Daily Archives: මාර්තු 13, 2011
2011 මාර්තු 12 : ජාන විකෘති කර කාර්යක්‍ෂම මිනිසෙක් ඇති කළ හැකි ද? සහ 2011 මාර්තු 13… අමතක වුනා නෙවෙයි….
මේ සටහන ලිවුවේ 12 වෙනිදා… මේ ලියන අතරේ හදිසියේම ඇල්කෙමිච්චි ඇවිත් අපේ යාළුවො ටික කුකුල් අත්තටු කන්න කැලෑ මීහරක් අත්තටු (Buffalo Wild Wings) ආපන ශාලාවට යනවා කියලා මාව ඇදගෙන ගියා… සටහන අන්තර්ජාලයට එකතු කරන එක ඉන් වැලකුණා… ආයෙ ගෙදර එනවිට රෑ එකයි… ඉතින් දවස පහු වෙලා ඉවර නිසා අද දවසත් එක්කම ඒ සටහන දාන්න හැතුවා…
ලංකාව සෙල්ලම් නොකළත් හොඳ තරඟයක් බලා ගන්න පුළුවන් නිසා ඊයෙ රෑවෙලා නිදියගත්තත් උදේ 4.30 ට විතර අවදි වෙලා ඉන්දියා – දකුණු අප්‍රිකා තරඟයේ පළමු භාගය නැරඹුවා… කොච්චර වයස ගියත් සචින් ටෙන්ඩුල්කාර්ගෙ පිති හරඹය නම් තවමත් එදා වගේමයි… භූමි කම්පාවට හසු වුන ජපන් ගොඩනැගිල්ලක් වගේ වුන ඉන්දීය ඉනිමෙ අවසාන භාගය ක්‍රිකට්වල අවිනිශ්චිතතාවය මොනවට කියාපෑවා….. වරෙක ලකුණු 400 ඉක්මවා යන්න බලාපොරොත්තු තියාගෙන හිටිය ඉන්දියාව ලකුණු 296 කට සීමා කරන්න දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ටත් වඩා ඉන්දීය පිතිකරුවො ක්‍රියාකළ ආකාරය හරිම ප්‍රශංසනීයයි.
යන්තම් නිදිමතක් ආපු නිසා ඉන්දීය ඉනිම අවසන් වෙනකොටම වගේ ඇඳේ ඇලවුන මම ආයෙ අවදි වුනේ ඇල්කෙමිච්චිගෙ කෑගැහිල්ලට… ඒක ඉතින් දැන් සාමාන්‍ය දෙයක් වුනත්, තවත් වැඩිපුර ලෙඩ දාගන්න බැරි නිසා අවදි වුනා… පැටියත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරලා රසායනාගාරයට යන්න සූදානම් වුනා….
රසායනාගාරයේ පරීක්‍ෂණයක් අතරතුරේ ජපානයේ නවතම තතු සොයන්න CNN වෙබ් අඩවියට ගිය වෙලේ අපූරු ප්‍රවෘත්තියක් දුටුවා… මෙය බොහෝ දෙනෙකුට අදාල නොවුනත්, තරමක සත්‍යයක් ඇති නිසාම සරළව පරිවර්තනය කරලා දිනපොතේ ලියන්න හිතුවා… මෙන්න මෙතනින් ඒ ප්‍රවෘත්තියට යන්න..
ඒකෙන් කියැවෙන්නේ යම් යම් අය නිදාගන්නා පැය ප්‍රමාණය අනුසාරයෙන් කරන ලද පරීක්‍ෂණයක ප්‍රතිඵලයි… ඔබ දන්නවා සමහර පුද්ගලයෝ වැඩිය නින්දක් නොලබන අය.. ඒ වුනත් ඔවුන් සාමාන්‍ය නින්දක් ලබන අය මෙන්ම හරි හරියට ගජරාමෙට වැඩ… ඒ අය අනිත් අය වගේම හෝ ඊටත් වඩා සාර්ථකයි.. මෙසේ අඩු නින්දෙනුත් ඉහළ ප්‍රතිඵල ලබන්නන්ගේ hDEC2 නම් ජානය විකෘති වීම නිසා මෙසේ ඔවුනට අඩු නින්දක් ලබාගෙන වැඩ කිරීමේ හැකියාවක් ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ
ඉතින් මට හිතුන දේ තමයි, මේ ජානය මේ අයුරින් විකෘති කර නවතම මිනිසෙක් බිහි කළොත්, ඔහු සාමාන්‍ය පැය හතරක නින්දක් ලබා ඉන් අනතුරුව සිය වැඩකටයුතු කිරීම මගින් අනෙක් මිනිසුන්ට වඩා කාර්යක්‍ෂමව සහ වැඩි කාළයක් වැඩ කළ හැකි නේද ? කියලයි.. නමුත් ඒ ජානය සම්බන්ධ වෙනත් ජානවලට ඒ විකෘතියෙන් බලපෑම් ඇත් වෙන්නත් පුළුවන්… එහෙම වුනොත් කාර්යක්‍ෂම මිනිසෙක් වෙනුවට විකෘති මිනිසෙක් ඇති වෙන්නත් බැරි කමක් නෑ…
කොහොම වෙතත්, ජාන එක්ක සෙල්ලම නම් භයානකයි…