Daily Archives: මාර්තු 10, 2011

2011 මාර්තු 10 : ලොවට අළුතෙන් යමක් දායාද කරන්න පුළුවන් නම්…….


ඔන්න අදත් බරටම වැඩ.. ඒ අතරේ මම අළුතෙන් හදපු සංයෝගයක ස්ඵටික හැදිලා… ඒක එක්ස් කිරණ විවර්තකය (X-Ray Diffractometer) කියන උපකරණය ආධාරයෙන් නිරීක්‍ෂණය කරලා එක්ස් කිරණ කදම්භයක් මාර්ගයෙන් ඒ ස්ඵටිකයේ පරමාණු සැකැස්ම සොයාගන්න පුළුවන්… අර ගයිගර්-මාස්ඩන් පරීක්‍ෂණය මතකනේ… ඒ වගේ…. ඒ සැකැස්ම ගණිත සමීකරණවලින් යුත් මෘදුකාංගයක් ආධාරයෙන් සැකසූ විට අදාල ස්ඵටිකයේ අඩංගු සංයෝගයේ පරමාණු සැකැස්ම ලැබෙනවා… මෙන්න මේකට තමයි ස්ඵටික ව්‍යුහය කියලා කියන්නේ… අකාබනික රසායනඥයෙකුට තමන් හැදු සංයෝගයක ස්ඵටික ව්‍යුහ රූපයක් ලබාගැනීම හරිම උද්දාමයට පත් වන අවස්ථාවක්. ඒ මොකද කියනවා නම් එමගින් තමන් හැදූ සංයෝගයේ පරමාණුක සැකැස්ම හරියටම කියන්න පුළුවන් නිසා…

මේ තියෙන්නේ ස්ඵටික....

ඉතින් මමත් මේ ස්ඵටික ව්‍යුහ පින්තූර ලබාගන්න හරිම කෑදරයි… මේ ස්ඵටික ලබා ගැනීම බොහොම අසීරු දෙයක්, මුලින්ම අදාල සංයෝගය පිරිසිදු කරගන්න ඕන. ඒවායේ ඇති විවිධ අපද්‍රව්‍ය, මූලික ප්‍රතිකාරක, ආදිය අවම කරලා සුපිරිසිදු තත්ත්‍වයට ගේන්න ඕනා.. ඉන් පසු ඒ සංයෝගය සුදුසු ද්‍රාවණයක දිය කරලා, ඒ සංයෝගය දිය නොවන වෙනත් ද්‍රාවණයක් විසරණයෙන් මිශ්‍රවීමට සලස්වන්න ඕන… විවිධ ක්‍රම ඇතත්, පහසුම ක්‍රමය එයයි. විශේෂයෙන්ම මේ සංයෝග වාතයට නිරාවරණය වූ විට වියෝජනය වෙන සංයෝග නම් ඒ කාර්යය ඔක්සිජන් සහ ජලවාෂ්ප රහිත පරිසරයක, ඒවා රහිත ද්‍රාවණවල දියකළ යුතු වෙනවා… මේ නිසා මේ ස්ඵටිකයක් ලබා ගැනීම හරියට දරුවෙකු හදාගන්නවා වගේ කාරියක්.. ඒ නිසා අකාබනික රසායනඥයො මේ ස්ඵටික වලට හරිම කෑදරයි.. විශේෂයෙන් කිසිම කෙනෙක් නොහදපු, කවදාවත් කවුරුවත් නොහිතපු සංයෝගයක් හදාගත්තාම හරිම ආඩම්බරයි…. ඉතින් අද මමත් ඒ වගේ සුවිශේෂ සංයෝගයක් ස්ඵටික කරලා පින්තූරයක් ලබාගත්තා.. ඒක සින්ක් කියන මූලද්‍රව්‍යය මා විසින් තැනූ තවත් කාබනික අණුවක් සමඟ මිශ්‍ර කර ලබාගත් සංයෝගයක්… මේවැනි සංයෝගයක් සින්ක් මූලද්‍රව්‍යය අනුසාරයෙන් කවදාවත් හදලා නැති නිසා ඒක සුවිශේෂයි..

සින්ක් වලින් හදපු සංයෝගයක ස්ඵටික පින්තූරයක්... හැබැයි මම හදපු සංයෝගය නෙවෙයි....

ඉතින් ඒ අතරෙම හෙට තියෙන group meeting එකට presentation එකක් හදන්නත් අද දවස ගත වුනා.. ඒ සියල්ල කරන ගමන් තවත් ප්‍රතික්‍රියා දෙකකුත් කරන්න අමතක වුනේ නැහැ… මෙන්න මෙහෙමයි අද දවස ගෙවුනේ… ඉතින් හැම දවසකම වගේ අළුතෙන් යමක් සොයාගන්න, ලොවට යමක් දායාද කරන්න හිත ගත වෙහෙසන නිසා මට නම් මේ ජීවිතය හරිම තෘප්තිමත්…

%d bloggers like this: