Daily Archives: මාර්තු 6, 2011

2011 මාර්තු 06 : කළාවැවේ නිල් දියවර අපෙ අම්මා…..


අද වැදගත් මැච් එකකුත් නැති එකේ ටිකක් වැඩිපුර නිදාගත්තා…. උදේ ඉඳන්ම චුරු චුරු වැස්ස… වෙලාවකට හයියෙන් වහිනවා.. තවත් වෙලාවකට හෙමින් වහිනවා……….. ඇහැ ඇරෙනකොට 8.30 යි… ඒ වෙනකොටත් ඇල්කෙමිච්චි ඉරිදා දවස සැළසුම් කරලා ඉවරයි… මුලින්ම ගෙවල් වලට කතා කරලා මැච් එක ටිකක් බැලුවා… අයර්ලන්තෙ ක්‍රිකට් වලට තරමක් ආධුනික වුනත් ඉන්දියාවටත් හොඳ තරඟයක් දුන්නා… මේ වතාවේ නම් ලෝක කුසලානය බොහොම විවෘත පැහැදිලි ජයග්‍රාහකයෙක් තවමත් නොපෙනෙන තරඟාවලියක්. සවස් වරුවේ පවුලම එක්ක පොඩි රවුමක් ගියා…

ඇල්කෙමිච්චි ඇඳුම් තෝරන්න කඩේකට ගිය අතරේ මමයි පැටියයි ගියා සුරතල් සතුන් බලන්න සත්තු කඩේට.. ඇල්කෙමි පැටියාට අපි ගැලුම් 10 ක ලොකු මාළු ටැංකියක් අරන් දුන්නානේ ගිය සතියේ.. දැන් ඒකට මාළුයි අමතර විසිකුරුත්තං දාන්නයි කාලෙ හරි… ඉතින් අද අළුත් පැලෑටියක් ගන්න කියලයි ගියේ…. ඒ වුනාට තාත්තයි පුතයි ඒ වගේ තැනකට ගියාම ටිකක් පිස්සු කෙළිනවා… ඒ නිසාම අම්මා දුන්න බජට් එක ඉක්මවා ගියා… මුලින්ම ඇල්ගී කන මාළුවෙක් මිළදී ගත්තා… ටැංකිය පිරිසිදුවට තියාගන්න කියලා… ඊට පස්සේ ගත්තා සීබ්‍රා මාළු ජෝඩුවක්… ඊටත් පස්සේ කාප් වගේ මාළු 4 දෙනෙක් ගත්තා.. පැළෑටිය ගන්න ගිය අපි මාළු ගොඩක් අරන් එළියට බැස්සා… මට මතක් වුනේ මගේ කුඩා කාළය… සිමෙන්ති බදාම වලින් එකට සවි කරපු සීලින් තහඩු හතරකට වීදුරු කෑල්ලක් සවි කරලා හදාගත්ත මාළු ටැංකියක් හෝ කොන්ක්‍රීට් තහඩු වලට සවි කළ වීදුරුවකින් සකසාගත් මාළු ටැංකි කිහිපයකින් ඇරඹි මගේ මාළු ඇති කිරීම අන්තිමට තාත්තා සහ කිරි මාමාගේ උදව්වෙන් තනාගත් මාළු වලක් දක්වා වර්ධනය වුනේ නොසිතූ පරිදි… ඒ වගේම මාළු වලේ හිටිය මාළු දිය බල්ලො කාලා ඒ වල හිස් වුනෙතු ඒ වගේම නොසිතූ පරිදි… ඊට පස්සේ මට මාළු ඇති කරන්න වෙලාවක් වුනේ නැති නිසාම මාළු ඇතිකිරීමේ ආසාව නැතිව ගියා.. ඒ ළමා කාළයට මම ආයෙත් ගෙනියන්නේ ඇල්කෙමි පැටියා.. ඉතින් මේ මාළු ටික ගෙනැවිත් ටැංකායට දාලා අපි ඔක්කෝම පොඩි එවුන් වගේ බොහෝ වේලාවක් ඒ දිහ බලාන හිටියා..

අද අපට බොහොම වැදගත් දවසක්.. ඒ අපේ අම්මාගේ 64 වන උපන් දිනය… ඊයේ රෑම, ඒ කියන්නේ ලංකාවට 6 වෙනිදා උදේම අම්මට කතා කරලා සුබ පැතුවා… ඒ වගේම අද උදේ ඒ කියන්නේ 6 වෙනිදා රෑ අපි ඔක්කොම අම්මටයි තාත්තටයි කතා කළා… අපි කතා කළාට වඩා අම්මට සතුටු අම්මගේ මුණුපුරා ආච්චිත් එක්ක සිංහලෙන් කතා කළ එක ගැනයි.. බොහෝ දෙනෙකුගේ වගේම මගේ ජීවිතයෙත් සාර්ථකත්‍වයේ සැළකිය යුතු ප්‍රමාණයක ගෞරවය ඈ සතු වෙනවා….. මගේ මුල්ම ගුරුවරිය වුනේ ඇය… මම හෝඩියට යනවිට එකේ පන්තියේ පොත්වල වැඩ කරන්න පුළුවන් වන ආකාරයට මගේ දැනුම වර්ධනය කළේ ඇය… මට කියවන්න පොත් ගොඩගැහුවේ… මට ලියන්න පුරුදු කළේ.. මට අත් රිදෙනකල් රචනා ලියෙව්වේ ඇය… රෑ දෙකට තුනට බඩගිණි වුනාම නැගිටලා බත් කැවුවේ.. සීතල දාට කණ කැක්කුම හැදුනාම ගම්මිරිස් කොළ රත් කරලා කණ තැවුවේ ඇය… මේ ඈ මා වෙනුවෙන් කළ කැප කිරීම් වලින් අල්පයක් පමණයි.. ඇය මගේ හැම ජයග්‍රහණයකදීම සතුටු වුනා වගේම හැම පරාජයකදීම පලු යන්න බැන්නා.. ඒ තරහට නොවෙයි ආදරේට.. ඇගේ ඒ අඩිතාලම මට මම කියන මහා ගොඩනැගිල්ල හදන්න ශක්තියක් වුනා කියලා කියන්න මම කිසි දවසක පසුබට වන්නේ නැහැ… ඒ වගේමයි ඈ හැදූ දරුවො තුන්දෙනාම සමාජයේ වැරදි වචනයක් අහන්නේ නැති  දරුවෝ තුන්දෙනෙක් කියලා ඈ ආඩම්බරයෙන් හැමෝටම කියනවා… මම හිතන්නේ අපි තුන්දෙනාගේම ජීවිතවල සාර්ථකත්‍වයේ මහා සෙවනැල්ල අපේ අම්මා… තාත්තා ඒ මාර්ග පාදා දුන් මාර්ගෝපදේශකයා වුනා.. ඒ දෙන්නා අදටත් සතුටින් සාමදානයෙන් ඉන්න එක තරම් සතුටක් අපි තුන්දෙනාට ඇත්තේ නැහැ… දැන් දැන් කියන දේ ඇහුවේ නැතුව සෞඛ්‍යමය වශයෙන් ඩිංගක් පිරිහිලා හිටියත්.. ඒ දෙන්න අපට මහා සම්පතක්… වැඩේ තියෙන්නේ ඒ දෙන්නා ඒ ගැන හිතන්නේ නැති එකයි.. වයසට යනකොට මුරණ්ඩු වෙනවනේ…

ඉතින් ලියනව නම් පොතක් ලියන්න පුළුවන් ඒ දෙන්නා ගැන තවත් දවසක ලියනවා…

අපේ අම්මට නිරෝගී සුව ! දීර්ඝායුෂ !

%d bloggers like this: