Monthly Archives: අප්‍රේල් 2011

2011 අප්‍රේල් 29 : සෑම මිත්‍රත්වයකම විවිධාකාර බලාපොරොත්තු සහ සීමාවන් ඇත………..


ඊයෙ යොදාගෙන තිබුණ පරිදි Group meeting එක ඉවර වෙලා බෝලිං යන්න බැරි වුනා… ලොක්කා වෙන වැඩකට සෙට් වෙලා… අළුතෙන් රසායන විද්‍යා දෙපාර්තරම්න්තුවට පත්වෙලා ආපු මහාචාර්යවරිය එක්ක ලොක්කත් තවත් මහචාර්ය වරු දෙපලකුත් එක්කලා රෑ කෑමට යන්න වෙලා.. අළුතෙන් පත් වෙලා එන අය පිළිගන්නේ එහෙමයි… ඒ නිසා බෝලිං යන එක ලබන සතියට කල් දැම්මා.. ඒක එක අතකට හොඳ වුනේ ඊයෙ රෑ අපට පොඩි පාටියකුත් යෙදිලා තිබුණ නිසා..
අපේ ගැන්සියේ මල්ලි කෙනෙක් MBA එක ඉවර වෙලා උපාධි ප්‍රධානෝත්සවය තිබුණේ ඊයෙ.. එයාගෙ පවුලේ අය රෑ කෑමකට තවත් යාළුවෙක්ගේ ගෙදරට ආරාධනා කරලා එයාට Surprise Graduation Party එකක් දෙන්න යොදාගෙනයි තිබුණෙ ඊයෙ.. දිනපොතේ ඒක ලිවුවෙ නැත්තේ බැරි බැරි ගානේ හරි එයා දිනපොත ඉඳලා හිටලා කියවන නිසා.. ඉතිං ඒකට වේලසනින්ම යන්න පුළුවන් වුනා. ඒ අතරෙම තවත් යාළුවෙකුගේ උපන් දිනය ලබන සතියේ යෙදෙනවා.. එයාටත් Surprise Birthday Party එකක් ඒ අවස්ථාවෙම දුන්නා… ඒ නිසා චූටි චූටි පාටි ගොඩයි ඊයෙ… ඒ අතරේ කට්ටිය කැරම් ගහන්නත් සෙට් වුනා… සෑහෙන වෙලාවක් කැරම් ගහලා ආගිය තොරතුරු කතා කරලා ඒ කටයුතු නිම කරලා ගෙදර එනකොට මධ්‍යම රාත්‍රියත් පහු වෙලා…
සෙනසුරාදා වුනත් උදේ පාන්දර ඇහැ ඇරුණේ පැටියව පිහිණුම් පුහුණුවීම් වලට දාගෙන රසායනාගාරයට යන්න ඕන නිසායි… විශේෂයෙන් සෙනසුරාදා උදේ අවදිවීම ටිකක් අමාරු කටයුත්තක් වුනත් අකැමැත්තෙන් හරි කළ යුතු දේ කරන්න වෙනවා… රසායනාගාරයේ වැඩ ටික කරන අතරේ මිතුරෙක් අපූරු කතාන්දරයක් ගෙනාවා… ඒ තමයි එයාගෙ මිතුරෙක් උදවුවක් ඉල්ලලා එය ඉටු කරන්න බැරි වීම නිසා නෝක්කඩුවක් ඇති වීම ගැන… එවිට තමයි මිත්‍රත්‍වයේ බලාපොරාත්තු කියන තේමාව ඇදිලා ආවේ..

Friends, -මිතුරන් ගැනම විතරක් නොවේ...

විවිධ මිත්‍රත්ව විවිධාකාරයි.. සමහරු ඒකපාර්ශ්විකව මිත්‍රයි.. හරියට පරපෝෂිතයො වගේ මිතුරාගෙන් උදවු ලබාගෙන ඒ මිතුරා අතහැර දමනවා.. හෝ මිතුරාට නරකක් කරනවා… සමහරු තමන්ගේ පණ ගියත් මිතුරාට උදවු කරනවා… තවත් සමහරු සල්ලි තියෙනකල් මිතුරුයි… මටත් හිටියා විවිධාකාර මිත්‍රයන්… සමහරු මගෙන් උදවු ගන්නට මට ලං වුනා… තවත් සමහරු මගෙන් ඉගෙන ගන්නට ලං වුනා … පුංචි කාලයේ හිටපු මිතුරු මිතුරියන් සමහරු තවමත් ගමේ ඉන්නවා.. පුංචිම කාලයේ මගේ හොඳම මිතුරෙක් වෙච්චි අමල් යුධ බිමේදි මියගිහින්…. සී අයි සී එකේ හිටිය ප්‍රසන්ත මටත් නොකියම අප හැර දා ගිහින්…. තවත් සමහරු නොකියම තරහ වෙලා…. ඊයෙ එකෙක් (අරුණ) දුරකථන ඇමතුමක් දීලා අහනවා වල්කෙමියා තවම ජීවත් වෙනවද කියලා… ඒකා හිතලා තියෙන්නේ මාව කුණාටුවට ගහගෙන ගිහින් කියලා.. ඒ වගේ සුන්දර මිත්‍රයොත් ඉන්නවා….. නිතර හමු වුනේ නැතත් අපි ගැන මතක් වෙන… කැලිෆෝනියාවෙ ඉන්න මහේන් මාසෙකට සැරයක් කතා කරලා විස්තර අහනවා විතරක් නෙවෙයි දවසට ඊ මේල් 25 ක් විතර Forward කරනවා..   රසායන විද්‍යා ආයතනයේ හිටි මගේ සමීපතම මිතුරන් හය දෙනා තවමත් මගේ හොඳම මිතුරන්… මම ලංකාවට ගිය හැම වතාවකම වැඩියෙන්ම හමු වුනේ ඔවුන්…. කාලයක් අතහැරී ගොස් තිබූ පාසලේ මිතුදම් නැවත අළුත් වුනේ ෆේස් බුක් එකට සම්බන්ධවීමත් සමග… ෆේස් බුක් එකේ ඉන්න මිතුරු මිතුරියන් 500 කට වඩා වැඩි දෙනාගෙන් බොහොමයක් රසායන විද්‍යා ආයතනයේ දැනට ඉගෙන ගන්නා අය… සමහරු මාව දැකලවත් නෑ… ඒත් ඔවුන් ඉන්නවා ලිස්ට් එකේ… යුනිලීවරයේ හිටිය මිතුරා මෙවන් මගේ හොඳම විවේචකයා… මාව විවේචනය කරන්න මෙවන් තරම් දක්‍ෂයෙක් නෑ. ඒත් අපි අතරේ තරහක් නෑ… කොපමණ  විවාද කළත්, අදහස් අතින් දුරස් වුනත් අවසානයේ ඒ සියල්ල අමතක කරන්න තරම් හොඳ හිතක් මෙවන්ට තියෙනවා…. කොළඹ උසස් පෙළ පන්ති යන කාලයේ හමු වූ විවිධාකාර මිතුරු මිතුරියන් තවමත් හොඳ සබඳතාවයක් පවත්වාගෙන යනවා.. ඩෙලවෙයාර් වල ඉන්න මිතුරු මිතුරියන්ට නම් එක සතියක් වත් හමු නොවී ඉන්න බැහැ… ඒ අපි ලංකාවෙන් බොහෝ දුරස්ව සිටින නිසා වෙන්න ඇති… ඊයෙ පාටි දාලා.. අද රෑටත් පාටි දාන්නේ ඒ නිසා…. ඒත් ඒ කවුරු හිටියත්, මගේ හොඳම මිතුරිය ඇල්කෙමිච්චි… 1994 ඉඳලම හොඳම මිතුරිය වෙච්චි ඇල්කෙමිච්චි කොච්චර රණ්ඩු වුනත්, මට කොච්චර කෑගැහුවත් ඒ සියල්ල කරන්නේ අපි දෙන්නාගේ හොඳට බව අපි දෙන්නම දන්නවා…

පිරිමියෙක් සහ කාන්තාවක් අතර මිත්‍රත්වය ඊට බොහෝ වෙනස්… සමහරවිට ඔවුන් කායික අවශ්‍යතා සඳහා පමණක්ම මිතුරු වෙලා සිටිනවා (Friends with Benefits) තවත් සමහරු ඇත්තෙන්ම මිතුරුයි.. එහෙත් ඒ අය එකිනෙකා මත යැපෙනවා.. එනම් විවිධාකාර ප්‍රශ්න කතා කරන්න, එකට ගමන් බිමන් යන්න, එකට වැඩ කරන්න, වෘත්තීයමය හෝ අධ්‍යාපන කරුණු සාකච්ඡා කරන්න වගේ කායික නොවූ සහජීවනමය බැඳීමකට ඔවුන් යටත්ව සිටිනවා. මටත් හිටියා ඒ වගේ මිතුරියක්, ඉස්සර රසායනාගාරයේ… ඇයත් මාත් අතර තිබුණේ ඒ වගේ සරළ සම්බන්ධයක්… ඇය සහ ඇගේ සැමියා රැකියාව සඳහා ඈත දුරක ගියත් ඉඳ හිට හෝ අපි තවමත් දුරකථනයෙන් කතා කරනවා..
ඒ වගේමයි බොහෝ දෙනෙක් සිතනවා පිරිමියෙකු සහ ගැහැණියක් අතරේ මිතුරු සම්බන්ධතාවයක් කායික ඇසුරකින් තොරව තිබෙන්නට විදියක් නැහැ කියලා… නමුත් ඇත්තම කාරණය තමයි ඔවුනොවුන් ඒ අවබෝධය ඇතිව, තමන්ගේ සීමාවන් ඇතුලත ඒ මිතුරු සබඳතාවය ගෙන යනවා නම්, එය සංකීර්ණ නොවන බව… මෙය බොහොමයක් දෙනා තමන්ගේ වාසියට අනෙක් පැත්තට හරවා ගන්නවා…

නමුත් ඇත්තම කාරණය, හැම මිත්‍රත්‍වයකම තිබෙන්නාවූ පොදු දේ නම්.. ඒ සියල්ලකම විවිධාකාර බලාපොරොත්තු සහ සීමාවන් ඇති බවයි.. ඒ ඒ බලාපොරොත්තුවලට අනුකූලව සහ සීමාවන්ට යටත්ව මිත්‍රත්‍වය ගෙන යන්න පුළුවන් නම් ඒක හැමදාම සුන්දර මිත්‍රත්‍වයක් වේවි…

Advertisements

2011 අප්‍රේල් 28 : මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා,…. පාරට බැස්සම ඔලුව තෙමෙනවා…


ඊයෙ සහ අද අමෙරිකාවෙ නැගෙනහිර පලාතට ලොකු කුණාටුවක් හමාගෙන යනවා… මගේ හිතවතෙක් වන සමීර මල්ලි ඉන්න මිසිසිපි ප්‍රාන්තයේ සෑහෙන කොටසකට ඊයෙ ඉඳන්ම විදුලි බලයවත් තිබුණෙ නැහැයිලු.. ඇමරිකාවෙත් මෙහෙම වෙනව කිය කිය උන් කෑගහනව… මිසිසිපි ඇලබාමා ප්‍රාන්ත වල දැඩි වාසුලි තත්ත්‍වයක් හටගෙන පලාත් කිහිපයකටම හානි වෙලා තිබුණා.. කත්‍රිනා සුලි සුළඟින් පසු වැඩිම ප්‍රමාණයක් අවතැන්ව රතු කුරුස කූඩාරම්වල ගතකලේ මේ අවස්ථාවෙ කියලයි CNN වාර්තා කළේ… මිනිසුන් 200 ක් ඒ වනවිටත් මියගිහින්, ගණන තව වැඩි වේවි කියලයි ඒ අය කිව්වේ..ඒ කුණාටුව අදයි අපේ පැත්තට ආවෙ… වැඩි හානියක් නැති වුනත් දැඩි වැස්සක් ලැබුණා අපේ පලාතටත්. උදේම තවන් දාපු පැල, ඇට අඩංගු පෝච්චි ටික ගෙට ගත්තා.. වැරදිලාවත් කුණාටුව ලොකු වෙලා පෝච්චි වලට හානි වුනොත් කරදරේ අපටමයි…
හිතූ තරම් නපුරු නොවුනත් කුණාටුව අපව පසු කරගෙන ගියා.. අරුණි අක්කගේ ගෙදර යහතින් ඇති කියලා හිතනවා… අළුතෙන් පෝස්ට් එකක් දාලා තියෙන්නේ කරදරයක් නැතිව ඉන්න නිසානේ… අදත් ලොක්කා පාසල් වල වැඩසටහනකට ගිහින්…. උදේ වරුවේ සුපුරුදු පරිදි වැඩ කරලා දවල් ගියා වොලිබෝල් ගහන්න… පැය බාගයක් වොලිබෝල් ගහලා පැය බාගයක් ව්‍යායාම කරලා එනකොට වැස්ස… එතැන ඉඳලා රසායනාගාරයට යනකල් දිවුවා.. පොඩ්ඩක් තෙමි තෙමි…
මෙහේ අයට නම් වැස්සට තෙමෙන එක එච්චර ගානක් නෑ… ලංකාවෙ තමයි කුඩ ඉහලන් යන්නේ… පොඩි කාලෙ නම් අපිත් වැස්සට තෙමෙන්න හරිම ආසයි… ඉස්සර වැස්ස වෙලාවට අපිව ගෙට ගන්න අම්මා කෑගහලා ඉවරයක් නෑ.. අපේ පැටියගේ වැඩෙත් වැස්ස වෙලාවට කුඩයක් ඉහලන් එළියට වෙලා ඉන්න එක තමයි..

දැන් එන්න එන්න කාලගුණ රටා වෙනස් වෙන බවයි මට නම් හැඟෙන්නේ… තෙල් සමාගම්වල සල්ලි වලට යටවුන විද්‍යාඥයො අරෙන්න, අනිත් හැමෝගෙම මතය වැඩිවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය හරිතාගාර ආචරණයත්, මිහිතලය උණුසුම් වීමත් ඉක්මන් කරනව කියලයි… මේ නිසාම වැඩිපුර වලාකුළු ඇති වෙනවා. හැම තැනටම වැස්ස ඇති වෙනවා… මේ නිසා සමහර පලාත්වල ගංවතුර වැනි තත්ත්‍ව බහුලයි.. ඒ වගේම සමහර පලාත්වලට වාසිදායකයි.. ඔවුන්ගේ අස්වැන්න වැඩි වෙනවා. නමුත් ඉස්සර කරපු සාම්ප්‍රදායික ගොවිතැනට අළුත් කාලගුණ රටාව අහිතකරයි.. මේ නිසා මගේ නම් හැඟීම අපි අළුත් ගොවිතැන් රටාවලට හුරු වෙන්න කාලය ඇවිත් කියන එකයි… පසුගිය දවසක තාත්තට කතා කරද්දි තාත්තා කිව්වෙත් වෙනදා වැසි වැටෙන්නේ නැති කාලවල් වල දැන් වැසි වැටෙන බවයි.. මේ නිසා වෙනදා කළ ගොවිතැන් දැන් කිරීමට අපහසු බවයි… එක්කෝ අපි වෙනත් වගා වලට හුරු වෙන්න හෝ වගා කරන විධි වෙනස් කරන්න වෙනවා.. නැත්නම් අමාරුවේ වැටෙන්නයි වෙන්නේ… කියන්න ලේසි වුනත් මෙය කරන්න අමාරු නැහැ.. නමුත් හිතුවොත් කරන්න බැරි වෙන්නෙත් නැහැ….

හෙට වැඩ ගොඩයි.. හවස් වරුවේ අළුත් ශිෂ්‍යයෙක්ව පුහුණු කරන්න තියෙනවා. ඊට පස්සේ Group Meeting ඒක ඉවර වෙලා අපේ Group එකම ලොක්කා ගානේ රෑ කෑමකට යනවා.. ඊටත් පස්සේ අපි බෝලිං යන්නයි හිතාන ඉන්නේ… මේ නිසා සමහරවිට දිනපොත ලියන්නට වෙලාවක් එන එකක් නැහැ… කෙළින් ඉන්න පණ තිබුණොත් සෙනසුරාදට දිනපොත ලියන්නම්…

වැස්සට තෙමෙන්නේ නැතිව ඉන්න…

2011 අප්‍රේල් 27 : ඔබටත් පීඩනය හමුවේ බිඳ නොවැටෙන්න පුළුවන් ද ?


අද අපේ රසායනාගාරයේ පොඩි එවුන් පස්ස ගිණි අරන් ගජ රාමෙට වැඩ… මම ඊයෙ කියපු Project Proposal එක ඉවර කරන්න… එක එක්කෙනා විවිධ තොරතුරු හොයනවා, ලියනවා, එක යමරෙයයි… හැමෝම ලොකු පීඩනයකට හසු වෙලයි ඉන්නේ ඒ පිටු පහේ Project Proposal එක මුළු ලකුණු වලින් 30% ක් නිසා හැමෝම බයවෙලයි ඉන්නේ…

පීඩනය කියන්නේ මහ පුදුමාකාර දෙයක්, එයින් කෙනෙකු මිනිසෙකු කරවන්නත්, නැති කරවන්නත් පුළුවනි.. පීඩනය දැනෙන විධි විවිධාකාරයි.. සමහරුන්ට රැකියා ප්‍රශ්න, මුදල් ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, ආදී නොයෙකුත් ප්‍රශ්න හැමෝටම තියෙනවා… හැබැයි එක එක්කෙනා ඒ ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය අනුව ඒ පුද්ගලයාගේ සාර්ථකත්‍වය තීරණය වෙනවා… එය සමහර විට අධ්‍යාපන මට්ටම මත් රඳා පැවතුනත්, සමහර උගත් අය වැඩ අනාගන්න හැටි දැක්කාම ඒහෙමමයි කියන්නත් බෑ…
වර්තමාන ලෝකයේ වේගය අනුව ඉදිරියට යන කිසි කෙනෙකුට පීඩනයක් දැනෙන්නේ නෑ කියන්න බෑ.. හැම දෙනාටම විවිධාකාර ප්‍රශ්න කොයි යම් ම විධියකින් හරි පැණ නඟිනවා.. නමුත් සමහරක් දෙනා පඒ පීඩනය හමුවේ බිඳ වැනෙවා වගේම සමහරුන් ඒ පීඩනයට මුහුණ දීලා සාර්ථකව ඉන් ගොඩ එනවා.
කාලය ප්‍රශ්ණයක් නම් කාලය කළමණාකරණය කරගැනීමෙන් එය විසඳාගන්න පුළුවන්. අමතක වෙනවා නම් පරිඝණකයේ හෝ ජංගම දුරකථනයේ කැලැන්ඩරයක ඒ ඒ දේ සටහන් කරගන්න. දරුවන්ගේ වැඩ ගොඩ වෙනවා නම්, සතියේ මුළු පවුලේම අදාල දේවල් එක කැලැන්ඩරයක සටහන් කරන්නැයි පවුලේ අයට කියන්න, එවිට සියළුම දෙනාට පේනවා කවුරු කවුරුද ඒ ඒ වැඩට නිදහස් කියා.. එමෙන්ම නිසි පිළිවෙලක් ලැබෙනවා ඒ කටයුතු වලට. සමහරක් දෙනා සෑම දෙයක්ම කරන්නේ අවසාන මොහොතේ.. ඒ අයට කියන්නේ Deadline people කියලයි. එනම් සෑම දේම භාර දිය යුතු මොහොත එනතෙක් ඒ වැඩවල යෙදෙනවා. කිසියම් අනපේක්‍ෂිත සිදු වීමක් වුවහොත් ඒ සියල්ල කණපිට හැරෙනවා. මේ නිසා සෑම විටම අදාල දේ අදාල දිනය හෝ වෙලාවට දවසක් වත් පෙර නිම කිරීමට යොදා ගතහොත් සමහර විට අතපසු වීමකින් සිදු වූ වැරැද්දක් වුවත් නිවැරදි කිරීමට කාලයක් ලැබෙනවා.
මම නම් දවස සැලසුම් කරන්නේ එක්කෝ පෙර දිනයේ වැඩ නිම කරන්නට කලියෙන්. මගේ අතිනුත් බොහොමයක් අතපසු වීම් සිදු වෙනවා. නමුත් අද යමක් අතපසු වුවා නම් එය හෙට උදේන්ම නිම කිරීමට මම සැලසුම් කරනවා. ඒ නිසා රාජකාරි වැඩ නම් අතපසු වෙනවා අඩුයි.. සමහරවිට ඔබ බස් එකේ යනවිට ඔබේ දවස සැලසුම් කරගන්නට පුළුවනි. එසේත් නැතිනම් කාර්යාලයට ගොස් විනාඩි පහක් ඒ කෙරෙහි සිත යොදවා සැලසුම් කළොත්, සමහරවිට පැයක් ඉතිරි කරගැනීමටත් පුළුවන් වේවි… ගෙදරදි නම් ඇල්කෙමිච්චිගෙන් බැණුම් අහනවා නිතරම… ඕක අපි හැමෝටම තියෙන ලෙඩක් නේ…
ඉතින් මෙන්න මේ වගේ සරල ක්‍රම කීපයකින් පීඩනය අවම කර ගැනීමට පුළුවනි.. අත්හදා බලන්න සමහරවිට ඔබටම පෙනේවි වෙනස…
වෙනස් වීම හොඳයි… වෙනසකට මුල පිරීම අපහසුයි…. නමුත් දින කිහිපයක් අපහසුවෙන් වුවත් වෙනස් වුවොත්, ටික ටික ඔබටම නොදැනී ඔබ වෙනස් වෙයි….
පීඩනය වැඩි වෙන්න වැඩි වෙන්න රුධිර පීඩනයත් වැඩි වෙන්න පුළුවනි. එවිට සිද්ධ විය හැකි දේ විවිධාකාරයි..

2011 අප්‍රේල් 26 :අවුරුදු පහකට පසු ලැබුණ දඬුවම සහ පත්තරේ ඇත විස්තරේ …………….


අදත් උදේ අර කිවුව අනිත් පාරෙන් බයිසිකලේ පැදගෙන පැදගෙන ආවා රසායනාගාරෙට… අර ඊයෙ ආපු හපුතලේ කන්ද නැතුව අද නම් පොඩි කඳු පල්ලම් අතරින්, ගෙවල් අයිනෙන් පේමන්ට් උඩින් දාලා නයිට් රයිඩර් වගේ අඟල් හයක් විතර උස කණ්ඩියකිනුත් බයිසිකලේ පන්නලා විනාඩි 20 කින් විතර රසායනාගාරෙට ආවා… වැඩිය දාඩිය දැම්මෙත් නෑ… (මෙහේ පාර අයින්වල තියෙන පේමන්ට් එක දිගේ බයිසිකල් පදින්න පුළුවන්… කඩ දාලා නෑ ඒවයේ)
උදේ වරුවෙම වැඩ ගොඩක් කළා… ඊයෙ කරපු ප්‍රතික්‍රියා කිහිපයක්ම අද දවසේ ඉවර කරන්න යෙදිලා තිබුණා… ඒ සියල්ලම වගේ නිම කරලා ලැබුන සංයෝග හොඳින් වියලීම සඳහා රික්ත පම්පයට සම්බන්ධ කළා.. හවස ඒව අරගෙන පරීක්‍ෂා කළා… සමහර ඒව හොඳයි… තවත් සමහර ඒවා නැවත පිරිසිදු කරන්න වෙනවා…

ලොක්කයි මමයි

දවල් ලොක්කා ඇවිත් ආරංචියක් දුන්නා.. ඒ තමයි අපේ පර්යේෂණ පිළිබඳ විස්තරයක් විශ්ව විද්‍යාලයීය පුවත්පතේ සහ වෙබ් අඩවියේ පළවෙලා තිබීම… අර ඉස්සර දවසක මම කිව්වේ පින්තූර නෝනා කෙනෙක් ඇවිත් පින්තූර ගත්තා කියලා… අන්න ඒ පින්තූරෙකුත් පළවෙලා තිබුණා… මෙන්න මෙහෙම

ඉතින් අපි හැමෝටම සතුටුයි… මමත් පොටෝ එකට සෙට් වුනේ අහම්බෙන්… ඔය පිටිපස්සේ තියෙන්නේ අර මම හැමදාම කියන Glove Box එක… ඕකෙ තමයි වැඩිහරියක් මම වැඩ කරන්නේ….

හවස ඇල්කෙමිච්චියි පැටියයි ආවා රසායනාගාරයට, ඇල්කෙමිච්චි ළමයෙකුට උගන්වන්න ඇවිත්, පැටියට මේ සතියෙ ඉස්කෝලෙ නිවාඩු Easter holiday ලු… ඉතින් අම්මයි පුතයි ඇවිත් අම්මා උගන්වනකල් පුතා මගේ කාර්යාලයේ වාඩි වෙලා වැඩ… දෙන්නා එක්ක ඊට පස්සේ රවුමක් ගියා විශ්ව විද්‍යාලෙ වටේ… ඇල්කෙමි පැටියා පිළිසිඳගත් දා සිටම හැදුනේ වැඩුනේ මේ විශ්ව විද්‍යාලෙ ඇතුලෙම තමයි… එයා ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා ආවේ විශ්ව විද්‍යාලෙට…. ඉතින් මෙතැන එයාට හරිම පුරුදුයි… රසායන විද්‍යා අංශයේ බොහෝ දෙනෙක් එයාව හොඳින් අඳුනනවා… බලන්න ඕන අනධ්‍යයන අංශයේ ඉන්න වයසක ලේකම්වරියො එක්ක තියෙන කතාව.. මෙයත් ගිහින් ඒ අයගෙ ලඟ තියෙන රසකැවිලි බෝතල්වල බැහැලා ඉන්නේ… අපි යන්තම් කෑගහලා පාලනය කරගන්නවා.. නැත්තං බෝතලේම අරන් තමයි ගෙදර එන්නේ… (මෙහේ හැම ලේකම්වරියක් ලඟම පොඩි රසකැවිලි – චොකලට්- බිස්කට්-ටොපි- වගේ දේවල් අඩංගු බෝතලයක් තියෙනවා. එන අයට සංග්‍රහ කරන්න)

පැටියත් එක්ක රවුමක් ගිහින් එනකොට අම්මගේ වැඩත් ඉවර වෙලා… දෙන්න යන්න ලෑස්ති වෙලා මම පැටියට පොඩි hug එකක් දෙන්න යනකොටම මේකා උඩ පැන්නෙ නැතෑ… මගේ මූණ ගිහින් වැදුනේ එයාගේ ඔලුවේ… මගේ තොල පැලිලා ලේ ගලන්න ගත්තා… විගහට අයිස් තියලා ඉදිමුම අඩු කරගත්තේ නැත්තං ඉතිං දාසය දෙනෙක්ගෙන් විතර ගුටි කාපු මූණක් තමයි එන්නේ.. ඒකට ඉතිං පැටියට දොස් කියන්නත් බෑ.. මගෙත් වැරැද්ද.. ඒකටත් එක විදියකට ඉන්න බෑ… ඒකත් මගේ වැරැද්ද… අන්තිමට ඔක්කොම මගේ වැරැද්ද… මට මතක් වුනේ මගේ අතින් වෙච්චි වැරැද්දක් නිසා දවසක් කෑම කවනකොට මේසෙ වැදිලා පුංචි කාලෙ පැටියගෙත් මේ වගේම තොල පැළුණා… මම හිතන්නේ ඒ වැරැද්දේ දඩුවමයි අද මට ලැබුණේ…. ඔහොම තමයි..

අද හවස ඇල්කෙමිච්චි යොදාගෙන තිබුණෙ පවුල පිටින් ආපන ශාලාවකට ගිහින් රෑ කෑමක් ගන්න යන්න… ඉතින් අම්මයි පුතයි ආයෙත් ආවා රසායනාගාරෙට මාවත් එක්කන් යන්න… ආපන ශාලාව තිබුණේ විශ්ව විද්‍යාලය ලඟමයි… පවුල් පිටින් ගිහින් හොඳ වෙලාවක් ගත කරලා කාලා, අම්මයි පුතයි දෙන්නා ආයෙම ගෙදර ගිහින් දාලා රසායනාගාරෙට ආවා.. දැන් වෙලාව රාත්‍රී 10.00 යි… ඒත් වැඩ… පොඩි එවුන් ටික පන්තියක project එකක්.. උන් ටිකක් ඇණගෙන වැඩේ… ඒ අයට පොඩි උදව්වක් කරන්නත් මට තව වැඩ ටිකක් තියෙන නිසාත් ඇවිත් ඉස්සෙල්ලම මේ දිනපොත ලියලා දානවා…

තව ටිකකින් ගෙදර යන්නත් ඕන…. නැත්තං ගුටි කන්නයි වෙන්නේ රෑ දෙගොඩහරියේ ගෙදර ගිහින්….

2011 අප්‍රේල් 25 : ඇල්කෙමියාගේ මංගල බයිසිකල් ගමන…. බයිසිකලෙන් වැඩට ගිය හැටි…..


ඊයෙ පොරොන්දු වුනා වගේ ඔන්න අද ඇල්කෙමියා උදේ පාන්දර නැගිටලා, නාලා පිරිසිදු වෙලා සුදු පිරුවට ඇඳලා, දෙවියන් බුදුන් සිහිකරගෙන, හොඳට කාලා බීලා තඩි මල්ලත් කරේ දාගෙන හෙල්මට් එකත් දාගෙන පිටත් වුනා රසායනාගාරෙට බයිසිකලෙන් යන්න…. ඊයෙ බයිසිකල් පැදලා කකුල් දෙකත් ටිකක් රිදුනත්, ඔන්න ඔහේ නැග්ග එකේ පදිනවා කියලා ටිකදුරක් ගියා.. මහපාරට වැටුනාම රසායනාගාරෙට යන්න පාරවල් දෙකක් තියෙනවා.. එකක් පුංචි කන්දක් (පුංචි කියලා හිතෙන්නේ කාර් එකේ යනකොට විතරයි වගේ දැන් නම් දැනෙන්නේ) නැගලා පල්ලමක් බැහැලා යන පාරක්. අනෙක ඇවිල්ලා පුංචි පුංචි කඳු ටිකක් තියෙන නමුත් තැනිතලා පාරක්… මමත් ඉතිං පොර වගේ කන්ද තියෙන පාරෙ ගියා ඒක හැතැප්ම දශම එකක් දුර අඩු නිසා… (දශම එකක් වුනත් වටිනවනේ) හැබැයි ගණන් හදන්න බැරි වුනේ කන්ද නගින්න වැයවන ශක්තිය…. ඉතිං ඔන්න කන්ද නගින්න ගත්තා… බයිසිකලේ තිබුන ගියර් හයම දාගෙන පදිනවා පදිනවා එකම තැන වගේ….. අන්තිමට කකුල් රිදුන එක විතරයි… මාව පහු කරගෙන යන වාහන කාරයො නම් අත වනාගෙන යනවා පැත්තකට වෙලා… (මෙහේ බයිසිකලයක් හරි පාරෙ පයින් යන කෙනෙක් හරි හැපුනොත් වාහන කාරයට සොරිම තමයි… ලංකාවෙ වගේමයි) ඒ නිසා වාහන පදින අය බයිසිකල් වලට බොහොම බයයි.

මේ මම බයිසිකලේ පැදගෙන යනවා... ලස්සනයි නේද ?

බැරිම තැන ආපහු හැරිලා ගෙදර ගිහින් කාර් එකේම රසායනාගාරයට යන්න හිතුනත් අර ගෙදර ඉන්න ඇල්කෙමිච්චිගෙන් කන්න වෙන නෝන්ඩියයි, ඊටත් වඩා ගෙදර ඉන්න පැටියට නරක ආදර්ශයක් දෙන්න වෙන එකයි නිසා මොන කට්ටක් කාලා හරි බයිසිකලේ පැදගෙන යනවා කියලා කන්දේ අන්තිම හරිය බැහැලා තල්ලු කරගෙන ගියා… කන්ද මුදුනට ආවම පල්ලම තියෙන නිසා ඔන්න ආයෙම නැගලා යනවා හුලං වැදීගෙන… බයිසිකලේ යනකොට තියෙන  වාසි තමයි A/C එක නිකං… ඒ වගේම ඉන්ධන වැය වෙන්නෙත් නෑ.. කකුල් රිදෙනවා ඇරෙන්න… ඔන්න ඉතිං කොහෙම හරි මග ගෙවාගෙන රසායනාගාරයට ආවා… කට්ටියට හරි පුදුමයි මම මෙච්චර දුරක් බයිසිකලේ පැදගෙන ආවා කියලා… ලොක්කත් ඇවිත් ඇහුවා කොහොමද ගමන කියලා.. වැඩිය නෑ පැය බාගයක් විතර ගියා හැතැප්ම හතරකට….
ඒ කොහොම වුනත් බයිසිකල් ගමන නම් හරිම ජොලි… ඇල්කෙමිච්චි නම් කිවුවා රෑට මාව එක්කගෙන යන්න එනවා කියලා… රෑට බයිසිකල් පදින එක ඒතරම් හොඳ නෑ… හෙට අනිත් පාරෙන් ඇවිත් බලන්න ඕන ඒක කොහොමද කියලා…. මෙහේ රස්නෙ කාලෙට බොහොමයක් දෙනා බයිසිකල් වලින් තමයි ගමන… ඒක ඇඟටත් පොකැට්ටුවටත් හොඳ නිසා… එක අතකින් ඒක පරිසරයටත් හොඳයි.. පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා…  මම කරන්නෙත් කොහොමත් කාබන් ඩයොක්සයිඩ් අඩු කිරීම ගැන පර්යේෂණයක් නිසා ඒක මටම ගැලපෙනවා…

ටික දවසක් බයිසිකලේ පදිනකොට මේ අමාරු අඩු වෙනවා.. ඊට පස්සේ පුරුදු වෙනවා.. ඒ නිසා මොනව වුනත් නොනවත්වාම බයිසිකලෙන් වැඩට එන්න තීරණය කරලා ඉවරයි, වැස්ස දවස්වලට ඇරෙන්න…

ඔන්න ඔහොමයි ඇල්කෙමියාගේ මංගල බයිසිකල් ගමන….

2011 අප්‍රේල් 24 : ඇල්කෙමියාගේ මහා වගා සංග්‍රාමය ඇරඹේ… අපි වවමු අපිම හැදෙමු……


අද ඉරිදනේ… ටිකක් පරක්කු වෙලා ඇහැ ඇරෙන්න කියලා හිතාගෙන උන්නත් පැටියා ඇවිත් ඇඳ ලඟ කැරකෙනවා… තාත්තා තාත්තා… නැගිටින්න කිය කිය… එක වෙලාවකට හිතෙනවා මොන මගුලකට බැන්දද, ළමයි හැදුවද කියලා….  (අද නම් ගුටි කන්න වෙනවා මේක ඇල්කෙමිච්චි කියවපු ගමන්ම)… ගෙදර හිටියට නිකම් ඉන්න බෑ අද… වැඩ කෝටියයි… අද සාපේක්‍ෂව රස්නෙ දවසක්… ෆැරන්හයිට්ම 83 යි උෂ්ණත්‍වය…

න්‍යායපත්‍රාණුකූලව අද උදෙන්ම යොදාගෙන තිබුණේ සුභ නැකතට එළවලු ඇට තවාන් දැමීම…ගරු ඇල්කෙමිච්චිගේ අදහසක් අනුව ඇල්කෙමියා විසින් සකසන ලද පෝච්චිවල, නැගෙනහිර බලා සුභ නැකතින්, මිරිස් වර්ග කිහිපයක්, වම්බටු, තක්කාලි, පාස්ලි, සලාද කොළ, බොංචි වර්ග දෙකක්, පිපිඤ්ඤා යන එළවලු වර්ගවල ඇට තවාන් දැම්මා.. ඉන්පසු මීට පෙර තවාන් දමා තිබූ මල්ඇට පෝච්චිත් අළුතෙන් තවාන් දැමු එළවලු පෝච්චිත් පිළිවෙලට තියා බැල්කනිය පොඩ්ඩක් පිළිවෙලකට සැකසුවා.. තව අර වැල් වැල් ඇති මල් ජාති වහලේ එල්ලන්න පුළුවන් පෝච්චිවල දාලා ඒවත් එල්ලුවා.. ඒ සියල්ල නිම වෙනකොට උදේ වරුව ඉවරයි… ඊට පස්සේ පැටියගේ කොණ්ඩය කැපීමේ මහා සංග්‍රාමය පටන් ගත්තා.. මේ වනතෙක් පැටියගේ කොණ්ඩය කැපුවේ කතුරෙන්… දැන් ටිකක් ලොකු නිසා කොණ්ඩෙ කපන මැසිමෙන් කපන්න හැදුවා.. මොන… පොඩ්ඩක් කොණ්ඩේ මැසිමට අහු වෙලා රිදිලා මෙන්න මරහඬ දීලා ඇඬුවා… එතැනින්ම මැසිමෙන් කැපිල්ල ඉවරයි… කොහොම හරි පුරුදු විදියට කතුරෙන් කපලා වැඩේ ගානට හදාගත්තා….

හවස් වරුවේ ගියා අපේ Organic කඩේට… එතැන තියෙනවා රසකාරක නොදාපු, රසායනික ද්‍රව්‍ය නොදාපු ගොඩක් දේවල්… හැබැයි පොඩ්ඩක් මිල වැඩියි.. නමුත් දිගු කාලීන වාසිය එක්ක බැලුවාම ඒව කන එක ටිකක් හොඳ නිසා පාන්, බනිස්, ජෑම්, සෝස් වගේ ජාති ටිකක් ගත්තා… ඒ අරගෙන ඉවරවෙලා තුන්දෙනාම එක්කලා ගියා ලඟ-පාත ඇති පාක් එකකට බයිසිකල් පදින්න.. තාත්තයි පුතයි බයිසිකල් පදිනකල් අම්මා ඇවිදිනවා… ඒක තමයි රස්නෙ දවසට අපේ වැඩේ… මෙහේ නම් නිකම් බයිසිකල් පැද්දත් හෙල්මට් එකක් දාලා පදින්න ඕන.. ලංකාවෙ නම් බයිසිකල් තියෙන හැටියටයි, තියෙන රස්නෙ හැටියටයි, හෙල්මට් දාන්න ගියොත් එපා වෙනවා.. ලංකාවෙ මෝටබයිසිකල් වලටත් හොල්මට් දාන්නෙ නෑනෙ සමහරු… දෙන්නටම හොඳට දාඩිය දානකල් බයිසිකල් පැදලා පැටියා එක්ක ගියා එතැනම තිබුණ ළමා ක්‍රීඩාපිටියට ටිකක් සෙල්ලම් කරවන්න… එතැන සෙල්ලම් කරගෙන යද්දි ඔන්න මහා තඩි මුරුගසං වරුසාවක් කඩාපාත්වෙන්න පටන් ගත්තා… ගෙනිච්ච කෑම කාර් එකේම තියාගෙන කාලා අපි ගෙදර ඇවිත් පැටියව නිදි කරවලා තමයි මේ ලියන්න ගත්තේ… ඉතිං මේ වගේ නිදහසේ දෙයියනේ කියලා දවස ගෙවෙනකොට ආයෙමත් හිතෙනවා, බැඳලා දරුවෙක් ඉන්නකොට ජීවිතේ සම්පූර්ණයි නේද කියලා.. ඒ වගේම ඇල්කෙමිච්චි වගේ භාර්යාවකුත් ඉතිං ලැබෙන්න ඕන… නැත්තං විනාසයි…

සායි බාබාත් අභාවප්‍රාප්ත වෙලා ලු.. දැන් ඉතින් ලෝකෙ ඉන්න තමන් සරණ යන්න බැරි උදවියට යන්න සරණක් හොයාගන්න කෙනෙක් මතු වෙන්න කාලෙ හරි… මම පෞද්ගලිකව සායි බාබාගේ දර්ශනය අදහන්නෙවත්, ගරහන්නේවත් නැහැ, ඒත් එය බුදු දහමට ඉහලින් තබන්නේත් නැහැ. ඔහුගේ දර්ශනය ගැඹුරින් බැලුවොත් බුදු දහමේ ආභාශය ලද්දක් ලෙසයි මට නම් පෙනෙන්නේ… එකම වෙනස සාමාන්‍ය මිනිස්සුන්ව එයට අද්දගන්න විවිධ ක්‍රම යොදා ගැනීම…. ඒත් සමහර මහලොකු බෞද්ධයෝ තෙරුවන් සරණ ගිහින් සිවුවැනුව යන්නේ සායි බාබා සරණ.. අපේ කරු ජයසූරිය මහතා ඔය සායි බාබාගේ ලොකුම ලොකු බැතිමතෙක් ලු…. හැබැයි සායි බාබාගේ සමාජ සේවය නම් අගය කළ යුතුයි…. ඒ ගැන ප්‍රසංශා කළ යුතුයි… නමුත්, මට නම් බුදු දහමේ උගන්නලා තියෙන ටික වැඩිත් එක්ක ඇති හරිහැටි ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න…

හෙට ඉඳලා ටික ටික රත් වෙන නිසා බයිසිකලෙන් වැඩට යන්න හිතුවා.. බලමුකෝ ඒ වැඩෙත්….

2011 අප්‍රේල් 23 : අනේ අද ඔහු ජීවත්ව සිටියා නම්……


දිනය 1993 අප්‍රේල් 23 වෙනිදා… වෙලාව සවස 6.30 ට පමණ ඇති… එදා සවස නවලෝක රෝහලේ නවත්තලා හිටපු සුදු අක්කව බලලා ආපසු එනවිටයි ඔහු කිරුලපණ සීබල් මාවත ඉදිරිපිට ඇති ක්‍රීඩාංගණයේ තිබූ රැලියක කතා කරනවා දැක්කේ…. ඒ ඔහු කතා කළ අන්තිම වචන කීපය වෙයි කියලා කව්ද හිතුවේ ? ඒත් සිදු නොවිය යුතුව තිබූ ඒ අවාසනාවන්ත දේ සිද්ධ වුනා.. ජීවිත තර්ජන තියෙද්දිත් වෙඩි නොවදින කබායක් තියෙද්දිත්, එය ඇඟලාගන්න සිත් නොදුන්නේ ජාතියේ අවාසනාවට වෙන්න ඇති… කෙසේ වුවත් ඔහු අප අතරින් වියෝ වෙලා වසර 18 ක් ගතවෙලා…

ඔහු ජීවත්ව සිටියා නම් අනිවාර්යයෙන් 1993 බස්නාහිර පලාත් සභාවේ මහ ඇමති වන්නෙත්, අනතුරුව ලංකාවේ ජනාධිපති වන්නෙත් ඔහුයි… එසේ වූවා නම් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් මඟක් ගන්නට ඉඩ තිබුණා… උගත් සහ බුද්ධිමත් දේශපාලනඥයෙකු වූ ඔහුට ජනතා ගෞරවය හිමි වූයේ නිතැතින්ම… ගෞරවය සොයා නොගිය මිනිසෙකු වූ ඔහු, සෑම විටම සාමාන්‍ය මිනිසෙකු වුනා.. ආරක්‍ෂක ඇමතිව සිටි කාළයේ පවා පරිවාර සේනාව හෝ සුවිශාල ආරක්‍ෂක බල ඇණියක් සහිතව ගමන් නොගිය සරළ නිහතමානී මනුෂ්‍යයෙක්…. දැන් සිටින මොට්ට, උඩඟු වාචාල දේශපාලුවන්ට ඔහුගේ චරිතාපදානයෙන් ලබාගතහැකි අත්දැකීම් අති මහත්.
දේශනයක් පවත්වත්දී භාෂා හැසිරවීම, නිසි සංයමය, උචිතබව වැනි සුවිශේෂ ලක්‍ෂණ විහිදූ නිසාම ඔහුගේ දේශන අසා සිටීමට පවා රුචියි… එපමණක් නොව එතුමාගේ පතල බුද්ධිය සහ ඒ උගත්කමින් උඩඟු නොවීම යන ලක්‍ෂණ නිසාම ඔහු සැබෑ නායකයෙක් වුනා… අධ්‍යාපන ඇමතිව සිටි කාළයේ ඔහුගේ සංකල්පයක් වූ අඩු ආදායම් ලාභි සරසවි ශිෂ්‍යයන්ට ලබා දෙන මහපොළ ශිෂ්‍යත්‍ව ක්‍රමයේ නිර්මාතෘ වූ එතුමා අධ්‍යාපනයේ වටිනාකම මනාව දැන හැඳිනගත්තෙක්. වෙළඳ ඇමති සහ ආරක්‍ෂක ඇමති යන තනතුරු හෙබවූ එතුමා ජනාධිපති ප්‍රේමදාසගේ පාලනයට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එමින් පවතින එජාප පාලනයට එරෙහිව ප්‍රජාතත්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටෙව්වේ ගාමිණී දිසානායක සහ ජී එම් ප්‍රේමචන්ද්‍ර යන පතල දේශපාලනඥයන් දෙදෙනා සමගිනුයි.

ඔහු මරා දැම්මේ ප්‍රභාකරන්ද, ප්‍රේමදාසද, රන්ජන් විජේරත්නද, සිරිසේන කුරේද යන්න කවුරු කිවුවත් තවමත් ප්‍රශ්නයක්… ඒ කෙසේ වෙතත් අකාලයේ එතුමාගේ ජීවිතය කෙටි වුනේ ජාතියේම අවාසනාවට (සහ චන්ද්‍රිකාගේ, මහින්දගේ සහ රනිල්ගේ වාසනාවත්) වෙන්න ඇති…

කිසිවක් කියන්න අවශ්‍ය නැහැ… ඔහු මා ගෞරව කළ දේශපාලනඥයින් දෙදෙනාගෙන් (අනෙක් දේශපාලනඥයාත් දැන් ජීවතුන් අතර නැහැ, සමහරවිට ඔබට අනුමාන කරන්නට පුළුවන් වේවි) එක් අයෙක්.. නම ලලිත් විලියම් සමරසේකර ඇතුලත්මුදලි… දන්න අය දන්නවා… එතුමාගේ බිරිඳ ශ්‍රීමනීත් අකාලයේ මියගියේ පිළිකාවකින්………

2011 අප්‍රේල් 22 : තව පොඩ්ඩෙන් මැරෙනව ඕයි…. හොඳ වෙලාවට හුස්ම ගත්තෙ නැත්තෙ…..


අද නම් ඕනකමින්ම ටිකක් දවල් වෙලයි රසායනාගාරයට ගියේ… ඊයෙ රසායනාගාරයට පය නොගහපු ලොක්ක අද උදෙන්ම ඇවිල්ලා… ඉතින් ලොක්කා උදෙන් ආව කියලා අපි මොනව කරන්නද ? මම යන වෙලාවට තමයි මම වැඩට යන්නේ… අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ ඉන්න එකේ එක හොඳක් තියෙන්නේ අපි වැඩ කරන වෙලාව හරිම නම්‍යශීලීයි. ඒ වුනාට නිවාඩු නම් ටිකක් අඩුයි… විශේෂයෙන් රසායනාගාරයක ඉන්නව නම් සමහරවිට රෑ මැදත් යන්න වෙන වෙලාවල් තියෙනවා.

අදට නියමිත වැඩටික කරගෙන යන අතරේ ලොක්කා ඇවිත් තවත් වැඩක් පංගාර්තු කළා… මීට ටික දවසකට පෙර රසායනාගාරයට වෙනත් රසායනාගාරයකින් ගෙනාපු සංයෝගයක පිරිසිදු බව පරීක්‍ෂා කරන්න කියලා.. සංයෝගයේ නම එතිල් ඇක්‍රිලේට්… මෙය දැඩි දුර්ගන්ධයකින් යුත් තරමක් විෂ සහිත සංයෝගයක්.

එතිල් ඇක්‍රිලේට්

නමුත් මෙහි දුර්ගන්ධය නිසාම විෂ සහිත ප්‍රමාණයක් ආඝ්‍රාණය වීමේ අවදානම අඩුයි.. කෙසේ හෝ මේ සංයෝගය දමා තිබූ බෝතලය විවෘත කරනවිටම එහි දුර්ගන්ධය රසායනාගාරය පුරාම පැතිරුණා.. මගේ නහයත් කඩාගෙන යන තරමට දුර්ගන්ධය වැදුනා.. ඒ වහාම හුස්ම ගැනීම පසෙක ලා මමත් රසායනාගාරයේ වැඩ කරමින් සිටි අනෙක් සිසුවාත් හනැක රසායනාගාරයෙන් එළියට ගියා.. පසුව දුගඳ පහව ගිය පසු අපි නැවත පැමිණ ජනේලයක් විවෘත කර පිරිසිදු වාතය රසායනාගාරය තුළට ලබාගෙන යන්තම් නොමැරී ජීවත් වෙන්නට ඉඩ සලසා ගත්තා…

ඇත්තෙන්ම මම කළේ තරමක මෝඩ වැඩක්.. අපි මුලින්ම නොදන්නා සංයෝගයක් හැසිරවීමේදී ඒ සංයෝගයට අදාල MSDS (Material Safety Data Sheet) නම් ලියවිල්ල නියමිත පරිදි හදාරා ඒ ඒ සංයෝගයේ ගුණ පරීක්‍ෂා කර නිසි පියවර ගත යුතුයි.. අපේ නොසැලකිල්ලත්, අධිතක්සේරුවත් නිසාම ඒ ගැන වැඩි සැලකීමක් නැතිව හැසිරවූවා.. මේ වැරැද්ද අප බොහෝ දෙනෙකු කරනවා. බොහෝ සේවා ස්ථානවල ඇති පළමුව ආරක්‍ෂාව යන පාඨය අප අවතක්සේරු කරනවා. කර්මාන්තශාලාවල නම් මේ නීතිය තදින්ම ක්‍රියාත්මක වෙන නිසා බොහෝ දෙනා එය පිළිපැදීමට දැඩිව බැඳී තිබෙනවා. නමුත් විශ්ව විද්‍යාල පර්යේෂණාගාරවල මේ තත්ත්‍වය ටිකක් ලිහිල්. ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්‍ෂිකාවක් පසුගිය දෙසැම්බර් 29 වෙනිදා මියගියේ මෙවැනි අනතුරක් නිසා. ඇය ටර්ෂරි බියුටයිල් ලිතියම් (t-BuLi) නම් අධික ගිණිගන්නාසුළු රසායන ද්‍රව්‍යය සිරින්ජයක් මාර්ගයෙන් බෝතලයෙන් පිටතට ගැනීමේදී සිරින්ජය ගැලවීගොස් එයට ගිණි ඇවිලීම නිසා සිය ඇඳුමට ගිණි ඇවිලී තෙවැනි මාත්‍රයේ පිළිස්සුම් තුවාල (Third degree burns) ලබා මියගියා. ඉන්පසු බොහෝ විශ්ව විද්‍යාලවල සිසුන්ගේ ආරක්‍ෂාව කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්වීමට විශ්ව විද්‍යාල සම්මුතියකට පැමිණ තිබෙනවා. එසේම ටෙක්සාස් විශ්ව විද්‍යාලයක සිසුවෙක් පර්ක්ලෝරේට් අඩංගු සංයෝගයක් වංගෙඩියක් වැනි උපකරණයක දමා ඇඹරීමට ගොස් එය පුපුරා ඇඟිලි තුනක් කැඩි ගොස්, එක් කනක ඇසීමද නැතිව ගොස් තිබෙන්නේ ද ඔහුගේම නොසැලකිල්ලෙන්…

පළමුව ආරක්‍ෂාව

මා පාවිච්චි කළ සංයෝගය එවැනි පිපිරුම් හෝ ගිණිගන්නාසුළු නොවීම නිසාම මම ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වුවත්, එවැනි ගිණිගන්නාසුළු හෝ පිපිරුම් සහගත ද්‍රව්‍ය නම් අප පාවිච්චි කරන්නේ බොහොම ගෞරවාන්විතව.. අප නොදැනුවත්වම කරන මේ අතපසුවීම් නිසා අප ජීවිත කාලයක්ම විඳවන දේ වන්නට පුළුවනි. මීට දශක කිහිපයකට පෙර රසායන ද්‍රව්‍ය භාවිතයේදී එතරමි දැඩි ආරක්‍ෂිත උපක්‍රම නොතිබුණ නිසාම බොහෝ රසායනඥයන් පිළිකා වැනි අවාසනාවන්ත තත්ත්‍ව නිසා අකාලයේ මිය ගිය අවස්ථා එමටයි… දැන් දැන් බොහෝ රසායනාගාර, කර්මාන්තශාලා ආදියෙහි සේවක ආරක්‍ෂාවට මූලික තැන දෙන නිසා සේවකයා හොඳින් ආරක්‍ෂා වෙනවා… මේ තත්ත්‍වය සේවක සේව්‍ය දෙපක්‍ෂයටම වාසිදායකයි. සේවකයා ආරක්‍ෂා වන අතර සේවා ස්ථානයේ ඵලදායීතාවයටද හැනි පැමිණිම අඩු වෙනවා…

ඉතින් ඔබත් සේවා ස්ථානයේ පණවා ඇති ආරක්‍ෂාව සම්බන්ධ නීති නොදැක්කාසේ නොසිට ඒවා නිසි පරිදි පිළිපැදීමෙන් තමනුත් අනෙක් අයත් නිසි ලෙස ආරක්‍ෂා කරගෙන වැඩ කරගන්න.. මම වගේ මෝඩ වෙන්නේ නැතිව…

2011 අප්‍රේල් 21 : විනාඩි පහලොවක් ඉහළ පහළ ගියාම දැනෙන සනීපෙ…..


අදත් සුපුරුදු පරිදි වැඩ… ලොක්කා අදත් නෑ… හැම බ්‍රහස්පතින්දාම එක එක පාසල්වලට යනවා විවිධ වැඩසටහන්වලට…. රසායනාගාරයේ අනිත් එවුන්ටත් බරටම වැඩ. සමහරු පාඩම් වැඩ, තවත් සමහරු තමන් උගන්වන පන්තිවල විභාග වැඩ ආදිය… ඊයෙ සොයාගත් අළුත් තොරතුරු ආශ්‍රයෙන් අළුත් ප්‍රතික්‍රියා කිහිපයක් පටන්ගන්න කියලා අළුතෙන් ආපු ශිෂ්‍යාවකට පවරලා දවල් ගියා Gym එකට වොලිබෝල් ගහන්න… අර හයේ හතරේ කට්ටියත් එක්ක…. අදත් සුපුරුදු පරිදි දාඩිය දාගත්තා…
වොලිබෝල් තරඟවට දෙකක් ක්‍රීඩා කරලා ගියා අර බර උස්සන, ඇඟ හදාගන්න උපකරණ තියෙන කොටසට… ඉතින් ඔන්න බරටම වැඩ.. සාමාන්‍යයෙන් කරන ව්‍යායාම ටිකක් කරලා, බඩටත් ටිකක් වද දීලා, අර ඉහළ පහල යන බයිසිකලේ වගේ මැසිමෙ විනාඩි 15 ක් පැදලා එළියට එනකොට ඇඟට හරිම සනීපයි… ඒකයි කිව්වේ විනාඩි 15 ක් ඉහළ පහල ගියා කියලා… වෙනත් දෙයක් හිතාගත්ත නම් මට කරන්න දෙයක් නෑ…

මේ දවස්වල ටික ටික රත් වෙන නිසා හැමෝම වගේ දුවනවා ව්‍යායාම් කරනවා එක විදියයි. මම වගේ පඟර නැට්ටො නම් ව්‍යායාම් කරන්නේ ඇඟ පොඩ්ඩක් හදාගැනීමේ පරම පවිත්‍ර ඒකමතික චේතනාවෙන් වුනාට බොහොමයක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි බර වැඩි වීම… යන්තම් පොඩ්ඩක් කාපු ගමන් කිලෝ ගාණක් දානවා ඇඟට… ඉතින් අපට හූල්ලනවා.. නැතිනම් පණ දාගෙන දුවනවා, ව්‍යායාම කරනවා… බොහෝ දෙනා අවුරුදු 30 වගේ වයසට ගියාම ඒ අයගේ පරිවෘත්තීය ක්‍රියා (ඒ කියන්නේ Metabolism එක) අඩු වෙනවා. මේ නිසා ඒ අයගේ ශරීරයේ ක්‍රියාකාරකම් වෙනස් වෙලා සමට යටින් මේදය තැන්පත් වීම, රුධිරවාහිනීවල කොලෙස්ටරෝල් තැන්පත්වීම, රුධිරගත සීනි සාන්‍ද්‍රණය වෙනස් වීම වගේ අහිතකර ක්‍රියා ඇති වෙනවා. මේ නිසාම සමහරු අධික ස්ථුලතාවයට පත් වෙනවා. කාන්තා පක්‍ෂයේ මේ ගතිය වැඩි නිසාම ඒ ගොල්ලන් වඩාත් සැලකිළිමත් විය යුතුයි.

වසයට යනකොට වෙන වැඩේ

බොහො දෙනා විවාහ වුනාට පස්සේ මහත් වෙනවා. නෝනා උයන කෑම රහ වැටිලා හෝ මහත්තයා වැඩ කරලා දෙන නිසා කම්මැලි වෙලා.. අනේ අපි දිහා දැන් කවුරු බලන්නද කියලා හිතන අයත් ඉන්නවා.. ඒ වගේම සමහරු 30 පැන්නාම ටික ටික කම්මැලි වෙනවා… ඉස්සර දුව පැන ඇවිදපු අය ටික ටික හෙමින් වැඩ කරනවා. සමහරු කාර්යාලයේ වාඩිවෙලාම වැඩකරන නිසා ශරීරය හොර වෙනවා… දරුවන් ලැබූ පසු කාන්තාවන්ට වැඩ අධික වීම, ඩිංගක් හෝ ව්‍යායාම කළොත් අනෙක් අය මොනවත් කියයිද යන විචිකිච්ඡාව ආදී නොයෙකුත් සමාජයීය සංස්කෘතික බාධක නිසාත් ලාංකීය කාන්තාව සිය සිසිවන වුවන රිය සක වන් පුළුලුකුල ඇතිව කොකා කෝලා බෝතලේ වගේ තියෙන Figure එක බැරල් එකක් වගේ වෙනවා දන්නෙම නැතිව. මේ නිසාම බොහෝ දෙනෙකු අකාලයේ නාකි වෙනවා විතරක් නොවෙයි ලෙඩ දුක් වලටත් භාජනය වෙනවා.

ටයර් - ඉංගිරිසියෙන් කියන්නේ Love handle කියලා.. මේ ලෝකේ ලවක් නෑ මේවයේ

බටහිර රටවල නම් කොපමණ වයසට ගියත් සෞඛ්‍ය සම්පන්නව සිටීමේ වටිනකම වටහාගත් අය කුමක් හෝ ව්‍යායාමයක් කර සිරුර මනාව පවත්වා ගන්නවා. ඒ වගේම කෙට්ටු අයටත් ව්‍යායාම අවශ්‍යයි… මහත අය විතරක් නොවෙයි… ඒ අයගෙත් ශරීරය වියපත් වෙනවා, නිසි ආකාරව වැඩ කරන්නේ නැති වෙනවා ව්‍යායාම් නොකළොත්… ඒ වගේමයි ව්‍යායාම නිසා රුධිර සංසරණය සහ අනිකුත් පද්ධතින් මනාව ක්‍රියාකරන්න පටන් ගන්නවා. සෙම ගතිය නැති වෙනවා, නිරෝගී වෙනවා.. ගැහැණු අය නම් ලස්සන වෙනවා…ව්‍යායාම කරන්න Gym එකකටම යන්න ඕන නැහැ.. ගෙදර සාලෙත් ව්‍යායාම කරනවා නම් කරන්න අවශ්‍ය කෙනාට කරන්න පුළුවනි. ගම්වල මිනිස්සු නම් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කෙරෙනවිටම ඔවුනට අවශ්‍ය දවසේ ව්‍යායාම් ට්ක කෙරිලා ඉවරයි..මිනිසුන්ගේ උදරයේ ප්‍රමාණය විශාල වන තරමට ඔවුනට හෘද රෝග වැනි දරුණු රෝගාබාධ වැළඳීමේ අවදානමත් වැඩි බව සොයාගෙන තිබෙනවා…

තමන් සහ තමන්ගේ සැමියා හෝ බිරිඳ තඩි බඩක් එක්ක ලෙඩ ගොඩක් කරගහගෙන ඉන්නවාද ? එහෙමත් නැතිනම් හොඳ කඩවසම්ව, පිළිවෙලකට ලස්සනට දිගු කළක් ජීවත් වෙනවාද කියන එක තීරණය කරන්න ඒ අයටම භාර දීලා අදට සමුගන්නවා….

2011 අප්‍රේල් 20 : අහගෙන ඉන්න.. අවධානයෙන් ඉන්න.. ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවනි….ගෙදර උන්දැගෙන් බැණුම් අහන්නෙත් නැතුව ඉන්න පුළුවනි…


හයිඩ්‍රජන් ඉන්ධනයක් වශයෙන් යොදාගන්න කරන පර්යේෂණ සහ කාබන් ඩයොක්සයිඩ් භාවිතා කර සරළ අණු තැනීමට කරන පර්යේෂණ පිළිබඳ පිළිගත් මහචාර්ය වරයෙක් විසින් කරන ලද හොඳ දේශනයක් තිබුණා අද…. මේ වගේ බොහෝ දේශන සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයේ සංවිධානය කෙරෙනවා. විශේෂයෙන්ම රසායන විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංවිධානය කෙරෙනවා. මේ බොහෝ දේශන වලට සිසුන්, පර්යේෂකයන් සහ මහචාර්යවරු සහභාගි වෙනවා. ඒ අතරේ අපට වැදගත් පර්යේෂණ කරුණුත් සෑහෙන්න ඔවුන්ගේ දේශන වලදී අපට දැනගන්නට ලැබෙනවා. සමහර දේශන නම් කිසිම වැදගත්කමක් නැහැ… ඒ වෙලාවට හොඳ නින්දක් දාන්න හොඳයි ඒ දේශන…
නමුත් අද තිබුණ දේශනය නම් හැම අකුරක්ම වැදගත්.. ඒ මොකද කියනව නම් ඒ පර්යේෂණයට මූලික වෙලා තිබුණෙත් අපි පර්යේෂණ කරන දේම තමයි… නමුත් ඔවුන් පර්යේෂණ කරන්නේ වෙනත් වෙනත් සංයෝග භාවිතයෙන්. මේ නිසාම හැම දෙනාම බොහොම උනන්දුවෙන් අවධානය යොමු කරගෙන සිටියා.. කොහොම වුනත් මේ පර්යේෂණ දෙකේම සිද්ධාන්ත එක සමානයි…ඒ අතරෙ තමයි වැදගත්ම දේ අසන්නට ලැබුණෙ…

මෙතෙක් කල් අපේ පර්යේෂණයෙ අවධානය වෙලා තිබුණ එක්තරා සංයෝගයක ක්‍රියාකාරී තත්ත්‍වය අප හිතනවාට වඩා වෙනස් එකක් වගෙයි පෙනෙන්නේ… ඉතින් මට අළුත් පාරක් අහු වුනා වගෙයි යන්නට….. පර්යේෂණ වල සාර්ථකත්‍වය රඳාපවතින්නේ කොපමණක් වැඩ කෙරෙනවාද යන්න මත පමණක් නොවෙයි, අපි සොයාගන්න දේවල් පාවිච්චි කෙරනේනනේ කොහොමද කියන දේ වඩාත් වැදගත් වෙනවා. මූලික පර්යේෂණ වලට වඩා දැන් දැන් වැදගත් වන්නේ භාවිතයනුයි… එවම් මූලික පර්යේෂණ ඇසුරින් සොයාගන්නා දේවල් භාවිතා කර මහා පරිමාණ දේ කිරීමේ හැකියාවයි…

ඇත්තටම සාමාන්‍ය ජීවිතයේදීත් අපි හරියට ඇහුම්කන් දෙනවා නම් ප්‍රශ්න අඩුයි… මටත් මේ ප්‍රශ්නේ බොහොම බරපතලව තියෙනවා.. ඇල්කෙමිච්චිගෙන් හැමදාම බැණුම් අහන්නේ එයා කියන දේ ගැන අවධානයෙන් නොසිටීම නිසා… අඩුම ගණනේ දවසට දෙතුන් පාරක් බැණුම් අහනවා… කොච්චර හැදෙන්න උත්සාහ කළත් අර හැම පිරිමියාටම ඇති ගතිය ඇවිත් අවධානය නොයෙදෙනවා.. ඉතින් කණ පුරා බැණුම් අහනවා…

ඉතින් අපි හැමෝම ගෙදර උන්දැගෙන් බැණුම් නාහන පිරිමි වෙන්න උත්සාහ කරමු… එහෙම කිවුවට මම දන්නවා අපට ඒක කරන්න අමාරු බව..