Daily Archives: මාර්තු 27, 2011

2011 මාර්තු 27: මැරෙන එකත් මහ පණයන වැඩක් නේ…..



දවස් දෙකකට පස්සෙයි දිනපොත ලියන්න වාඩි වුනේ…. සිකුරාදා Group Meeting එකට වෙහෙසුනා… ඒ වගේම ඒක ඉවර වුන හැටියේම යාළුවෙකුගෙ ගෙදර යන්නට වුනා… එයාගෙ ගෙදර වෙනදා වගේම සුහද හමුවක්… ඊට පස්සේ එහේම නැවතුනා… යාළුවො එක්ක ඉන්නකොට මොන දිනපොත්ද ? වේලසනින්ම සෙටිය උඩට ඇදිලා නිදාගත්තේ පහුවදා උදේ පාන්දර ඇහැඇරිලා එංගලන්ත-ශ්‍රී ලංකා මැච් එක බලන්න… හැමෝම ශ්‍රී ලංකා ටී ෂර්ට් දාගෙන මැච් බලනවා… උදේ අට වෙනකොට ඇල්කෙමිච්චි පැටියත් අරගෙන පීනන පන්ති ගියා.. පැටියට පීනන්න උගන්වන්න… එයාල ආවට පස්සේ මම රසායනාගාරයට බෑ බෑ කිය කිය ගියේ… මිත්‍ර සමාගමත් එක ක මැච් බලනව වගේ ජොලියක් කොහේද තනියම.. ? කොහොම වුනත් ලොක්කා ඇවිත් නැති නිසා මම තනියම හරි මැච් එක බැලුවා… කොහොමද අපේ එවුන් ගහපු ගැහිල්ල…. සුද්දට බඩ යන්න දුන්නා… එදා හරිම මහන්සියි… නිදිත් මතයි.. ලොක්කට බම්බු ගහගන්න කියලා ගෙදර ඇවිත් නිදා ගත්තා… හවස වොෂිංටන් DC යන්න යොදාගෙනයි තිබුණේ… නිදි මතේ වාහන එළවන්න බෑනේ… ඒ නිසා නින්දක් දාලා නැගිටලා ගියා..

ගියේ පන්සලට… කාලෙකින් පැටියව පන්සල් එක්කන් ගියේ නැති නිසා පැටියවත් අරන් ගිලන්පසත් හදාගෙන පන්සල් ගියා… පන්සලේ ධම්මසිරි නියක හාමුදුරුවොයි, මණ්ඩාවල හාමුදුරුවොයි, මහනාම හාමුදුරුවොයි තුන්දෙනාම බැහැදැකලා ආගිය තොරතුරුතු කතා කරලා අඳුරන කෙනෙක්ගේ නිවසට ගියා රෑ ගත කරන්න.. මේ යුවල තමයි මෙහේ අපට ඉන්න දෙමාපියෝ… ආගම දහමට ලැදි, ඒ වගේම ආගම දහම දන්න, අනිත් අයටත් කියලා දෙන ඒවා පිළිපදින බොහොම ආදර්ශමත් යුවලක්… අපේ පැටිය ආච්චි-සීයා කියලා කියාගෙනයි ඒ දෙන්නට ඉන්නේ…. ඉතින් රෑ එහේ ගත කළෙ ඉරිදා උදේ වොෂිංටන් ඩී සී වල තියෙන සරුංගල් උළෙලයි සකුරා මල් සැණකෙළියේ ආරම්භක උත්සවයයි බලන්න යන්න හිතාගෙනයි.. ඒ දෙකම කල් දාලා… මොකද කියනවා නම් අසාමාන්‍ය ලෙස පරිසර උෂ්ණත්‍වය පහල ගියා.. සමහර විට හිම වැටෙන්නටත් ඉඩ ඇති බව පැවසුවා.. ඒ නිසාම ඒ දෙකම කල් දාලා..

ඉතින් ලංකාවෙ කඩෙන් බඩු භාණ්ඩත් අරගෙන ගෙදර ඇවිත් මේ ගිමන හැරලා පැටියව නින්දට දාලා තමයි මේ දිනපොත ලියන්න පටන් ගත්තේ… වොෂිංටන් වලදි බොහොම දුක හිතෙන ආරංචියක් ලැබුණා.. ඒ තමයි ලංකාවෙන් ග්‍රීන් කාඩ් ලොතරැයිය ඇදිලා මෙහේට ආපු කෙනෙකුට කිසිවෙකු වෙඩි තබා මරා දමා ඇති බව… වොෂිංටන්-මේරිලන්ඩ් වල වෙසෙන ලංකාවේ බොහෝ දෙනෙකු කම්පනය කළ සිද්ධියක් වුනා මේක.. ඒ අපරාධකාරයා පොලීසියට කොටු වී ඇති බවත් ආරංචි වුනා.. ඒ වුනත් ඒ ජීවිතය නැවත ගන්නට බැහැනේ… ඒ වගේමයි ඒ දේහය ලංකාවට ගෙනියන්නට ඩොලර් විසිදාහක් විතර වැයවන නිසා ඔවුන් ඒ පිළිබඳ අවසාන කටයුතු මෙහිම සිදු කරන්නට කටයුතු යොදා තිබෙනවා… අවුරුදු 41 ක් ලංකාවේ ජීවත් වුන ඔහුට අවසානයේ අවසන් ගමන් යන්නට වුනේ කිහිපදෙනෙක් පමණක් දන්නා දුර රටක.. පිටරටකදී මිය යන බොහෝ දෙනෙකුට අයිති වන ඉරණමක් තමයි මේක…. මක් නිසාද යත්, දේහය ගුවන් මගින් ප්‍රවාහනයේදී දරන්නට වන අමතර ආරක්‍ෂක ක්‍රියාමාර්ග නිසා මේ අමතර පිරිවැය දරන්නට වෙනවා…

ඉතින් මේ රටේ දී මැරෙන එක නම් මහා පණයන වැඩක්….

අකුරු ලොකු කරගන්න දුන්න උපදෙස් වලට අරුණි අක්කාටත් නවම්ටත් පිං.

%d bloggers like this: