Daily Archives: මාර්තු 18, 2011

2011 මාර්තු 18 : අත්දැකීම් එකතු කරගන්න…. පසුව ඒවා බෙදාගන්න


ඊයෙ කිව්ව විදියට අද දිනපොත ලියන්න වෙන්නේ නෑ කියල හිතුවට කවදාවත් සිතු දේ වෙන්නෙ නෑ කියලා අදත් ඔප්පු වුනා… උදේ පාන්දර නැගිටලා කුණුකෙළ පිටින්ම ලංකාව බැට් කරනවා බැලුවා… මුල ඕවර 25 යනකොට නම් හිතුනා අනේ දෙයියනේ මේ මොකද වෙන්නේ කියලා.. කොහොම වුනත් මහේලයි ගන්දස්කාරයි දෙන්නා වැඩේ ඇදගෙන ගිය හැටියට ඉනිම ඉවර වෙනකල්ම බැලුවා…

උදේ රසායනාගාරයට ආවෙත් පොඩ්ඩක් පරක්කු වෙලා… ලොක්කා ඒ වනවිටත් ඇවිත් තිබුණේ නෑ.. කොහොම වුනත් හවස තිබෙන Group Meeting එකට ලෑස්ති වෙමින් තව තව දත්ත විශ්ලේෂණය කරමින් සිටින කොට තමයි අද මීටින් එක කැන්සල් කරනවා කියලා ඊ මේල් එක ආවේ… ලොක්කාට හදිසියේ ගෙදර යන්න වෙලා… එයා පවුලේ එකම දරුවා… පොරගේ සීයා තරමක් ලෙඩින් ඉන්නේ… මේ නිසා මෙයා තමයි ඔක්කොම බලාකියාගන්නේ… හැම නිතරම වෙනත් වැඩ… ඉතින් ලොක්කත් නැති නිසා මැච් එකේ ඉතිරි ටිකත් බැලුවා… ඇමරිකන් එවුන්ටත් ක්‍රිකට් උගන්න උගන්නා බැලුවා… මේ දවස්වල ඒ ගොල්ලන්ටත් ඇමරිකානු විශ්ව විද්‍යාල බාස්කට් බෝල් තරඟාවලිය හෙවත් March Madness නිසා හරියට වැඩ… සමහරු නම් දිනන විශ්ව විද්‍යාලවල නම් bracket එකකට දාලා ඔට්ටුත් අල්ලනවා… අපේ රසායනාගාරයෙත් ඔක්කොම වගේ brackets හදාගෙන ඉන්නේ.. මම නම් ඒකට සහභාගී වුනේ නෑ.. මට ලෝක කුසලානෙ තියෙනවනේ…

ඉතින් අදත් සුපුරුදු පරිදි වැඩ.. ඒ අතරේ වෙනත් රසායනාගාරයක මිතුරෙක් ආවා විද්‍යුත්-රසායනික විශ්ලේෂණයක් කරවගන්න…  ඉතින් අපි ඒ විශ්ලේෂණය යන අතරමගදී කතා වුනේ අපි අපි අතරේ තියෙන අත්දැකීම් ගැන… ඒ කියන්නේ රසායන විද්‍යාව පිළිබඳ පළපුරුද්ද… කොපමණ අපි යමක් පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් දරනවාද ? අපේ හැකියාවන්වල පරාසය කුමක්ද යනාදිය… ඇත්තෙන්ම අවුරුදු 5 ක් ආචාර්ය උපාධියක් කරන විට ලැබෙන අත්දැකීම් සම්භාරය, පළපුරුද්ද නම් කියලා නිම කරන්න බැහැ… මෙය කරන අතරතුරේදී අපට එහෙම දෙයක් නොදැනුනත්, අප ඉන් පිටතට ගියාම තමයි තේරෙන්නේ අපි කොපමණ දේවල් දන්නවාද කියලා… මේ සියල්ල අපි ප්‍රවේශමෙන් එකතු කරගත් දේවල්… අපි යමක් ඉගෙන ගන්නවා වගේම ඒ දේවල් වෙනත් දේට ආදේශ කරලා යමක් සාර්ථකව කරන්න ඉවහල් වන්නේ අත්දැකීම්.. පළපුරුද්ද (Experience) නැතිව ලෝකේ කිසිම දෙයක් කරන්න බැහැනේ.. ඕනම සම්මුඛ පරීක්‍ෂණයකට ගියාම මුලින්ම බලන්නේ ඒ සුදුසුකම් වලට අදාල පළපුරුද්ද තියෙනවාද කියලා… දේශපාලනය පිළිබඳ පළපුරුද්ද නැතිව රට පාලනය කරන්න ඇවිත් අපේ රටෙත් එක්කෙනෙක් දැන් අනුන්ගේ ලණු ගිලලා පරිප්පු කන හැටි පේනවනේ..

ඉතින් මේ ලෝකේ හැම දේටම පළපුරුද්ද අවශ්‍යයි.. කෙල්ලෙක් යාළු කරගන්න වුනත් experience එක තියෙන කෙනා වැඩේ හරියට කරගන්නවා.. පොල් ගහකට නගින්න වුනත්, මුලින් පුංචි පොල් පැලේකට නැගලා හරි පළපුරුද්ද තියෙන ‍කෙනා තමයි වැඩේ දන්නේ.. බයිසිකලයක් පදින්න වුනත් මුලින් සමබරතාවය ගැන පළපුරුද්දක් තියෙන කෙනාට තමයි වැටෙන්නේ නැතුව යන්න පුළුවන්… ඉතින් දැන් නම් සමහර මල්ලිලා නංගිලා, දූලා පුතාලා (ඔව් ඉතින් අපි දැන් වයසයි නේ) පොතේම ඇලිලා ගැලිලා අවුරුදු ගානක් ඉඳලා විභාග ඉහළින් සමත් වෙනවා. ඒක හරි හොඳයි.. නමුත් කුමක් හෝ අමතර වැඩක් කණ්ඩායම් ක්‍රීඩාවක් වගේ දෙයක් කරනවිට, ඔබට කණ්ඩායමක් සමඟ හැසිරෙන්නේ කොහොමද ? ජය-පරාජය විඳදරාගන්නේ කොහොමද කියන අත්දැකීම් වගේම, යමක් හරියට කරන්නේ කෙසේද යන්නටත් හොඳ අවබෝධයක් එනවා.. විශේෂයෙන්  පාසලේ ශිෂ්‍ය නායක තනතුරකට පත්වෙන්නට පුළුවන් නම්, ඉන් ලැබෙන අත්දැකීම් කියලා නිම කරන්න බෑ.. ඒකට නිකම් ඉඳලා පත් වෙන්න බෑනෙ.. විෂය බාහිර වැඩ කරන්න ඕන…. ඒ වගේම මෙසේ බාහිර ක්‍රියාකාරකම් කරනවිට මනස ඒකාකාරී අධ්‍යාපන රටාවෙන් මිදීම නිසා ප්‍රබෝධමත් වෙනවා. මේ නිසා අධ්‍යාපන කටයුතු වලට පවා පහසු වෙනවා..

ඉතින්, අපි ඉගෙන ගන්න ඕන… ඒක තමයි ප්‍රධාන කාරණය… නමුත් වෙනත් දේ ගැන අවධානය යොමු කිරීමත් වැදගත්. පාසලේ විෂය බාහිර ක්‍රියාකාරකම් කරන එක් අධ්‍යාපනයට බාධාවක් වන්නේ නැ.. නූතන අධ්‍යාපන ක්‍රම වලට අනුව ළමයා අවම වශයෙන් එක් හෝ බාහිර ක්‍රියාකාරකමක් කළ යුතු බවට අනිවාර්ය කර තිබෙනවා… ලංකාවේ රජයේ පාසල්වල නම් මේ තත්ත්‍වය තිබෙනවාද දන්නේ නෑ.. නමුත් ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නම් මේ කාරණය පිළිබඳ අවධානය යොමු කර ඇති බව මට දැනගන්නට ලැබුනේ අපි ඇල්කෙමි පැටියා ඇතුලත් කරන්න පාසල් හොයන අවස්ථාවේදීයි.. අපි ගිය අවුරුද්දේ ලංකාවේ පදිංචියට එන්න හිතාගෙන පැටියට පාසල් හෙවුවා.. ඒ සෙවිල්ලේදී තමයි මේ බව අනාවරණය වුනේ.. ඇත්තටම මෙය අගය කළ යුතු දෙයක්.. සමබර මනසක් ඇති ළමයාගේ වර්ධනය වෙනත් ළමුන්ට වඩා වැඩියි…

මේ නිසා නිතරම තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට අමතරව වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකමක් දෙකක් කරන්න.. තමන්ගේ දරුවෝ ඒවාට යොමු කරන්න… අමතර අත්දැකීම් සහිත දරුවා තිනරම අන් අයට වඩා ඉදිරියෙන් සිටිනවා වගේම තීරණ ගැනීමේදීත් ඉතා බුද්ධිමත්… කලබල වෙන්නේ නෑ.. ක්‍ෂණික තීරණ අරගෙන ජීවිතය අමාරුවේ දාගන්නේ නෑ… ඉගෙන ගත්තාම විතරක්ම ඇතිනම්, පාසල්වල ක්‍රීඩා කටයුතු කරන්නේ නෑනේ… ඉතින් මේ ගැනත් හිතලා බලන්න…

අත්දැකීම්, පළපුරුද්ද ජීවිතයට එකතු කරගන්න…. පසුව ඒවා අන් අය සමඟ බෙදාගන්න…

%d bloggers like this: