Daily Archives: පෙබරවාරි 4, 2011

2011 පෙබරවාරි 04 : අද නම් පොඩ්ඩක් වත් නිදහසක් නෑ…. අහස උසට වැඩ…..


අද ලංකාවේ අයට නම් නිදහස් දවස, නිවාඩුයි. දිග සති අන්තෙ නිසා තවත් සනීපයි… ඒත් අපට කොයින්ද පූසො තෝර මාළු ?

සිකුරාදා වුනා කියලා අමුතුවෙන් වැඩ අඩු වුනේ නැහැ. කොහොමත් පෙබරවාරි මාසය ඇතුලත  සංයෝග විශාල ප්‍රමාණයක් හදන්න බලාපොරොත්තුව ඉන්න නිසා, වැඩ අතපසු කරලත් බැහැ. ලෝක කුසලානෙ එන නිසා ඒ කාලෙට ටිකක් අඩුවෙන් වැඩ කරන්න දැන් දැන් වැඩියෙන් වැඩ කරනවා. ඒ අස්සේ රසායනාගාරයට අළුතෙන් ගෙනා කැබිනට්ටු කාර්මිකයො දෙදෙනෙකු ඇවිත් බිත්ති වලට සවි කළා. ඒ කැබිනට්ටු පිරිසිදු කරවලා රසායනාගාරය පුරු තිබුණ විවිධ රසායන ද්‍රව්‍ය වෙන් කරලා තිබුණ පෙට්ටි ටික ඔක්කෝම පිළිවෙලකට තබලා ලේබල් අලවලා නිම වෙනකොට දවල් කෑම වෙලාවත් පහු වෙලා….

හවස් වරුවෙත් එකදිගටම වැඩ කළා. පොඩි එවුන්ගේ වැඩ බලන්නයි. ඒ අයට උපදෙස් දෙන්නයි, ලබන සතියේ කෙරෙන වැඩ ගැන ලොක්කා එක්ක කතා කරන්නයි ගියාම වෙලාව යනවා දැනුනෙම නෑ…. ටික වෙලාවකින් දැකලා පුරුදු දෙන්නෙක් රසායනාගාරයට ආවා… ඇල්කෙමිච්චියි පැටියයි. ඒ දෙන්නා එක්ක ගෙදර ගිහින් ආයෙම ඇවිත් තවත් පරීක්‍ෂණයක් අරඹලා දැන් තමයි ටිකක් නිදහස් වුනේ…. ඔන්න ඔහෙමයි නිදහස් දවස ගෙවුනේ…

ඒත්, එහෙම වුනා කියලා හිතේ කිසිම අසතුටක් නැහැ… අද හරිම  ඵලදායි දවසක් නිසා…ඒ නිසාම මේ ලිපිය ලියලා ඉවර වෙලා තවත් ප්‍රතික්‍රියාවක් පටන් ගන්න හිතාගත්තා….. අපේ පොඩි එවුන් ටිකත් දැන් හරිම උනන්දුයි… අර මැට්ටාටත් බැනලා බැනලාම දැන් වැඩ කරනවා… හැබැයි ලබන සඳුදා ඉඳලා ඒ ඔක්කෝගේම වැඩ කටයුතු අඩාල වෙනවා. නැවත විශ්ව විද්‍යාලය පටන් ගන්නවා… හැමෝම හරිම අවිවේකී වෙනවා. විවිධ පන්ති, පර්යේෂණ, නිබන්ධන ආදී මෙකී නොකී දෑ… ඒ නිසාම බොහෝ දෙනා දිවා රෑ නොබලා වැඩ… මේ විශ්ව විද්‍යාලය අර්ධ වශයෙන් පෞද්ගලික නිසා එක වසරකට අධික මුදලක් පාසල් ගාස්තු වශයෙන් ගෙවන්න වෙනවා. මේ නිසා සෑම දෙනෙක්ම බලන්නේ වියදම් කරන මුදලට උපරිම ප්‍රයෝජන ගන්නයි, ලංකාවේ වගේ නිකං ඉන්න නිදහසේ ඉන්න වෙලා නැහැ.බොහොමයක් දෙනා පැය දෙක තුනකට වඩා නිදාගන්නේ නැහැ. ඉගෙනන්නවා විතරක්ම නොවෙයිනේ, රැකියා කරන්නත් ඕන නේ. නැත්නම් කොහොමද කන්න අඳින්නේ..

ලංකාවෙ නම් නිකං ඉන්න දීලා මහපොළත් දෙනවානේ… ඒ නිසා කට්ටිය හොඳට නිදහසේ බකං නිලාගෙන බඩ උලාගෙන ඉන්නවා..

ඔය වර්ජන ගර්ජන කරන අයියලා ටිකක් මෙන්න මෙහේ විශ්ව විද්‍යාලයකට ගෙනත් දාලා මාස කීපයක් මෙහේ ළමයි වැඩ කරන විදිහ පෙන්නන්න ඕන… එතකොට තේරෙයි ලංකාවේ නිදහස් අධ්‍යාපනේ අගය…..

නිකං ලැබෙනකොට රත්තරං වලත් අගයක් නෑ කියනවා නේ….

%d bloggers like this: