Daily Archives: පෙබරවාරි 10, 2011

2011 පෙබරවාරි 10: රවින්‍ද්‍ර මාරසිංහ; යළි අවදි වූ, සමුගත් සහෘදයෙකුගේ මතකය………..


අද උදෑසන මූණු පොතට එබිලා බලනකොට මිතුරකුගේ පිටු අතරේ අඳුනන මුහුණක් දැක්කා… ඇත්තෙන්ම ඒ මුහුණත් එක්ක සිත දිවගියේ වසර 17 කට පෙර අතීතයකට…

ඒ වසර 1994, මාත් ඇල්කෙමිච්චිත් රසායන විද්‍යා ආයතනයට බැඳුන අවධිය. අපි පළමු වසරේ නවක සිසුන් කාලේ දුටු සහ අනුගමනය කළ මහා චරිත කිහිපයක් තිබුණා. ඒ අතරින් විශේෂ තැනක් ගත් උස හීන්දෑරි තරමක් කළු පැහැති පුද්ගලයා තමයි අද කතා නායකයා. නමින් රවින්‍ද්‍ර මාරසිංහ. සමහරක් දෙනෙකුට “මාරෙ” හෝ “මාරයා” වුන ඔහු අපට රවින්‍ද්‍ර අයියා වුනා. හරිම කරුණාවන්ත, තීක්‍ෂණ දැක්මක් ඇති ඔහු නිතරම සැදී පැහැදී සිටියේ අනුන්ට උදව්වක් කරන්න.

අපහසු පාඩමක ඇති නොතේරෙන තැනක් මෙන්ම අනාගතයේ අප යා යුතු මඟ ද නිතර මතක් කර දුන්නේ ඇත්තෙන්ම ලොකු අයියා කෙනෙක් වගේ. පුස්තකාලයේ සිටි ඔවුන්ගේ වසරේ සිසු කණ්ඩායම අතරේ රසායන විද්‍යාව දැනුම අතින් කැපී පෙනෙන චරිතයක් වූ ඔහු ආයතනයේ විෂය පරිබාහිර ක්‍රියා වලදී ද වෙහෙස මහන්සි වී දායකත්‍වය ලබා දුන්නා. ආයතනයේ ශිෂ්‍ය සංගමය මඟින් සුනිල් එදිරිසිංහයන්ගේ සඳකඩ පහණ සංගීත සැඳෑව සංවිධානය කිරීමේදී බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කරනු තවමත් මට මතකයි.

රසායන විද්‍යා උපාධිය ලබා ගැනීමෙන් පසුව වුනත් හැකි සෑම විටම ආයතනයේ වැඩ කටයුතු වලට සහභාගී වූ ඔහු තමන්ටම කියා අනාගතයක් සකසා ගන්නට විවිධ රැකියා කළා. එසේම ඔහුගේ අනාගත බලාපොරොත්තුව වූ ගුරුවරයෙක් වීමේ කටයුත්තටත් සෙමින් අඩිතාලම දමමින්, රසායන විද්‍යාව සඳහා හෝමාගම ප්‍රදේශයේ කුඩා කණ්ඩායම් පන්ති කිහිපයක් කළා මට මතකයි. ඒ අවාසනාවන්ත ආරංචිය මට ගෙන ආමේ මමත් සමඟ යුනිලීවර් ආයතනයේ සේවය කළ හොඳම යහළුවෙකු වූ රසිත,  රවින්‍ද්‍ර අයියා අප අතරින් වියෝ වී ඇති බව උදෑසනම දුරකථනයෙන් පැවසූ විට එය අදහාගන්නට නොහැකිව මා එකවරම බිම වාඩි වූවා මට තවමත් මතකයි.

සිය කුඩා කණ්ඩායම් පන්තියක සිසුන් කණ්ඩායමක් සමඟ උඩවලවේ විනෝද චාරිකාවක් ගොස් සිටි ඔහු, ගමන්කළ ඔරුව පෙරළිමෙන් දියේ ගිලී මියගොස් තිබූ බව පසුව දැනගන්නට ලැබුණා. මුළු රසායන විද්‍යා ආයතනයම කම්පා වූ ඒ සිදු වීමට පසු ඔහු වෙනුවෙන් කළ හැකිව තිබූ සෑම දෙයක්ම කිරීමට අප සැම එකතු වුනා. තමන් හැරදා ගිය පෙම්වතා අහිමි වූ ශෝකයෙන් ලතැවෙන ඔහුගේ පෙම්වතිය මෙන්ම සහෝදරයා අහිමි වූ ශෝකයෙන් තැවෙන සහෝදර කැළ සහ දෙමාපියන් සමඟ අපත් ඒ දුක බෙදාගත්තා. එක් සැඳෑවක අපි සැම හඬවමින් ඔහුත්, ඔහු සමඟ එකට අවසන් ගමන් ගිය තවත් කිහිප දෙනෙකුත් අපෙන් සදහටම වෙන් වුනා……

ඔහු අපෙන් වෙන්ව ගියත්, අපව රසායන විද්‍යා මාවතේ තවත් දුර දිගු ගමනක් යවන්නට ඔහු දුන් ඔවදන් කිසි දිනක අමතක වන්නේ නැහැ. ටිකක් කලබලයෙන් වගේ කතා කරන ඔහුගේ හඬ වසර 15 ක් ගියත් තවමත් ඇහෙනවා වගෙයි. ජීවත්ව හිටියා නම් බොහෝ දෑ කරන්නට තිබූ හොඳ මොළයක් සහිත නිහතමානී යහපත් පුද්ගලයෙක් අපෙන් වියෝවී ගියේ ඒ අයුරින්. බොහෝ නවක සිසුන් ඔහු පිළිබඳ නොදන්නා නමුත්, ඒකාළේ සිටි අයට රවින්‍ද්‍ර අයියා අමතක වෙන්නට බැහැ….

බොහෝ යහපත් පුද්ගලයෝ ඉක්මනින්ම අප අතරින් වියෝ වනවා. කුමක් හෝ හේතුවකට අපට ඔහුගේ ඇසුර ලබන්නට බැරි වෙන්නට අප පින් නොකරන්න ඇති. කොහොම වුනත්, අපට නම් ඔහු කවදාවත් අමතක නොවේවි….

මේ සටහන අද මා තබන්නේ ඔහුගේ ඒ මිත්‍රත්වය සහ හෘදයාංගම බවට උපහාරයක් වශයෙන්.

පින්තූර උපුටාගත්තේ දර්ශනගේ මූණු පොතෙන්….

%d bloggers like this: