Monthly Archives: මාර්තු 2011

2011 මාර්තු 31: රිදෙනවා තමයි අනේ… ඒත් නවත්තන්නෙ නැතුව දිගටම කරන්න ….


දිනපොත ලියන්න පටන් අරන් මාස තුනත් ගත වුනා… ඒ කාලෙ දිනපොත ලියන්න අතපසු වුනේ දවස් තුනයි… පුළුවන් හැමදාම ලිව්වා… දිනපොත ලියන්න පුළුවන් වුනත්, ඒ පිලබඳ නිමිත්තක් හොයා ගැනීම සමහර දවස්වල හරිම දුෂ්කර වුනා… ඒ දවස්වල තමයි අර මේලෝකෙ රහක් නැති සටහන් ලියවෙන්න ඇත්තේ… ඉතින් මේ කාර්ය කරනකොට ඇල්කෙමිච්චිගෙන් සමහර දවස්වල බර බරේ… ඒ වුනත් ඈ හැමදාම දැන් දිනපොත බලනවා… දිනපොත ගැන පුංචි මත විමසුමක් හැදුවා… කැමති නම් මෙතැනට කොටලා බලන්න… ඡන්දෙකුත් දාන්න කැමති විදියට…

මේ දවස්වල මමත් පෞද්ගලික ඉලක්කයකට (Personal Goal) යන්න වැඩ කරනවා…ඒ කියන්නේ මම මටම පණවාගත් ඉලක්කයක් අනුව වැඩක් කරනවා.. ඒක තමයි බඩ බස්සා ගැනීම.. ලොකු බඩක් ඇත්තෙත් නෑ… අනිත් එවුන් එක්ක බැලුවාම මට මන්දපෝෂණේ වගේ…. ඒ වුනත් ෆිට් එකේ ඉන්න එපායෑ…. ඒක නිසා මුලින් වොලිබෝල් ගහන්න ගියා…. දැන් හැම බදාදම ක්‍රීඩාගාරයට ගොස් පැයක් කරන වොලිබෝල් ක්‍රීඩාව ලබන සතියෙන් අවසන් වෙනවා. ලබන බදාදා අවසන් තරඟයත් සමඟ ඒ තරඟාවලිය අවසන් වුනාම කරන්න දෙයක් නැති වෙනවා. හැම බදාදාම වොලිබෝල් තරඟයෙන් පස්සේ ව්‍යායාම ශාලාවට ගිහින් බර එසවීම සහ උදරයට ව්‍යායාම කිරීම කළත්, එය තරමක් මදි බවයි හිතෙන්නේ. මේ නිසාම ලබන සතියට පසු සඳුදා-බදාදා-සිකුරාදා දිනවල දවල් කෑම පැයේදී ව්‍යායාම ශාලාවට යන්නයි හිතන් ඉන්නේ… මේ කෙරුවාව ලේසි නෑ… ව්‍යායාම කරලා ඉවර වුනාට පස්සේ ඇඟම රිදෙනවා… ඒ වුනාට ඒ රිදීමත් සුවයක් කියලා හිතාගෙන දත කට කාගෙන ව්‍යායාම කරනවා… මොකද කියනවා නම් මෙන්න මේ වගේ මගේ බොඩියත් ලස්සනට තියාගන්න එපායෑ…

ඒ නිසාම නොවෙයි…. ව්‍යායාම් කිරීමේදී ශරීරයේ රුධිර සංසරණය ක්‍රමවත් වෙනවා. එසේම ශරීරයේ මාංශ පේෂි ශක්තිමත් වීම, වැඩීම, කොලෙස්ටරෝල් වැනි අහිතකර ද්‍රව්‍ය ශරීරයේ තැන්පත් වීම අඩු වීම, දහඩිය දැමීම නිසා ශරීරයේ අභ්‍යන්තරය පිරිසිදු වීම, නිවැරදි හෝමෝන ක්‍රියාකාරීත්‍වය වැනි මෙකී නොකී කරුණු කාරණා රාශියක් සිද්ධ වෙනවා. මේ නිසා ඇල්කෙමියා වැඩිපුර කාළයක් ජීවත් වෙනවා වගේම තමුන්නාන්සේලාට වඩා ක්‍රියාකාරීව තරුණයෙක් විදියට වැඩි කාළයක් ගත කරන්නත් මේ පින් හේතු වාසනා වෙනවා. ඒ වගේමයි… මේ ව්‍යායාම් ශාලාවට ඇහැට කණට පේන “ගැටිස්සියොත්“ එනවා…. ඇස පිණවීමත් ඉතින් සිත සන්තෝස කරන දෙයක් නේ….

ඒ කෙසේ වෙතත්, මා මගේ මිතුරන්ගෙන් නොදකින දේ තමයි මෙන්න මේ තමන්ගේ ශරීරය ගැන අවධානයක් නොමැතිකම… ව්‍යායාම් කිරීමට වෙලාවක් නැතිකම, තැනක් නැතිකම වැනි දේ කියා මඟ හරිනවා මිසක්, වෙලාවක් හදාගැනීමට සිත යොදවන්නේ නෑ… අන්තිමට ලොකු රා බඩක් වගේ බඩක් හදාගෙන ඉන්නවා… සමහරු කොලෙස්ටරෝල්, සීනි වැනි දේ ශරීරයේ එක්රැස් වීම නිසා ඇතිවන තත්ත්‍වයන්ගෙන් පිඩා විඳිනවා.. තවත් සමහරු දැන් අප අතර ඇත්තෙත් නෑ.. සමහරු වයසට වඩා වයස ගිහිල්ලා…. මේ සියල්ල නැති කරගන්න, නිරෝගී ජීවිතයක් ගතකරන්න දවසකට පැය බාගයක් ව්‍යායාම කිහිපයක් කිරීමෙන් ඉටු කරගන්න පුළුවන්… මුලින් මුලින් ඇඟ රිදෙනවා තමයි. ඒ වුනාට අඟලක් දෙකක් බඩ බහිනකොට ඒ රිදිල්ල ඉබේම නැති වෙනවා… රිදුනයි කියලා මොනව කරන්නද ? ෆිට් එකේ ඉන්න එපායෑ…. ඔන්න ඔහේ කරන්න…

පොඩ්ඩක් හිතලා ගෙදර ඉඳන් වුනත් ව්‍යායාම ටිකක් කරලා බලන්න ඇඟට දැනෙන සනීපෙ……

ඔන්න බලන්න ජුනි මාසෙ වෙනකොට මගේ බඩේ Six Packs දාලා එන හැටි…..

2011 මාර්තු 30 : බලාපොරොත්තු කඩ වුනාම දුකයි තමයි…



අද ඉන්දියා පකිස්ථාන් ලෝක කුසලාන තරඟය… ඒක අවසාන මහා තරඟයක් තරමටම උණුසුම්… මුණු පොතේ ඉන්දියන් මිතුරොන්ගේ ලියුම් කියුම් බැලුවාම හිතාගන්න පුළුවනි උන් ඉන්නේ පකිස් කාරයෙක් දැක්කොත් මරාගෙන කන ආවේගයකින්… කෙසේ හෝ පකිස්ථානය විසින් ඉන්දියාව තරඟෙන් දිනවලා දුන්නා.. ඒ කියන්නේ අතෑරපු උඩපන්දු ගණන දිහා බැලුවාමයි…. මේ නිසා පකිස්ථානු ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටුනා වගේම පකිස්ථානු ජයග්‍රහණය වලාපොරොත්තුවෙන් හිටි සමහරක් ලාංකිකයන්ගේද බලාපොරෙත්තු බිඳ වැටුනා….

අපි ජීවිතයේ ගොඩක් දේවල් ගැන බලාපොරොත්තු තබාගෙන ඉන්නවා… විභාගය, විවාහය, රැකියාවක්, වාහනයක්, දරු මල්ලෝ, උන්ගේ දියුණුව ආදී මිලියනයක් බලාකොරොත්තු……. සමහර අය නම් වැඩිය බලාපොරොත්තු තබාගෙන ඉන්නේ නෑ කඩ වුනාම දුක හිතෙන නිසා… ඒත් බලාපොරොත්තුවක් නැති ජීවිතේ කුඹ ගහක් නැති නැවක් වගේ… කිසිම අරමුණක් නැතිව ඔහේ ඉබාගාතේ යනවා…..බලාපොරොත්තු බිඳ වැටුනාම දුකයි තමයි… ඒත් බලාපොරොත්තු තියා නොගෙන ඉන්න හොඳ නෑ….
අද අපේ පැටියගෙත් හිත පොඩ්ඩක් රිදුනා.. උදෙන්ම නැගිටලා කිරි එක බොන අතරේ ටිකක් අදිමදි කරන නිසාම මම කිවුවා ඉක්මනට කිරි එක බිවුවොත් යමක් පෙන්වනවා කියලා… මිනිහා හිතුවේ මම සෙල්ලම් කාර් එකක් ගෙනත් හංගගෙන ඉන්නවා කියලා… ඇත්තෙන්ම මම හිතාන උන්නේ අපේ නිවස අසළ නවත්වා තිබූ අළුත්ම පන්නයේ කාර් එකක් පෙන්වන්නයි… (මිනිහා මට ඉස්සෙල්ලා ඒක දැකලා) ඉතින් කිරි බීලා මගෙන් ඇහුව මොකක්ද පෙන්වන්නේ කියලා… මම ඒ කාරය පෙන්වන්න ගෙන ගියාම මෙන්න කඳුළු පෙරාගෙන අඬන්න ගත්තා… මම ඒක ඔයාට ඉස්සර දැක්කා…. ඇයි මට බොරු කරන්නේ කියලා… දැන් හැදෙන එවුන් අපට වඩා ගොඩක් ඉස්සරහිනුයි ඉන්නේ…..

පොඩි එවුන්ට බොරු බලාපොරොත්තු දෙන්න නරකයි… එවිට ඔවුන්ගේ පෞරුෂත්‍වයට හානි පැමිණෙනවා… නිතරම ඔවුන් ශක්තිමත් සිතක් ඇති කිරීමට වගබලා ගන්න ඕන… ඒ වගේමයි ජය පරාජය, දුක සැප ආදිය සමව දරාගන්නට පුරුදු කරවන්න ඕන… එවිටයි උන් සමාජයේ සමබර මිනිසුන් වෙන්නේ…

පොඩ්ඩක් හිතලා බලන්න… උන් අපේ අනාගතයයි….

2011 මාර්තු 29 : තව පොඩ්ඩෙන් Heart Attack හැදිලයි නවතින්නේ….


අද ඉතිං අපි හැමෝටම වගේ විශේෂ දවසක් නේ… ලංකාව අර්ධ අවසාන වටයේ තරඟය නවසීලන්තය සමග තරඟ වැදෙන දවස…. අද තරඟය දිනුවොත් අපි ( ඒ කියන්නේ ලංකාව) අවසාන තරඟයට යනවා… ලංකාව අවසාන තරඟයකට පිට පිට යන දෙවන වතාව මේක.. වාර පහක් ඇතුලත අපි දැනට අවසාන වටයට තුන් පාරක්ම තේරිලා තිබෙනවා…. ඒ වගේම අද අපේ ආදරණීය මුරලියාගේ (මුරලියා කිව්වේ ආදරේට) ලංකාවේ තරඟ කරන අවසාන තරඟය…. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රිය කරන හැමෝටම අද විශේෂ දවසක් වුනා…

සිනාසෙන ඝාතකයා .... Smiling Assassin

අදත් සුපුරුදු පරිදි උදේ 4.45 ට පමණ එලාම් එක තියාගෙන නැගිටින්න හිතාගත්තත්, අර හිතේ චකිතය නිසාම වැඩිය නින්ද ගියෙත් නෑ… 3.00 ට 4.00 ට වගේ නිතරම ඇහැ ඇරුණා… කොහොම හරි ඔන්න උදේ 4.45 ට ඇහැ ඇරිලා වතුර එකක් කාරියෙ බීලා… මූන පොඩ්ඩක් හෝදගෙන වූ පොඩ්ඩක් කරලා කොම්පියුටරේ ඉස්සරහ වාඩි වුනා… මදැයි කොළා… නවසීලන්තේ බැට් කරන්නේ… ඒ වුනාට අපේ කට්ටියගේ පන්දු යැවිල්ලයි පන්දු රැකිල්ලයි බලන්න ඇහැ ඇරගෙන හිටියා…. උදේ නවය වනතුරු ගෙදර ඉඳන් බලපු මැච් එක රසායනාගාරයට අරන් ගියා… පැටියව ඉස්කෝලෙන් දාගෙන රසායනාගාරයට යනකොට අපි බැට් කරන්න පටන් අරන්…

ගහගෙන ගියපු විදියට මම හිතුවා ආයෙම සංගටයි මහේලටයි බැට් කරන්න උපුල් තරංගයි ඩිල්ෂානුයි ඉඩ දෙන එකක් නෑ කියලා.. අර ජෙසී රයිඩර් “අල්ලපු කැච් එක“ නම් අපූරුයි… ජොන්ටියව මතක් වුනා… ඔන්න ඉතිං අපි හිරවෙන්න ගන්නකොටම ලොක්ක ඇවිත් අහනවා අද වැඩ නැද්ද කියලා.. වැඩ කරන්නේ කොහොමද මේ වගේ කෘෂල් ත්‍රාසජනක අවස්ථාවක… ! ඔන්න ඉතිං අද නම් පොඩ්ඩක් කරදර කරන්නේ නැතිව දෙයියනේ කියලා යන්න කියලා ලොක්කව පිටත් කරලා ඇරියා.. දැන් පුටුවෙ වාඩි වෙලා බලන්නත් බෑ… කාමරේ ඇවිද ඇවිද අනිත් එවුන්ට බැණ බැණ මමත් මැච් එක බලනවා… අපේ එවුන්ට හරි ජොලි…. මගේ මේ චරිතය කවුරුවත් දැකලා නැහැ… ලොක්කත් සැරින් සැරේ ඇවිත් Cricket is a stupid game,…Go New Zealand ! කිය කියා මාව අවුස්සලා යනවා…
යන්තම් මැතිව්ස් ටයි සමරේටයි පින් සිද්ධ වෙන්න මැච් එක ගොඩ දාගත්තා.. අනේ මල්ලිලා… ලබන පාර නම් මේ වගේ හාට් ඇටෑක් හැදෙන වැඩ කරන්න එපා… සිහි බුද්ධිය ඇතිව මොලේ පාවිච්චි කරලා පරිස්සමින් ලෝක කුසලානෙ ගෙදර ගේන්න… හෙට තරඟයත් බොහොම උණුසුම් වේවි.. වැස්සෙ නැතොත්…. අපේ අයට කැඩිච්ච අතපය ඉක්මණට හොඳ වෙලා ලෝක කුසලානය ආයෙම පාරක් ලංකාවට ගේන්න වාසනාව ධෛර්යය ලැබේවා කියාගෙන අදට සමු ගන්නවා….

2011 මාර්තු 28: නිකං ඉන්න දෙන්නෙම නෑනේ….


ඔන්න ඉතිං අද උදෙන්ම පැටියවත් ලෑස්ති කරගෙන වැඩට ගියා… අද කරන වැඩ ටික ගිය සතියෙම සැලසුම කරලා තිබුණ නිසා, හිත හිත ඉන්නේ නැතිව වැඩ ටික පටන් ගත්තා…. මේ සතිය විශ්ව විද්‍යාලයේ නිවාඩු, Spring Break. ඉතින් අර කොටට ඇඳන් යන සමනළියො මේ සතියෙ පේන්න නෑ.. හිතට පොඩ්ඩක් දුකත් එක්ක…. ඒ වුනාට ආචාර්ය වරුන්ට, කාර්ය මණ්ඩලයට, පර්යේෂණ කරන අයට සහ ආචාර්ය උපාධි අපේක්‍ෂකයන්ට නිවාඩු නෑ.. ඒ අය වැඩට එන්න ඕන…
ඉතින් සුපුරුදු පරිදි අදත් වැඩ වැඩ වැඩ…. හෙට මැච් එක තියෙන නිසා හෙට පොඩ්ඩක් වැඩ අඩුවෙන් කරන්න හිතාගෙන අද වැඩ ටිකක් වැඩියෙන් කළා.. ප්‍රතික්‍රියා 6 ක් ම පටන් ගත්තා… ඒ නිසා හෙට අළුතෙන් මොකුත් පටන් ගන්න ඕන නෑ…තියෙන වැඩ ටික ඉවර කළාම ඇති… කොහොමද ටිකිරි මොළේ… ? ඒත් ඉතිං ලොක්කා මොකක් හරි ඇවිත් ඇඟේ ගහනවා…
අදත් මෙහෙම වැඩ කරලා හවස පොඩ්ඩක් අපේ ගෘප් එක එක්ක කඩේ දාගෙන ඉන්නකොට මෙන්න ලොක්කා ඇවිත් කියපි වෙන රසායනාගාරයකට ගිහින් රසායනික සංයෝගයක් අරන් එන්න කියලා… මම අදිමදි කරලා අන්තිමට This is torture කියලා යන්න ගියා…පොඩි එවුන් නම් ලොක්කට බයයි… මම ඉතින් කියන දේ නියලා යන නිසා ලොක්කටත් ගානක් නෑ… මම ඉතින් ලොක්කට ඇති වෙන්න results අරන් දෙන නිසා ලොක්කා මොකුත් කියන්නෙත් නෑ… ඒ වුනාට නිතරම වැඩක් කරවන්නමයි බලන්නේ.. නිකම් ඉන්නවා ම නෙවෙයි.. ඒත් පොඩ්ඩක් හරි වාඩිවෙලා ඉන්නව නම් මොනවා හරි කියනවා….

මේ වගේම දින සටහනක් පෙර දවසකත් ලියවුනා වගේ මතකයි… ඒ වුනාට ඉතින් නොකියා බැහැනේ…

මේ…. මැච් එක අපි දිනයි නේද ? හෙට උදෙන්ම නැගිටින්නත් ඕන… ඔන්න ඇල්කෙමිච්චියි පැටියයි මග එනවා මාව ගෙදර අරන් යන්න…

හෙට අළුත් සටහනක් එක්ක හමුවෙමු…

2011 මාර්තු 27: මැරෙන එකත් මහ පණයන වැඩක් නේ…..



දවස් දෙකකට පස්සෙයි දිනපොත ලියන්න වාඩි වුනේ…. සිකුරාදා Group Meeting එකට වෙහෙසුනා… ඒ වගේම ඒක ඉවර වුන හැටියේම යාළුවෙකුගෙ ගෙදර යන්නට වුනා… එයාගෙ ගෙදර වෙනදා වගේම සුහද හමුවක්… ඊට පස්සේ එහේම නැවතුනා… යාළුවො එක්ක ඉන්නකොට මොන දිනපොත්ද ? වේලසනින්ම සෙටිය උඩට ඇදිලා නිදාගත්තේ පහුවදා උදේ පාන්දර ඇහැඇරිලා එංගලන්ත-ශ්‍රී ලංකා මැච් එක බලන්න… හැමෝම ශ්‍රී ලංකා ටී ෂර්ට් දාගෙන මැච් බලනවා… උදේ අට වෙනකොට ඇල්කෙමිච්චි පැටියත් අරගෙන පීනන පන්ති ගියා.. පැටියට පීනන්න උගන්වන්න… එයාල ආවට පස්සේ මම රසායනාගාරයට බෑ බෑ කිය කිය ගියේ… මිත්‍ර සමාගමත් එක ක මැච් බලනව වගේ ජොලියක් කොහේද තනියම.. ? කොහොම වුනත් ලොක්කා ඇවිත් නැති නිසා මම තනියම හරි මැච් එක බැලුවා… කොහොමද අපේ එවුන් ගහපු ගැහිල්ල…. සුද්දට බඩ යන්න දුන්නා… එදා හරිම මහන්සියි… නිදිත් මතයි.. ලොක්කට බම්බු ගහගන්න කියලා ගෙදර ඇවිත් නිදා ගත්තා… හවස වොෂිංටන් DC යන්න යොදාගෙනයි තිබුණේ… නිදි මතේ වාහන එළවන්න බෑනේ… ඒ නිසා නින්දක් දාලා නැගිටලා ගියා..

ගියේ පන්සලට… කාලෙකින් පැටියව පන්සල් එක්කන් ගියේ නැති නිසා පැටියවත් අරන් ගිලන්පසත් හදාගෙන පන්සල් ගියා… පන්සලේ ධම්මසිරි නියක හාමුදුරුවොයි, මණ්ඩාවල හාමුදුරුවොයි, මහනාම හාමුදුරුවොයි තුන්දෙනාම බැහැදැකලා ආගිය තොරතුරුතු කතා කරලා අඳුරන කෙනෙක්ගේ නිවසට ගියා රෑ ගත කරන්න.. මේ යුවල තමයි මෙහේ අපට ඉන්න දෙමාපියෝ… ආගම දහමට ලැදි, ඒ වගේම ආගම දහම දන්න, අනිත් අයටත් කියලා දෙන ඒවා පිළිපදින බොහොම ආදර්ශමත් යුවලක්… අපේ පැටිය ආච්චි-සීයා කියලා කියාගෙනයි ඒ දෙන්නට ඉන්නේ…. ඉතින් රෑ එහේ ගත කළෙ ඉරිදා උදේ වොෂිංටන් ඩී සී වල තියෙන සරුංගල් උළෙලයි සකුරා මල් සැණකෙළියේ ආරම්භක උත්සවයයි බලන්න යන්න හිතාගෙනයි.. ඒ දෙකම කල් දාලා… මොකද කියනවා නම් අසාමාන්‍ය ලෙස පරිසර උෂ්ණත්‍වය පහල ගියා.. සමහර විට හිම වැටෙන්නටත් ඉඩ ඇති බව පැවසුවා.. ඒ නිසාම ඒ දෙකම කල් දාලා..

ඉතින් ලංකාවෙ කඩෙන් බඩු භාණ්ඩත් අරගෙන ගෙදර ඇවිත් මේ ගිමන හැරලා පැටියව නින්දට දාලා තමයි මේ දිනපොත ලියන්න පටන් ගත්තේ… වොෂිංටන් වලදි බොහොම දුක හිතෙන ආරංචියක් ලැබුණා.. ඒ තමයි ලංකාවෙන් ග්‍රීන් කාඩ් ලොතරැයිය ඇදිලා මෙහේට ආපු කෙනෙකුට කිසිවෙකු වෙඩි තබා මරා දමා ඇති බව… වොෂිංටන්-මේරිලන්ඩ් වල වෙසෙන ලංකාවේ බොහෝ දෙනෙකු කම්පනය කළ සිද්ධියක් වුනා මේක.. ඒ අපරාධකාරයා පොලීසියට කොටු වී ඇති බවත් ආරංචි වුනා.. ඒ වුනත් ඒ ජීවිතය නැවත ගන්නට බැහැනේ… ඒ වගේමයි ඒ දේහය ලංකාවට ගෙනියන්නට ඩොලර් විසිදාහක් විතර වැයවන නිසා ඔවුන් ඒ පිළිබඳ අවසාන කටයුතු මෙහිම සිදු කරන්නට කටයුතු යොදා තිබෙනවා… අවුරුදු 41 ක් ලංකාවේ ජීවත් වුන ඔහුට අවසානයේ අවසන් ගමන් යන්නට වුනේ කිහිපදෙනෙක් පමණක් දන්නා දුර රටක.. පිටරටකදී මිය යන බොහෝ දෙනෙකුට අයිති වන ඉරණමක් තමයි මේක…. මක් නිසාද යත්, දේහය ගුවන් මගින් ප්‍රවාහනයේදී දරන්නට වන අමතර ආරක්‍ෂක ක්‍රියාමාර්ග නිසා මේ අමතර පිරිවැය දරන්නට වෙනවා…

ඉතින් මේ රටේ දී මැරෙන එක නම් මහා පණයන වැඩක්….

අකුරු ලොකු කරගන්න දුන්න උපදෙස් වලට අරුණි අක්කාටත් නවම්ටත් පිං.

2011 මාර්තු 24 : අනේ අපේ ජීවිතවලට ගිය කලක්…..


උදෙන්ම නැගිට්ටේ ඉන්දියා ඕස්ට්‍රේලියා මැච් එක බලන්න… නැගිට්ටාට පාඩු නෑ… උදේ අට වගේ වෙනතුරු ඕස්ට්‍රේලියා ඉනිම නරඹන අතරේම රසායනාගාරයේ හිර වෙලා තිබුණ ලිපියක් ඉවර කරගන්නත් පුළුවන් වුනා. ඒක රසායනාගාරයේ මෙතැනින් බලන්න…  ඕස්ට්‍රේලියාවට ක්‍රිකට් ගහන හැටි ඉන්දියාව කියලා දීපු එක නම් හොඳයි… ඒ වගේම හැමදාම රජ කරගෙන හිටපු ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වුන එකත් හොඳයි.. එතකොට වෙනත් රටකට දිනන්න පුළුවන් නේ… නැත්නම් ජනතාව ඊජිප්තුවේ, ලිබියාවෙ වගේ පෙලපාලි යයි ඕස්ට්‍රේලියවේ ලෝක කුසලාන ඒකාධිපතිත්වය නැති කරනු ! කියලා… ඊට පස්සේ ඇමරිකාව ඇවිත් පොන්ටින්ට ගහයි, ගහලා කියයි අනිත් අයටත් දිනන්න දෙන්න කියලා… මොකද ඇමරිකාවටත් දිනන්න චාන්ස් එකක් එනවනේ එතකොට… හහ්… අපි නොදන්න ලෝක දේශපාලනේ…..

ඉතින් අද වැඩ ටිකයි කළේ… හැමදාම වැඩ ගොඩක් කරනවා නේ… උදේ නැගිටපු එකට ටිකක් නිදිමතත් එක්ක.. උදේ වැඩට ගියත් උදේ වරුවෙම කළේ මැච් එක බලපු එකයි… ලොක්කගේ ගෙදර උණු වතුර යන්තරේ කැඩිලා හදන්න කට්ටිය එනකල් පොර ගෙදර… ඒ නිසා මම දිගටම මැච් එක බැලුවා… බලන්න වටින මැච් එක… හවස් වරුවේ අපේ Glove Box එක පිරිසිදු කළා.. අපේ එවුන්ට වැඩ කරන්න ගියාම වටේ පිරිසිදු කරගන්න තේරෙන්නේ නෑ.. මම උන්ට බැන බැන පිරිසිදු කළා.. හෙට Group Meeting එකේදි ඔක්කෝටම අල්ලලා දෙහි කපනවා…. හවස් වරුවෙත් වැඩිපුරම කළේ Presentation එකක් හදපු එකයි… හෙට මීටින් එකේ පර්යේෂණ පිළිබඳ ඉදිරිපත් කරන්නේ මම… ඒ නිසා ඒ Presentation එක හැදුවා.. ලොක්කා හවස නාගෙන ඇවිත්…. උණු වතුර හදලා වගේ… ආපු ගමන් මම ඇහුවේ හොඳට නාගත්තද කියලයි… නැත්තං ගඳයිනේ අප්පා…

අපි ඉස්සර ගමේ ඉන්නකොට නං නෑවේ ලිඳට පනිට්ටුව ගහලා.. ඒ තරමට ගලා යන වතුර තියෙන ලිඳක් අපට තිබුණේ… ටික ටික කල් ගතවෙනකොට ගෙදරම නාන කාමරයක් හැදුනා… දැන් ඒ මදිවට උණු වතුරත් ඒකට සවි කරලා.. ඉස්සර වගේ වෙල අද්දර වතුර ගලා යන ලිඳෙන් නාන්න බෑ.. එහෙම නෑවොත් දැන් ලෙඩ වෙන්නත් පුළුවන්… අනේ අපේ ජීවිත වලට ගිය කලක්… අපි ඉස්සර ගත කරපු ළමා කාළය දැන් ඉන්න පොඩි එවුන්ට නෑ.. වයස අවුරුදු 4 ඉඳන් එලකියුෂන් කියයි, ශිෂ්‍යත්ව පන්ති කියයි, ඉංගිරිසි පන්ති කියයි… තව දහසක් ජාති….. ඉස්සර අපි ඉස්කෝලේ ගිහින් ඇවිත් කැලේමයි… දං බෝවිටියා කාලා ගෙදර එනකොට කට දම් පාටයි.. අම්මා බැණ බැණ දත් මද්දවනවා… ටිකක් ලොකු වුනාම ගමේ කට්ටිය වොලිබෝල් ගහන තැනට යනවා.. පොඩි එවුන් වෙච්චි අපි දාන්නේ ඉස්සරහ ඩෑෂ් ගහන කෙනා උඩ ගියාම එතැනට වැටෙන බෝලය උඩ ගන්න. හුංගා විදියට. එහෙම හිටපු අපි ටික ටික ලොකු වෙනකොට ලොකු ටීම් එකට දාගන්නවා.. එහෙම ගහපු වොලිබෝල් නිසා තමයි දේශ දීපංකරේ ඇවිල්ලා සුද්දෝ එක්කත් හරි හරියට වොලිබෝල් ගහන්න පුළුවන් වුනේ… අනේ දැන් හැදෙන එවුන්ට එහෙම කාලයක් කොයින්ද ?

2011 මාර්තු 23 : දෙවිදියක තරඟ දෙකක්….. සහ ඇඩ්‍රිනලීන් Rush එක…


අද බදාදා ලෝක කුසලානයේ පළමු පිළිමළුන් පිටු දැකීමේ තරඟය… උදෙන් නැගිටින්න කියලා වේලසනින් නිදා ගත්තත්, අනේ ඇහැ ඇරෙනකොට උදේ 6.30 යි… පරිඝණකය දාලා බැලුවාම වැඩිය දෙයක් අතහැරිලා නෑ… ඒ වෙනකොටත් බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 80 කට විතර කඩුලු 8 ක් බිඳ වැටිලා තිබුණේ…  දුකයි කියන්නේ ලකුණු 112 ක් පකිස්ථානෙ කිසිම කරදරයක් නැතිව එක කඩුල්ලක්වත් බිඳ ගන්නේ නැතිව ගහපු එකයි… ලෝක කුසලානයේ  අවසාන පූර්ව තරඟයක් ද කියලා සැක සහිත වන තරමට කොදෙව්වන්ගේ තරඟකාරීතවය දුර්වලයි.. මේ නිසාම ඒ තරඟය මේ ලෝකෙ රහක් නැති තරඟයක් බවට පත් වුනා…

උදේ සිරි පොද වැස්සේ පැටියවත් ඉස්කෝලෙන් දාගෙන රසායනාගාරයට ගියා… අද බදාදා වොලිබෝල් තරඟාවලිය තියෙන දවස… උදේ වරුවේ වැඩ කරලා දවල් ක්‍රීඩා මණ්ඩපය (Gymnasium) එකට ගියා… අද නම් තරඟය ටිකක් ඇදිලා ගියා.. මේ තරඟාවලියේ මුල් වතාවට අපි තරඟ වටයක් පැරදුනා… මුල්ම තරඟ වටය 25-23 ලෙස අප දිනුවත්, දෙවන තරඟ වටය 19-25 ලෙස අප පරාද වුනා… තෙවන තරඟ වටය සම සමව වගේ ගොස් අප 19-23 ලෙස පසුබෑමකට ලක් වුනා.. කෙසේ හෝ අප 25-23 ලෙස තරග වටය ජයග්‍රහණය කරන විට මගේ එක අතකින් රුධිරය වෑහෙන්න පටන් ගත්තා… මා සිතුවේ වෙනත් කෙනෙක්ගේ රුධිරය මගේ ඇඟේ තැවරී ඇති බවයි… මට කිසි වේදනාවක් නොදැනුනේ සිරුරේ ඇඩ්‍රිනලින් ස්‍රාවය අධික වීම නිසා සිදු වන අතුරුඵලයක් වන වේදනාව නොදැනීම නිසා…. මගේ ඇඟිල්ලක් තුවාල වී රුධිරය වෑහෙන බව දැන්ගත්තේ තරඟයේ අවසානයේදී… කෙසේ හෝ මේ තරඟය නම් අවසාන මිනිත්තුව දක්වා ගිය තරඟයක්…

ඇඩ්‍රිනලීන් Rush කියන්නේ අධිවෘක්ක ග්‍රන්ථි මගින් අධික ලෙස ඇඩ්‍රිනලීන් ශ්‍රාවය වීම නිසා ශරීරය සටන්කාමී තත්ත්‍වයකට හෝ පලා යාමට (Fight or flight) මුහුණ දීමට හැඩගැස්වීමයි… මෙහිදී වේදනාව, බිය ආදී සංවේදන දැනීම නැතිව යනවා.. සමහර වෙලාවට බය වුනාම පණ එපා කියලා දුවන්නේ, අඩි දහය දොලහේ තාප්ප වලින් පනින්නේ, තුවාලයක් වෙලාද නැත්ද කියලා නොතේරෙන්නේ මෙන්න මේ ඇඩ්‍රිනලින් අධිශ්‍රාවය නිසා…  මේ නිසා ශරීරයේ අවයව, මාංශපේශීන් අධික ශක්තියක් ලැබුවාක් මෙන් ක්‍රියා කරනවා. හෘදයට රුධිරය ගලා ඒම ඉක්මන් කරනවා. ශ්වසන පද්ධතිය දැඩි ලෙස ක්‍රියා කරනවා……

එසේම  මේ ඇඩ්‍රිනලීන් කියන්නේ එෆිනෙෆ්රින් කියන සංයෝගයටයි… සමහර වෙලාවට ක්‍ෂණික ආසාත්මිකතා ඇති වූ විට, හෘදයේ ක්‍රියාකාරීත්‍වය අඩපණ වූ විට, රෝගීන්ට ලබා දෙන එෆිනෙෆ්රින් එන්නතේ තියෙන්නෙත් මේ සංයෝගයයි…

සාමාන්‍යයෙන් ක්‍රීඩා කරනවිට, මේ ඇඩ්‍රිනලින් ශ්‍රාවය වැඩි වෙනවා. තරඟයක උච්ච අවස්ථාවක දී නොදැනීම තරඟකාරී ලෙස ක්‍රියා කෙරෙන්නේ, දැඩි ආවේගයකින් කෑ ගසන්නේ මෙන්න මේ තත්ත්‍වය නිසා… සමහරුන් Adrenaline Junkie  යනුවෙන් හඳුන්වන්නේ ඔවුන් ඉතා අනතුරුදායක කටයුතු වල නියැලෙන්නට දක්වන ආසාව නිසා…

ඉතින් මේ සෙනසුරාදා ලංකාව දිනවන්න කෑ ගහනකොට, හොඳට ඇඩ්‍රිනලින් ශ්‍රාවය වේවි… වැඩිය ගණන් ගන්න එපා.. ඉඳලා හිටලා එහෙම වෙන එකත් ඇඟට හොඳ දෙයක්…

2011 මාර්තු 22 : බඩු හෝදන ආචාර්යතුමා….


සිංහල භාෂාව හරිම අපූරු භාෂාවක්… එකම වචනය විවිධ තැන්වල පාවිච්චි කරනකොට විවිධ තේරුම් එනවා වගේම, එකම වාක්‍යය දෙවිදිහකට තේරුම් යන්නත් ලියන්න පුළුවන්…. අපේ භාෂාවෙ බඩු කියලා කියැවෙන්නේ බඩු භාණ්ඩ වලට වුවත් ව්‍යවහාර භාෂාවේ බඩු කියලා යෙදෙන්නේ කාන්තා පක්‍ෂයට බව ඔබ හැමෝම දන්නවා නේ… ඒ වගේමයි හෝදනවා කියලා කියන්නේ පිරිසිදු කරනවා වුවත්, ව්‍යවහාර භාෂාවේ යෙදෙන්නේ මට පෙනෙන විදියට නම් Flirt කිරීම කියලයි හිතෙන්නේ.. තවත් හාඳම උදාහරණයක් තමයි අර මාලිනී බුලත්සිංහල මහත්මිය ගැයූ “රජ මැදුරක ඉපදී සිටියානම්” කියන ගීතයේ එන “දිව බොජුනක් සේ – දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ” කියන කොටස… මෙහි දිව කියන වචනය එකම වාක්‍යයක තුන් විදියකට තේරුම් දෙනවා… එසේමයි මුල-මැද-අග එළිවැට තියලා හරි විරිතට කවි ලියන්නත් පුළුවන් සිංහල භාෂාවේ තමයි….. ඉතින් මෙන්න මේ වගේ සාරවත් භාෂාවක් තමයි අපේ මිනිස්සු දැන් විනාශ කරන්නේ.. ඒ විශේෂයෙන්ම කිසිම තේරුමක් නැති ” මඤ්ඤොක්කා – කොත්තු රොටි ” ආදී  ගීත සාහිත්‍යයක් රටට එකතු කරලා… මට වඩා ඕන තරම් භාෂා විශාරදයෝ අප අතර ඉන්නවා.. ඒ අය කැමති නම් කොමෙන්ටු දාලා බස පෝෂණය කරාට කම් නෑ…

හවස දිනපොත ලියන්න සූදානම් වෙනකොට WordPress වෙබ් අඩවියේ ප්‍රශ්නයක්… පැය ගණනාවක් යනතුරු ලියන්න බෑ….

ඉතින් අද නම් ලියැවෙන්නේ භාෂාව ගැන නොවෙයි.. වැඩ කෙරෙනවිට වැඩ කරන්න ආසයි වගේම, ඒවායේ කෙළවරක් දකින්නට ලං වෙන විටත් ඉක්මනින් වැඩ ටික ඉවර කරන්න ආසයි… දැනට මම කරන ව්‍යාපෘතියේ කෙළවරක් දකින්නට ලං වෙලා වගේ… තව සංයෝග සුළු ප්‍රමාණයක් හදලා, ඒවායේ භෞතික සහ රසායනික ගුණ විශ්ලේෂණය කරලා, නියමිත පරිදි ලියලා සකසලා ප්‍රසිද්ධ කිරීම තමයි ඊලඟ පියවර… මේ නිසාම දැන් වැඩ ඉක්මන් කරන්න කාළය ඇවිත්… අදත් ඒ නිසාම තරමක් කාර්ය බහුලයි… මේ දිනවල අපේ ලොක්කත් විවිධ පාසල්වලට යනවා පාසල් ලමුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා උනන්දු කිරීමේ වඩ සටහන් වලට සහභාගී වන්නට… ඒ නිසා මම මගේ වැඩ කරනවා වගේම අනිත් පොඩි එවුන්ගේ වැඩත් බලන්න ඕන… අද නම් ඔවුන්ට විභාගයක්… ඒ නිසා ඔක්කෝම පාඩම් කරනවා…  එක අතකට ඒක හරි සහනයක්… ඒ කෙසේ වෙතත්, මම නිපදවූ තවත් අළුත් සංයෝගයක ස්ඵටික දැලිස් ව්‍යුහයක් අදත් ලබා ගත්තා.. ඒ මගින් තවත් මාවතක් විවර වුනා කිවුවොත් නිවැරදියි… ඒ සම්බන්ධ පරීක්‍ෂණයකුත් නිම කරලයි ගෙදර ආවේ..

පරීක්‍ෂණ යන අතරමග රසායනාගාරයේ ගොඩගැසී තිබූ වීදුරු බඩු ටිකක් හේදුවා… සාමාන්‍යයෙන් තම තමන්ගේ උපකරණ එකිනෙකා වෙන් වෙන්ව පිරිසිදු කරගත්තත්, සමහර වෙලාවට ඉඩ ඇත් විටෙක අනෙක් අයගේ උපකරණත් අපි ඉඳ හිටලා සෝදලා දානවා….තව ටික දවසකින් පරීක්‍ෂණ කරන්න වීදුරු බඩු නැති වෙනවා… ඒ නිසා සියල්ලම හෝදලා සෙන්ටිග්‍රේඩ් අංශක 200 කට රත් වෙන උදුනකට දැම්මේ සම්පූර්ණයෙන්ම ජලවාෂ්ප අයින් කර වියලන්න… ඉන් පසු ඒ වීදුරු උපකරණ Glove box එක ඇතුලට ගෙනයනවා… මේ හෝදන අතරතුරේ අපේ  ශිෂ්‍යයෝ දෙන්නෙක් ඇවිත් මට විහිළු කරනවා… ආචාර්ය තුමා බඩු හෝදනවා කියලා… දෙපාර්තමේන්තුවේ මිල අධිකම සෝදන යන්ත්‍රය (Washing Machine) මම ලු.. ඉතින් මම කියලා දුන්න බඩු හෝදනවා කියන ප්‍රකාශයේ අර්ථ දෙකම… මෙන්න එකෙක් කියනවා මට ඒ දෙකම ගැලපෙනවා කියලා.. ඇත්ත තමයි… මමත් ඉතිං ගිය තැන මල් පාත්තියක් දාගෙන තමයි ඉන්නේ… ලංකාවෙ නම් සමහර  ආචාර්යවරු වතුර නැතිවම බඩු හෝදනවා මම දැකලා තියෙනවා.. සමහර වෙලාවට කාර් එකේ දාගෙන ඈත කොහේ හරි ගෙනිහිල්ලා, නිවි සැනසිල්ලේ හොඳට හෝදලා පිහිදාලා ගෙනත් දානවා….

කොහොම වුනත් කවුද දෙයියනේ ලස්සන දේවලට අකමැති ?  දැන් නම් ඉතින් මෙනු එක කියවලා අහක බලාගන්නවා.. නැත්නම් ඉතිං ඇල්කෙමිච්චිගෙන් ගුටි කන්නයි වෙන්නේ… පවුල රැක ගන්නත් එපායෑ.. ආසාවට බඩජාරිකමට කෑවා වගේ නෙවෙයි දිරවගන්න බැරි වුනාම ආයෙම වමාරන්න වෙනවා… ඒ වගේම ගෙදරින් කෑමත් නැති වෙනවා… ඒ නිසා කොච්චර ලස්සන, රහයි වගේ පේන කෑමජාති පාරෙ තිබුණත්, ගෙදරින් ලැබෙන කෑමක් කාගෙන ජීවත් වෙන එක ඇඟට ගුණයි…

ටියුබ් ලයිට් අය අන්තිම ඡේදය ආයෙම පාරක් බලලා තේරුමි ගන්න….

2011 මාර්තු 21 : ඔබට මේ ලෙඩෙත් තියෙනවාද ?


වෙනදා වගේම අදත් බරටම වැඩ… ඔබ හිතනවා ඇති මම බොරුවට වැඩ කියනවා කියලා… ඇත්තෙන්ම අදත් නිදහසක් නැති තරම්.. ගිය සතියේ ප්‍රතික්‍රියා 6 ක් පමණ එකවර කළා.. ඒ නිසාම ඒවායේ ලැබෙන සංයෝග පිරිසිදු කිරීම කළ යුතු වෙනවා… හැම ප්‍රතික්‍රියාවක්ම එක වගේ පිරිසිදුවට අතුරු ඵල රහිතව ලැබෙන්නේ නෑ.. සමහර ඒවායේ ප්‍රතිකාරක 100% ක් ක්‍රියා නොකරන අවස්ථා එනවා.. එවිට ප්‍රතිකාරක වලින් ඵල වෙන්කිරීම කළයුතු වෙනවා.. සමහර විට අතුරුඵල නියමිත සංයෝගය මෙන්ම එක සමාන ගුණ සහිතයි. එනම් සමාන ද්‍රාව්‍යතායවක්, සමාන පාට ආදී භෞතික ගුණ… එවිට ඒවා වෙන් කරගන්න විශේෂ ක්‍රම යොදන්න වෙනවා.. කාබනික සංයෝග වෙන් කරන්න නම් වර්ණලේඛ ශිල්පය (Chromatography) යොදාගන්නවා… අකාබනික රසායනික සංයෝග සඳහා Selective Crystallization (වරණාත්මක මණිකහරණය) නම් ක්‍රමය යොදාගන්නවා… එනම් විවිධ ද්‍රාවණ භාවිතයෙන් ඒ ඒ අතුරුඵල ස්ඵටික කරණය මගින් වෙන්කරගෙන නිවැරදි සංයෝගය ලබා ගන්නවා… පළපුරුදු රසායනඥයා අත්දැකීමෙන්ම භාවිතාකළයුතු ද්‍රාවණය හඳුනාගෙන නියමිත පරිදි භාවිතා කරනවා.. එමගින් කාලය වැය නොකොට ඉක්මනින්ම අවශ්‍ය සංයෝගය වෙන්කර ගැනීමේ හැකියාව ලැබෙනවා…

ඉතින් මේ අයුරින් මමත් සමහරවිට ලේසියෙන්මත් සමහරවිට අමාරුවෙන් මේ සංයෝග වෙන් කරගන්නවා… ඒ අනුව වෙන් කරගත් සංයෝගයක ස්ඵටික දැලිස් ව්‍යුහ (Crystal Structure) දෙක තුනකුත් ලබා ගන්නට පුළුවන් වුනා… තවත් සංයෝග එසේ ස්ඵටික දැලිස් ව්‍යුහ ලබා ගැනීම සඳහා ස්ඵටික ඇති වීමට සැකසූවා.. මේ සියල්ල බොහොම කාළය ගතවන, ඉවසිල්ලෙන් කළ යුතු වැඩ.. එසේම කළ යුත්තේ Glove box එක තුළ නිසාම බොහොම පරිස්සම් විය යුතු වෙනවා.. පොඩ්ඩක් හෝ අත වැදුනොත් සංයෝගය අඩංගු භාජනය පෙරළිලා අපතේ යන්නට පුළුවන්… එහෙම වෙච්ච අවස්ථා ඕන තරම්… දැන් නම් ඒ බව දන්න නිසාම ඒ පිළිබඳ සැළකිලිමත් වෙනවා වගේම අවශ්‍ය පියවර හරි විදියට කරනවා… තවත් වැඩ කරන්න හිතුනත්, අද රෑ 9.00 ට පෙර ගෙදර එන්න කියලා ඇල්කෙමිච්චි මතක් කරලා දුන් නිසාම නවය වෙනවිට ගෙදර පැමිණියා… මම ගෙදර අනතුරු පැටියා මඟ බලාගෙන හිටියා.. ගෙදර ආපු ගමන්ම මහදැනමුත්තා එළුවගේ ඔළුවෙන් මුට්ටිය ගලවපු කතාව කියලා දීලා නිදිකෙරෙවුවා… ගෙදර ආවට රසායනාගාරය දාලා එන්න හිතක් නෑ… වැඩ කෙරෙන විට ඒකටම ඇලිලා වැඩ කරන්නයි හිත.. මම දන්න සමහරක් දෙනාට මේ ලෙඩේ තියෙනවා… උදේ වැඩට ආවම සමහරවිට මැදියම් රෑත් පහු වෙලයි ගෙදර යන්නේ…

මේ ලෙඩේට කියන්නේ Workaholic වීම කියලයි.. ඒ කියන්නේ වැඩට ඇබ්බැහි වීම… වැඩ කරන්න ගියාම වෙනත් කිසි දෙයක් මතක නෑ… සමහරවිට ගෙදර දොරේ දේවල් මතකත් නෑ… පවුලක් තියෙනවාද කියලාවත් මතක නෑ.. මේ නිසාම පවුල් ජීවිතයත් අවුල් වෙනවා…. වෘත්තීයව සාර්ථක වුන සමහර දෙනාගේ පවුල් ජීවිත අවුල් වන්නට ප්‍රධාන හේතුව මේ වැඩට ඇබ්බැහි වීමයි… වාසනාවකට වගේ ලාංකීය රාජ්‍ය සේවකයා නම් මෙසේ වැඩට ඇබ්බැහිවීමක් දකින්නට ලැබෙන්නේ නෑ.. ඒ නිසාම ඔවුන්ගේ පවුල් ජීවිත ඒ අංශයෙන් විනාශ වීමකට ලක් වන්නේ නෑ…

සමහරක් දෙනා ඇත්තෙන්ම මෙසේ වැඩට ඇබ්බැහි වන්නේ නියමිත පරිදි කාලය කළමණාකරණය නොකිරීම නිසා.. තවත් සමහරු අතිකාල දීමනා ලබා ගැනීමේ අටියෙන්, අමතර වෙලාවක් වැඩෙහි යෙදෙනවා.. ඇත්තෙන්ම ඔවුන් වැඩට ඇබ්බැහි වීමක් වෙන්නේ නැහැ.. ඔවුන් තමන්ගේ පවුල වෙනුවෙනු අමතර වෙලාවක වැඩෙහි යෙදෙනවා…

මටත් ඉතිං මේ කියන ලෙඩේ ඩිංගක් වෙන්න තියෙනවා.. ඇල්කෙමිච්චි ඒ බව දන්න නිසාම නිතරම මාව එයින් මුදවාගැනීමට නොයෙක් දෑ කරනවා.. නැතිනම් මම හැමවිටම ඇදී යන්නේ රසායනාගාරය වෙතට… සමහර වෙලාවට, ඒ කටයුතුවල යෙදෙනවිට හිතට දැනෙන සනීපය, නිදහස් බව වෙන්නට ඇති මා ඒ වෙතම ඇදෙන්නේ.. ඒ වගේම යමක් සාර්ථක වුනාම හිතට දැනෙන සුවය සහ සන්තෝසය නිසාම රසායනාගාරයේ වැඩට මම ඇබ්බැහි වෙලා ඉන්නේ…

ඉතින් සමහරවිට ඔබත් මම වගේම වැඩට ඇබ්බැහි වෙලා ඇති… සමහරුන්ට නම් ගෙදර ආවත් On call නිසා ගැලවීමක් නෑ… කොහොම වුනත්, වැඩත් පවුල් ජීවිතයත් සමබරව කරගෙන යාම ඔබ සහ ඔබේ සහකරු/ සහකාරිය අන්‍යොන්‍ය එකඟතාවයෙන් කළ යුතු දෙයක්.. එහෙම නැති වුනොත් පවුල් අවුල් වීම වලක්වාගන්නට බැහැ.. ඒ නිසා.. හොඳින් අවබෝධයෙන් වැඩට ඇබ්බැහි වෙන්න.. අවශ්‍ය විටෙක ඉන් ගැලවෙන්නත් අමතක කරන්න එපා.. මොකද කියනවා නම්, ජීවිතය කියන්නේ වැඩ කිරීමම නොවන නිසා…

2011 මාර්තු 20: මෙහෙම බය වෙලා World Cup ගහන්න බෑ හලෝ……


අදත් සුපුරුදු පරිදි උදෙන්ම ඇහැ ඇරුණා…. ඉස්කෝලෙ යනකාලේ උදේ 5 ට ඇහැ ඇරවන්න අම්මා විඳපු වදයක්… ඒ පාඩම් කරවන්න… දැන් මේ මැච් බලන්න ඇල්කෙමිච්චිගෙන් බැණුම් අහගෙන නැගිටිනවා… අනේ ඒ කාලේ මේ වගේ උනන්දුවක් පාඩම් කරන්න තිබ්බා නම්…. මමත් මෙලහකට මිනිහෙක් නේ….

ඒවා අල්ලලා දාමු… ඉන්දියාව ඕස්ට්‍රේලියාවට මේ තරම් බය ඇයි? බටහිර ඉන්දීය කොදෙව්වෝ ඕස්ට්‍රේලියාවට මේ තරම් බය ඇයි? උන් අලිපුකෙන් ඇවිල්ලද ? හැම ඉන්දියන් කාරයා වගේම ඉන්දියන් කණ්ඩායමේ ඉන්න කට්ටිය උන්ගේ ජන්ම ගතිය පෙන්නන්න ගත්තා අද… බටහිර ඉන්දීය කොදෙව්වොත් තරඟය දිනන්න වගේ ගිහින් පරාද වුනා…. ඒකෙන් වුනේ ඉන්දියාවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඕස්ට්‍රේලියාවට මුහුණදෙන්න සිදුවීමයි… අනේ තිස්තුන්කෝටියක් දේවතාවො බලලා ඉන්දියාව ඕස්ට්‍රේලියාවට පැරදුනොත්, එළම තමයි…. මුන් වගේ දහජරා ජාතියකට ඔයිට වඩා දෙන්න පාඩමක් නෑ….

මේ සම්බන්ධව මූණු පොතේ මගේ ඉන්දියන් යාළුවො දෙන්නෙක් එක්කලා මහ වාදයක් ගියා අද උදේ.. මුන් ඉන්දියාව හරියට ගහන්නේ නෑ කියලා බැණ බැණ කියනවානේ ඉන්දියාව කරන්නේ ජරා වැඩක් නෙවෙයි කියලා… කොලේ වහලා ගහන්න හදන්නේ.. හරියට අපි හොර කරන්න, හොර අවුට් දෙන්න, හොරට ලකුණු දාන්න දන්නේ නෑ වගේ… මල්ලී, ලංකාවෙ අපිත් ඔය හැම වැඩේම දැනගෙනයි මේ ගේමට බැස්සේ හරිද ? (මේ ටික හින්දියෙන් කියන්න දන්නෙ නෑ… දන්නවනම් දනී මම කියන හැටි)

ඇත්තටම මිනිස්සු වාසිය තකා මෙහෙම පාවාදීම් කරන්නේ ඇයි ? බල්ලො මරල හරි සල්ලි හොයන්න ඕන කියන මානසිකත්‍වය ඇවිත් තියෙන නිසා ද ? ලෝක කුසලානය කියන්නේ රටකට ලැබිය හැකි වැදගත්ම කුසලානයක් බව ඇත්ත… ඒත්, ලෝකයක් බලාගෙන ඉන්දෙද්දි, මේ වගේ අවලං වැඩ කරන්න ලැජ්ජාවක් නැද්ද ?

ඉතින් ඒ සියල්ල අතරමග දමලා අද මගේ තුර්කි ජාතික මිත්‍රයා වෙනුවෙන් සංවිධානය කරපු පුංචි සාදයකට හවස සහභාගී වුනා… ඇල්කෙමි පැටියව නිදි කරලා මේ දිනපොත ලියන්න පටන් ගත්තේ…. මේ දවස් ටිකේම නින්ද අඩුවෙන් ගත්ත නිසාම හොඳටම නිදිමතයි.. හෙට තවත් සතියක ආරම්භය…

සෙස්ස පස්සට

%d bloggers like this: