Daily Archives: අප්‍රේල් 2, 2011
2011 අප්‍රේල් 02 : යමක් වේ නම් අයිති විය යුතු, එය සුදුස්සාටම විය යුතු…. ලෝක කුසලානයට පසු වදනක්……
මා හැඬුවෙමි….
නෙතින් සහ හදවතින්….
කඳුළු රූරා නොවැටුනමුත්,
බලාපොරොත්තු කඩ වූ දුකින්….
ඔවුන් කෙරෙහි වූ සතුටින්…..
ලබාගත හැකිව තිබූ ඒ ජය – අප අතින් ගිළිහී ගිය නිසාම නොව..
ඔවුන්ට ඒ ජය හිමිවිය යුතු නිසාම….
යමක් වේ නම් අයිති විය යුතු – එය සුදුස්සාටම විය යුතු..
ලෝක කුසලානය අප වෙතින් ගිළිහී ගියේ අපටත් නොදැනීම… ඇල්කෙමියාගේ පූර්ව තරඟ සැලසුම සංගක්කාර බැලුවා නම්,….අනේ මොනවා හරි කරගන්න තිබුණා නේද කියලා හිතෙයි…. අපට ඇත්තටම මොකද වුනේ ?
අපි ඇත්තටම දෙවන භාගයේ තරඟයක් දුන්නාද ? කියන ප්‍රශ්නය මා කිහිප වතාවක්ම සිතට නැගුනා… ඒ වගේම අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ජයග්‍රහණය ලැබිය යුතුයි කියන පිපාසය තිබූ බවක්වත් පෙනෙන්නට තිබුණේ නැහැ… පළමු පන්දු ඕවරයේ ඉන්දියාවේ යුවරාජ් සිං, සුරේෂ් රයිනා තරංගගේ ලකුණු වළක්වා ලූ තරඟ විලාශය අපේ ක්‍රීඩකයන්ගෙන් දක්නට ලැබුණේ නැහැ. පළමු පන්දු වාරයේදීම සෙවාග් දැවී ගියත්, ඊට පසු ටෙන්ඩුල්කාර් දැවී ගියත්, ආක්‍රමණශීලී පන්දු රකින්නන් සැකසීමක් අපේ කණ්ඩායමේ දුටුවේ නැහැ.. නැවත්විය හැකිවම තිබූ ලකුණු ඔවුනට පහසුවෙන් ගන්නට ඉඩ ලබා දී ඔවුනට පීඩනයක් ඇති නොකිරීම හැම විටම දක්නට ලැබුණා…. මාලිංග දක්‍ෂ පන්දු යවන්නෙක් වුනත්, ඔහුගේ පන්දු රැකීම අප්‍රසන්නයි… තරඟයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූයේ ගම්භීර්ගේ ගිළිහී ගිය උඩපන්දුවයි..Catches win Matches කියන කියමන නැවත වතාවක් සනාථ වුනේ මේ අවස්ථාවේ… චාමර කපුගෙදරගේ පන්දු රැකීම පාසල් ශිෂ්‍යයෙක්ගේ තරඟ විලාශය දක්වා පහත වැටීම, දුවද්දී දවාගැනීම් අවස්ථා කිහිපයක් මඟහැරී යාම ආදී කරුණු සළකා බැලීමේදී අප කණ්ඩායම මේ තරඟය ඕවර 15 ක් ගතවනවිට අතහැරි බවක් පෙනෙන්නට වුනා… සියළුම ක්‍රීඩකයන්ගෙන් පිළිබිඹු වූ මන්දෝත්සාහී ක්‍රීඩා විලාශය ඇත්තෙන්ම විශ්වය දනවන්නක් වුනා.. වෙනදා සිමෙන්තියක් මත වුවත් පන්දුව දඟකවන මුත්තයියා මුරලිදරන්ට අද පන්දුව දඟ කවාගන්නට බැරි වුනේ අපේම අවාසනාවට වෙන්න ඇති… අජන්ත මෙන්ඩිස් වෙනුවට සංචිතයේ වත් නොසිටි සුරාජ් රන්දිව් ගෙන ආවේ ඔහුගෙන් පිතිකරණයේදී වාසියක් ලබාගන්නට වෙන්න ඇති… එයත් අපටම අවාසියට හිටියා…
අවසාන පවර්-ප්ලේ අවස්ථාව වනතුරු සංගක්කාර ආක්‍රමණශීලී පන්දු රකින්නන් යෙදවීමක නිරත නොවීම – කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන සහ තිලකරන්ත ඩිල්ශාන් සමග කිසි විටෙක සංවාදයක නොයෙදී පිටිය මැද සැලසුම් සකස් නොකිරීම කැපී පෙණුනා… විශේෂයෙන්ම පන්දු රැකීමේදී අමතර ලකුණු ලබාදීම නිසාම අප ඔවුනට පීඩනයකින් තොරව ලකුණු රැස් කිරීමට ඉඩ ලබා දුන්නා… මේ කුසලානය අපට හිමිවිය යුතු බවට කිසිම ඉඟියක් ඔවුන් කෙරෙන් දිස් වූයේ නැහැ… ප්‍රේක්‍ෂකයන් වන අප තරඟය කෙරෙහි බලාපොරොත්තු අවසාන පන්දු ඕවරය තෙක් තබා තිබුණද, ඔවුන්ගෙන් එවන් මානසිකත්‍වයක්වත් දිස් වූයේ නැහැ….
පිතිකරණයේදී මෙයට පෙර මහේල ජයවර්ධන ශතකයක් ලබාගත් සෑම අවස්ථාවකම හිමි වූ ශ්‍රී ලංකා ජයග්‍රහණය අද අපෙන් ගිළිහී ගියා. මහේල ජයවර්ධන නොවන්නට, අපට සටන් කිරීමට මෙවන් ලකුණු සංඛ්‍යාවක් හෝ ලැබෙන්නේ නැහැ… ඩිල්ශාන්ගේ අවාසනාවන්ත දැවී යාමත්, සංගක්කාරගේ දැවී යාමත් ගරඟයේ ලකුණු වේගය අඩාල වූ අවස්ථාවන් වුනා. තිසර පෙරේරා පන්දුවට පහර දුන් ආකාරය ප්‍රශංසනීයයි. ඔහු තම කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයේ උපරිමය ඉටු කළත්, පන්දු යැවීමෙන් ඉන්දියාවට එරෙහිව ඔහුගේ පෙර තිබූ දස්කම් අවාසනාවට අද කරලියට පැමිණියේ නැහැ.. කුළසේකර තමන් කණ්ඩායමට එක් කළ හේතුව සහ පිතිකරණයේදී ලබා දුන් සහය මනාව තේරුම්ගෙන කටයුතු කළත්, පන්දු රැකීමේදී මෙයට වඩා උනන්දු වුනා නම්, සමහරවිට මේ තරඟයේ තත්ත්‍වය මෙයට වඩා තරමක් හෝ වෙනස් වන්නට තිබුණා…
කෙසේ වෙතත්, මේ පරාජය අප විසින්ම අපට ළඟාකර ගත් පරාජයක්…. අප මේ තරඟයේ දෙවන භාගයේ කිසිදු විටෙක ජයග්‍රාහී මානසිකත්‍වයකින් ක්‍රීඩා කළේ නැහැ… ඉන්දියාව ජයග්‍රහණය පිළිබඳ සිය පිපාසය මුල සිටම මනාව පෙන්වුවා… සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය මගින් පිතිකරුවන් මනා මානසික පීඩනයකට හසු කළා… මා පෙර කීවාක් මෙන් අප ලකුණු 330 ක පමණ ඉලක්කයක් ලබා දුන්නා නම්, මේ කුසලානය අපේ කරගන්නට කටයුතු කළ හැකිව තිබුණා… ඉතින්… මේ දිනය අවසන්… බොහෝ දෙනෙක් නොයෙක් කතා කියාවි… නමුත් බලන අපට වඩා, ක්‍රීඩා කරන ඔවුනට දැනෙන පීඩනය, ක්‍රීඩකයෙකු වශයෙන් මමත් හොඳින් අත්දැක තිබෙනවා… අපට කියන්න ලේසි වුනත් පිටිය මැදට ගියාම කරන්න අමාරුයි… සිතට දුකයි තමයි… ශ්‍රී ලංකා කණ්ඩායම වෙත අප දක්වන ලැදියාව තාවකාලිකව අඩු වුවත්, අපේ දුක තුනී වී ගියාම ඒ සියල්ල යථා තත්ත්‍වයට පත් වේවි…
ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමට ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩා ලෝලියෙක් ලෙස මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමනවා… ජයග්‍රහණයේදී ආඩම්බර විය යුතුවාක් මෙන්ම පරාජයත් සුන්දරව භාරගත යුතුයි….ලෝක කුසලානයක සිටිය හැක්කේ එක් ජයග්‍රාහකයෙක් පමණයි.. එසේම එදිනට හොඳින්ම ක්‍රීඩා කරන කණ්ඩායම ජයග්‍රහණය ලබනවා… ඒක සදාතනික නියමයක්… අපි හිත හදාගත යුතුයි….