Daily Archives: පෙබරවාරි 13, 2011

2011 පෙබරවාරි 13 : අතීතය වෙනස් කරන්න බෑ…. වර්තමානයයි අනාගතයයි හදාගන්නවා ඇරෙන්න….


අද ඉතින් ඉරිදානේ… සුපුරුදු පරිදි පස්ස පැත්තට එලිය වැටෙනකල් තුන්දෙනාම බුදිය ගත්තා. ඊයේ රෑ පොඩි සාදයකුත් තිබුණ නිසා ඇඟටත් බොහොම මහන්සියි. සින්දු කියපු නිසාම නෙවෙයි… ටිකක් පරක්කු වෙනකල් ඇහැ ඇරගෙන හිටපු නිසා. අපේ දෙමව්පිය නෑ පිරිවරට ඉරිදාට අනිවාර්යයෙන්ම කතා කරන නිසා උදේ වරුවට ඒ වැඩවලට ගත වුනා. අම්මයි පුතයි තවත් යාළුවො ටිකක් එක්ක සෙල්ලම් කරන්න යන්න දාගෙන තිබුන නිසා ඇල්කෙමියාට ටිකක් නිදහසේ තනියම ඉන්න වෙලාවක් ලැබුණා.

රූපවාහිනියේ පටිගත කරපු වැඩසටහන් ටිකක් බලලා, අන්තර්ජාලයේ ප්‍රවෘත්ති ටිකක් කියවලා දැන් ඔන්න දිනපොත ලියන්නයි ලක ලෑස්ති වුනේ…

අද නම් විශේෂයෙන් කිසිම දෙයක් සිදු වුනේ නැහැ. වැඩට පුරුදු වෙලාම ගෙදර නිකං ඉන්නකොට කරන්න දෙයක් නැතිවා වගෙයි. අපේ ජීවිත කොයි තරම් ඒකකාරීද කියලා හිතෙන්නේ මේ වෙලාවට. ඒත් මම නම් සමහර වෙලාවට ඉඳලා හිටලා මේ වගේ ලැබෙන නිදහසට හරිම කෑදරයි. කිසිම දෙයක් නොකර ටිකක් තමන්ටම කියලා නිදහසේ ඉන්න ලැබෙන එකත් එක්තරා අන්දමට සුවයක්. කාවවත් ගැන හිතන්නේ නැතිව, හිත ඔහේ පාවෙලා යන්න දුන්නාම කොහේ හරි සුන්දර මතකයක හිරවෙලා අපිව අතීතයට ගෙනයනවා…කොහොමත් හැමෝම හිතන්නේ අතීතය සුන්දරයි කියලා නේ… සමහර වෙලාවට අපි ඒ අතීත සිදුවීමකට ගිහින් සතුටු වෙනවා.. තවත් සමහරු දුක් වෙනවා. අනේ ඒ සිදුවීම වෙනස් කරන්න පුළුවන් වුනානම් කියලා හිතෙනවා නේද ? අතීතය වෙනස් කරන්න බෑ.. ඒ නිසා අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්තමානයයි අනාගතයයි හදාගන්න එකයි තියෙන්නේ….

ඊට පස්සේ තුන් දෙනාම එක්ක  චීන අළුත් අවුරුද්ද නිමිත්තෙන් විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් කේන්‍ද්‍රය මගින් සංවිධානය කළ චීන සංස්කෘතික වැඩසටහන නරඹන්නට ගියා. ඇල්කෙමි පැටියට නම් ටිකක් වෙලා යනකොට එපා වුනා… කඩිකුලප්පුව හැදිලනේ ඉන්නේ නිතරම…..පවුලක් වශයෙන් එහෙමත් ගමන් යන්න ඕන… එවිට අප අතරේ බැඳීම වැඩි වෙනවා. ආදරවන්තයන්ගේ දිනය කියලා සිංහලට හරවගෙන ඇති වැලන්ටයින් ඩේ කියන සංකල්පයේ ඇත්තම කාරණය එය වෙන් වන්නේ ආදරවන්තයින්ට පමණක් ම නොවන බව කියමින් අද සටහන නවත්වනවා.

%d bloggers like this: