Daily Archives: මාර්තු 15, 2011
2011 මාර්තු 15 : දවස පැය 48 ක් වුනා නම්…………
සමහර වෙලාවට අපි හැමෝම හරිම කාර්යබහුලයි.. එතකොට අහස උසට වැඩ කියලා කියනවා… අද මටත් ඒ වගේ… උදේ ඉඳලාම වැඩ…අළුතෙන් සංයෝග ගණනාවක් හදන්න කටයුතු කළා.. ඒ අතරේම පූසෙක් හම ගහන්නත් කටයුතු කළා… ඒ කියන්නේ හැමදාම හදලා හදලා හරිගියේ නැති සංයෝගයක් මම වෙනත් ක්‍රමයක් යොදාගෙන හැදුවා…. ලොක්ක නම් ඒ අදහස එකහෙළාම ප්‍රතික්‍ෂේප කළා… ඒත් මම මගේ තනි කැමැත්තට ඒක හැදුව… පෙනුමෙන් නම් වැඩේ හරි පාටයි. හෙට විශ්ලේෂණය කරලා බලන්න ඕනා… ලොත්කා වැරදියි කියල ඔප්පු කරනකලි ඉවසිල්ලක් නෑ…
ගෙදර ඇවිත් රෑට කාලා ඩිංගක් රූපවාහිනිය නැරඹුවා… ඒ අස්සේ ඇල්කෙමිච්චි පරිඝණකය අයිති කරගෙන… රෑ 11.30 යි මට ආයෙ ලැබෙනකොට..
ජපානයේ න්‍යෂ්ඨික ප්‍රතිකාරක වලින් විකිරණ පිටවෙනවාලු… සමහරවිට මේ විකිරණ වලාකුළු ඔබ සිටිනා දිහාටත් පැතිරෙන්නට පුළුවන්… මේ විකිරණ වලින් අපට අනතුරක් නැති වුනත්, මේ ගැන පොඩ්ඩක් කතා කරන්න සිතුවා….. මේ විකිරණවලට නිරාවරණය වීමෙන් ලියුකේමියාව, පියයුරු පිළිකා, වකුගඩු, උදරයේ, සමේ, ආදී වශයෙන් විවිධ පිළිකා සැදෙන්නට පුළුවනි. පිළිකා සෑදීමේ අවදානම ඇත්තේ විකිරණ මනින ඒකකය වන මිලිසිවර්ට් 500 ට වඩා වැඩි ප්‍රමාණයක් ශරීරගත වූවොත් පමණක් බවයි අමෙරිකානු න්‍යෂ්ඨික නියාමන අධිකාරිය පවසන්නේ…..
විකිරණවලට ඍජුව නිරාවරණය වීම වලක්වාගන්න ප්‍රධාන ක්‍රම තුනක් තිබෙනවා.
කාළය. – විකිරණ වලට නිරාවරණය වීම අවම කරගන්න ඒ ඒ විකිරණ ප්‍රභවයට නිරාවරණය වීමේ කාළය අනුව අවම කරගන්නට පුළුවන්. නමුත් මෙවැනි විකිරණ කාන්දුවකදී නම් ඒ අවස්ථාව නැහැ… කරන්න තියෙන හොඳම දේ පුළුවන් තරම් ආවරණය වූ තැනක සිටීමයි.
දුර. – විකිරණ ප්‍රභවයේ සිට ඇති දුර අවම වන විට සිදුවන හානියද අවමයි… මේ අනුව ජපානයේ ඇතිවන විකිරණ කාන්දුවක ප්‍රබලතාවට අපට නොදැනෙන්නට පුළුවනි.. නමුත් දීර්ඝකාලීන ප්‍රතිඵල අපට දැනෙන්නට පුළුවන්…
ආවරණය – විකිරණ වලට නිරාවරණය වීම වලක්වන ආවරණ තිබෙනවා. මේවා විශේෂයෙන්ම තනා ඇත්තේ ඊයම් වලින්.. ඊයම් විසින් විකිරණ අවශෝෂණය කරනවා… කෙසේ වෙතත් මේ ආවරණ ඇත්තේ දැඩිව විකිරණ නිරාවරණයට හසුවන පුද්ගලයන්ගේ ආරක්‍ෂාවට පමණයි….
ජපානයේ විකිරණ කාන්දුවෙන් අප ආරක්‍ෂා වෙන්නේ කෙසේද ?
මෙයින් අපට ඍජු බලපෑමක් නැහැ.. නමුත් ආනයනිත ආහාර ආදී දේ ගැන සැළකිළිමත් විය යුතුයි… දැනටමත් රජයෙන් ඒ පියවර අරගෙන ඇති නිසා අප ඒ ගැන කලබල විය යුතු නැහැ.
මේ ගැන තරමක් වැඩිදුර විස්තරයක් ඉඩ ලැබුණ විටකදි ලියන්න උත්සාහ කරන්නම්… ලියන්න දහසක් දෑ ඇතත්, වෙලාව මදිකම නිසාම කිසිවත් ලියැවෙන්නේ නැහැ.. ඇල්කෙමියාගේ රසායනාගාරයට මාසයක් යනකම් කිසිවක් ලියන්නට බැරි වුනා… විද්‍යාව.com එකටත් ලිපියක් ලියන්න වෙලාවක් හොයාගන්න බැරි තරමට කාර්ය බහුල වුනා…. ඉක්මනටම වෙලාව හොයාගන්න ඕන… දවස පැය 48 ක් වත් දිග වුනා නම් කියලා හිතෙන්නේ මෙන්න මේ වෙලාවට…