Daily Archives: මාර්තු 5, 2011

2011 මාර්තු 05 : ආදරණීය මොනාත්……… ඔබ සදා අමරණීයයි……..


අද ලංකාවෙ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ අවමංගල්‍ය උළෙලක් නිමාවට පත් වුනා.. ඒ මවුබිමේ සැබෑ පුතණුවෙකු වූත් සහෝදර මහින්දීයයෙකු වූත් බලඝණ නිලධාරී මොනාත් පෙරේරාගේ අවමංගල්‍යය. මම මොනාත් පෞද්ගලිකව හැඳිනුවේ නැතත් සහෝදර මහින්දීයයෙකු වියෝ වීමේ ශෝකය මේ දැන කිහිපය තුළම හදේ පැත්තක තිබුණා… ලංකාවේ හිටිය නම් අනිවාර්යයෙන්ම මමත් මගේ සහෝදරයින් සමග ඒ කටයුතු වලා සහභාගි වෙන්න තිබුණා නේද කියලා හිතෙනකොට අපි මොනතරම් සාර්ථකව මේ රටවල සිටියත් අපි අපේ ළබැඳියන්ගෙන් කොපමණ ඈත්ව ද ඉන්නේ කියලා හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවටයි…

මට මතක් වෙන්නේ 1990 දෙසැම්බර් මාසයේ අග (හරියටම 18 ට පස්සේ දවසක) පැවති මේජර් ජනරාල් ලකී විජයරත්න මැතිතුමාගේ අවමඟුල් කටයුතු ගැන. ඒ දිනවල අපි හිටියේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායක මණ්ඩලයේ… ඉතින් දෙසැම්බර් 18 සිට අවමඟුල පැවැත්වෙන තෙක්ම අපට හරියට බරටම වැඩ… දැන්වීම් බැනර් වගේම අවමඟුල් රාජකාරිත් පැවරුනේ අපට… එදාට පස්සේ මම හිතන්නේ ගාල්ලටත් මහින්ද විද්‍යාලයටත් මෙවැනි උසස් හමුදා නිලධාරීන්ගේ අවමඟුලක් පැවැත්වුන පළමු අවස්ථාව වෙන්නට පුළුවනි… මේ දෙදෙනාම රටට දැයට විශාල මෙහෙයක් කළ දැයේ දරුවන්… මිහිඳුවේ වීර පුතුන්… ඉතින් අපි මේ දෙදෙනාටමත්, රට දැය වෙනුවෙන් ජීවිත පූජා කළ සියළුම රණවිරුවනටත් සදා ණය ගැතියි….

මේජර් ජනරාල් ලකී විජයරත්න

මේ හැම දෙනාම ත්‍රිවිධ හමුදාවේ සේවයට යන්නේ කවදා හො තමන්ගේ ජීවිතය නොසිතූ අවස්ථාවක නැති වෙනවා කියන කාරණය දැනගෙන… ඒ වගේමයි ඔවුන් බොහොමයක් එතැනට ගියපසු ඇති වන්නේ අප්‍රමාණ ජාත්‍යාලයක්… නිතරම යුධ පෙරමුණට හෝ සේවයට යන්නමයි හිත…. ඒ වගේම හරිම විනයගරුකයි… හැබැයි මේ මිණිකැට අතරේ ගොමරිටි එක දෙකක් නැතුවාමත් නොවෙයි… ඉතින් මොනාත් කියන්නේ තමන්ගේ පවුලේ එකම දරුවාලු (මම දන්න හැටියට) එවන් දරුවෙකු වියෝ වීම දෙමවුපියන්ට කෙතරම් වේදනාවක් වන්නට ඇත්ද ? මොනාත් ඇසුරු කළ මිතුරන්ට කෙතරම් වේදනාවක් වන්නට ඇත්ද ? ඒ නිසාමයි සෑම කෙනෙක්ම තමන්ගේ සහෝදරයෙක් වියෝ වුණ හැඟීමෙන්ම එකාවන්ව අවමංගල්‍යයට දායක වුනේ… ඔහුගේ දේහය මහින්ද විද්‍යාලයට ගෙන ඒමෙන්  ඔහුට කළේ මහින්දයෙන් ලැබිය යුතු උපරිම ගෞරවය පුද කිරීමයි… එයට දායක වුන සියල්ලන්ටම උපහාරය පුද කළ යුතුයි…

ආදරණීය මොනාත්…

මා ඔබ පෞද්ගලිකව නොහැඳිනුවත්, ඔබේ වියෝව කෙතරම් දුර රටක හිටියත් සිතට නොදැනුනා නොවෙයි…

ඒ නිසාමයි අද දින සටහන ඔබ වෙනුවෙන් වෙන් කරන්නේ….

රුපියල් පණහට මිණී මරාගන්න තරුණයන් සිටින යුගයක, පෙම්වතිය තරහා වුනා කියලා කෝච්චියට බෙල්ල තියලා මැරෙන තරුණයන් සිටින යුගයක, ඔබ වැනි තරුණයන් දැකීමත් වාසනාවක්.. ඔබ රට වෙනුවෙන් කළ මෙහෙය ම ඔබ මේ ආත්මයේදීම නිවන් යාමට තුඩු දෙන පිනක්….

කවදා හරි මිහිඳු ඉතිහාසය නැවත ලියැවෙන දිනෙක, ඔබේ නමත් නොමැකෙන ලෙස ඉතිහාසගත වේවි…..

විරුවන් කවදාවත් මිය යන්නේ නෑ මොනාත්…..

ඔබ, සදා අමරණීයයි………

%d bloggers like this: