Daily Archives: පෙබරවාරි 8, 2011

2011 පෙබරවාරි 08 : පාට පාට සමනලියන් අයෙත් ඇවිල්ලා…… මල කරදරේ….


නව පාසල් වාරයට ආයෙම විශ්ව විද්‍යාලය පටන් ගත්තේ ඊයේ. මෙතෙක් කල් පාළුවට ගිහින් තිබුණ විශ්ව විද්‍යාලය එකම කඩිගුලක් වෙලා. පන්ති වලින් පන්ති වලට ළමුන් මාරු වෙනකොට හරියට පිටකොටුවේ බස් නැවතුම්පොළ වගේ අවිවේකියි. එකම වෙනස වැඩි සද්දයක් බද්දයක් නැති එක. ඉතින් නා නා විධ ඇඳුම් ඇඳගත් යුවතියන්, නොයෙකුත් මෝස්තර දාගත් තරුණයින්ගෙන් විශ්ව විද්‍යාලය පිරිලා යන්න ගතවුනේ දවස් දෙකයි. ඒ අතරෙම අපේ රසායනාගාරයෙත් වැඩි දෙනාට පන්ති පටන් ගත් නිසා ආයෙම රසායනාගාරයේ තදබදය අඩු වනා, ඒ වගේම පුංචි පාළුවකුත් තියෙනවා. නමුත් සියළුම දෙනා උදේටයි දවල්ටයි හවසටයි පන්ති නැති හැමවෙලාවෙම රසායනාගාරයේ ඉන්න නිසා ඒ තරම් පාළු නැහැ.

මේ ඔක්කෝම දේවල් මැද්දේ යම් යම් අවාසිදායක දේවලුත් තියෙනවා. පළමු දේ තමයි වාහන නැවැත්වීමේ තදබදය. උදෙන් ආවෙ නැත්නම් පුදුම වෙහෙසක් දරන්න වෙනවා තැනක් හොයාගන්න. දෙවැන්න තමයි අන්තර්ජාලය අඩපණ වීම. කොපමණ විශාල ධාරිතාවක් තිබුණත්, පන්ති පටන් ගත් අළුත අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බොහොම අමාරුයි, හැමෝම පන්තිවල කාලසටහන්, විෂයය නිර්දේශ ඇතුළු මෙකී නොකී සියළුම දෑ කරගන්නේ අන්තර්ජාලයට සම්බන්ධව නිසා ඒක බොහොම අමාරුයි. අපේ විශ්ව විද්‍යාලය බොහොමයක් කටයුතු ජාලගත කර ඇති නිසාත්, රැහැන් රහිත අන්තර්ජාල පහසුකම් මුළු විශ්ව විද්‍යාලයේ සෑම තැනකම (පන්ති ඇතුළත මෙන්ම පිටතත්) ඇති නිසා සියළුම දෙනා කටයුතු කරන්නේ අන්තර්ජාලය භාවිතයෙන්. ඒ නිසා මුල් දිනවල අන්තර්ජාලයට සම්බන්ධ වීම බොහොම අමාරුයි. ඒ වගේමයි පුස්තකාලයේ කටයුතු බොහොම මන්දගාමී වෙන්නෙත් මේ කාළයේදීයි.

ඒ මොනවා වුනත් ආයෙම විශ්ව විද්‍යාලය කඩිගුලක් වගේ කාර්යබහුල වීමත් එක අතකට හොඳයි. මොකද කියනවා නම් පාළුවට ගිහින් තිබුණ විශ්ව විද්‍යාලයට අළුත් පණක් ලැබිලා.. ලස්සන සමනල්ලු වගේ යුවතියො වගේම මීමැස්සො වගේ තරුණයො එහා මෙහා දුවනවා තමන්ගේ අනාගතය සරුකරගන්න දැනුම එකතු කරන්න. විශ්ව විද්‍යාලය ආයෙම දැනුම සොයන තක්සලාවක් බවට පත් වෙලා. සමහරු බංකු උඩ පාඩම් කරනවා, තවත් සමහරු යාළුවොත් එක්කලා කතාව, තවත් සමහරු Text කරනවා, කතා කරනවා, වැඩ ගොඩයි… කවදා හරි මේ පුංචිවුන් අතරින් එකෙක් ලෝකය මවිත කරන වැඩක් කරාවි, බරපතල රොගයකට බෙහෙතක් හොයාගනීවි, ලොකු සමාගමක ලොක්කෙක් වේවි, එහෙමත් නැත්තම් රටක නායකයෙක් වේවි… මේ සියල්ලන්ගේම සම්මිශ්‍රණයක් මේ විශ්ව විද්‍යාලය ඇතුලේ තියෙනවා…

අපිත් ඒ සියල්ල අතරේ…………….. ජීවිතය හරිම පුදුමාකාරයි….. සුන්දරයි….

%d bloggers like this: