Daily Archives: මාර්තු 9, 2011
2011 මාර්තු 09 : යුරේකා………… යුරේකා…..
අද අහස උසට වැඩ තිබුණත් ටිකක් සන්තෝස දවසක්. උදේ වරුවෙ කරපු ප්‍රතික්‍රියා දෙකකින් ලැබුණ සංයෝග පිරිසිදු කළා. ඒවා වියලන්නට රික්ත පොම්පයක් භාවිතා කර ඒවායේ අන්තර්ගත වාෂ්පශීලී ද්‍රාවණ අයින් කරනවා. ඉන්පසු ඒ සංයෝගයේ පිරිසිදුභාවය NMR – (Nuclear Magnetic Resonance) – (න්‍යෂ්ඨික චුම්භක අනුනාදය) කියන පරීක්‍ෂණය මඟින් නිර්ණය කරනවා… ඉතින් උදේ වරුවම ඒ සංයෝග පිරිසිදු කරන්නත් ඒ පරීක්‍ෂණ කරන්නත් ගතවුනා…. වොලිබෝල් කණ්ඩායමේ නායක ජිම් ඇවිත් අද වොලිබෝල් තරඟයක් තියෙනවා නේද කියලා මතක් කරනකල් වැඩ… ඊට පස්සේ වොලිබෝල් තරඟයට සහභාලි වෙන්න ක්‍රීඩාගාරයට ගියා… අද හමුවෙච්ච කණ්ඩායම ටිකක් හොඳ කණ්ඩායමක් වුනත් තරමක තරඟයකින් පස්සේ පළමු වට දෙකෙන්ම ඔවුන්ව පරාද කරන්න පුළුවන් වුනා.. තුන්වෙනි තරඟය සුහද තරඟයක් ලෙස පැවැත්වුවා… ආයෙම දුවගෙන ආවේ ඉතිරි වැඩ ටික ඉවර කරන්න…මෙන්න රසායනාගාරයට එනකොටම ලොක්කා ඇවිත් කියනවා පොතත් අරන් ඇවිත් හවසට එයාව හමුවෙන්න එන්න කියලා…. මම හිතුවේ මට දෙහි කපන්නවත් ද කියලා… මේ දවස්වල වැඩ වැඩිය කෙරුණෙත් නෑ.. ගිය සතියෙම පෝස්ටරයක් බදාගෙන දැඟලුවා… හොඳ වෙලාවට මම ඊලඟට කරන්න තියෙන පරීක්‍ෂණ ටික සැලසුම් කරලා තිබුණේ… ඒ වගේම මගේ දත්ත ටික විශ්ලේෂණය කරලා තිබුණේ..
ඔන්න ඉතින් හවස ලොක්කා හමු වුනා… කතා කරගෙන යත්දි එක ප්‍රතික්‍රියාවක හැදෙන සංයෝගය වෙනස් බව අපි දෙන්නටම තේරුණා.. ඒකට හේතුව කොහොම හරි මම හොයාගත්තා.. ඒකට කියන්නේ Eureka moment කියලා… ඔබටත් ඒ වගේ අවස්ථා උදාවෙලා ඇති…. එකපාරටම ඔළුව උඩ ලයිට් එකක් පත්තු වෙනවා වගේ දැනෙන වෙලාවල්…. එන්න ඒවට තමයි කියන්නේ Eureka moment කියලා…..
ඒක නිසා ලොක්කට ටිකක් සතුටුයි.. ඒ වගේම කරන්න සැලසුම් කරපු පරීක්‍ෂණ කිහිපයක්ම අතහැර දාන්න තීරණය කළා… ඒකෙන් වෙලාවත්, මුදලුත්, රසායන ද්‍රව්‍යත් ඉතිරි වුනා… ඒ සොයාගැනීම කරගත්තේ අර වෙනස් සංයෝගයේ ස්ඵටික දැලිස් ව්‍යුහය අධ්‍යයනයකට ලක් කිරීමෙන්…. ඒ වගේම ඒ සංයෝගයේ මධ්‍ය පරමාණුව වටා ඇති පරමාණු ආකෘතිය විශ්ලේෂණයෙන්.. මේ තියෙන්නේ ඒ විශ්ලේෂණයේ ප්‍රතිඵලය ලෙස එළිදැක්වුන පින්තූරය.
මේ පින්තූරයේ මැද තියෙන තැඹිලි පාට පරමාණුව පැලේඩියම් Pd, දම් පාට පරමාණුව සහ ඒ වටා ඇති අළු පාට පරමාණු 3 PMe3 අණුවක්… එය මෙතිල් කාණ්ඩ තුනක් පොස්ෆරස් පරමාණුවකට සම්බන්ධ වීමෙන් තැනුනක්.. මේ සංයෝගයේ ඉඩ ඇත්තේ PMe3 කාණ්ඩ එකකට පමණයි… ලොකු දුඹුරු පාට පරමාණුව බ්‍රෝමීන් පරමාණුවක්… අපි මෙතෙක් කල් PMe3 කාණ්ඩ දෙකක් එකතු කරන්නයි බැලුවේ… නමුත් ඉඩ ඇත්තේ PMe3 කාණ්ඩ එකකට හා බ්‍රෝමීන් පරමාණුවකට පමණයි…. ඒ වගේම, අපි ඒ හා සමාන වෙනත් කාණ්ඩ එකතු කරන්නත් සැලසුම් කරලයි තිබුණේ….. මේ සොයාගැනීම නිසා එය අපහසු වන්නේ ඇයිදැයි තහවුරු වෙනවා…
සමහර අයට නම් මේ සොයාගැනීම සරළ දෙයක් ලෙස හැඟුනත්, අපේ පර්යේෂණයට නම් මෙය ටිකක් වැදගත්…. ඒ නිසාම අද ඔබට මම පළමු වතාවට රසායනාගාරයේ කෙරෙන පර්යේෂණයක් විස්තර කළා… සමහරුන්ට මේ සටහන තරමක් අපැහැදිලි ඇති…. ඉදිරියට තවත් රසායනාගාරය සම්බන්ධ දේ සරළව ලියන්නම්..
හෙට උදේම නැගිටින්නත් එපායෑ… සිම්බාබ්වේ – ශ්‍රී ලංකා මැච් එක බලන්න..