Daily Archives: පෙබරවාරි 1, 2011

2011 පෙබරවාරි 01 : සූදානම් වීමට අසමත් වීම, අසාර්ථක වීමට සූදානම් වීමකි


අළුත් මාසයක්…. අළුත් වැඩ ලැයිස්තුවක්….

අද නම් මටයි කියලා වැඩ ටිකක් කරගන්න පුළුවන් වුනා… හවස තිබුණා Group Meeting. ඒ කියන්නේ රසායනාගාරයේ කෙරෙන පර්යේෂණවල සතිපතා සමාලෝචනය කෙරෙන රැස්වීම. ඒකෙදි හැමෝම හැසිරෙන්නේ යාළුවෝ වගේ වුනාට ප්‍රශ්න අහන වෙලාවට නම් මරාගෙන කන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒ අපි හැමෝගෙම හොඳටයි. එතකොට අපි හැමෝම හොඳට සූදානම් වෙලා ඒ ඒ අදාල දේවල පසුබිම, අනාගතය, විවිධ විකල්ප ක්‍රම, අමතර විස්තර ආදිය බලාගෙන පරිපූර්ණ වෙලා තමයි  රැස්වීමට යන්නේ. මමත් දැන් රසායනාගාරයේ සැළකිය යුතු චරිතයක් නිසාත්, පුරුදුවෙලා ඇති අන්දමට කවුරු සාකච්ඡා කළත් කොණක් අහු වුනොත් ප්‍රශ්න අහන නිසා බොහොමයක් දෙනා මාව සළකන්නේ හරියට Great White Shark කෙනෙක් විදියට. පොඩි එවුන් කියන්නේ මට ලේ සුවඳ විතරයි දැනෙන්න ඕන, මරාගෙන කනවා කියලා… එහෙම කළා කියලා එකෙක් වත් මාත් එක්ක තරහ නැහැ.. ඒ, ඔවුන්ගේ වැරැද්ද මම පහදා දීලා හැම විටම යමක් හිතන්න උනන්දු කරන නිසා.

අනේ ඉතිං අපේ රසායනාගාරයෙත් ඉන්නවා මැට්ටෙක්, ඒ වගේම ඒකා වස කම්මැලියා.. කියන කිසිම දෙයක් විනාඩි 5 කට වඩා මතක හිටින්නේ නැහැ… අපි කියන්නේ ගෝල්ඩ් ෆිශ් කියලා…. ඒ කියන්නේ මතකය බොහොම කෙටි නිසා… මේ අපේ බ්ලොග් අවකාශයේ ඉන්න ගෝල්ඩ් Fish එහෙම නැතුව ඇති නේද ? දැන් ලොක්කට ඒකව ඇති වෙලා තියෙන්නේ. හැම තිස්සේම කියන්නේ ගෙදර යවනවා කියලා…. මම කියලා කියලා බැනලා ටිකක් හදාගෙන තියෙන්නේ, ඒ වුනාට අර උපතින් එන මෝඩකම නම් කවදාවත් යන එකක් නැහැ… හැබැයි මම අනාවැකියක් කිවුවා… ඔහොම වැඩ කළොත් වැඩි කල් ඉන්න වෙන්නේ නැහැ කියලා… මට හිතෙන විදියට මිනිහාට ලඟදිම යන්න වේවි… කිවුවට හැදෙන්නේ නැහැ.

ඉතින් අද අපේ රසායනාගාරයේ පර්යේෂණ ඉදිරිපත් කළ ශිෂ්‍යයාගේ ඉදිරිපත් කිරීම නිම වුනාම අළුතෙන්ම පළ වූ පර්යේෂණ වල විස්තර ඉදිරිපත් කරන්න තිබුණේ මේ මැට්ටාට…. අද උදෙන්ම මම කිවුවා අද මම ප්‍රශ්න අහනවා ඒ නිසා හොඳට ඉදිරිපත් කරන්න කියලා… ඒ වගේම ඊට අදාල පොත් කිහිපයකුත් ලඟටම ගෙනගොස් දුන්න කියවගන්න කියලා… කොහොම නමුත් ඉදිරිපත් කරන වෙලාවේ මේකට කිසිම දෙයක් බෑ… අහන අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ මම දන්නේ නෑ කියලා… ඉතින් කොහොම හරි මම ප්‍රශ්න අහන එකත් නැවැත්වුවා.. මටම දුක හිතිලා… ලොක්කා කියනවා අද ඇල්කෙමියා නියපොතු ඇතුලට ඇදගත්තා කියලා ( Today Alchemiya retracted his claws )

මට මතක් වුනේ අර ජෝන් වුඩ්න් කියා තිබුණ Failure to prepare is preparing to fail කියන ප්‍රසිද්ධ කියමනයි… අපි යමක් කරනවානම් 100% ක උපරිමයකින් කළ යුතුයි.. ඒ සඳහා හොඳින් සූදානම් විය යුතුයි.. එසේ නැත්නම් අප අසමත් වෙනවා. මෙම කියමන සම්මුඛ පරීක්‍ෂණ වලට යන අයට නම් වැදගත් වෙනවා.. ඒ විතරක් නොවෙයි සාමාන්‍ය ජීවිතයේ වුනත් අප උපරිමයෙන් ක්‍රියා කරනවා නම් අසාර්ථක වෙන අවස්ථා අවමයි…

ඉතින්, යමක් කරන විට උපරිම ශක්තිය, උපරිම ජවය යොදා කරන්න… සමහර විට ඔබ අළුතෙන් යමක් සොයාගන්නත් බැරි නැහැ…

විශේෂයෙන් ඉගෙන ගන්නා අය තමන් ඉගෙන ගන්නා කාළයේදී උපරිමයෙන් වැඩ කරගත්තොත්…. අනාගතය සරු වෙයි….

%d bloggers like this: