  කොහොම වුනත් දවසින් දවස ලියැවිලා හැමදාම දවස අවසන් වෙන්නට පෙර විනාඩි 15 ක් හොයාගන්න අමාරු වුනේ නැහැ. ඒ වගේමයි, කුමක් හෝ මාතෘකාවක් ලැබෙනවා කතා කරන්නත්.
අද තමයි දැක්කේ මම අති සාර්ථක දින 50 ක් පසු කරලා කියලා. ඒ දින 50 දිම නොකඩවා දිනසටහන් 50 ක් පළ කරන්නත් මට කෙසේ හෝ පුළුවන් වෙලා තියෙන එක ගැන සන්තෝසයි. ඇල්කෙමිච්චි නං ඉතින් හැමදාම කියන බණේ තමයි කියන්නේ. “බ්ලොග් ලිවිල්ලට කොහෙදෝ බාධා නැත්තේ ?” නේද ?

අති සාර්ථක දින 50 පසුකළා......

මගේ මිතුරියක් මුලින් මුලින් මේ දිනපොත කියෙව්වත්, පසුව කියවීම අත්හැර තිබෙනවා ඒක දිනපොතක් නිසා… අනේ මේක දිනපොතක් වුනාට අතිශය පෞද්ගලික නෑනේ… අනික, දිනපොත් කියවන්න කවුද අකමැති ?
ඉතින් බලපු, කියවපු, කොමෙන්ටු දාපු, කැමතියි කියලා බොත්තම ඔබපු හැම දෙනාටම බොහොම ඉස්තූතියි.

අද නම් උදෙන් නැගිට්ටා… දන්නවනේ ඇයි කියලා… ශ්‍රී ලංකාව ක්‍රීඩා නොකළත්, ලෝක කුසලාන ඉන්දියා-බංග්ලාදේශ තරඟය නරඹන්න නැගිට්ටේ. ඉන්දියාව බැට් කරන නිසා දිගටම බැලුවා. අනේ අසරණ බංග්ලාදේශ කට්ටිය, අර සෙවාග් කියන කොලුවයි විරාට් කෝලියි කෝල නැතුව නෙලුවා නේ බංගලි දේසෙට. ගෙදරට ඇවිල්ල ගහල යනවා වගේ වැඩක් කළේ… ඇල්කෙමිච්චි නම් බරබරේ දැම්මා උදෙන් නැගිටලා කොම්පියුටර් දෙකම දාගෙන නිදාගන්නවත් බෑ එළිය වැඩියි කියලා. මෙන්න ටික වෙලාවක් යනකොට ගොරවනවා මාලිගාවත්තේ ලීමෝලේ ගැටයක් තියෙන බුරුත කොටයක් ඉරනවා වගේ. කොහොම හරි පළමු ඉනිම බැලුවා… ඔන්න ඉතින් නිදිමත ආයෙම ආව නිසා ඇඳට වැටිලා 9.30 වෙනකල්ම නින්ද ගිහින්… දඩි බිඩියේ ලෑස්ති වෙලා පවුල පිටින්ම රසායනාගාරයට ආවා. මම රසායනාගාරයේ නැවතිලා පැටියයි ඇල්කෙමිච්චියි පුස්තකාලයට යැවුවා ඒ අයගේ පොත් අරගන්න..

මෙන්න බොලේ හැමදාම සෙනසුරාදට පරක්කු වෙලා එන ලොක්කා අද උදෙන්ම ඇවිත්…(ලොක්කො ඔහොමම තමයි… ) Ah.. Good afternoon, කියපි…

මම කිව්වා Afternine නෙවෙයි After ten කියලා…. ඊට පස්සේ වැඩ කරගෙන ගිහින් දැන් තමයි ටිකක් ඉඩ හසර ලැබුණේ ඉතිරි ටික ලියන්න…

අද රෑට තවත් මිතුරියකගේ 26 වන උපන්දින සාදය තියෙනවා.. ඒකටත් ගිහින් ඉක්මනට ගෙදර ගිහින් නිදාගන්න ඕන… ලංකාව කැනඩාවට තලනවා බලන්න උදෙන් නැගිටින්න එපායෑ….. මම හිතන්නේ අපේ කොල්ලො ටික වැඩේ අනාගන්නෙ නැතිව මොනව හරි කරයි… ඩිල්ෂාන්ටත් සෙවාග්ට වැහිච්ච ආච්චි වැහුනොත් හොඳ හොඳ ගිණිකෙළි ටිකක් බලාගන්න පුළුවන් වේවි… එය එසේම වේවා….

ඉතින් මිතුරනේ, මේ දවස් 50 මාත් එක්ක හිටියට බොහොම ස්තුතියි… ඉදිරියටත් මගේ දිනපොතෙන් යමක් ගන්න තියෙනව නම් කියවලා ලබාගන්න…. මට ලෝකයට දෙන්න පුළුවන් මෙච්චරයි…. මේක හැමදාම ලියැවෙන නිසා ඇල්කෙමියාගේ රසායනාගාරයට ලිපි ලියැවෙන එකත් අඩු වෙලා…. ඒකත් ආයෙම පටන් ගන්න ඕනා….හෙට උදේ ගොටුකොළ කැඳක් හදන්නයි සූදානම් කරලා තියෙන්නේ…. හෙට ගැන හෙට ලියන්නම්…..

%d bloggers like this: