Daily Archives: මාර්තු 24, 2011

2011 මාර්තු 24 : අනේ අපේ ජීවිතවලට ගිය කලක්…..


උදෙන්ම නැගිට්ටේ ඉන්දියා ඕස්ට්‍රේලියා මැච් එක බලන්න… නැගිට්ටාට පාඩු නෑ… උදේ අට වගේ වෙනතුරු ඕස්ට්‍රේලියා ඉනිම නරඹන අතරේම රසායනාගාරයේ හිර වෙලා තිබුණ ලිපියක් ඉවර කරගන්නත් පුළුවන් වුනා. ඒක රසායනාගාරයේ මෙතැනින් බලන්න…  ඕස්ට්‍රේලියාවට ක්‍රිකට් ගහන හැටි ඉන්දියාව කියලා දීපු එක නම් හොඳයි… ඒ වගේම හැමදාම රජ කරගෙන හිටපු ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වුන එකත් හොඳයි.. එතකොට වෙනත් රටකට දිනන්න පුළුවන් නේ… නැත්නම් ජනතාව ඊජිප්තුවේ, ලිබියාවෙ වගේ පෙලපාලි යයි ඕස්ට්‍රේලියවේ ලෝක කුසලාන ඒකාධිපතිත්වය නැති කරනු ! කියලා… ඊට පස්සේ ඇමරිකාව ඇවිත් පොන්ටින්ට ගහයි, ගහලා කියයි අනිත් අයටත් දිනන්න දෙන්න කියලා… මොකද ඇමරිකාවටත් දිනන්න චාන්ස් එකක් එනවනේ එතකොට… හහ්… අපි නොදන්න ලෝක දේශපාලනේ…..

ඉතින් අද වැඩ ටිකයි කළේ… හැමදාම වැඩ ගොඩක් කරනවා නේ… උදේ නැගිටපු එකට ටිකක් නිදිමතත් එක්ක.. උදේ වැඩට ගියත් උදේ වරුවෙම කළේ මැච් එක බලපු එකයි… ලොක්කගේ ගෙදර උණු වතුර යන්තරේ කැඩිලා හදන්න කට්ටිය එනකල් පොර ගෙදර… ඒ නිසා මම දිගටම මැච් එක බැලුවා… බලන්න වටින මැච් එක… හවස් වරුවේ අපේ Glove Box එක පිරිසිදු කළා.. අපේ එවුන්ට වැඩ කරන්න ගියාම වටේ පිරිසිදු කරගන්න තේරෙන්නේ නෑ.. මම උන්ට බැන බැන පිරිසිදු කළා.. හෙට Group Meeting එකේදි ඔක්කෝටම අල්ලලා දෙහි කපනවා…. හවස් වරුවෙත් වැඩිපුරම කළේ Presentation එකක් හදපු එකයි… හෙට මීටින් එකේ පර්යේෂණ පිළිබඳ ඉදිරිපත් කරන්නේ මම… ඒ නිසා ඒ Presentation එක හැදුවා.. ලොක්කා හවස නාගෙන ඇවිත්…. උණු වතුර හදලා වගේ… ආපු ගමන් මම ඇහුවේ හොඳට නාගත්තද කියලයි… නැත්තං ගඳයිනේ අප්පා…

අපි ඉස්සර ගමේ ඉන්නකොට නං නෑවේ ලිඳට පනිට්ටුව ගහලා.. ඒ තරමට ගලා යන වතුර තියෙන ලිඳක් අපට තිබුණේ… ටික ටික කල් ගතවෙනකොට ගෙදරම නාන කාමරයක් හැදුනා… දැන් ඒ මදිවට උණු වතුරත් ඒකට සවි කරලා.. ඉස්සර වගේ වෙල අද්දර වතුර ගලා යන ලිඳෙන් නාන්න බෑ.. එහෙම නෑවොත් දැන් ලෙඩ වෙන්නත් පුළුවන්… අනේ අපේ ජීවිත වලට ගිය කලක්… අපි ඉස්සර ගත කරපු ළමා කාළය දැන් ඉන්න පොඩි එවුන්ට නෑ.. වයස අවුරුදු 4 ඉඳන් එලකියුෂන් කියයි, ශිෂ්‍යත්ව පන්ති කියයි, ඉංගිරිසි පන්ති කියයි… තව දහසක් ජාති….. ඉස්සර අපි ඉස්කෝලේ ගිහින් ඇවිත් කැලේමයි… දං බෝවිටියා කාලා ගෙදර එනකොට කට දම් පාටයි.. අම්මා බැණ බැණ දත් මද්දවනවා… ටිකක් ලොකු වුනාම ගමේ කට්ටිය වොලිබෝල් ගහන තැනට යනවා.. පොඩි එවුන් වෙච්චි අපි දාන්නේ ඉස්සරහ ඩෑෂ් ගහන කෙනා උඩ ගියාම එතැනට වැටෙන බෝලය උඩ ගන්න. හුංගා විදියට. එහෙම හිටපු අපි ටික ටික ලොකු වෙනකොට ලොකු ටීම් එකට දාගන්නවා.. එහෙම ගහපු වොලිබෝල් නිසා තමයි දේශ දීපංකරේ ඇවිල්ලා සුද්දෝ එක්කත් හරි හරියට වොලිබෝල් ගහන්න පුළුවන් වුනේ… අනේ දැන් හැදෙන එවුන්ට එහෙම කාලයක් කොයින්ද ?

%d bloggers like this: