Daily Archives: පෙබරවාරි 16, 2011

2011 පෙබරවාරි 16 : වෑයමින් ඉගෙනගන්න – ස්වෝත්සාහයෙන් දියණුවෙන්න….


අද අපේ රසායනාගාරයේ අය අතර පොඩි සාකච්ඡාවක් පැවැත්වුනා…. ඒ තමයි කොහොමද තමන් මූලික උපාධිය කරන කාලේ මුදල් හොයාගත්තේ කියලා. මේ රටේ නිදහස් අධ්‍යාපනයක් නෑ. විශ්ව විද්‍යාලයකට යන්න ඕන නම් අනිවාර්යයෙන්ම මුදල් ගෙවන්න වෙනවා. රජයේ හෝ පෞද්ගලික කියා වෙනසක් නෑ හැම විශ්ව විද්‍යාලයේම අඩු වැඩි වශයෙන් ගාස්තු අය කෙරෙනවා. පෞද්ගලික විශ්ව විද්‍යාලවල නම් ගාස්තුව වැඩියි සැප පහසුකම් වැඩියි.බොහොමයක් දෙනා එක්කෝ රජයෙන් දෙන ණය පහසුකම් අරගෙන විශ්ව විද්‍යාලයට යනවා. විශ්ව විද්‍යාලයෙන් පිටවී රැකියාවක් සොයාගත් පසු ඔවුන් ඒ ණය ටික ටික ගෙවා අවසන් කරනවා. සල්ලි තියෙනවා නම් දෙමාපියන් වියදම් කරලා ළමුන් විශ්ව විද්‍යාලයට යවන අයත් ඉන්නවා. බොහොමයක් ළමුන් කරන්නේ දෙමාපියන්ගෙන් ටිකක් අරගෙන ශිෂ්‍ය ණය පහසුකමකින් ටිකක් රැගෙන අනිත් ටික තමන් විසින්ම සපයා ගැනීමයි.

සමහර දක්‍ෂ ළමුන්ට ශිෂ්‍යත්ව පිරිනැමුණත්, හැමෝටම ඒ වාසනාව නැහැ. එසේමයි ශිෂ්‍යත්වය වුනත් වියදම පිරිමහගන්න ඇතිවන්නේ නැහැ. මේ සැම දෙනාම ඉගෙනගන්න විඳින්නේ දුකක්. සමහරු රෑ තිස්සේ රැකියා කරලා පන්ති නැති වෙලාවට කොරිඩෝ වල බුදියගන්න අවස්ථා අනන්තවත් දැකලා තියෙනවා. මෙසේ රැකියා කරන අය තම මූලික උපාධියට අමතරව විවිධ රැකියාවලින් අත්දැකීම් එකතු කරගැනීමත් කරනවා. මේ නිසාම රැකියාවක සම්මුඛ පරීක්‍ෂණ වලට ගියාම, “මම අහවල් ආපනශාලාවේ වේටර් කමක් කළා” කියලා කියන එක ඔවුනට ලැජ්ජාවක් නොවෙයි. එයින් ප්‍රකාශ වෙන්නේ මේ තරුණයා/තරුණිය උත්සාහවන්ත කෙනෙක් කියන එක විතරයි. මේ හැම දේම අග්‍රඵලය ඔවුනට හරිම මිහිරියි. මේ නිසාමයි උපාධි ප්‍රධානෝත්සවය දවසට තම දරුවාට සහයෝගය දක්වන්න පවුල් පිටින් එන්නේ. බොහොමයක් රැකියා මූලික උපාධිය අවම සුදුසුකම කරගෙන ඇති ඒවායි. මේ නිසාම කෙසේ හෝ මුලික උපාධිය ලබා ගැනීම අනාගතයක් ගැන හිතන සැම දෙනාගේම අපේක්‍ෂාවයි. එසේම ඔවුන් තමන්ට වෙනත් කෙනෙක් රැකියාවක් ගෙනත් දෙනතුරු (අපේ රැකියා විරහිත උපාධිධාරී මහත්හොරු වගේ) බලා ඉන්නේ නැහැ. ඉගෙනගන්න දක්‍ෂ අය පශ්චාත් උපාධි පාඨමාලා, වෛද්‍ය විද්‍යාලය, නීති විද්‍යාලය, ආදී දෑ කරා ඇදෙනවා. රැකියා කරන්න බලාපොරොත්තු වන අය බොහෝ විට විශ්ව විද්‍යාලයෙන් පිටතට යන විටම රැකියාවක් අතේ දරාගෙනයි පිටවන්නේ. ඒ සඳහා ඔවුන් අවසාන වසරේ මුල් කාලයේ සිටම වෙහෙස වෙනවා.

අපේ රටේ නම් මේ තත්ත්‍වය මීට වඩා වෙනස්. නිදහස් අධ්‍යාපනය රජයෙන් ලබා දීම සිසුන්ගේ අයිතිවාසිකමක් වනවා වගේම ඔවුන් හිතන්නේ රජයෙන් රැකියාවක් ලබා දීමත් ඔවුන්ගේ අයිතිවාසිකමක් කියායි. ඒ වගේම ඔවුන්ව දඩමීමා කරගෙන තම පැත්තට ඡන්ද ගොඩක් කඩාගන්න බලන දේශපාලන පක්‍ෂත් ඔවුනට එකතු වෙනවා. කවදාවත් සිසුන්ට කියන්නේ නැහැ ස්වෝත්සාහයෙන් නැගිටලා තමන් දියුණු වෙන්න කියලා. මම කිසිම තැනක දැකලා නැහැ කිසිම විපක්‍ෂ දේශපාලන පක්‍ෂයක් සිසුන්ට ස්වෝත්සාහයෙන් නැගිටින්න කියනවා.මේ ගැන මම බොහෝ දේ කියලා තිබුණා මීට පෙර. නැවත නැවතත් කියන එකේ තේරුමක් නැහැ.
කොහොම වුනත් කියන්න තියෙන්නේ දියුණු වෙන්න නිකම් ඉඳලා බැහැ. උත්සාහ කරන්න ඕන. රජයෙන් හැම දේම දෙනකල් බලාන ඉන්නේ නැතිව, තමන් ස්වෝත්සාහයෙන් යමක් ඇරඹුවොත්, අන් අයට වඩා තරමක් හරි ඉදිරියෙන් ඉන්න පුළුවන් නේද ? කියලා ඔය ලිප්ටන් වටරවුම ලඟ බෝඩ් ලෑලි එල්ලගෙන කෑ මොරදෙන මල්ලිලාට මතක් කරමින් අද සටහන අවසන් කරනවා.

%d bloggers like this: