Daily Archives: මාර්තු 31, 2011

2011 මාර්තු 31: රිදෙනවා තමයි අනේ… ඒත් නවත්තන්නෙ නැතුව දිගටම කරන්න ….


දිනපොත ලියන්න පටන් අරන් මාස තුනත් ගත වුනා… ඒ කාලෙ දිනපොත ලියන්න අතපසු වුනේ දවස් තුනයි… පුළුවන් හැමදාම ලිව්වා… දිනපොත ලියන්න පුළුවන් වුනත්, ඒ පිලබඳ නිමිත්තක් හොයා ගැනීම සමහර දවස්වල හරිම දුෂ්කර වුනා… ඒ දවස්වල තමයි අර මේලෝකෙ රහක් නැති සටහන් ලියවෙන්න ඇත්තේ… ඉතින් මේ කාර්ය කරනකොට ඇල්කෙමිච්චිගෙන් සමහර දවස්වල බර බරේ… ඒ වුනත් ඈ හැමදාම දැන් දිනපොත බලනවා… දිනපොත ගැන පුංචි මත විමසුමක් හැදුවා… කැමති නම් මෙතැනට කොටලා බලන්න… ඡන්දෙකුත් දාන්න කැමති විදියට…

මේ දවස්වල මමත් පෞද්ගලික ඉලක්කයකට (Personal Goal) යන්න වැඩ කරනවා…ඒ කියන්නේ මම මටම පණවාගත් ඉලක්කයක් අනුව වැඩක් කරනවා.. ඒක තමයි බඩ බස්සා ගැනීම.. ලොකු බඩක් ඇත්තෙත් නෑ… අනිත් එවුන් එක්ක බැලුවාම මට මන්දපෝෂණේ වගේ…. ඒ වුනත් ෆිට් එකේ ඉන්න එපායෑ…. ඒක නිසා මුලින් වොලිබෝල් ගහන්න ගියා…. දැන් හැම බදාදම ක්‍රීඩාගාරයට ගොස් පැයක් කරන වොලිබෝල් ක්‍රීඩාව ලබන සතියෙන් අවසන් වෙනවා. ලබන බදාදා අවසන් තරඟයත් සමඟ ඒ තරඟාවලිය අවසන් වුනාම කරන්න දෙයක් නැති වෙනවා. හැම බදාදාම වොලිබෝල් තරඟයෙන් පස්සේ ව්‍යායාම ශාලාවට ගිහින් බර එසවීම සහ උදරයට ව්‍යායාම කිරීම කළත්, එය තරමක් මදි බවයි හිතෙන්නේ. මේ නිසාම ලබන සතියට පසු සඳුදා-බදාදා-සිකුරාදා දිනවල දවල් කෑම පැයේදී ව්‍යායාම ශාලාවට යන්නයි හිතන් ඉන්නේ… මේ කෙරුවාව ලේසි නෑ… ව්‍යායාම කරලා ඉවර වුනාට පස්සේ ඇඟම රිදෙනවා… ඒ වුනාට ඒ රිදීමත් සුවයක් කියලා හිතාගෙන දත කට කාගෙන ව්‍යායාම කරනවා… මොකද කියනවා නම් මෙන්න මේ වගේ මගේ බොඩියත් ලස්සනට තියාගන්න එපායෑ…

ඒ නිසාම නොවෙයි…. ව්‍යායාම් කිරීමේදී ශරීරයේ රුධිර සංසරණය ක්‍රමවත් වෙනවා. එසේම ශරීරයේ මාංශ පේෂි ශක්තිමත් වීම, වැඩීම, කොලෙස්ටරෝල් වැනි අහිතකර ද්‍රව්‍ය ශරීරයේ තැන්පත් වීම අඩු වීම, දහඩිය දැමීම නිසා ශරීරයේ අභ්‍යන්තරය පිරිසිදු වීම, නිවැරදි හෝමෝන ක්‍රියාකාරීත්‍වය වැනි මෙකී නොකී කරුණු කාරණා රාශියක් සිද්ධ වෙනවා. මේ නිසා ඇල්කෙමියා වැඩිපුර කාළයක් ජීවත් වෙනවා වගේම තමුන්නාන්සේලාට වඩා ක්‍රියාකාරීව තරුණයෙක් විදියට වැඩි කාළයක් ගත කරන්නත් මේ පින් හේතු වාසනා වෙනවා. ඒ වගේමයි… මේ ව්‍යායාම් ශාලාවට ඇහැට කණට පේන “ගැටිස්සියොත්“ එනවා…. ඇස පිණවීමත් ඉතින් සිත සන්තෝස කරන දෙයක් නේ….

ඒ කෙසේ වෙතත්, මා මගේ මිතුරන්ගෙන් නොදකින දේ තමයි මෙන්න මේ තමන්ගේ ශරීරය ගැන අවධානයක් නොමැතිකම… ව්‍යායාම් කිරීමට වෙලාවක් නැතිකම, තැනක් නැතිකම වැනි දේ කියා මඟ හරිනවා මිසක්, වෙලාවක් හදාගැනීමට සිත යොදවන්නේ නෑ… අන්තිමට ලොකු රා බඩක් වගේ බඩක් හදාගෙන ඉන්නවා… සමහරු කොලෙස්ටරෝල්, සීනි වැනි දේ ශරීරයේ එක්රැස් වීම නිසා ඇතිවන තත්ත්‍වයන්ගෙන් පිඩා විඳිනවා.. තවත් සමහරු දැන් අප අතර ඇත්තෙත් නෑ.. සමහරු වයසට වඩා වයස ගිහිල්ලා…. මේ සියල්ල නැති කරගන්න, නිරෝගී ජීවිතයක් ගතකරන්න දවසකට පැය බාගයක් ව්‍යායාම කිහිපයක් කිරීමෙන් ඉටු කරගන්න පුළුවන්… මුලින් මුලින් ඇඟ රිදෙනවා තමයි. ඒ වුනාට අඟලක් දෙකක් බඩ බහිනකොට ඒ රිදිල්ල ඉබේම නැති වෙනවා… රිදුනයි කියලා මොනව කරන්නද ? ෆිට් එකේ ඉන්න එපායෑ…. ඔන්න ඔහේ කරන්න…

පොඩ්ඩක් හිතලා ගෙදර ඉඳන් වුනත් ව්‍යායාම ටිකක් කරලා බලන්න ඇඟට දැනෙන සනීපෙ……

ඔන්න බලන්න ජුනි මාසෙ වෙනකොට මගේ බඩේ Six Packs දාලා එන හැටි…..

%d bloggers like this: