Daily Archives: පෙබරවාරි 17, 2011

2011 පෙබරවාරි 17: අනේ අම්මපා ලෝකයට ගිය කළ…….අමෙරිකාවෙ ඉඳන් ලංකාවට Online Tutoring….


මේ සටහන ලියන්නේ මේකට පාදක වෙච්චි මොට්ට කෙල්ල මේක ලියන්න එපා කියපු නිසාමයි.

අද උදෙත් සුපුරුදු පරිදි රසායනාගාරයට පියමැන්නා. අනේ අද උෂ්ණත්‍වය ෆැරන්හයිට්ම 60 කට නැගලා, ඒත් එළියට යන්නවත් විදියක් වුනේ නෑ ඒ තරමට වැඩ. උදේ වරුවේ සැලසුම් කරලා තිබූ වැඩ ටික නිම කරලා පුටුවේ ඇවිත් වාඩි වුන ගමන් Skype එක පත්තු වෙන්න ගත්තා. ලංකාවෙ රසායන විද්‍යා ආයතනයේ ඉගෙන ගන්න මොට්ට කෙල්ලෙක් ප්‍රශ්නයක් අහන්න කතා කරනවා. ඒ කෙල්ල මේ දිනපොතත් හැමදාම බලනවාලු…

ඔන්න ඉතින් දන්න විදියට ප්‍රශ්නෙට උත්තර දීගෙන දීගෙන යත්දී මගේ මළකඩ කාපු මොළෙත් ටික ටික වැඩ කරන්න ගත්තා. මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන විෂයයන් ඉගෙන ගත්තේ දැනට අවුරුදු 5 කට විතර ඉස්සර. ඉතින් දැන් ටිකක් මතකත් නෑ… ඒත් අර ටිකක් භාවිතයේ තියෙන නිසා මළකඩ කඩලා ගත්තාම ටික ටික මතු වෙනවා. කොහොම හරි ප්‍රශ්නෙට අදාල උත්තරේ හොයා ගන්න පුළුවන් වුන එක ගැන නම් සන්තෝසයි. යන්තම් වැඩ දන්න නිසා ජාමෙ බේරගත්තා….

ඔන්න ඉතිං මේ කෙල්ල කියනවා අනේ මේක ඔයාගෙ දිනපොතේ දාලා ප්‍රසිද්ධ කරන්න එපා කියලා… අපි ඉතින් කවදාද එපා කියන දෙයක් නොකර හිටියේ…. ගෙදරින් හදන්න බැරි නිසා ඉස්කෝලෙට දැම්මා.. ඉස්කෝලෙන් කියලත් හරියටම හැදුනෙ නෑනෙ… ඊට පස්සේ ගොඩක් අය බාර ගත්තා මාව හදන්න කියලා… ඒ අය ඔක්කෝම මාව දාලා ගිය එක විතරනේ අන්තිමට වුනේ… අන්තිමටම තමයි ඇල්කෙමිච්චි කරගැහුවේ… ඒක නිසා කවදාවත් එපා කියන දෙයක් නම් නොකර ඉන්න බැරි කැසිල්ලක් තියෙනවා ඇල්කෙමියාට… වෙන එකක් තියා ලොක්කා පවා කියනවා මේකට නම් කිසිම දාක කිසි දෙයක් කරන්න එපා කියන්න හොඳ නෑ කියලා…..

ඔන්න ඉතින් චාරිත්‍ර කඩ කරන්න හොඳ නැති නිසා ඒ විදියටම මේකත් දිනපොතේ දැම්මා… නැතිනම් අද ලියන්න හිටියේ රස්නේ වැඩි වෙච්චි නිසා විශ්ව විද්‍යාලයේ ළමයින්ගේ කොට වෙච්චි ඇඳුම් ගැන… ඒ ගැන ඉතින් පස්සෙත් ලියන්න පුළුවන් නේ… තවත් රස්නේ දවස් ඉස්සරහට එනවානේ….

ඉතින් ලෝකය වෙනස් වෙලා… ඉස්සරම ලියුම් ලියලා අම්මලාට තැපැල් කරපු අපි හැම දවසක් ඇර දවසක්ම අම්මලාට දුරකථනයෙන් කතා කරන්න තරම් ලෝකය පුංචි වෙලා. ලංකාවේ ඉන්න ළමයින්ට අන්තර්ජාලය හරහා පාඩම් කියලා දෙන්න තරම් ලෝකය පුංචි පන්ති කාමරයක් වෙලා. මිනිස් සිතට වඩා ඉක්මනින් ක්‍රියාකාරීව සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් පරිඝණක හදන්න තරම් ලෝකය දියුණු වෙලා. ගෙදර රූපවාහිනියේ විකාශය වෙන වැඩසටහනක් පටිගත කරන්නට වෙනත් රටක හිටියත් දුරකථනය හරහා පටිතග කිරීමේ යන්ත්‍රය  ක්‍රියාත්මක කරන්නට හැකි සන්නිවේදන යුගයක් උදාවෙලා.

මේ සෑම දෙයක් එක්කම ලෝකය වල්මත් වෙලා. මූණු පොත ආශ්‍රිතව වෙන අපරාධ වැඩි වෙලාලු. ප්‍රසිද්ධ ගණිකාවො ගැණුම්කරුවො හොයාගන්නෙත් අන්තර්ජාලය හරහා ලු. පවතින රජයක් පෙරලන්නට සෙනඟ රැස්කරගන්න පණිවුඩ අරින්න  තරම් මූණු පොතයි ට්විටර් අඩවියයි ප්‍රබල වෙලා. නොදන්න හැම කරුණක්ම ගූගල් කරන්න කියන තරමට Google කියන වචනය ක්‍රියාපදයක් බවට පත් වෙලා… ඒ වගේමයි එනෙක් පැත්තත්. කුඩා ළමුන් බිලී බාගන්න ළමා අපචාර කාරයෝ අන්තර්ජාලයේ අනන්තවත් ඉන්නවා. අනුන්ගේ පෞද්ගලික තොරතුරු සොයාගෙන  ඔවුනගේ ජීවිත විනාශ කරන්නත්, මුදල් සොරාගන්නත් මිනිසුන් දරුණු වෙලා. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා දැනගන්න පුළුවන් තරමේ දැනුම සම්භාරයක් තියෙනවා වගේම කුඩා දරුවන්ට නුසුදුසු අන්දමේ දැනුමත් ඒත් එක්කම ඔබේ පරිඝණක තිරය මතට ලැබෙන බව අමතක කරන්නත් එපා.

මේ හැම දෙයක් අතරේම අපිත් ජීවත් වෙනවා. හරියට දත් තිස්දෙක අතරේ තියෙන දිව වගේ. සමහර වෙලාවට දන්නෙම නැතිව දිව හැපෙනවා. එතකොට රිදෙන්නේ කටටමයි… ඒ වගේම අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව කරන මෝඩකම් වලින් අපිම අන්තර්ජාලයේදී අමාරුවේ වැටෙනවා.

ඇල්කෙමි පැටියා දැනටමත් අන්තර්ජාලයේ සැරිසරා යූ ටියුබ් එකේ කාර් රේස් වීඩියෝ සොයාගෙන නරඹන්න තරම් දස්සයි. නමුත් ඒ හැම වෙලාවකම අපි ඇහැ ගහගෙනයි ඉන්නේ. සමහර වීඩියෝ අතරේ අනවශ්‍ය දසුන් ඕනෑතරම් තියෙනවා. මේ නිසා කරුණාකර ඔබේ දරුවන් අන්තර්ජාලයේ කරන්නේ මොනවාදැයි හොඳින් සොයා බලන්න…

බ්ලොග් ලිව්වට, කියෙව්වට කමක් නෑ…. පරිස්සමින් අන්තර්ජාලය පාවිච්චි කරන්න…

වැඩිපුර තමන්ගේ පෞද්ගලික විස්තර ප්‍රචාරය කරන්න යන්නේ බලාගෙනයි.

%d bloggers like this: