Daily Archives: පෙබරවාරි 5, 2011

2011 පෙබරවාරි 05 : අනුන් වෙනුවෙන් කාළය පොඩ්ඩක් වැයකරන්න….


සෙනසුරාදා වුනත් අද ටිකක් උදෙන් නැගිටින්න වුනේ ඇල්කෙමි පැටියා ඇවිත් ඇහැඇරවපු නිසා… ඊට පස්සේ තමයි මතක් වුනේ අද මට ටිකක් වේලාසනින් රසායනාගාරයට යන්න තියෙන බව. අද තවත් රසායනාගාරයකින් සාම්පලයක් එනවා විද්‍යුත් රසායනික විශ්ලේෂණයක් කරවගන්න. මමයි ඒ උපකරණය ක්‍රියාකරවන්නේ, ඒ නිසා මට 9.30 වන විටවත් රසායනාගාරයේ ඉන්න වෙනවා. ඉතින් ඔන්න කඩිමුඩියේ ඇඳ පැළඳගෙන රසායනාගාරයට ආවා. ඊයේ රෑම අදාල රසායනික සංයෝග අර නිෂ්ක්‍රීය වායු වලින් පුරවපු Glove Box කියන මහා පතරංග පෙට්ටිය වගේ උපකරණයට පටවපු නිසා එච්චර හදිසියක් නෑ. උදේම අපේ රසායනාගාරයේ ශිෂ්‍යයෙක් ඒ බඩු ටික  ඇතුළට ගෙනගොස් ඇති නිසා කාරයය තවත් පහසු වුනා.

අදාල සංයෝගවල ද්‍රාවණ සකසලා ඒ ඒ අදාල විශ්ලේෂණ ටික කරලා ඉවර වෙනකොට හවස එකහමාරත් පහුයි. වැඩ කරපු නිසා බඩගින්නක් දැනුනෙම නෑ… දවල්ට කාලා ඉවරවෙනකොටම ඇල්කෙමිච්චි කතා කරලා කිවුවා අරුණි කතා කළා කියලා.. ගෙදර ගියාම කතා කරලා බලන්න ඕනා.

ඊට පස්සේ තමයි මටම කියපා වැඩක් කරගන්න වෙලාව ආවේ. අද සැලසුම් කරලා තිබුණෙ මගේ සංයෝගයකට පොස්ෆීන් සංයෝගයක් එකතු කරලා නව සංයෝගයක් හදන්න. මේ පොස්ෆීන් හරිම ගඳයි, සමහරවිට ගිණගන්නා සුළුයි. ඒ නිසා ඒකත් අර මැජික් පෙට්ටියේ තමයි කරන්නේ. ඒත් ඒ මැජික් පෙට්ටියේ වාතය පිරිසිදු කරන උත්ප්‍රේරකයට මේ පොස්ෆීන් විෂයි. ඒ නිසා ඒ පෙට්ටියේ ඇති වාතය සියල්ල ඉවත් කර, අළුත් නයිට්‍රජන් වලින් පෙට්ටිය පුරවන්න ඕනා. දැන් මේ ප්‍රතික්‍රියාවත් කරලා, මැජික් පෙට්ටිය Flush වෙන්න දාලා ඇවිත්තමයි මේ දිනපොත ලියන්න පටන් ගත්තේ.

ඉතින් අද මටම කියලා වැඩක් කර නොගත්තත්, අනිත් රසායනාගාරයේ පරීක්‍ෂණයක් කරන්න උදවු වෙන්න පුළුවන් වීම ගැන සතුටුයි. මම ඉස්සර දවසකත් කිවුවා වගේ අපි ජීවත් වෙන්නේ ලොකු සමාජයක, ඉතින් මේ සමාජයේ ජීවත් වෙනකොට අන්‍යොන්‍ය සම්බන්ධතා, එකිනෙකාට උදවු කිරීම හරිම වැදගත්, ඒ නිසාම තමයි අපට ඕනෑම තැනකින් ඕනෑම දෙයක් පහසුවෙන් කරගැනීමේ හැකියාව ලැබෙන්නේ.

ඉතින් කෙනෙක් උදවුවක් ඉල්ලුවාම තමන්ගේ ගැනම හිතන්නේ නැතිව ඒ උදවුව කරලා දුන්නොත්, සමහර විට කවදාක හෝ වෙන කාගෙන් හෝ පෙරළා උදවුවක් ලැබේවි. ඒ වුනාට උදවු බලාගෙන කවදාවත් උදව් කරන්නවත්, තමන් උදවුවක් කළ නිසා ඒ උදවුව ලැබූ පුද්ගලයා ඔබට උදව් කළ යුතු බවට ඉල්ලීම් කරන්නවත් එපා…. ඒක බොහොම කැතයි හොඳේ…..

%d bloggers like this: