Daily Archives: අප්‍රේල් 3, 2011

2011 අප්‍රේල් 03: බිඳුණු පෙම් හද නිවාලන්නට – කඳුළ ගෙනා නුඹ ගිය දා


බොහෝ දෙනෙක් මේ මිනිසාව හඬින් හඳුනනවා… සමහරුන්ට නම් බස් එකේදී හමු වෙලත් ඇති… මටත් කිහිප දිනක්ම හමු වුනා.. විවිධ ස්ථාන වලදී… අවසාන වරට හමු වුනේ ලංකාවෙන් පිටත් වෙලා එන්න වසරකට පමණ පෙර වාද්දූවේ මෝනිස් බේකරියේදී…. කතා කරන්න වෙලාවක් නැති වුනත්, හිනාවකින් සංග්‍රහ කරන්න ඔහු අමතක කළේ නැහැ…

දිනය 2003 අප්‍රේල් 02 දා… සුපුරුදු පරිදි අන්තර්ජාලයෙන් සිරසට සවන් දීගෙන සිටි මට ලැබුණේ අප කවුරුවත් නොසිතූ ප්‍රවෘත්තියක්… ඒ ඔහු අප හැරදා ගොස් ඇති බවයි… අදහන්නට බැරි වුනත්, දිගින් දිගටම විස්තර සොයාගෙන ගිය මට ලාංකීය මිනිස්කමේ කාළකන්නි පැත්තේ කෙළවර සොයාගන්නට අපහසු වුනේ නැහැ.. ඔහු මියගොස් තිබුණාට වඩා ඔහු මරාගෙන ඇති බව කිවුවොත් වඩා නිවැරදි බව මට හැඟුනා… ඩුබායිහි සංගීත ප්‍රසංග කිහිපයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි ඔහු ගුවන් යානයෙන් පිටතට පැමිණෙන විට ඇද වැටීමෙන් සිදු වූ කම්පනයෙන් මියගොස් ඇති බවයි… අප මුලින් සිතුවේ ඔහු ඒ අවස්ථාවේම මියගොස් ඇති බව වුනත් සත්‍යය වූයේ ඔහුට ප්‍රතිකාර කිරීමට ගුවන් තොටුපළේ වෛද්‍යවරයෙකු නොසිටීමත්, ඔහුව රෝහලට රැගෙන යාම සඳහා ගුවන් තොටුපළ අවට සැරිසරන ටැක්සි කාක්කනි විසින් රුපියල් 2000 ක මුදලක් ඉල්ලා අදිමදි කිරීමත් නිසා ඔහුව රෝහලට ගෙනයාමට පමා වීමෙන් බේරා ගැනීමට නොහැකී වූ නිසා බවයි.. එපමණක් නොව ඔහුගේ මුදල් පසුම්බිය ද ඒ අතරවාරයේ අස්ථානගත වීම අපේ සංස්කෘතිය සහ මනුෂ්‍යත්‍වය හොඳින් කියා පා තිබුණා…

මේ කිසිවෙකු නොවෙයි, දුක් විඳින ජනතාව වෙනුවෙන් ගී ගැයූ… ගුණදාස කපුගේ කළාකරුවා…

ආදරණීය කපුගේ

ඔහු ගී ගැයුවේ මන්දිරවල රස මසවුළු බුදිනා සාද දමනා ධනපතියන් ගැන හෝ ඔවුන් උදෙසා නොවේ.. මහපාරේ වෙහෙසෙන, එදිනෙදා වේද සරිකරගන්නා ජනතාව වෙනුවෙන්… එවන් රටම ජාතියම පිදූ මිනිසෙකුට ලංකාවේ අන්තර්ජාතික ගුවන්තොටුපළේදී මෙවන් අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දී අවසන් ගමන් යන්නට සිදු වීමම අපේ ලාංකීය මිනිසුන් ගැන වූ පිළිකුල දෙගුණ තෙගුණ කරවන්නක් වුනා…. ඔහු ගැන අනන්තවත් ලිපි පළ වී තිබෙනවා… ඔහු ගැන අනන්තවත් ගුණ ගායනා ලියැවී ඇති… අද ඔහුගේ අටවන ගුණානුස්මරණය….

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

ලෝක කුසලාන පරාජය ගැන සිතේ ඇති වූ කැළඹිලි ස්වභාවය තවමත් පහව ගොස් නැහැ.. උදේ නැගිටලා සුපුරුදු පරිදි ගෙවල්වලට කතා කරලා, දවාලේ පැටියත් එක්ක පොඩ්ඩක් රසායනාගාරයට ගියා. එක්ස් කිරණ ස්ඵටික ව්‍යුහයන් නිර්ණය කිරීම සඳහා වූ පරීක්‍ෂණය වෙනුවෙන් අපේ රසායනාගාරයට නියමිත දිනය අද… ඉතින් සුදුසු ස්ඵටිකයක් තෝරාගෙන එක්ස් කිරණ විවර්තකය (X-ray diffractometer) නම් උපකරණය මත ස්ඵටිකයක් නංවා ඒ තුළින් එක්ස් කිරණ යවා ලැබෙන විවර්තක මාදිලිය අනුව තමයි ස්ඵටිකයේ ව්‍යුහය තීරණය කරන්නේ.. ඒ සඳහා පුහුණුව ලත් ශිෂ්‍යයෙක් දැනටමත් රසායනාගාරයේ ඉන්නවා.. ඔහුට සහයට රසායනාගාරයට පොඩ්ඩක් ගිහින් ආවා… හවස පැටියයි ඇල්කෙමිච්චියි එක්ක ලඟ ඇති පාක් එකකට ගියා ඇවිදින්න. පැටියා බයිසිකලේ පදවන්නත්, අපි දෙන්නට ටික කාළෙකින් නිදහසේ ඇවිදින්නත් වෙලාවක් ලැබුණෙ නැති නිසාත්, අද දවස තරමක් උණුසුම් නිසාත් පවුල පිටින් ඇවිදින්න ගියා..

අද හැමෝම වගේ එළියට බැහැලා… වයසක අය හෙමි හෙමින් ඇවිදිනවා.. තරබාරු අය හැල්මේ දුවනවා… සිහින් වෙන්න කැමති අය හයියෙන් දුවනවා.. පොඩි එවුන් බයිසිකල්, රෝලර් ස්කේට්, ස්කූටර් පදිනවා… මුළු පාක් එකම එකම කඩිගුලක්… දැන් දැන් ටික ටික රස්නේ වේගෙන එන නිසා මිනිස්සු කඩිසරව වැඩ කරනවා… ලංකාවෙ නම් ඍතු භේදයක් නැති නිසා ඒකෙ වෙනසක් නෑ…

හෙට වහිනවලු… ටිකක් කරදර වෙන හැඩයි.. බලමු මොකද වෙන්නේ කියලා… දැන් පැටියා නිදි කරලා TV බලන්න ඕන…..

%d bloggers like this: