Daily Archives: පෙබරවාරි 3, 2011

2011 පෙබරවාරි 03 : ඔබේ ජීවිතයේ වටිනාකම කීයද ?


ජීවිතය කාටත් වටිනවා… මිනිස් හෝ සත්ව ජීවිතය වේවා ගසක් මැණික් ගලක්  හෝ වේවා සියල්ලටම දැන් වටිනාකමක් එක්වෙලා. ජීවිතය දරන්නාට තම ජීවිතය මොන දේටත් වැඩිය වටිනවා… ඒකයි සතෙක් වුනත් අනතුරක සේයාවක් හෝ දුටු පමණින් ආරක්‍ෂාකාරී වන්නේ….

සමහර ජීවිත එය අයිතිකාරයාට වඩා වෙන අයට වටිනවා. මගේ ජීවිතය මට වඩා මගේ ඇල්කෙමිච්චිට සහ පැටියාට වටිනවා.. මගේ දෙමවුපියන්ට සහෝදර සහෝදරියන්ට වටිනවා…මිනිසා සමාජයීය සත්වයෙක්, මේ නිසා තනිවම ජීවත් වෙන්න බැහැ. අපි කාට හෝ කිසියම් අයුරකින් සම්බන්ධයි. ඕපපාතික අය මේ ලෝකේ නැහැ නේ…. ඉතින්, ජීවිතයට වටිනාකමක් දෙන්න පුළුවන්ද ? එසේ නොමැති වුනත්, කෙනෙකුට වටිනාකමක් දෙන්න පුළුවන් ද ? සමහර අය නම් කොන්ත්‍රාත්තු ක්‍රමයට මිනී මරන විට විවිධ ජීවිත වලට විවිධ වටිනාකම් කියනවා… ඒ තවත් පැත්තක්… අපේ ජීවිත අපට අයිති නැහැ. සමාජගත වූ පසු එය අයිති සමාජයට… ඒ නිසා තමයි අපට අවශ්‍ය විදියට අපේ ජීවිතය නැති කරගන්න අපිට බැරි… සමහරු නම් ඒ කාරණාව අමතක කරලා සුළු දේටත් ජීවිතය නැති කරගන්නවා… ඒ ප්‍රශ්නවලට මූණ දෙන්න හිත් හයිය නැති මිනිස්සු….

ක්‍රීඩකයො නම් අළෙවි වෙනවා විවිධ අවස්ථාවල විවිධාකාරයට. IPL වෙන්දේසියේදී මහේලගේ වටිනාකම වුනේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක්, 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා වන ගරු සනත් ජයසූරිය මන්ත්‍රීතුමාගේ වටිනාකම සත පහකට වැටුනා… ඒ විවිධ අවස්ථාවලදී තමන්ගේ අගය වෙනස්වන හැටි කියාපාන හොඳම උදාහරණය. මහේල වැඩිම ලංසුවට අළෙවි වන්නත්, සනත් සත පහකට ගණන් නොගන්නත් හේතුව ඒ දෙදෙනාගෙන් අදාල ක්‍රීඩා කණ්ඩායමට ලැබේ යැයි සිතන දායකත්‍වය මත තීරණය වූවක්. ගායක ගායිකාවන්, නළු නිළියන්, ඇතුළු සැම දෙනාම තම තමන්ගේ දක්‍ෂතා, හැකියාවන්, අනුවයි තමන්ට හිමි මිල නියම කරන්නේ.

මිලියන ගණනක වෙනස

අද මේ කතාවට පාදක වුනේ අපේ රසායනාගාරයේ ඉන්න පුංචි චයිනීස් කෙළි පැටික්කි කැඩිච්ච ඉංගිරිසියෙන් මට කියපු කතාවක්…. මම හැම දෙනාම ගැන සොයා බලන නිසාත්, රසායනාගාරයේ බොහොමයක් වැඩ මා මත තිබෙන නිසාත්, ඇය කිවුවේ මම හරිම වටිනා කෙනෙක් කියලා. මට මේ කතාව ඇය පමණක් නොවෙයි බොහෝ දෙනා කියලා තියෙනවා විවිධ අවස්ථා වලදී. ඒ නිසාම තමයි මම ලොක්කට ඕන විදියට නැතුව මට ඕන විදියට රසායනාගාරය ගෙනියන්නේ…. ඉතින් මම මගේ වටිනාකම වැඩි කරගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඒ ගැන කියලා මම නිකම් පොර වෙන්න ඕන නැහැනේ….

සේවා ස්ථානයකදී ඔබේ වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්න ඔබට ඔබ ගැන කේවල් කිරීමේ හැකියාව වැඩි වෙනවා. සමාජයේ ඔබේ වටිනාකම වැඩි වෙන විට සමාජයේ පිළිගැනීම වැඩි වෙනවා. සමහර විට ඔබ නිහතමානීකම නිසා වටිනා පුද්ගලයෙක් වෙන්නට පුළුවන්; දැනුම අතින්, කරන සේවය අතින්, සහ මේ හැම දේම අතින් ඔබ සමාජයට, ඔබේ රාජකාරි ස්ථානයට, සහ විශේෂයෙන්ම ඔබේ පවුලේ අයට වටිනා පුද්ගයෙක් වෙන්නට පුළුවන්…

ඒ වගේමයි… සමහර අය “කිසිම වැදගැම්මකට නැති“ වන්නේත් මෙන්න මේ කරුණ අවබෝධ කර නොගැනීම නිසායි. අප මිනිස් ජීවිතයක් ලබන්නේ සමහරවිට එකවරයි, (මම පුනරුප්පත්තිය ගැන විශ්වාස කරන්නේ නැහැ, ඒ වගේමයි , මේ ලෝකෙන් ගිය දාට අපි වෙන කොහේ ඉපැදුනත්, එතැන ඉන්නේ මේ ආත්මයේ ඉන්න මම නොවෙයි) ඒ ලැබූ ජීවිතය වටිනා ආකාරයට ගතකරනවා නම් ලෝකය හරිම ලස්සන තැනක් වේවි….

හොඳින් ඉගෙන ගෙන ලෝකයට යමක් දායාද කිරීම මෙන්ම සමාජයේ අන් අයට හැකි පමණ සේවය කිරීම මේ අගය වැඩි වන කාරණා… ඉගෙන නොගත් නමුත් සමාජයේ යහපත් පුරවැසියෙක් සේ ජීවත් වීමම මිනිසකුගේ වටිනාකම වැඩිවන කාරණාවක්…. තවත් බොහෝ දෑ එමටයි… ඔබේ වටිනාකම කීයද කියලා ඔබම තක්සේරු කරගන්න… වටිනාකම වැඩිවන්න වැඩිවන්න ඔබ නිහතමානීව අන් අයට සේවය කරන්නත් අමතක කරන්න එපා….. අපේ වටිනාකම අන් අයට දැනෙන්නේ අපි නැති දාටයි… දවසක් හෝ වැඩට නාවොත් සේවා ස්ථානයේ කටයුතු අඩපණ වේ නම්, තමන් රෝගී වූ විට හෝ දුර ගමනක් ගිය විට නිවසේ වැඩකටයුතු නිසි පරිදි නොකෙරේ නම්, ඔබේ සහභාගිත්‍වයට හොඳ ලංසුවක් තියෙනවා.

ඒත්, ඔබේ වටිනාකම වැඩි වූ පමණින් ඔබ එය ආයුධයක් කරගන්නත් එපා…. ඒ මොකද කියනවා නම්, එවිට අන් අයට ඔබව එපා වෙනවා… “අනේ මෙයාගේ ගණං“ අන් අයට කියලා ඉබේම කියැවෙන්නේ ඔබේ වටිනාකම පිළිබඳ අධිතක්සේරුවෙන් අන් අයට පහත් කොට සළකන විටදීයි….මේ ලෝකෙන් යන දවසට අපි කිසි දෙයක් අරන් යන්නේ නැහැ… උපයපු මිනිසුන්ගේ හිතේ අපි ගැන ඇති මතකය ඇරෙන්න…..

%d bloggers like this: