Daily Archives: පෙබරවාරි 6, 2011

2011 පෙබරවාරි 06 : කරන්න ඕන නිසා කරන දේවල්…..


අද සුපර් බෝල් ඉරිදා, ඒ කියන්නේ සුපර් බෝල් සන්ඩේ…. බොහොමයක් දෙනා රූපවාහිනී යන්ත්‍ර වලට ඇලී ගැලී ඉන්න දවස… හරියටම ලෝක කුසලාන අවසාන මහා තරඟය වගේ. ඇමරිකාව මහා ලොකුවට ඇමරිකන් පාපන්දු ලෝක ශූරතා තරගය කියලා කෑ ගැහුවට, මේ ක්‍රීඩාව කරන්නෙත් ඇමරිකාවම විතරක් වීමත් හාස්‍යයට කරුණක්. වැඩි විස්තර අරුණිගේ මේ ලිපියෙන් බලා ගන්න.

අපි ඉතින් සාදබර කට්ටියනේ.. (ඒ කියන්නේ සාදයට බර) ඉතින් අපිටත් හේතුවක් ඕනම නෑ පාටියක් දාන්න. ඔන්න අපි ඔක්කෝම ආයෙම එකතු වුනා සුපර්බෝල් පාටියට. එක්කෙනෙක් බුරියානි හැදුවා, තවත් එක්කෙනෙක් වටලප්පන් ගෙනාවා, තවත් එක්කෙනෙක් පැටිස්, තව කෙනෙක් පකෝරා (එහෙම ඉන්දියානු කෑමක් තියෙනවා, කුණුහරුප නෙවෙයි)… පාටියට ලෑස්තියි. හීනියට ෂිවාස් රීගල් අඩියක් දාගෙන කට්ටිය රූපවාහිනිය වටා රොක් වුනා…

හැමෝම කැමති වුනේ සුපර්බෝල් කවදාවත් නොදිනපු විස්කොන්සින් වල ග්‍රීන් බේ පැකර්ස් කණ්ඩායම දිනනවාට… පිට්ස්බර්ග් වල ස්ටීලර්ස් කණ්ඩායම හය පාරක්ම සුපර්බෝල් දිනපු නිසා ඒ අය දිනනවාට වැඩිය අපි කවුරුත් ආස කළේ නැහැ. ඔවුන් ඇත්තටම දක්‍ෂ කණ්ඩායමක්, නමුත් අනෙක් අයටත් සාධාරණයක් ඉටු වෙන්න එපායෑ..

උදේ පාන්දර යාළුවෙකු කතා කළා  වෙනත් යාළුවෙක්ගේ ගෙදර ඇති ගෘහභාණ්ඩ වගයක් ඔහුගේ ගෙදරට ගෙනයන්න උදවු වෙන්න කියලා. අපිම ලොරියක් වගේ ට්‍රක් එකක් අරන් මමම පැදගෙන ගිහින් අපි ඒ වැඩෙත් කරලා තමයි පාටියට ගියේ. මෙහේ ඉතින් කාර් පදින ලසියමෙන්ම පොඩි ට්‍රක් එකක් පදින්නත් අවසර තියෙන එක ලොකු දෙයක්. ඔන්න ඔහොමයි දවස ගෙවුනේ…

අද නම් මේ ලිපිය ලියන්නේ හැමදාම ලිපියක් දාන්න ඕන නිසා… අපි සමහර දේවල් කරනවා කරන්න ඕන නිසා….  ඉස්කෝලේ යනවා යන්න ඕන නිසා. රස්සාවට යනවා සල්ලි ඕන නිසා, කසාද බඳිනවා ලෝකේ මිනිස්සු අහන නිසා, අම්මලා කියන නිසා, කෙල්ල වද කරන නිසා,  දරුවො හදනවා කට්ටිය අහන නිසා, නෝනට ඕන නිසා…අන්තිමට ජීවිතය දිහා හැරිලා බලනකොට බොහො දේවල් කරලා තියෙන්නේ කරන්න ඕන නිසා මිසක්, කළ යුතුද නැත්ද කියලා හොයලා බලලා නොවෙයි…

අපි බොහොමයක් දෙනා එහෙමයි…. මේ ලියන මමත් එහෙමයි…මොනව කරන්නද අපිත් මිනිස්සු නේ…………

%d bloggers like this: