Daily Archives: පෙබරවාරි 19, 2011
2011පෙබරවාරි 19: දවස් 50 ක් එක දිගට මගේ දිනපොත හොරෙන් බලපු ඔබට ස්තුතියි… දිගටම බලන්න…..
ඇල්කෙමියාගේ දිනපොත මුලින්ම ලියන්න ගනිත්දි මමවත් හිතුවෙ නැහැ එක දිගට හැමදාම ලියන්න පුළුවන් වේවි කියලා. හේතුව තමයි අධික කාර්ය බහුල බව. එක්කෝ කොහේ හරි යන්න වෙනවා, නැතිනම් වෙනත් වැඩක්…… කොහොම වුනත් දවසින් දවස ලියැවිලා හැමදාම දවස අවසන් වෙන්නට පෙර විනාඩි 15 ක් හොයාගන්න අමාරු වුනේ නැහැ. ඒ වගේමයි, කුමක් හෝ මාතෘකාවක් ලැබෙනවා කතා කරන්නත්.
අද තමයි දැක්කේ මම අති සාර්ථක දින 50 ක් පසු කරලා කියලා. ඒ දින 50 දිම නොකඩවා දිනසටහන් 50 ක් පළ කරන්නත් මට කෙසේ හෝ පුළුවන් වෙලා තියෙන එක ගැන සන්තෝසයි. ඇල්කෙමිච්චි නං ඉතින් හැමදාම කියන බණේ තමයි කියන්නේ. “බ්ලොග් ලිවිල්ලට කොහෙදෝ බාධා නැත්තේ ?” නේද ?
මගේ මිතුරියක් මුලින් මුලින් මේ දිනපොත කියෙව්වත්, පසුව කියවීම අත්හැර තිබෙනවා ඒක දිනපොතක් නිසා… අනේ මේක දිනපොතක් වුනාට අතිශය පෞද්ගලික නෑනේ… අනික, දිනපොත් කියවන්න කවුද අකමැති ?
ඉතින් බලපු, කියවපු, කොමෙන්ටු දාපු, කැමතියි කියලා බොත්තම ඔබපු හැම දෙනාටම බොහොම ඉස්තූතියි.
අද නම් උදෙන් නැගිට්ටා… දන්නවනේ ඇයි කියලා… ශ්රී ලංකාව ක්රීඩා නොකළත්, ලෝක කුසලාන ඉන්දියා-බංග්ලාදේශ තරඟය නරඹන්න නැගිට්ටේ. ඉන්දියාව බැට් කරන නිසා දිගටම බැලුවා. අනේ අසරණ බංග්ලාදේශ කට්ටිය, අර සෙවාග් කියන කොලුවයි විරාට් කෝලියි කෝල නැතුව නෙලුවා නේ බංගලි දේසෙට. ගෙදරට ඇවිල්ල ගහල යනවා වගේ වැඩක් කළේ… ඇල්කෙමිච්චි නම් බරබරේ දැම්මා උදෙන් නැගිටලා කොම්පියුටර් දෙකම දාගෙන නිදාගන්නවත් බෑ එළිය වැඩියි කියලා. මෙන්න ටික වෙලාවක් යනකොට ගොරවනවා මාලිගාවත්තේ ලීමෝලේ ගැටයක් තියෙන බුරුත කොටයක් ඉරනවා වගේ. කොහොම හරි පළමු ඉනිම බැලුවා… ඔන්න ඉතින් නිදිමත ආයෙම ආව නිසා ඇඳට වැටිලා 9.30 වෙනකල්ම නින්ද ගිහින්… දඩි බිඩියේ ලෑස්ති වෙලා පවුල පිටින්ම රසායනාගාරයට ආවා. මම රසායනාගාරයේ නැවතිලා පැටියයි ඇල්කෙමිච්චියි පුස්තකාලයට යැවුවා ඒ අයගේ පොත් අරගන්න..
මෙන්න බොලේ හැමදාම සෙනසුරාදට පරක්කු වෙලා එන ලොක්කා අද උදෙන්ම ඇවිත්…(ලොක්කො ඔහොමම තමයි… ) Ah.. Good afternoon, කියපි…
මම කිව්වා Afternine නෙවෙයි After ten කියලා…. ඊට පස්සේ වැඩ කරගෙන ගිහින් දැන් තමයි ටිකක් ඉඩ හසර ලැබුණේ ඉතිරි ටික ලියන්න…
අද රෑට තවත් මිතුරියකගේ 26 වන උපන්දින සාදය තියෙනවා.. ඒකටත් ගිහින් ඉක්මනට ගෙදර ගිහින් නිදාගන්න ඕන… ලංකාව කැනඩාවට තලනවා බලන්න උදෙන් නැගිටින්න එපායෑ….. මම හිතන්නේ අපේ කොල්ලො ටික වැඩේ අනාගන්නෙ නැතිව මොනව හරි කරයි… ඩිල්ෂාන්ටත් සෙවාග්ට වැහිච්ච ආච්චි වැහුනොත් හොඳ හොඳ ගිණිකෙළි ටිකක් බලාගන්න පුළුවන් වේවි… එය එසේම වේවා….
ඉතින් මිතුරනේ, මේ දවස් 50 මාත් එක්ක හිටියට බොහොම ස්තුතියි… ඉදිරියටත් මගේ දිනපොතෙන් යමක් ගන්න තියෙනව නම් කියවලා ලබාගන්න…. මට ලෝකයට දෙන්න පුළුවන් මෙච්චරයි…. මේක හැමදාම ලියැවෙන නිසා ඇල්කෙමියාගේ රසායනාගාරයට ලිපි ලියැවෙන එකත් අඩු වෙලා…. ඒකත් ආයෙම පටන් ගන්න ඕනා….හෙට උදේ ගොටුකොළ කැඳක් හදන්නයි සූදානම් කරලා තියෙන්නේ…. හෙට ගැන හෙට ලියන්නම්…..