Daily Archives: මාර්තු 23, 2011

2011 මාර්තු 23 : දෙවිදියක තරඟ දෙකක්….. සහ ඇඩ්‍රිනලීන් Rush එක…


අද බදාදා ලෝක කුසලානයේ පළමු පිළිමළුන් පිටු දැකීමේ තරඟය… උදෙන් නැගිටින්න කියලා වේලසනින් නිදා ගත්තත්, අනේ ඇහැ ඇරෙනකොට උදේ 6.30 යි… පරිඝණකය දාලා බැලුවාම වැඩිය දෙයක් අතහැරිලා නෑ… ඒ වෙනකොටත් බටහිර ඉන්දීය කොදෙව්වෝ ලකුණු 80 කට විතර කඩුලු 8 ක් බිඳ වැටිලා තිබුණේ…  දුකයි කියන්නේ ලකුණු 112 ක් පකිස්ථානෙ කිසිම කරදරයක් නැතිව එක කඩුල්ලක්වත් බිඳ ගන්නේ නැතිව ගහපු එකයි… ලෝක කුසලානයේ  අවසාන පූර්ව තරඟයක් ද කියලා සැක සහිත වන තරමට කොදෙව්වන්ගේ තරඟකාරීතවය දුර්වලයි.. මේ නිසාම ඒ තරඟය මේ ලෝකෙ රහක් නැති තරඟයක් බවට පත් වුනා…

උදේ සිරි පොද වැස්සේ පැටියවත් ඉස්කෝලෙන් දාගෙන රසායනාගාරයට ගියා… අද බදාදා වොලිබෝල් තරඟාවලිය තියෙන දවස… උදේ වරුවේ වැඩ කරලා දවල් ක්‍රීඩා මණ්ඩපය (Gymnasium) එකට ගියා… අද නම් තරඟය ටිකක් ඇදිලා ගියා.. මේ තරඟාවලියේ මුල් වතාවට අපි තරඟ වටයක් පැරදුනා… මුල්ම තරඟ වටය 25-23 ලෙස අප දිනුවත්, දෙවන තරඟ වටය 19-25 ලෙස අප පරාද වුනා… තෙවන තරඟ වටය සම සමව වගේ ගොස් අප 19-23 ලෙස පසුබෑමකට ලක් වුනා.. කෙසේ හෝ අප 25-23 ලෙස තරග වටය ජයග්‍රහණය කරන විට මගේ එක අතකින් රුධිරය වෑහෙන්න පටන් ගත්තා… මා සිතුවේ වෙනත් කෙනෙක්ගේ රුධිරය මගේ ඇඟේ තැවරී ඇති බවයි… මට කිසි වේදනාවක් නොදැනුනේ සිරුරේ ඇඩ්‍රිනලින් ස්‍රාවය අධික වීම නිසා සිදු වන අතුරුඵලයක් වන වේදනාව නොදැනීම නිසා…. මගේ ඇඟිල්ලක් තුවාල වී රුධිරය වෑහෙන බව දැන්ගත්තේ තරඟයේ අවසානයේදී… කෙසේ හෝ මේ තරඟය නම් අවසාන මිනිත්තුව දක්වා ගිය තරඟයක්…

ඇඩ්‍රිනලීන් Rush කියන්නේ අධිවෘක්ක ග්‍රන්ථි මගින් අධික ලෙස ඇඩ්‍රිනලීන් ශ්‍රාවය වීම නිසා ශරීරය සටන්කාමී තත්ත්‍වයකට හෝ පලා යාමට (Fight or flight) මුහුණ දීමට හැඩගැස්වීමයි… මෙහිදී වේදනාව, බිය ආදී සංවේදන දැනීම නැතිව යනවා.. සමහර වෙලාවට බය වුනාම පණ එපා කියලා දුවන්නේ, අඩි දහය දොලහේ තාප්ප වලින් පනින්නේ, තුවාලයක් වෙලාද නැත්ද කියලා නොතේරෙන්නේ මෙන්න මේ ඇඩ්‍රිනලින් අධිශ්‍රාවය නිසා…  මේ නිසා ශරීරයේ අවයව, මාංශපේශීන් අධික ශක්තියක් ලැබුවාක් මෙන් ක්‍රියා කරනවා. හෘදයට රුධිරය ගලා ඒම ඉක්මන් කරනවා. ශ්වසන පද්ධතිය දැඩි ලෙස ක්‍රියා කරනවා……

එසේම  මේ ඇඩ්‍රිනලීන් කියන්නේ එෆිනෙෆ්රින් කියන සංයෝගයටයි… සමහර වෙලාවට ක්‍ෂණික ආසාත්මිකතා ඇති වූ විට, හෘදයේ ක්‍රියාකාරීත්‍වය අඩපණ වූ විට, රෝගීන්ට ලබා දෙන එෆිනෙෆ්රින් එන්නතේ තියෙන්නෙත් මේ සංයෝගයයි…

සාමාන්‍යයෙන් ක්‍රීඩා කරනවිට, මේ ඇඩ්‍රිනලින් ශ්‍රාවය වැඩි වෙනවා. තරඟයක උච්ච අවස්ථාවක දී නොදැනීම තරඟකාරී ලෙස ක්‍රියා කෙරෙන්නේ, දැඩි ආවේගයකින් කෑ ගසන්නේ මෙන්න මේ තත්ත්‍වය නිසා… සමහරුන් Adrenaline Junkie  යනුවෙන් හඳුන්වන්නේ ඔවුන් ඉතා අනතුරුදායක කටයුතු වල නියැලෙන්නට දක්වන ආසාව නිසා…

ඉතින් මේ සෙනසුරාදා ලංකාව දිනවන්න කෑ ගහනකොට, හොඳට ඇඩ්‍රිනලින් ශ්‍රාවය වේවි… වැඩිය ගණන් ගන්න එපා.. ඉඳලා හිටලා එහෙම වෙන එකත් ඇඟට හොඳ දෙයක්…

%d bloggers like this: