Daily Archives: මාර්තු 4, 2011
2011 මාර්තු 04 : ඔබේ ෆේස් බුක් ගිණුමට සුරක්‍ෂිත ද ?… ඉස්සරහින් https: තිබේදැයි බලන්න
අදත් බොහොම කාර්ය බහුලයි.. උදේම නැගිටලා පැටියගේ ඉස්කෝලේ පෝස්ටරේ නිම කළා.. ලංකාවෙ සිතියමක් අලවලා ඒක වටේට ලංකාවේ වැදගත් ස්ථාන, ලස්සන පින්තූර ආදිය අලවලා ලස්සන කළා. ඒවා ඉවර වෙලා රසායනාගාරයට යනවිට අර පණදාගෙන හදාපු පෝස්ටරේ ලොකුවට මුද්‍රණය කරලා ගෙනැල්ලා තිබුණා. හරි ලස්සනයි.. ඉතින් උදේ වරුවේ රසායනාගාරයේ වැඩ ටිකක් නිම කරලා හවස හතර වෙනවිට අළුත් ළමයි පිළිගන්න ලෑස්ති වුනා. අද DuPont සමාගමේ විද්‍යාඥවරියක් විසින් පවත්වන ලද විශේෂ දේශනයක් තිබුණා..ඒකෙ වැදගත්කම වුනේ Teflon ගැන සහ ඒ හා සම්බන්ධ විස්තර…. ඒක නිම වෙලා අපි පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබූ ශාලාවට ගියා.. අනාගතය ගැන අළුත් බලාපොරොත්තු පොදි බැඳගත් ළමුන් 25 ක් ඇවිත් තිබුණා.. ඒ අයගෙන් අකාබනික රසායනයට කැමැත්ත ඇති ළමුන්ට අපේ රසායනාගාරයේ ඇති වැදගත්කම පහදා දීලා, නොමිලේ ලැබුණ රතු වයින් වීදුරු දෙක තුනකුත් බීලා එතැනින්ම ලැබුණ රසවත් කෑම වේලත් කාලා ( මාළු පෙතිම තුනක් ඇද බෑවා බෑ බෑ කිය කියා) ඉක්මනින් ගෙදර ආවා… අනෙක් අය නම් අද රෑ වෙනකල් බාර් ගානේ රස්තියාදු ගහනවා… අපිත් ඉස්සර ඕවා කළා… දැන් ඉතින් ඕවා කරන්න වෙලාවක් නෑ.. අපි පවුල් පන්සල් වෙලා දරු මල්ලො ගෙදර අනකල් බලාන ඉන්නවා… ඇරත් ඔහොම නොනවත්වා බීලා බීලා ඇති සෙතකුත් නෑ සතුටකුත් නෑ…. ඕක ගොඩක් අයට තේරෙන්නෙත් නෑ… තෝරලා දෙන්න මම උත්සාහ කරන්නෙත් නෑ… ඒ නිසා ගෙදර ඇවිත් ඇල්කෙමිච්චියි පැටියයි එක්ක ටිකක් වෙලා ගත කරන එක ඊට වඩා සතුටක්.. ඒ වගේම ඉතින් දිනපොත ලියන්නත් එපායෑ රෑ 12 වෙන්න ඉස්සර…. ඒ වගේමයි, අද නම් වේලසනින් නිදා ගන්න ඕන හෙට උදේ 4.00 ට ඇහැ ඇරෙන්න..
අද අම්මයි පුතයි ඉස්කෝලේ ජාත්‍යන්තර දිනේට ගිහින් ඇවිත්… ඒ අස්සේ පුතා අම්මව රවට්ටගෙන ලොකු මාළු ටැංකියකටත් බිලක් දාලා… ඒකත් හෙට හදලා දෙන්න ඕන…. මමත් ඉස්සර මාළු ඇති කරන්න හරි ආසයි… පැටියා නිසා මගේ ආසාවත් සම්පූර්ණ වෙනවා….
ඔන්න ගෙදර ඇවිත් මූණු පොතට ලොග් වෙන්න හදනකොටම කියපි කවුද මගේ මූණු පොතට ලොග් වෙන්න හදලා කියලා… ඒ නිසා ඒකට අදාල ආරක්‍ෂිත පියවර සියල්ලම නිම කරලා තමයි මේ ලියන්න පටන් ගත්තේ…. ඔබත් කරුණාකර බලන්න ඔබේ මූණු පොතේ https: කියන කොටස තිබෙනවාද කියලා.. එසේ නැතිනම් ඊට අදාල ආරක්‍ෂක පියවර ගන්න. එවිට ඔබේ මූණු පොතට වෙනත් තැනකින් ලොග් වෙන්න බලනවිට, ඔබේ ඊ මේල් ලිපිනයට පණිවුඩයක් එනවා…
ඉතින් ඒ ආරක්‍ෂක පියවර ගන්න… ඒක කොයිකටත් හොඳයි…
මාලිංග මලයා පොන්ටියගේ ඇඟිල්ලක් කුඩු වෙන්න යෝකර් දමාවි යැයි ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා…