Daily Archives: පෙබරවාරි 15, 2011

2011 පෙබරවාරි 15 : අමෙරිකාවෙත් ළමයි බඩගින්නේ…..


ඇල්කෙමි පැටියගේ පාසලේ ඇති ව්‍යාපෘති වලට අනුව දෙමවුපියන්ගෙන් කෙනෙක් ස්වේච්ඡාවෙන් යම් තැනක වැඩ කිරීම සාමාන්‍යයෙන් ඉඳලා හිටලා සිදු වෙනවා. අද ඒ අනුව ඇල්කෙමිච්චි ගිහින් ඩෙලවෙයාර් ආහාර බැංකුවේ වරුවක් වැඩ කළා.

එහිදී ඈ දැනගත් දෙයක් තමයි ඩෙලවෙයාර් ප්‍රාන්තයේ සෑම දරුවන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් දවසට එක වේලක් බඩගින්නේ ඉන්නා බව. ඩෙලවෙයාර් ප්‍රාන්තය කියන්නේ අමෙරිකාවේ ප්‍රාන්ත වලින් 10 වෙනියට පෝසත්ම ප්‍රාන්තය. වැඩිපුරම රසායනික ද්‍රව්‍ය කම්හල්, වාහන, සෝයා බොංචි, ඉරිඟු ආදී නිෂ්පාදන ආශ්‍රිතයෙන් මුදල් උපයන මේ ප්‍රාන්තයේ සාමාන්‍ය වාර්ශික ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 56,000 ක් වෙනවා. එසේ වූ ප්‍රාන්තයකත් දරුවන්  මෙසේ කුසගින්නේ සිටිනවා යැයි පැවසූ විට ඔබ සමහරවිට පුදුම වන්නට පුළුවන්. නමුත් ඇත්ත තත්ත්‍වය මෙයයි.මෙයට වැඩිපුරම හේතු වන්නේ දෙමාපියන්ගේ නොසැලකිල්ලයි. සමහර දෙමාපියන් රජයෙන් ලැබෙන ආධාර මත යැපෙනවා ඇරෙන්නට කිසිදු මහන්සියක් දරන්නේ නැහැ. (ලංකාවෙත් ජනසවියයි – සමෘද්ධියයි ලබන අය එහෙමනේ)  මේ නිසා බොහෝ විට ඒ අය සිටින්නේ සාමාන්‍ය ආදායම් මට්ටමෙන් පහළ. එසේමයි, බොහෝ දෙනාගේ ආහාර රටාවන් කිසිදු පාලනයක් නැහැ. සෞඛ්‍යාරක්‍ෂිත නොවන කෑම මෙන්ම තෙල් සහ මේදය අධික ආහාර වේල්වලට ඔවුන් පුරුදු වී සිටිනවා. එසේම මුදල් පාලනය අතිනුත් ඔවුන් බොහොම අරපරෙස්සම් නැහැ. මේ නිසාම ලැබෙන මුදලට වඩා වියදම වැඩියි. ජීවත් වෙන්නේ ලෑලි ගෙයක වුනත් පදවන්නේ මහා ලොකු වාහන.. ගෙදර තියෙන්නේ අඟල් 56 පැතලි තිර රූපවාහිනී වැනි දෑ.

මේ නිසාම ඔවුන්ගේ ජීවිත අවුල් ජාලයක්. දරුවන් මඟහැරෙනවා. සමහර දෙමවුපියන් ළමුන් පාසලට එවන්නේ ඔවුනට රජය මඟින් එක වේලක් හෝ කන්න දෙන නිසා බව පැටියගේ පාසලේ විදුහල්පතිනිය අප සමඟ පැවසුවා.

ඒ අතින බලනවිට කොච්චර ප්‍රශ්න තිබුණත්, ශ්‍රී ලංකාවේ තත්ත්‍වය මෙයට වඩා වෙනස්, කන්න බොන්න බත් නැත්නම් කොස් කට්ටත් හෝ අලගෙඩියක් තම්බා  හෝ දරුවන්ට කන්න දෙන්න තරම් අපේ අම්මලා කාරුණිකයි, ධෛර්යයවන්තයි..සමහර පෝසත් ඇත්තෝ නම් කෑම බොහොම අපතේ යවනවා. ඒත් දැන් දැන් ඒ අයටත් ආර්ථික අවපාතය දැනිලා පිරිමැසුම්දායක දිවි පෙවෙතකට හුරු වෙමින් පවතිනවා.

කෙසේ වුවත් මේ කුසගින්න අමෙරිකාවේ උන්නත්, ලංකාවේ උන්නත් දරනෙන්නේ එකම ආකාරයකට… අමෙරිකාව කියන්නේ සුරපුරක් නියලා හිතාගෙන ඉන්න බොහොමයක් දෙනාට ඒක ඇතුලේ තියෙන ඇත්ත තත්ත්‍වය පේන්නේ නෑ. බොහොමයක් රූපවාහිනී නාලිකාවල පෙන්වන අමෙරිකාව නොවෙයි ඇත්ත අමෙරිකාව. ඊටවඩා හාත්පසින්ම වෙනස්, බොහොමයක් දෙනා ජීවත් වෙන්න දැඩි අරගලයක නිරත වෙනවා. ලංකාවේ මෙන්ම බඩු භාණ්ඩ ඇඟට නොදැනී ගණන් යනවා. බිල්පත් ගාස්තු ටික ටික ඉහළ යනවා. පාසල් ගාස්තු වැඩි වෙනවා. ආදී වශයෙන් එන්න එන්න ජීවත් වීමේ අරගලය උත්සන්න වෙනවා. නමුත් බොහෝ දෙනා සිතන් ඉන්නේ ගුවන්තොටුපලින් බැස්ස ගමන් සල්ලි ගලා එන්න පටන් ගන්නවා කියලා.

ඉතින් මේ අමෙරිකාවේ එක් පැතිකඩක්…. නිදහස නම් අවශ්‍ය ප්‍රමාණයටත් වැඩිය තියෙනවා…වෙනත් වෙනත් පැතිකඩවල් තියෙනවා තමයි. සතුටුදායක පැතිත් ඕනෑ තරම්. ඒ වගේමයි උත්සාහවන්තයාට දියුණු වෙන්නත් ඕනතරම් අවකාශ තියෙනවා. මොළයයි උත්සාහයයි විතරයි අවශ්‍ය….

%d bloggers like this: