Monthly Archives: මාර්තු 2011

2011 මාර්තු 19 : අපූරු තරඟයක් උදේ ඉඳන් නිදිවරාගෙන නැරඹුවෙමි…


අද නම් දිනපොත ලියන්න කිසිම හේතුවක් වත්, උනන්දුවක්වත් තිබුණෙ නෑ…

ඊයෙ රෑ හිටිය මිතුරගේ ගෙදර අපි සිංදු කියලා මැච් බලලා ඉවර වෙනවිට උදේ 3.00 යි… ආයෙම උදේ ඇහැ ඇරිලා පකිස්ථාන් ඕස්ට්‍රේලියා තරඟය බලන්න ඕන නිසා නිදියගත්තා… මගේ මිතුරෙක් නම් උදේ පහටම නැගිටලා මැච් එක බලලා.. මම ඇහැ ඇරෙනකොට උදේ 7.00 යි… ඉතින් ඒ වෙලාවෙ ඉඳලා මැච් එක බැලුවා… මැච් ඉවර වෙලා දවල්ට කාලා පොඩ්ඩක් ක්‍රිකටුත් ගැහැවුවා….

අද ලොක්කත් නැති නිසා වැඩට යන්නත් කම්මැලියි.. රසායනාගාරයට දුරකථන පණිවුඩයක් දීලා කෙරෙන වැඩ ගැන සොයා බැලුවා… ඊට පස්සේ තැනට විතර පොඩ්ඩක් රසායනාගාරය පැත්තේ ගියා… ඒ ගිහින් පැයකින් පමණ ඇල්කෙමිච්චි කතා කරලා කිවුවා ගෙදරට බඩු වගයක් ගන්න යන්න එන්න කියලා… ඒ සියල්ල ඉවර කරගෙන නිවසට එනවිට රෑ හතයි.. පැටියට කවලා නිදි කරවලා ඇල්කෙම්ච්චිත් නිදි… දැන් තමයි අද නිදහසක් ලැබුණේ ඊ මේල් වත් බලන්න….

උදෙන්ම ඇහැ ඇරුන නිසා හොඳටම නිදිමතයි… හෙට උදෙත් ඇහැ ඇරෙන්න එපායෑ… හෙට හමුවෙමු….

2011 මාර්තු 18 : අත්දැකීම් එකතු කරගන්න…. පසුව ඒවා බෙදාගන්න


ඊයෙ කිව්ව විදියට අද දිනපොත ලියන්න වෙන්නේ නෑ කියල හිතුවට කවදාවත් සිතු දේ වෙන්නෙ නෑ කියලා අදත් ඔප්පු වුනා… උදේ පාන්දර නැගිටලා කුණුකෙළ පිටින්ම ලංකාව බැට් කරනවා බැලුවා… මුල ඕවර 25 යනකොට නම් හිතුනා අනේ දෙයියනේ මේ මොකද වෙන්නේ කියලා.. කොහොම වුනත් මහේලයි ගන්දස්කාරයි දෙන්නා වැඩේ ඇදගෙන ගිය හැටියට ඉනිම ඉවර වෙනකල්ම බැලුවා…

උදේ රසායනාගාරයට ආවෙත් පොඩ්ඩක් පරක්කු වෙලා… ලොක්කා ඒ වනවිටත් ඇවිත් තිබුණේ නෑ.. කොහොම වුනත් හවස තිබෙන Group Meeting එකට ලෑස්ති වෙමින් තව තව දත්ත විශ්ලේෂණය කරමින් සිටින කොට තමයි අද මීටින් එක කැන්සල් කරනවා කියලා ඊ මේල් එක ආවේ… ලොක්කාට හදිසියේ ගෙදර යන්න වෙලා… එයා පවුලේ එකම දරුවා… පොරගේ සීයා තරමක් ලෙඩින් ඉන්නේ… මේ නිසා මෙයා තමයි ඔක්කොම බලාකියාගන්නේ… හැම නිතරම වෙනත් වැඩ… ඉතින් ලොක්කත් නැති නිසා මැච් එකේ ඉතිරි ටිකත් බැලුවා… ඇමරිකන් එවුන්ටත් ක්‍රිකට් උගන්න උගන්නා බැලුවා… මේ දවස්වල ඒ ගොල්ලන්ටත් ඇමරිකානු විශ්ව විද්‍යාල බාස්කට් බෝල් තරඟාවලිය හෙවත් March Madness නිසා හරියට වැඩ… සමහරු නම් දිනන විශ්ව විද්‍යාලවල නම් bracket එකකට දාලා ඔට්ටුත් අල්ලනවා… අපේ රසායනාගාරයෙත් ඔක්කොම වගේ brackets හදාගෙන ඉන්නේ.. මම නම් ඒකට සහභාගී වුනේ නෑ.. මට ලෝක කුසලානෙ තියෙනවනේ…

ඉතින් අදත් සුපුරුදු පරිදි වැඩ.. ඒ අතරේ වෙනත් රසායනාගාරයක මිතුරෙක් ආවා විද්‍යුත්-රසායනික විශ්ලේෂණයක් කරවගන්න…  ඉතින් අපි ඒ විශ්ලේෂණය යන අතරමගදී කතා වුනේ අපි අපි අතරේ තියෙන අත්දැකීම් ගැන… ඒ කියන්නේ රසායන විද්‍යාව පිළිබඳ පළපුරුද්ද… කොපමණ අපි යමක් පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් දරනවාද ? අපේ හැකියාවන්වල පරාසය කුමක්ද යනාදිය… ඇත්තෙන්ම අවුරුදු 5 ක් ආචාර්ය උපාධියක් කරන විට ලැබෙන අත්දැකීම් සම්භාරය, පළපුරුද්ද නම් කියලා නිම කරන්න බැහැ… මෙය කරන අතරතුරේදී අපට එහෙම දෙයක් නොදැනුනත්, අප ඉන් පිටතට ගියාම තමයි තේරෙන්නේ අපි කොපමණ දේවල් දන්නවාද කියලා… මේ සියල්ල අපි ප්‍රවේශමෙන් එකතු කරගත් දේවල්… අපි යමක් ඉගෙන ගන්නවා වගේම ඒ දේවල් වෙනත් දේට ආදේශ කරලා යමක් සාර්ථකව කරන්න ඉවහල් වන්නේ අත්දැකීම්.. පළපුරුද්ද (Experience) නැතිව ලෝකේ කිසිම දෙයක් කරන්න බැහැනේ.. ඕනම සම්මුඛ පරීක්‍ෂණයකට ගියාම මුලින්ම බලන්නේ ඒ සුදුසුකම් වලට අදාල පළපුරුද්ද තියෙනවාද කියලා… දේශපාලනය පිළිබඳ පළපුරුද්ද නැතිව රට පාලනය කරන්න ඇවිත් අපේ රටෙත් එක්කෙනෙක් දැන් අනුන්ගේ ලණු ගිලලා පරිප්පු කන හැටි පේනවනේ..

ඉතින් මේ ලෝකේ හැම දේටම පළපුරුද්ද අවශ්‍යයි.. කෙල්ලෙක් යාළු කරගන්න වුනත් experience එක තියෙන කෙනා වැඩේ හරියට කරගන්නවා.. පොල් ගහකට නගින්න වුනත්, මුලින් පුංචි පොල් පැලේකට නැගලා හරි පළපුරුද්ද තියෙන ‍කෙනා තමයි වැඩේ දන්නේ.. බයිසිකලයක් පදින්න වුනත් මුලින් සමබරතාවය ගැන පළපුරුද්දක් තියෙන කෙනාට තමයි වැටෙන්නේ නැතුව යන්න පුළුවන්… ඉතින් දැන් නම් සමහර මල්ලිලා නංගිලා, දූලා පුතාලා (ඔව් ඉතින් අපි දැන් වයසයි නේ) පොතේම ඇලිලා ගැලිලා අවුරුදු ගානක් ඉඳලා විභාග ඉහළින් සමත් වෙනවා. ඒක හරි හොඳයි.. නමුත් කුමක් හෝ අමතර වැඩක් කණ්ඩායම් ක්‍රීඩාවක් වගේ දෙයක් කරනවිට, ඔබට කණ්ඩායමක් සමඟ හැසිරෙන්නේ කොහොමද ? ජය-පරාජය විඳදරාගන්නේ කොහොමද කියන අත්දැකීම් වගේම, යමක් හරියට කරන්නේ කෙසේද යන්නටත් හොඳ අවබෝධයක් එනවා.. විශේෂයෙන්  පාසලේ ශිෂ්‍ය නායක තනතුරකට පත්වෙන්නට පුළුවන් නම්, ඉන් ලැබෙන අත්දැකීම් කියලා නිම කරන්න බෑ.. ඒකට නිකම් ඉඳලා පත් වෙන්න බෑනෙ.. විෂය බාහිර වැඩ කරන්න ඕන…. ඒ වගේම මෙසේ බාහිර ක්‍රියාකාරකම් කරනවිට මනස ඒකාකාරී අධ්‍යාපන රටාවෙන් මිදීම නිසා ප්‍රබෝධමත් වෙනවා. මේ නිසා අධ්‍යාපන කටයුතු වලට පවා පහසු වෙනවා..

ඉතින්, අපි ඉගෙන ගන්න ඕන… ඒක තමයි ප්‍රධාන කාරණය… නමුත් වෙනත් දේ ගැන අවධානය යොමු කිරීමත් වැදගත්. පාසලේ විෂය බාහිර ක්‍රියාකාරකම් කරන එක් අධ්‍යාපනයට බාධාවක් වන්නේ නැ.. නූතන අධ්‍යාපන ක්‍රම වලට අනුව ළමයා අවම වශයෙන් එක් හෝ බාහිර ක්‍රියාකාරකමක් කළ යුතු බවට අනිවාර්ය කර තිබෙනවා… ලංකාවේ රජයේ පාසල්වල නම් මේ තත්ත්‍වය තිබෙනවාද දන්නේ නෑ.. නමුත් ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නම් මේ කාරණය පිළිබඳ අවධානය යොමු කර ඇති බව මට දැනගන්නට ලැබුනේ අපි ඇල්කෙමි පැටියා ඇතුලත් කරන්න පාසල් හොයන අවස්ථාවේදීයි.. අපි ගිය අවුරුද්දේ ලංකාවේ පදිංචියට එන්න හිතාගෙන පැටියට පාසල් හෙවුවා.. ඒ සෙවිල්ලේදී තමයි මේ බව අනාවරණය වුනේ.. ඇත්තටම මෙය අගය කළ යුතු දෙයක්.. සමබර මනසක් ඇති ළමයාගේ වර්ධනය වෙනත් ළමුන්ට වඩා වැඩියි…

මේ නිසා නිතරම තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට අමතරව වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකමක් දෙකක් කරන්න.. තමන්ගේ දරුවෝ ඒවාට යොමු කරන්න… අමතර අත්දැකීම් සහිත දරුවා තිනරම අන් අයට වඩා ඉදිරියෙන් සිටිනවා වගේම තීරණ ගැනීමේදීත් ඉතා බුද්ධිමත්… කලබල වෙන්නේ නෑ.. ක්‍ෂණික තීරණ අරගෙන ජීවිතය අමාරුවේ දාගන්නේ නෑ… ඉගෙන ගත්තාම විතරක්ම ඇතිනම්, පාසල්වල ක්‍රීඩා කටයුතු කරන්නේ නෑනේ… ඉතින් මේ ගැනත් හිතලා බලන්න…

අත්දැකීම්, පළපුරුද්ද ජීවිතයට එකතු කරගන්න…. පසුව ඒවා අන් අය සමඟ බෙදාගන්න…

2011 මාර්තු 17 : සාන්ත පැට්‍රික්ගේ නාමයෙන් අනුමත වීම….


අද මාර්තු 17. ඒ කියන්නේ සාන්ත පැට්‍රික් දවස… මේක ඇවිල්ලා අයර්ලන්තයේ ආගමික නිවාඩු දිනයක් වුනත්, අමෙරිකාවෙ උන්ට නම් බොන්න හේතුවක් හදාගත්ත තවත් දිනයක් විතරයි… විශේෂයෙන් අයර්ලන්ත සම්භවයක් ඇති අය මෙය මහ ඉහළින් සමරනවා. අයර්ලන්ත සබඳකම් ඇති නොට්‍රිඩේම් විශ්ව විද්‍යාලය වැනි විශ්ව විද්‍යාලවල සාමාන්‍යයෙන් මේ දිනයට දවල් 12න් පස්සේ නොබීපු ශිෂ්‍යයෙක් හොයාගන්න අමාරු වෙන තරමට මේ සිද්ධිය නැගලා යනවා…

මෙහෙත් ටවුන් එකම කොළපාටින් සරසලා. බාර් උදේ ඉඳන්ම ඇරලා. කොල්ලෙක් එක්ක බාර් එකකට ඇතුළුවෙන කෙල්ලකට බියර් එකක් නිකං ලැබෙනවා… ඉතිං කෙල්ලො බොනවා හිටු කියලා… ඔන්න හවස මම දැක්කා කෙල්ලෝ දෙන්නෙක් බාගෙට හෙළුවෙන් තණකොල ගොඩක වාඩි වෙලා ඉන්නවා… කබරයා දාන්නත් ලඟයි වගේ… ඉතින් මෙන්න මෙහෙම මඳපමණ ඉක්මවා අරගෙන විලි සංගෙ නැතිව වැඩ කරන අයත් ඉන්නවා… මෙහේ තියෙන අයර්ලන්ත සබඳතා ඇති ආපනශාලා අද විශේෂ කෑම පවා ඉතා අඩු මිලට ලබා දෙනවා… බීපු ලමයෙකුගේ පින්තූරයක් දාන්න හිතුනත්, ලංකාවේ සදාචාරාත්මක නීති රීති වලට අනුව දාන්න හොඳ පින්තූරයක් නැති නිසා මේක දැම්මේ…. වැඩේ තියෙන්නේ කිසිම අයර්ලන්ත සම්බන්ධතාවයක් නැති වුනුත් අද කොළපාට ඇඳගෙන නැතිවෙන්න බොනවා… මෙහේ වුන්ට බොන්න හොතුවක් තියෙනවා නම් වෙන දෙයක් ඕන නෑ.. ඒ මදිවට අද ටිකක් රස්නෙයි… රස්නෙ දවසට බීපු එවුන් පාරෙ යනකොට බලන්න ලස්සනයි…

ඒ වුනාට අදත් මට බොහොම වැඩ අධිකයි… හෙට group meeting එකේ පර්යේෂණ පිළිබඳ කතා කරන්නේ මම… විශාල ප්‍රමාණයක් දත්ත තිබුණත්, ඒවා හරියට පිළිවෙලට ඉදිරිපත් කරන්න එපායෑ… නිකම්ම දත්ත ගොඩක් ඉදිරිපත් කරනවාට වඩා ඒවායින් කියැවෙන දෙැවල් සොයාගැනීම වැදගත් වගේම ටිකක් වෙලා යන වැඩක්… ඉතින් කොහොම කොහොම හරි දත්ත ටික විශ්ලේෂණය කරගෙන අපූරු Presentation එකක් හදාගත්තා…. දැන් නම් ගෙදර යන්න ඕන….මේ දවස් ටිකේම ගෙදර ගියෙත් රෑ වෙලා. ඇල්කෙමිච්චිගෙන් බර බරේ….

හෙට මීටින් එක ඉවර වෙලා යාළුවෙකුගේ ගෙදර පාටියක්… රෑ වෙනකල් පාටිය යනවා.. දන්න විදියට සිංදුත් කියනවා…. ඒ නිසා හෙට නම් දිනපොත ලියන්නට බැරි වෙන හැඩයි… දැම්මම කියලා තියන එක හොඳයිනේ… උදේ නැගිටලා ලංකාවයි නවසීලන්තෙයි තරඟය බලන්නත් එපායෑ.. මොන දේ තිබුණත් ඒව අතාරින්නේ කොහොමද ?

එහෙනම්…… අනිද්දට හමුවෙමු…

2011 මාර්තු 16 : අපූරු හීනෙ


ඊයෙ රෑ ගෙදර ආවට පස්සේ V කියන රූපවාහිනී වැඩසටහනේ මේ වාරයේ අවසාන වැඩසටහන (season finale) නැරඹුවා.. සාමාන්‍යයෙන් මම විද්‍යාත්මක වැඩසටහන් හෝ විද්‍යාත්මක කතා මාලාවන් බලන්න කැමතියි… ඉතින් මේ වැඩසටහනත් බොහොම ආසාවෙන් බලනවා… මගේ වයසේ කට්ටිය දන්නවා ඇති අසූ ගණන්වල ලංකාවෙත් මේ V කියන වැඩසටහනේ ඉස්සරම ඉස්සර කතා මාලාවක් රූපවාහිනියේ පෙන්නුවා.. ඒකෙ හැටපු ඩයනා කියන රැජිනගේ දුව වන ඇනා තමයි දැන් රැජින වෙලා ඉන්නේ…

ඉතින් මේව බලලා නින්දට ගියාම විකාරනේ පෙනෙන්නේ… ඔන්න ඉතිං මමත් ලොක්කෙක් වෙලා මගේම කියලා කොම්පැණියක අයිතිකාරයෙක්.. මගේ අදහසක් තිබුණා ගාල්ලේ ධර්මපාල උද්‍යානය මිලට අරගෙන ඒකෙන් බාගෙක විශාල ගොඩනැගිල්ලක් හදන්න.. ඉතිරි බාගෙ ලස්සනට නවීකරණය කරලා පොඩි එවුන්ට හොඳට සෙල්ලම් කරන්න පිළිවෙලක් ඇති උද්‍යානයක් හදන්න… ඉතින් මේකට ඕන තාක්‍ෂණය ලංකාවෙ තිබුණෙ නැහැ.. මේ නිසාම මම පිටසක්වල ජීවීන් එක්ක සහයෝගයෙන් මේ ගොඩනැගිල්ල හැදුවා… ඒකේ අයිතිකාරයා මම… මේක හරි උස වීදුරුවලින් වටකරපු ගොඩනැගිල්ලක්… තට්ටුම 50 ක්… ආසාවෙ බෑ… ඉතින් ඕකෙ ලස්සන බලබල ඉන්නකොට තමයි ඇහැ ඇරුණෙ..

මට ඉතින් වැඩිය හීන මතක හිටින්නේ නෑ.. ඒත් මේක නම් මතක තිබුණා…

උදේ ඇහැඇරිලා සුපුරුදු පරිදි වැඩට ගියා… හොඳටම වැඩ.. අද වොලිබෝල් තරඟෙකුත් තිබුණා.. ඒකත් දිනුම්… හවස තවත් සම්මන්ත්‍රණයක් තිබුණා… ඒකෙ දේශකයාගේ පර්යේෂණය වුනේ ඇමෝනියා හදන්න උත්ප්‍රේරකයක් හොයාගන්න එක… සාමාන්‍යයෙන් ඇමෝනියා හදන්නේ හේබර් බොෂ් ක්‍රියාවලිය මගින්.. මෙහිදී නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වායුගෝල 200 ක පීඩනයකින් යකඩ උත්ප්‍රේරකයක් මතින් අංශක 300 – 500 උෂ්ණත්‍වයකට රත් කරලා ඒ මගින් තමයි ඇමොනියා හදන්නේ මෙයින් මූලික වශයෙන්ම සිදු වන ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ඵල ප්‍රමාණය 15% ක් පමණයි.. මෙයින් ඉතිරි වන හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් නැවත භාවිතයට ගන්න නම් විශාල ශක්ති ප්‍රමාණයක් වැය කරලා පිරිසිදු කරන්න වෙනවා… මේ නිසා ලොව පුරා පර්යේශකයෝ විවිධ උත්ප්‍රේරක සොයනවා… ඒ වගේම මේ ක්‍රියාවලිය නිසා ලොවට එකතු වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ලෝකයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් 1% ක්… ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව සිදු කරන්න උත්ප්‍රේරකයක් සොයාගත්තොත් ලෝකයේ වසරකට නිපදවෙන ඇමෝනියා ටොන් මිලියන 140 ක පමණ ප්‍රමාණය නිපදවීමේදී එකතු වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වගේම එයට වැයවෙන  ශක්ති ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවනි….

ඒ පර්යේෂකයාගේ කණ්ඩායම සොයාගත් සමහර දේ වැදගත් වුනත්, තවමත් හරිහැටි ඵලදායී ලෙස ඇමෝනියා නිෂ්පාදනයට යොදාගන්න බැහැ… කවුරු හරි කවදා හෝ ඒ දේ හොයාගනීවි…..

 

2011 මාර්තු 15 : දවස පැය 48 ක් වුනා නම්…………


සමහර වෙලාවට අපි  හැමෝම හරිම කාර්යබහුලයි.. එතකොට අහස උසට වැඩ කියලා කියනවා… අද මටත් ඒ වගේ… උදේ ඉඳලාම වැඩ…අළුතෙන් සංයෝග ගණනාවක් හදන්න කටයුතු කළා.. ඒ අතරේම පූසෙක් හම ගහන්නත් කටයුතු කළා… ඒ කියන්නේ හැමදාම හදලා හදලා හරිගියේ නැති සංයෝගයක් මම වෙනත් ක්‍රමයක් යොදාගෙන හැදුවා…. ලොක්ක නම් ඒ අදහස එකහෙළාම ප්‍රතික්‍ෂේප කළා… ඒත් මම මගේ තනි කැමැත්තට ඒක හැදුව… පෙනුමෙන් නම් වැඩේ හරි පාටයි. හෙට විශ්ලේෂණය කරලා බලන්න ඕනා… ලොත්කා වැරදියි කියල ඔප්පු කරනකලි ඉවසිල්ලක් නෑ…

ගෙදර ඇවිත් රෑට කාලා ඩිංගක් රූපවාහිනිය නැරඹුවා… ඒ අස්සේ ඇල්කෙමිච්චි පරිඝණකය අයිති කරගෙන… රෑ 11.30 යි මට ආයෙ ලැබෙනකොට..

ජපානයේ න්‍යෂ්ඨික ප්‍රතිකාරක වලින් විකිරණ පිටවෙනවාලු… සමහරවිට මේ විකිරණ වලාකුළු ඔබ සිටිනා දිහාටත් පැතිරෙන්නට පුළුවන්… මේ විකිරණ වලින් අපට අනතුරක් නැති වුනත්, මේ ගැන පොඩ්ඩක් කතා කරන්න සිතුවා….. මේ විකිරණවලට නිරාවරණය වීමෙන් ලියුකේමියාව, පියයුරු පිළිකා, වකුගඩු, උදරයේ, සමේ, ආදී වශයෙන් විවිධ පිළිකා සැදෙන්නට පුළුවනි. පිළිකා සෑදීමේ අවදානම ඇත්තේ විකිරණ මනින ඒකකය වන මිලිසිවර්ට් 500 ට වඩා වැඩි ප්‍රමාණයක් ශරීරගත වූවොත් පමණක් බවයි අමෙරිකානු න්‍යෂ්ඨික නියාමන අධිකාරිය පවසන්නේ…..

විකිරණවලට ඍජුව නිරාවරණය වීම වලක්වාගන්න ප්‍රධාන ක්‍රම තුනක් තිබෙනවා.

කාළය. – විකිරණ වලට නිරාවරණය වීම අවම කරගන්න ඒ ඒ විකිරණ ප්‍රභවයට නිරාවරණය වීමේ කාළය අනුව අවම කරගන්නට පුළුවන්. නමුත් මෙවැනි විකිරණ කාන්දුවකදී නම් ඒ අවස්ථාව නැහැ… කරන්න තියෙන හොඳම දේ පුළුවන් තරම් ආවරණය වූ තැනක සිටීමයි.

දුර. – විකිරණ ප්‍රභවයේ සිට ඇති දුර අවම වන විට සිදුවන හානියද අවමයි… මේ අනුව ජපානයේ ඇතිවන විකිරණ කාන්දුවක ප්‍රබලතාවට අපට නොදැනෙන්නට පුළුවනි.. නමුත් දීර්ඝකාලීන ප්‍රතිඵල අපට දැනෙන්නට පුළුවන්…

ආවරණය – විකිරණ වලට නිරාවරණය වීම වලක්වන ආවරණ තිබෙනවා. මේවා විශේෂයෙන්ම තනා ඇත්තේ ඊයම් වලින්.. ඊයම් විසින් විකිරණ අවශෝෂණය කරනවා… කෙසේ වෙතත් මේ ආවරණ ඇත්තේ දැඩිව විකිරණ නිරාවරණයට හසුවන පුද්ගලයන්ගේ ආරක්‍ෂාවට පමණයි….

ජපානයේ විකිරණ කාන්දුවෙන් අප ආරක්‍ෂා වෙන්නේ කෙසේද ?

මෙයින් අපට ඍජු බලපෑමක් නැහැ.. නමුත් ආනයනිත ආහාර ආදී දේ ගැන සැළකිළිමත් විය යුතුයි… දැනටමත් රජයෙන් ඒ පියවර අරගෙන ඇති නිසා අප ඒ ගැන කලබල විය යුතු නැහැ.

මේ ගැන තරමක් වැඩිදුර විස්තරයක් ඉඩ ලැබුණ විටකදි ලියන්න උත්සාහ කරන්නම්… ලියන්න දහසක් දෑ ඇතත්, වෙලාව මදිකම නිසාම කිසිවත් ලියැවෙන්නේ නැහැ.. ඇල්කෙමියාගේ රසායනාගාරයට මාසයක් යනකම් කිසිවක් ලියන්නට බැරි වුනා… විද්‍යාව.com එකටත් ලිපියක් ලියන්න වෙලාවක් හොයාගන්න බැරි තරමට කාර්ය බහුල වුනා…. ඉක්මනටම වෙලාව හොයාගන්න ඕන… දවස පැය 48 ක් වත් දිග වුනා නම් කියලා හිතෙන්නේ මෙන්න මේ වෙලාවට…

2011 මාර්තු 14: 3.14 සුබ “පයි” දිනයක්……..


අද පයි දිනය…. ඒ කියන්නේ ඉංගිරිසියෙන් නම් Pi , ඒ කියන්නේ 3.14159265358979323846264338327950288419716939937510 ඇතුළුව තවත් ඉලක්කම් මිලියන 100ක් දක්වා විහිදෙන ලෝකයේ ජනප්‍රියම අංකයයි…

ඉතින් මේ පයි දිනය සමහරු නම් ඉහළින්ම සමරනවා.. විශේෂයෙන් ගණිතඥයෝ… (අර ගණිකාධිකාරී වරියො නම් π දිනේ සමරන්නේ වෙන විදියකටලු, අනේ මන්දා….)  ඉතින් මේ දිනය වැදගත් වෙන්නේ ඇයි ? ඊට ඉස්සර මේ පයි කියන ගණිත සළකුණේ වැදගත්කම බලමු…

  • π කියන සලකුණ ලබා දී තිවෙන්නේ 22/7 කියන අගයටයි.
  • මෙය කිසිදාක භාගයක් හෝ භින්නයක් ලෙස ප්‍රකාශ කිරීමට නොහැකියි.
  • අපරිමේය අගයයකි, කොපමණ බෙදුවත්, මෙහි දශමස්ථානවල නියතයක් දැකිය නොහැකියි.
  • මෙම අගය අත්‍යන්තරයි, එනම් කිසිම ගණිත වීජගණිත අගයයක්, මූලයක්, හෝ වර්ගයක් මෙම අගයයට සමාන නොවේ.
  • මෙය සඳහන් කිරීමේදී සාමාන්‍යයෙන් Pie යන ආකාරයෙන් ශබ්ධ කෙරේ.
  • මෙය π ලෙස නම් කර ඇත්තේ ග්‍රීක වචනයක් වූ περίμετρος (perimeter) යන වචනයේ මුල අකුර නිසා යැයි පැවසෙනවා.
  • එසේ නම් කර ඇත්තේ වෘතයක පරිමිතිය සහ පරිධිය අතර ඇති අනුපාතය වන π, නියතයක් වන නිසා වන්නට හැකි බව සඳහන් වෙනවා.

මේ අංකය වගේම සළකුණත් බොහොමයක් දෙනාට විශේෂිතයි… සමහර ලොකු ලොකු විශ්ව විද්‍යාල පයි දිනේ මහ ඉහලින් සමරනවා…  මෙහි විශේෂය වන්නේ විවිධ ගණිතශයෝ සහ විවිධ කාලවල හිටපු පඬිවරු මේ අගයය එකිනෙකාගෙන් පරායක්තව (independently) එක හා සමාන අගයයකට ගණන් හදපු එකයි.. ඒ කියන්නේ ඒ සියල්ලන්ගේම අවසාන උත්තරය එක සමාන අගයයකට පැමිණීමයි…මෙහි අගයය දශම ස්ථාන 1012 දක්වා ගණනය කර තිබෙනවා. ඒ වුනත් වෘතයක පරිධිය හරියටම සොයන්නට වැඩිම වුනොත් දශමස්ථාන 12 ක් තිබුණොත් ඇති. දශමස්ථාන 11ක අගයෙන් කුඩා වෘතයක සිට  පෘථිවියේ ප්‍රමාණය තරම් ඇති විශාල වෘතයක පරධිය, මිලි මීටරයක් දක්වා නිවැරදිව ගණනය කළ හැකියි… දශමස්ථාන 39ක් දක්වා ගණනයකළ π මගින් අපට දැකිය හැකි තරම් ප්‍රමාණයක් දුර ඇති විශ්වයේ ඇසිරිය හැකි තරම් විශාල වෘතයක පරිධිය හයිඩ්‍රජන් පරමාණුවක් තරම් කුඩා අගයයක් දක්වා නිවැරදිව ගණනය කළ හැකියි. එයින්ම මේ සළකුණ සහ ඊට අදාල අගයේ ප්‍රබලතාවය ඔබට වැටහෙනවා ඇති.

අර යකා බැඳගත් ගමරාල මේ සිද්ධිය දන්නවා නම් යකාට කියන්න තිබුණා π වල අගයය නියත වශයෙන් ගණනය කරන්න කියලා… එහෙම වුනා නම් යකා තවමත් ගනන් කරනවා….

ඉතින් පයි දිනය හොඳට සමරන්න…. සුබ දවසක්…

2011 මාර්තු 12 : ජාන විකෘති කර කාර්යක්‍ෂම මිනිසෙක් ඇති කළ හැකි ද? සහ 2011 මාර්තු 13… අමතක වුනා නෙවෙයි….


මේ සටහන ලිවුවේ 12 වෙනිදා… මේ ලියන අතරේ හදිසියේම ඇල්කෙමිච්චි ඇවිත් අපේ යාළුවො ටික කුකුල් අත්තටු කන්න කැලෑ මීහරක් අත්තටු (Buffalo Wild Wings) ආපන ශාලාවට යනවා කියලා මාව ඇදගෙන ගියා… සටහන අන්තර්ජාලයට එකතු කරන එක ඉන් වැලකුණා… ආයෙ ගෙදර එනවිට රෑ එකයි… ඉතින් දවස පහු වෙලා ඉවර නිසා අද දවසත් එක්කම ඒ සටහන දාන්න හැතුවා…

ලංකාව සෙල්ලම් නොකළත් හොඳ තරඟයක් බලා ගන්න පුළුවන් නිසා ඊයෙ රෑවෙලා නිදියගත්තත් උදේ 4.30 ට විතර අවදි වෙලා ඉන්දියා – දකුණු අප්‍රිකා තරඟයේ පළමු භාගය නැරඹුවා… කොච්චර වයස ගියත් සචින් ටෙන්ඩුල්කාර්ගෙ පිති හරඹය නම් තවමත් එදා වගේමයි… භූමි කම්පාවට හසු වුන ජපන් ගොඩනැගිල්ලක් වගේ වුන ඉන්දීය ඉනිමෙ අවසාන භාගය ක්‍රිකට්වල අවිනිශ්චිතතාවය මොනවට කියාපෑවා….. වරෙක ලකුණු 400 ඉක්මවා යන්න බලාපොරොත්තු තියාගෙන හිටිය ඉන්දියාව ලකුණු 296 කට සීමා කරන්න දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ටත් වඩා ඉන්දීය පිතිකරුවො ක්‍රියාකළ ආකාරය හරිම ප්‍රශංසනීයයි.

යන්තම් නිදිමතක් ආපු නිසා ඉන්දීය ඉනිම අවසන් වෙනකොටම වගේ ඇඳේ ඇලවුන මම ආයෙ අවදි වුනේ ඇල්කෙමිච්චිගෙ කෑගැහිල්ලට… ඒක ඉතින් දැන් සාමාන්‍ය දෙයක් වුනත්, තවත් වැඩිපුර ලෙඩ දාගන්න බැරි නිසා  අවදි වුනා… පැටියත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරලා රසායනාගාරයට යන්න සූදානම් වුනා….

රසායනාගාරයේ පරීක්‍ෂණයක් අතරතුරේ ජපානයේ නවතම තතු සොයන්න CNN වෙබ් අඩවියට ගිය වෙලේ අපූරු ප්‍රවෘත්තියක් දුටුවා… මෙය බොහෝ දෙනෙකුට අදාල නොවුනත්, තරමක සත්‍යයක් ඇති නිසාම සරළව පරිවර්තනය කරලා දිනපොතේ ලියන්න හිතුවා… මෙන්න මෙතනින් ඒ ප්‍රවෘත්තියට යන්න..

ඒකෙන් කියැවෙන්නේ යම් යම් අය නිදාගන්නා පැය ප්‍රමාණය අනුසාරයෙන් කරන ලද පරීක්‍ෂණයක ප්‍රතිඵලයි… ඔබ දන්නවා සමහර පුද්ගලයෝ වැඩිය නින්දක් නොලබන අය.. ඒ වුනත් ඔවුන් සාමාන්‍ය නින්දක් ලබන අය මෙන්ම හරි හරියට ගජරාමෙට වැඩ… ඒ අය අනිත් අය වගේම හෝ ඊටත් වඩා සාර්ථකයි.. මෙසේ අඩු නින්දෙනුත් ඉහළ ප්‍රතිඵල ලබන්නන්ගේ hDEC2 නම් ජානය විකෘති වීම නිසා මෙසේ ඔවුනට අඩු නින්දක් ලබාගෙන වැඩ කිරීමේ හැකියාවක් ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ

ඉතින් මට හිතුන දේ තමයි, මේ ජානය මේ අයුරින් විකෘති කර නවතම මිනිසෙක් බිහි කළොත්, ඔහු සාමාන්‍ය පැය හතරක නින්දක් ලබා ඉන් අනතුරුව සිය වැඩකටයුතු කිරීම මගින් අනෙක් මිනිසුන්ට වඩා කාර්යක්‍ෂමව සහ වැඩි කාළයක් වැඩ කළ හැකි නේද ? කියලයි.. නමුත් ඒ ජානය සම්බන්ධ වෙනත් ජානවලට ඒ විකෘතියෙන් බලපෑම් ඇත් වෙන්නත් පුළුවන්… එහෙම වුනොත් කාර්යක්‍ෂම මිනිසෙක් වෙනුවට විකෘති මිනිසෙක් ඇති වෙන්නත් බැරි කමක් නෑ…

කොහොම වෙතත්, ජාන එක්ක සෙල්ලම නම් භයානකයි…

2011 මාර්තු 11 : යළි අවදි වූ 2004 සුනාමියේ මතකය…………


“අන්න සුනාමියක් එනවාලු නැගිටින්න”,  කියලා ඇල්කෙමිච්චි කෑගහන සද්දෙට ගැස්සිලා ඇඳෙන් වැටිච්චි මම සාලෙට දුවගෙන ආවෙ මෙදාපාර නම් ඉවරම තමයි කියලා හිතාගෙන…. ටීවී එකට මූණ දාලා බැලින්නං මේ සුනාමිය ඇවිත් තියෙන්නේ ජපානෙට….

ඒ වුනත් ගියපාර ආපු සුනාමියෙ මතකය මේ සුනාමිය දැක්කාම අළුත් වුනා..

ගියපාර සුනාමිය එනකොට මම හිටියේ කඳානේ යාළුවෙක්ගේ ගෙදර.. අපි ලංකාවට ගියේ දෙසැම්බර් 19 වෙනිදා… එදා ඉඳලා එක එක දේවල් තිබුණා… රසායන විද්‍යා ආයතනය සංවිධානය කරපු, පිටරට ඉඳලා ආපු ශිෂ්‍යයින් ඉදිරිපත් කරන පර්යේෂණ ඇතුලත් පුංචි දේශන කිහිපයක් තිබුණෙත් මේ අල්ල පනල්ලෙම තමයි… ඒවා ඉවර වෙලා අපේ මහගෙදර ගිහින්, ඇල්කෙමිච්චිගේ පවුලේ අයත් එක්කලා කතරගම ගියා. අපි දෙන්නා ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක ලඟට වෙලා ඇල්කෙමිච්චිගේ ගෙදර අය වාහනෙන් එනකල් හිටියේ 23 වෙනිදා උදේ 9.00 ට විතර.. එදා සුනාමිය ආවනම් අපි දෙන්නත් ඉවරයි.. ඔක්කොම එක්කලා කතරගම ගිහින් අපි දෙන්නා විතරක් 24 වෙනිදා හවස බස් එකේ නැගලා කොළඹ ආවේ 25 වෙනිදා දෙව්රුවන් සර්ගේ ගෙදර නත්තල් පාටියට සහභාගී වෙන්නයි….. ඉතින් එදා එහේ ගිහින් දවසම ගතකරලා 25 රාත්‍රියේ අපි දෙන්න හිටියේ ගඳානේ මගේ මිතුරෙක් වූ ඩැරල් ගේ ගෙදර…ලංකාවෙ ඉන්නකොට නම් හැම අවුරුද්දේම නොවරදවාම 25 වෙනිදා ගතවෙන්නේ දෙව්රුවන් සර්ලගේ ගෙදර… මෙහේ ආවට පස්සේ ඒකත් නැති වුනා… ඇටර්නි ඇට් වෙරි ලෝ – උනන්දුවයි, මසාජ් ක්ලිනික් එකක් දාගෙන ඉන්න පංචකර්ම ආයුර්වේද දොස්තරයි, දඬුබස්නාමානයේ කෝණාරයි නම් තවමත් නොවරදවාම යනවා, නොමිලේ බොන්න ලැබෙනව නේ…

උදේ පාන්දර බැංකුවාගෙන් (ඌ සෙලාන් බැංකුවේ වැඩ කරන්නේ) කෝල් එකක් එනවා… මචං. අන්න ගාල්ලේ මුහුද ගොඩගලනවා… අපි බම්බලපිටියට යනවා ඒක බලන්න කියලා.. මම ඉතින් කිවුවා කොහොමත් පෝය දවසට ගාල්ල පැත්තේ මුහුද ගොඩගලන එකේ ඕක අමුතු දෙයක් නෙවෙයිනේ මොනවා බලන්නද කියලා…එතකොට තමයි බැංකුවා කිව්වේ මේ සුනාමියක් එනවා කියලා…. අපි ලහි ලහියේ ඇල්කෙමිච්චිගේ ගෙදර එනකොට තමයි සුනාමිය කැළණි ගඟ දිගේ ඉහළට ගියේ… ඉක්මනටම ඇග්කෙමිච්චිගේ පවුලේ අයට දුරකථන පණිවිඩයක් ගත්තේ ඒ ආරංචිය කියන්න… මොකද, ඒ අය කතරගම ඉඳලා 26 වෙනිදා උදේ කිරින්දේ යන්නයි හිතාගෙන උන්නේ.. ඒ වෙනකොටත් ඒ අය කිරින්ද බලා ගිහින්.. කොච්චර කෝල් කළත් ෆෝන් එකට කතා කළේ නැති වුනාම අපි දෙන්නගේ බය සෑහෙන වැඩි වුනා… ටිකෙන් ටික රූපවාහිනියේ වෙච්ච සිද්ධියේ පින්තූර වැටෙනකොට අපේ අයට මොනවා වෙලාද කියලා හිතාගන්න බැරුවයි හිටියේ.. එතකොට තමයි ඒ පණිවිඩය අපට ලැබුණේ….

ඒ…. ඒ අය කිරින්ද බලා ගිහින්…… වෙනදා පාර අයිනේ එළවළු කඩවලින් එළවළු ගන්නේ නැති ඇල්කෙමිච්චිගේ මෑණියන්දෑට එදා එළවළු ගන්න හිතිලා.. ඒ නවත්වපු වෙලේ ගොඩක් වාහන හරවගෙන පණ එපා කියලා යනකොට තමයි සුනාමිය පිළිබඳ ආරංචිය ලැබිලා තියෙන්නේ… එහෙම නැත්නම් සමහරවිට ඒගොල්ලෝ දිගටම ගිහින් සුනාමියට අහුවෙන්නත් ඉඩ තිබිලා තියෙනවා… කොහොම හරි ඒගොල්ලෝ 26 රෑ ඇඹිලිපිටිය පාරෙන් ගෙදර එනකල් අපි දෙන්නට සැනසීමක් තිබුණේ නැහැ…. ඒ අතරේ මෙහේ ඉන්න අයට සුනාමිය පිළිබඳ ආරංචි වෙලා ඔක්කෝම කලබල වෙලා.. දෙපාර්තමේන්තුවේ ලොක්කා (වන මගේ මහාචාර්යවරයා) බොහොම කණගාටුවෙන් ඉඳලා තියෙන්නේ මගෙන් තොරතුරක් නැති එක ගැන.. එයා දෙපාර්තමේන්තුවේ හැමෝටම ඊ මේලයක් මගින් දැනුම් දීලා තියෙනවා අපි දෙන්නා ලංකාවට ගිහින්, අපේ තොරතුරක් කාට ලැබුණත් එයාට දන්වන්න කියලා… කොහොම වුනත් 26 හවසම මම ලොක්කට කතා කරලා කිවුවා අපි සනීපෙන් ඉන්නවා කියලා…..

දන්න කිසි කෙනෙකුට ජීවිත හානි වෙලා නොතිබුණත්, ගාල්ලේ ඇන්ටිලාගේ කඩ හතරම දියබත් වෙලා ලොරි දෙකත් ආගිය අතක් නැති වුන එක තමයි දන්න කියන කෙදෙකුට වුන ලොකුම හානිය… පසුදා ඉඳලාම විපතට පත් අයට උදවු කරන්න කට්ටිය ලෑස්ති වුනත්, වැඩේ සංවිධානය කරගන්න බැරි වුන නිසා රූපවාහිනී සංස්ථාවට අපෙන් දෙන්න පුළුවන් විදියේ ද්‍රව්‍යමය ආධාර දීලා සෑහීමකට පත් වෙන්න වුනා… ඒ සුනාමියේ මතකය තවමත් හිතෙන් ඈත් කරගන්න බැරිවුනා වගේම මේ සුනාමිය නිසා එය නැවත අවදි වුනා…..

ඒ අස්සේ පැටියගේ මාළු ටැංකියට අළුතෙන් ගෙනාපු පුංචි මාළු දෙන්නෙක් මියගිහින්…උන් දෙන්නා ගෙදර වැසිකිලියට හරහා මුහුදට යවලා අවසාන කටයුතු බොහොම චාම් අන්දමින් නිම කළා….. දැන් ගෙදර ගිහින් ටැංකිය පිරිසිදු කරන්නත් වෙන්නේ මටම තමයි…. ටැංකිය එයාගේ වුනාට වැඩ මට…. මොනවා කරන්නද ? ඕවා ඔහොම තමයි….

2011 මාර්තු 10 : ලොවට අළුතෙන් යමක් දායාද කරන්න පුළුවන් නම්…….


ඔන්න අදත් බරටම වැඩ.. ඒ අතරේ මම අළුතෙන් හදපු සංයෝගයක ස්ඵටික හැදිලා… ඒක එක්ස් කිරණ විවර්තකය (X-Ray Diffractometer) කියන උපකරණය ආධාරයෙන් නිරීක්‍ෂණය කරලා එක්ස් කිරණ කදම්භයක් මාර්ගයෙන් ඒ ස්ඵටිකයේ පරමාණු සැකැස්ම සොයාගන්න පුළුවන්… අර ගයිගර්-මාස්ඩන් පරීක්‍ෂණය මතකනේ… ඒ වගේ…. ඒ සැකැස්ම ගණිත සමීකරණවලින් යුත් මෘදුකාංගයක් ආධාරයෙන් සැකසූ විට අදාල ස්ඵටිකයේ අඩංගු සංයෝගයේ පරමාණු සැකැස්ම ලැබෙනවා… මෙන්න මේකට තමයි ස්ඵටික ව්‍යුහය කියලා කියන්නේ… අකාබනික රසායනඥයෙකුට තමන් හැදු සංයෝගයක ස්ඵටික ව්‍යුහ රූපයක් ලබාගැනීම හරිම උද්දාමයට පත් වන අවස්ථාවක්. ඒ මොකද කියනවා නම් එමගින් තමන් හැදූ සංයෝගයේ පරමාණුක සැකැස්ම හරියටම කියන්න පුළුවන් නිසා…

මේ තියෙන්නේ ස්ඵටික....

ඉතින් මමත් මේ ස්ඵටික ව්‍යුහ පින්තූර ලබාගන්න හරිම කෑදරයි… මේ ස්ඵටික ලබා ගැනීම බොහොම අසීරු දෙයක්, මුලින්ම අදාල සංයෝගය පිරිසිදු කරගන්න ඕන. ඒවායේ ඇති විවිධ අපද්‍රව්‍ය, මූලික ප්‍රතිකාරක, ආදිය අවම කරලා සුපිරිසිදු තත්ත්‍වයට ගේන්න ඕනා.. ඉන් පසු ඒ සංයෝගය සුදුසු ද්‍රාවණයක දිය කරලා, ඒ සංයෝගය දිය නොවන වෙනත් ද්‍රාවණයක් විසරණයෙන් මිශ්‍රවීමට සලස්වන්න ඕන… විවිධ ක්‍රම ඇතත්, පහසුම ක්‍රමය එයයි. විශේෂයෙන්ම මේ සංයෝග වාතයට නිරාවරණය වූ විට වියෝජනය වෙන සංයෝග නම් ඒ කාර්යය ඔක්සිජන් සහ ජලවාෂ්ප රහිත පරිසරයක, ඒවා රහිත ද්‍රාවණවල දියකළ යුතු වෙනවා… මේ නිසා මේ ස්ඵටිකයක් ලබා ගැනීම හරියට දරුවෙකු හදාගන්නවා වගේ කාරියක්.. ඒ නිසා අකාබනික රසායනඥයො මේ ස්ඵටික වලට හරිම කෑදරයි.. විශේෂයෙන් කිසිම කෙනෙක් නොහදපු, කවදාවත් කවුරුවත් නොහිතපු සංයෝගයක් හදාගත්තාම හරිම ආඩම්බරයි…. ඉතින් අද මමත් ඒ වගේ සුවිශේෂ සංයෝගයක් ස්ඵටික කරලා පින්තූරයක් ලබාගත්තා.. ඒක සින්ක් කියන මූලද්‍රව්‍යය මා විසින් තැනූ තවත් කාබනික අණුවක් සමඟ මිශ්‍ර කර ලබාගත් සංයෝගයක්… මේවැනි සංයෝගයක් සින්ක් මූලද්‍රව්‍යය අනුසාරයෙන් කවදාවත් හදලා නැති නිසා ඒක සුවිශේෂයි..

සින්ක් වලින් හදපු සංයෝගයක ස්ඵටික පින්තූරයක්... හැබැයි මම හදපු සංයෝගය නෙවෙයි....

ඉතින් ඒ අතරෙම හෙට තියෙන group meeting එකට presentation එකක් හදන්නත් අද දවස ගත වුනා.. ඒ සියල්ල කරන ගමන් තවත් ප්‍රතික්‍රියා දෙකකුත් කරන්න අමතක වුනේ නැහැ… මෙන්න මෙහෙමයි අද දවස ගෙවුනේ… ඉතින් හැම දවසකම වගේ අළුතෙන් යමක් සොයාගන්න, ලොවට යමක් දායාද කරන්න හිත ගත වෙහෙසන නිසා මට නම් මේ ජීවිතය හරිම තෘප්තිමත්…

2011 මාර්තු 09 : යුරේකා………… යුරේකා…..


අද අහස උසට වැඩ තිබුණත් ටිකක් සන්තෝස දවසක්. උදේ වරුවෙ කරපු ප්‍රතික්‍රියා දෙකකින් ලැබුණ සංයෝග පිරිසිදු කළා. ඒවා වියලන්නට රික්ත පොම්පයක් භාවිතා කර ඒවායේ අන්තර්ගත වාෂ්පශීලී ද්‍රාවණ අයින් කරනවා. ඉන්පසු ඒ සංයෝගයේ පිරිසිදුභාවය NMR – (Nuclear Magnetic Resonance) – (න්‍යෂ්ඨික චුම්භක අනුනාදය) කියන පරීක්‍ෂණය මඟින් නිර්ණය කරනවා… ඉතින් උදේ වරුවම ඒ සංයෝග පිරිසිදු කරන්නත් ඒ පරීක්‍ෂණ කරන්නත් ගතවුනා…. වොලිබෝල් කණ්ඩායමේ නායක ජිම් ඇවිත් අද වොලිබෝල් තරඟයක් තියෙනවා නේද කියලා මතක් කරනකල් වැඩ… ඊට පස්සේ වොලිබෝල්  තරඟයට සහභාලි වෙන්න ක්‍රීඩාගාරයට ගියා… අද හමුවෙච්ච කණ්ඩායම ටිකක් හොඳ කණ්ඩායමක් වුනත් තරමක තරඟයකින් පස්සේ පළමු වට දෙකෙන්ම ඔවුන්ව පරාද කරන්න පුළුවන් වුනා.. තුන්වෙනි තරඟය සුහද තරඟයක් ලෙස පැවැත්වුවා… ආයෙම දුවගෙන ආවේ ඉතිරි වැඩ ටික ඉවර කරන්න…මෙන්න රසායනාගාරයට එනකොටම ලොක්කා ඇවිත් කියනවා පොතත් අරන් ඇවිත් හවසට එයාව හමුවෙන්න එන්න කියලා…. මම හිතුවේ මට දෙහි කපන්නවත් ද කියලා… මේ දවස්වල වැඩ වැඩිය කෙරුණෙත් නෑ.. ගිය සතියෙම පෝස්ටරයක් බදාගෙන දැඟලුවා…  හොඳ වෙලාවට මම ඊලඟට කරන්න තියෙන පරීක්‍ෂණ ටික සැලසුම් කරලා තිබුණේ… ඒ වගේම මගේ දත්ත ටික විශ්ලේෂණය කරලා තිබුණේ..

ඔන්න ඉතින් හවස ලොක්කා හමු වුනා… කතා කරගෙන යත්දි එක ප්‍රතික්‍රියාවක හැදෙන සංයෝගය වෙනස් බව අපි දෙන්නටම තේරුණා.. ඒකට හේතුව කොහොම හරි මම හොයාගත්තා.. ඒකට කියන්නේ Eureka moment කියලා… ඔබටත් ඒ වගේ අවස්ථා උදාවෙලා ඇති…. එකපාරටම ඔළුව උඩ ලයිට් එකක් පත්තු වෙනවා වගේ දැනෙන වෙලාවල්…. එන්න ඒවට තමයි කියන්නේ Eureka moment කියලා…..

ඒක නිසා ලොක්කට ටිකක් සතුටුයි.. ඒ වගේම කරන්න සැලසුම් කරපු පරීක්‍ෂණ කිහිපයක්ම අතහැර දාන්න තීරණය කළා… ඒකෙන් වෙලාවත්, මුදලුත්, රසායන ද්‍රව්‍යත් ඉතිරි වුනා… ඒ සොයාගැනීම කරගත්තේ අර වෙනස් සංයෝගයේ ස්ඵටික දැලිස් ව්‍යුහය අධ්‍යයනයකට ලක් කිරීමෙන්…. ඒ වගේම ඒ සංයෝගයේ මධ්‍ය පරමාණුව වටා ඇති පරමාණු ආකෘතිය විශ්ලේෂණයෙන්.. මේ තියෙන්නේ ඒ විශ්ලේෂණයේ ප්‍රතිඵලය ලෙස එළිදැක්වුන පින්තූරය.


මේ පින්තූරයේ මැද තියෙන තැඹිලි පාට පරමාණුව පැලේඩියම් Pd,  දම් පාට පරමාණුව සහ ඒ වටා ඇති අළු පාට පරමාණු 3 PMe3 අණුවක්… එය මෙතිල් කාණ්ඩ තුනක් පොස්ෆරස් පරමාණුවකට සම්බන්ධ වීමෙන් තැනුනක්.. මේ සංයෝගයේ ඉඩ ඇත්තේ PMe3 කාණ්ඩ එකකට පමණයි… ලොකු දුඹුරු පාට පරමාණුව බ්‍රෝමීන් පරමාණුවක්… අපි මෙතෙක් කල් PMe3 කාණ්ඩ දෙකක් එකතු කරන්නයි බැලුවේ… නමුත් ඉඩ ඇත්තේ PMe3 කාණ්ඩ එකකට හා බ්‍රෝමීන් පරමාණුවකට පමණයි…. ඒ වගේම, අපි ඒ හා සමාන වෙනත් කාණ්ඩ එකතු කරන්නත් සැලසුම් කරලයි තිබුණේ….. මේ සොයාගැනීම නිසා එය අපහසු වන්නේ ඇයිදැයි තහවුරු වෙනවා…

සමහර අයට නම් මේ සොයාගැනීම සරළ දෙයක් ලෙස හැඟුනත්, අපේ පර්යේෂණයට නම් මෙය ටිකක් වැදගත්…. ඒ නිසාම අද ඔබට මම පළමු වතාවට රසායනාගාරයේ කෙරෙන පර්යේෂණයක් විස්තර කළා… සමහරුන්ට මේ සටහන තරමක් අපැහැදිලි ඇති…. ඉදිරියට තවත් රසායනාගාරය සම්බන්ධ දේ සරළව ලියන්නම්..

හෙට උදේම නැගිටින්නත් එපායෑ… සිම්බාබ්වේ – ශ්‍රී ලංකා මැච් එක බලන්න..

%d bloggers like this: