Daily Archives: පෙබරවාරි 18, 2011

2011 පෙබරවාරි 18 : මිනිත්තුවක වටිනාකම කීයද ?


දැන් ඉතින් හරිම කාර්යබහුලයි. රසායනාගාරයේ පොඩි එවුන් කඩියො වගේ වැඩ. ඒ අතරේ කම්මැලියෙකුත් ඉන්නවා. ඒකා ගැන නම් කියලා වැඩක් නෑ… ඒ නිසා කඩියො ටික ගැන කතා කරන එක සතුටක්.

මම ඉතින් හැම දෙනාටම උදවු කරන්න ඕන නිසා සහ ලොක්කා වැඩිපුර රසායනාගාරයේ නැති නිසා මට නිවනක් නෑ. එකක් ඉවර වෙනකොට තවත් එකක්. එක්කෙනෙක් ගේ ව්‍යාපෘතියේ ප්‍රශ්න වලින් තවත් එකකට යන්න වැඩි වෙලා දෙන්නේ නෑ.. මේක කරන්නේ කොහොමද ? අරක කරන්නේ කොහොමද ? මේක මෙහෙම කළොත් හරිද ? ඇයි මෙහෙම වෙන්නේ ? අනේ මේක වැරදුනා, දැන් මොකද කරන්නේ ආදී වශයෙන් ප්‍රශ්න කෝටියයි. ඒ අතරේ මගේ ව්‍යාපෘතියේ ප්‍රතික්‍රියා එකක් හෝ දෙකක් ක්‍රියාකරවන්නත් වෙනවා. නැත්තං ලොක්කා මගේ ඔලුව කනවානේ…. ඒ වගේම පිටත රසායනාගාරවලින් පැමිණෙන මගේම මිතුරු මිතුරියන්ට සමහරවිට අවශ්‍ය රසායන ද්‍රව්‍ය, අපේ රසායනාගාරයේ පමණක් ඇති උපකරණවලින් සිදු කෙරෙන දත්ත ලබා ගැනීම් ආදී මිලියනයක් දෑ මගේ කරපිට. සමහරවිට ඔබට හිතෙනවා ඇති මේකා කියන්නේ ඇත්තද, මෙච්චර කාර්ය බහුල අය ඉන්නවද කියලා.. මම බොරුවක් කියනවා නම් මේක කියවන ඔබට හෙණ ගහන්න ඕනෑ….

තවම ජීවත් වෙනවා නේද ?….. ආ… ඒ කියන්නේ මම  කියලා තියෙන්නේ ඇත්ත….

අද දවල්ට කෑම කනකොට දවල් එකහමාරයි. ඔන්න දන්නෙම නැතුව කෑම වෙලාවත් පැනලා…. ඒ වගේම සමහර දවස්වලට නම් සෑහෙන්න නිවාඩු පාඩුවේ ඉන්න තියෙන අවස්ථාත් තියෙන නිසා සමහර දවස් කාර්ය බහුලයි කියලා කෙඳිරි ගාන්නෙ නෑ…. ඒක ඉතින් ජීවිතයේ හැටි නේ….හැම දේම සමබරව ලැබෙන එක…

ඒ කෙසේ වුනත් මේ සියල්ලම අතරේ මට හිතුනේ අපි රසායනාගාරයේ ගතකරන වෙලාවට මිලක් නියම කරන්න පුළුවන්ද කියන එක. සමහර විට අපි කරන පරීක්‍ෂණ සාර්ථක නොවන්න පුළුවන්, නමුත් ඒ අසාර්ථක පරීක්‍ෂණයෙන් සමහරවිට මහා දැනුමක් අපි ලබාගන්නවා වෙන්න පුළුවන්. ඒ වගේමයි, සමහර පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෝකයක් වෙනස් කරන්න පුළුවන් එකක් වෙන්නටත් පුළුවන්.

අපි හැම දෙනාගේම කාළයට මිලක් නියම වෙලා තියෙන නිසා තමයි අපි කරන රැකියාව අනුව පඩියක් ගෙවන්නේ. සමහර අය කය වෙහෙසා වැඩ කරනවා. තවත් සමහර අය මොළය වෙහෙසා වැඩ කරනවා. තවත් සමහර අය මේ දෙකම වෙහෙසා වැඩ කරන අතර සමහරු මේ දෙකම නොවෙහෙසා මේ හැමටම වඩා මුදල් හම්බ කරනවා. ඒ අයට කියන්නේ දේශපාලනඥයෝ කියලා. ඒ අය ගැනත් අපි හැමෝම දන්න නිසා නිකම් ඉලෙක්ට්‍රෝණ නාස්ති කරන්න ඕන නෑ මේ ගැන මෙතන ලියලා.

අපි ගත කරන හැම මිනිත්තුවක්ම අප වගේම අප වටා ඉන්න අනිත් අයටත් හරිම වැදගත්. ඒ ගැන ඔබ හොඳට දන්නවා…

පස්සේ දවසක අපි ඒ ගැන කතා කරමු…

%d bloggers like this: