Daily Archives: පෙබරවාරි 2, 2011

2011 පෙබරවාරි 02 : ජයග්‍රහණයක නිහතමානීත්‍වය


කණ්ඩායම් දෙකක් හෝ කිහිපයක් අතර තරඟයකින් පසුව ජයග්‍රහණයේදී උඩඟු ලෙස උද්දාම වෙනවා කියන්නේ අපි එතැනදීම පරාජය වීමක් ලෙස එකල මහින්ද විද්‍යාලයේ උප විදුහල්පති ජයනෙත්ති මහතා මට කණ මිරිකලා කියා දුන්නේ 1983 වසරේ අන්තර් පාඨශාලීය නැටුම් හා මුද්‍රා නාට්‍ය තරඟයේ ප්‍රතිඵල නිකුත් කරල වෙලාවේ මහින්ද විද්‍යාලයීය කණ්ඩායම පළමු ස්ථානය දිනූ වෙලේ ගහපු විසිල් එකෙන් පස්සේ. ඊට පස්සේ මම නෙවෙයි කවදාවත් කණ්ඩායම් ක්‍රීඩා ජයග්‍රහණයකදී අනෙක් කණ්ඩායම්වල හිත රිදෙන ආකාරයට හැසිරුණේ…..

බුෂ් මහත්තයත් වොලිබෝල් ක්‍රීඩිකාවන්ට කැමතියි වගේ

අදත් ජයග්‍රහණයක් ලබපු දවසක්. අපේ විශ්ව විද්‍යාලයේ සේවකයන් අතර පැවති වොලිබෝල් තරඟාවලියේ අවසාන මහා තරඟය අද පැවැත්වුනා. අපේ කණ්ඩායම වන Free Radicals එහෙමත් නැත්නම් “මුක්ත ඛණ්ඩ“ කණ්ඩායම තරඟ වට 3 න් 3 ම ජයග්‍රහණය කළා. අවසානයේ පුංචි පදක්කමකුත් ලැබුණා. හැමෝටම හරි සතුටුයි. ඒ වගේම පරාජය වුන කණ්ඩායමත් එක්ක සුහද තරඟයක් පවත්වන්නත් අපි අමතක කළේ නැහැ. හොර බොරු වංචා කිසිවක් නැතිව අපේ ලකුණු අපිම ගණන් තබාගෙන බොහොම සාමකාමීව විනෝදයෙන් අපි තරඟ කළා… හිතටත් ගතටත් හරිම සනීපයි. තාත්තා ගෙදර අරගෙන එන හැම පදක්කමම තමන්ගේ කරගන්නා ඇල්කෙමි පැටියට ඊට වඩා සතුටුයි…

ඇත්තටම අපි ජයග්‍රහණයකදී සතුටු වෙනවා තමයි. නමුත් අපි පරාජිතයාගේ සිත රිද්දලා, දේපළ වලට හානි කරලා සමහරවිට ඒ මනුස්සයාට දෙකක් ඇණලා සමරණ ජයග්‍රහණයේ වැදගත්කමක් තියෙනවාද ? මැතිවරණ සමයත් ළඟ ළඟම එනවා. උණුසුමත් ටික ටික වැඩි වෙනවා. මේ පාරත් දෙන්නෙක් තුන්දෙනෙක් මැතිවරණය පරලොවදී සමරයි වගේ…. ඇත්තටම අපිට මොනවාද වෙලා තියෙන්නේ ? ඇයි මිනිස්සු මේ තරම් පහත් තත්ත්‍වයට වැටිලා තියෙන්නේ ? යුද්ධය නිසා මිනිස් හැඟීම් යටපත් වෙලාද ? පත්තරේ, රූපවාහිනියේ හැම තැනම මිනී මැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ පිළිබඳ දැකලා දැකලා මිනිස්සුන්ට මිනිස් ජීවිතයේ වටිනාකම දැනෙන්නේ නැති තත්ත්‍වයට පත් වෙලාද ?

මේ අවාසනාවන්ත තත්ත්‍වය නීතියෙන් සමනය කරන්න පුළුවන්ද ? එසේත් නැතිනම් ආගම දහමෙන් සමනය කරන්න පුළුවන්ද ? මම නම් හිතන්නේ මේ දෙකෙන්ම මිනිස්සුන්ව විනයගරුක කරන්න පටන් ගන්න ඕන… අහක යන කෙල්ලෙක් නිසා පුරු පුරු මල් බණ්ඩට ගහපු හැටි අපිත් රස කර කර බැලුවා… ලස්සන කතාව, පුරු පුරුට වැරැද්දක් කියනව නෙමෙයි, නමුත් එතනත් වෙලා තියෙන්නේ බුද්ධිය යටකරගෙන ආවේගය ඉස්මතු වීම. වැරදිලාවත් මල් බණ්ඩා පුරු පුරුට පිහියකින් හරි මොකකින් හරි ඇද බෑවා නම් අද පුරුපුරු ඒ කතාව කියන්න ඉතිරිවෙලා ඉඳියිද ?

ඉතින් අපි ජයග්‍රහණයත්, පරාජයත් නිහතමානීව එකලෙස විඳගන්න පුළුවන් නම් කොච්චර හොඳද ? සමහරවිට අපිට තරහකාරයොත් යාළු කරගන්න පුළුවන් වෙන ක්‍රමයක් ඒක… ඇමරිකාවෙ නම් මැතිවරණයකදි පරාජය වුන කෙනා ජයග්‍රහණය කරපු කෙනාට සුභ පතනවා, මූණිච්චාවට හරි.. ලංකාවෙ නම් පරාජය වුනාම මුලින්ම කරන්නේ නඩු දාලා හෝ රූපවාහිනී නාලිකාවක් හරහා තමන් ජයග්‍රාහකයා බව ප්‍රකාශ කර සිටීම…. කොයි දේශපාලුවත් එකයි…

මැතිවරණ කාලේ සමරණ ජයග්‍රහණ වලින් පස්සේ ඔය එක දේශපාලුවෙක්වත් ඔබේ පිහිටට එන්නේ නෑ…. ඒක මතක තියාගෙන සාමකාමීව ජයග්‍රහණය සමරන්න…

හැබැයි ලෝක කුසලාන තරඟාවලියෙදී නම්, ලංකාව දිනුවාම උපරිම අයුරින් ජයග්‍රහණය සමරන්න අමතක කරන්න එපා….

%d bloggers like this: