Daily Archives: පෙබරවාරි 9, 2011

2011 පෙබරවාරි 09 : අවදියෙන් ඉන්න…. සම්මා සතියෙන් වැඩ කරන්න…..


සාමාන්‍යයෙන් අපේ Glove box එක උදෑසන පිරිසිදු කරන්නේ මම… පෙරදා වැඩකළ දෑ වල ඉතුරු බිතුරු ටික එකතු කරලා ලෝහ භාජනයක දමා, අළුතෙන් ලෝහ භාජනයක් රෑ එළිවනතුරු රික්තක සිලින්ඩරයේ දමා, එය පැරණි භාජනය වෙනුවට මාරු කරලා කුණු ටික එළියට ගෙන එය නියමිත පරිදි නිශ්කාෂණය කරන්න ඕන. මේ Glove box එක තුළ වැඩි වශයෙන් කෙරෙන්නේ තෙතමනයට සහ වාතයට සංවේදී පරීක්‍ෂණ නිසා ඒ වෙනුවෙන් භාවිත කරන රසායන ද්‍රව්‍යත් තෙතමනයට සහ ඔක්සිජන් වලට සංවේදීයි. සමහර ද්‍රව්‍ය වාතයට නිරාවරණය කළවිට ක්‍ෂණිකව ගිණි ඇවිලෙනවා. තවත් සමහර ද්‍රව්‍ය අධික දුර්ගන්ධයෙන් යුක්තයි, තවත් සමහර ද්‍රව්‍ය විෂ සහිතයි.

මේ නිසා ඒවා නිශ්කාෂණය නිසි පරිදි නොකළහොත් අනතුරු ඇති වෙන්නට පුළුවන්. එසේ අනතුරු කිහිපයක් අපේ විශ්ව විද්‍යාලයේදීම සිදු වුනා. අසල වූ රසායනාගාරයක මෙසේ  Glove box එකෙන් පිටතට රැගෙන ආ ගිණිගන්නා සුළු ද්‍රව්‍යයක් වැරදීමකින් කාඩ්බෝඩ් කසළ භාජනයකට දමා තිබී ගිණි ඇවිළුනා. වාසනාවකට මම එදින රාත්‍රි 10.00 පමණ වනතුරු රසායනාගාරයේ සිටියා, ඒ නිසා එම ගින්න දැක නිවා දැමුවා, එසේ නොකළා නම් අසළ තිබූ කාබනික ද්‍රාවණ වලට ගිණි ඇවිලී එය අසළ වූ හයිඩ්‍රජන් ටැංකිය වෙත පැතිරෙන්නට තිබුණා. එසේ වූවා නම් එය පිපිරී මුළු ගොඩනැගිල්ලටම හානි වන්නට ඉඩ තිබුණා. වාසනාවකට මා සිටි නිසා එය වැළකුණා.

මේ සිදුවීමත් එයටම සමානයි. අපේ රසායනාගාරයේ ඉන්න පුංචි වයිනීස් කෙල්ල මෙවැනි ගිණිගන්නාසුළු රසායනික ද්‍රව්‍යයක් පෙර දිනයේ Glove box එක තුළ භාවිතා කර ඉවත දැමූ ටිෂු කඩදාසි කිහිපයක් මා මෙලෙස පිටතට ගෙනැවිත් තිබුණා. ඇය ඒ බව මට දැන්වූයේ නැහැ. මා ඒ කසළ අදාල කාඩ්බෝඩ් පෙට්ටියට නිශ්කාෂණය කරන විට කිසියම් දුර්ගන්ධයක් දැනුනා. ඒ සමගම යමක් ගිනිගන්නා බව මට අත්දැකීමෙන් හැඟී ගියා. වහාම ඒ කසළ අසල වු ජල භාජනයකට දමා නිෂ්ක්‍රීය නොකළා නම්, අද තවත් ගින්නක් ඇති වනවා.

ඉතින් මා මෙහිදී කියන්න අදහස් කළේ අන් කිසිවක් නොවෙයි. යමක් කරන විට අවදියෙන්, සම්මා සතියෙන් එය කරන්න කියා. Presence of Mind කියලා ඉංගිරිසියෙන් කියන්නෙත් මෙය මයි. කරන දේට හරි අවධානයෙන් නියමිත පරිදි සිදු කළ විට අතපසුවීම්, අනතුරු සිදුවනවා හරිම අඩුයි. ඇත්තෙන්ම පිට රටවල නම් මෙසේ අනතුරක් වීම හෝ අතපසු වීමකින් අලාභයක් සිදු වීම නොසළකා හැරීමක් ලෙස සළකා දඬුවම් කරනවා. නමුත් සකල සිරින් පිරි සිරි ලංකාවේ මෙවන් දෑ තවත් එක් අතපසු වීමක් පමණයි. එය සිදු කළ පුද්ගලයා සමහර විට උසස් වීමකට පවා හිමිකම් කියනවා. ඇත්තෙන්ම මෙය හරිම කණගාටුදායක තත්ත්‍වයක්. නිසි පරිදි පාලනයක් නැති නිසා මිනිසුන් තම වගකීම් පැහැර හරිමින් සිටිනවා. ජාතියේ මුර දේවතාවන් වන ගුරුවරුන් පවා ඕනැවට එපාවටයි උගන්වන්නෙත්. රෝහල් වල වෛද්‍යවරුන්, හෙදියන් පවා තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම නිසා ජීවිත අහිමි වන අවස්ථා අනන්තවත් අසන්නට ලැබෙනවා. මේ අයට ලැබෙන දඬුවම් ගැන නම් අහන්න ලැබෙන්නේ නැහැ.

යමක් එක පාරින් නිසි පරිදි හරිහැටි කිරීමෙන් කාළය, ශ්‍රමය, වියදම, බලශක්තිය ආදී බොහෝ දේ ඉතිරිකරගත හැකියි. එය තමන්ගේ ජීවිතයටත් හුරු කරගත්තොත් ඔබට ජීවිතය වෙනස් විදියට අත්විඳින්න පුළුවන් වේවි. ඔබ අසහනයට පත් නොවී සතුටින් රාජකාරියේ යෙදේවි. ඔබට අඹු දරුවන්, පෙම්වතා/පෙම්වතිය හෝ යහළුවන් සමඟ වැඩිපුර වෙලාවක් ගතකරන්න පුළුවන් වේවි. සමහර විට ගෙදර එලවලු පාත්තියක් දාගන්නත් හැකි වේවි, ඉන් ඔබට සෞඛ්‍යාරක්‍ෂිතව යමක් හදාගෙන කන්න, ගෙදරට යමක් ඉතිරි කරගන්න ආදී මෙකී නොකී බෙහෝ වාසි ලැබේවි.

ඉතින්,….. සම්මා සතියෙන් වැඩ කරන්න….. ඔබ බෞද්ධයෙක් වෙන්නම ඕන නැහැ…

%d bloggers like this: