Daily Archives: අප්‍රේල් 4, 2011

2011 අප්‍රේල් 04 : සකුරා මල් පිපිලා හරි සුවඳයි – ගේ දොරකොඩ නිල් වන පියසේ….


අළුත් සතියක්…  Spring Break නිවාඩුව ඉවරවෙලා විශ්ව විද්‍යාල සිසුන් නැවත පාසල් ඇවිත්…. එකම කඩිගුලක්…. පසුගිය සතියේ තිබූ සාමකාමී බව නැහැ… හැමෝම හැල්මේ දුවනවා… සමහරු Text කරනවා.. තවත් සමහරු ජංගම දුරකථනයෙන් කතා කරනවා, සිංදු අහනවා… මේ අතරේ අපිත් ඉන්නවා….

වහිනවා කිව්වට එච්චරම වැස්සේ නෑ… ඒ වගේම හොඳට ඉර පෑව්වා… ඒ මදිවට අද උෂ්ණත්‍වයත් 75 F විතර ඉහළ ගියා… වැඩ තිබුණත් පොඩ්ඩක් එළියට ගිහින් එන්න අමතක කළේ නෑ… ආයෙමත් හෙට ඉඳලා ටිකක් සීතල වෙනවා…  කාළගුණයත් හරියට ගෑණු ළමයි වගේ කියලා කවුද කියලා තිබුණා… ඇත්ත නැත්ත මම නම් දන්නේ නෑ… මම ආශ්‍රය කරපු ගෑණු ළමයිනුත් හැබැයි ටිකක් ඒ වගේ… එකපාරටම වෙනස් වෙනවා… හරියට අනුමාන කරන්න අමාරුයි ඊලඟ මොහොතේ මොනවා වෙයිද කියලා….

අදත් ඉතින් ටිකක් වැඩ… තවමත් අර හිතේ අමාරුව පහව ගොස් නැති හැඩයි… කොහොම වුනත් මට හමුවුන ඉන්දීය යාළුවො කිව්වේ ඒ අය බොහොම බයෙන් හිටියේ කියලා… ඒ වුනත් හොඳ තරඟයක් නැරඹුවා කියලා කිවුවා… මොනව කිවුවත් ඉතිං තවමත් ටිකක් කණගාටුයි… ලොක්කත් ඇවිත් විහිළු කරලා ගියා…. ඉන්දියාව දිනලා නේද කියලා… මොනව කරන්නද ? ලොක්කා නේ…

අපේ ලොක්කට අළුතෙන් පර්යේෂණ කරන්න පුංචි මුදලක් ලැබිලා… ඩොලර් 10,000 ක්…  වැඩිම වුනොත් මාස දෙකක් තියෙයි… රසායන ද්‍රව්‍ය ගත්තාම ඔක්කොම ඉවරයි… ඒ අපේ පර්යේෂණ වල හැටි… ඩොලර් 10,000 ක් කියන්නේ අපේ පර්යේෂණ වල හැටියට ඒ තරම් ගාණක් නොවෙයි.. ඒත් ඉතින් ලැබ්ච්ච ගාන සත පහක් වුනත් ඇතිනේ… මම කිවුවා ඉතිං තවම පටන් ගත්තා විතරනේ පස්සේ හොඳ ගාණක් ලැබෙයි කියලා….කොහොමත් අපේ පර්යේෂණවල හැටියට අනාගතයේ හොඳ ආධාර මුදල් ලැබෙන්න ඕන….

ලොක්කා ගෑණු ළමයා එක්ක සකුරා මල් පිපෙනවා බලන්න වොෂිංටන් ඩීසී ගිහින්… අපිත් යන්නයි හිටියේ, නමුත් ලෝක කුසලානය තිබුණනේ… එහේට වැහැලා… කාළගුණේ පිස්සු නටලා..  නොගිය එක හොඳයි කියලා හිතුනා…. කාළගුණේ නම් එන්න එන්න පිස්සු වගේ… මේ පාර කුණාටු කාළය මොන වගේ එකක් වේද දන්නේ නෑ….

සකුරා මල් පිපිලා හරි සුවඳයි - ගේ දොරකොඩ නිල් වන පියසේ

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

අද රසායන විද්‍යා පාඩම…

මම හදපු සංයෝගයක් තවත් අළුත් විශ්ලේෂණයක් හෙට කරන්න ඕන… ඒ අධෝරක්ත කිරණ (Infra Red) මගින් සංයෝගයේ බන්ධනවල ඇති ඇදීම් සහ නැවීම් සංඛ්‍යාතයන් (Bond stretching and bending frequencies) අනුව ලබාදෙන වර්ණාවලිය අනුව සංයෝගයේ ඇති විවිධ කාණ්ඩ හඳුනාගැනීම….. මේ සඳහා සංයෝගය පොටෑසියම් බ්‍රෝමයිඩ් (KBr)  සමඟ මිශ්‍ර කරගෙන හොඳින් අඹරාගත යුතුයි.. ඉන් පසු මුරිච්චියක් අතරේ තබා හොඳින් තද කර පාරදෘශ්‍ය වන ලෙස කුඩා තැටියක් සේ සකසා ගත යුතුයි… මෙය අධෝරක්ත කිරණ වර්ණාවලි විශ්ලේශකය තුළ තබා ඒ වර්ණාවලිය ලබාගත යුතුයි..මේ වර්ණාවලිය ලැබෙන්නේ සම්ප්‍රේශ්‍යතා වර්ණාවලියක් ලෙසින් (Transmittance Spectrum). එය අවශෝෂණ වර්ණාවලියක් (Absorbance Spectrum) ලෙසිනුත් ලබාගන්නට පුළුවනි.  අප විශ්ලේෂණය කරන අධෝරක්ත කිරණවල තරංග ආයාම පරාසය නැනෝ මීටර 1000 සිට 4000 දක්වා වෙනවා. මෙහිදී සංයෝගයේ බන්ධන වලට ලබා දෙන ඒ ඒ සංඛ්‍යාතයන් අනුව එම බන්ධන වල සිදු වන ඇදීම් සහ නැමීම් අනුව ලබාදෙන වරණාවලිය අනුව සංයෝගයේ පවතින විවිධ ඛණ්ඩ නිර්ණය කරනවා… මෙය දෙවැදෑරුම්… දන්නා සංයෝගයක නිරවද්‍යතාව තහවුරු කිරීමටත්, නොදන්නා සංයෝගයක ඇති ඛණ්ඩ හඳුනාගැනීමටත් භාවිතා කළ හැකියි… මෙහි විවිධ ඛණ්ඩ සඳහා සංඛ්‍යාත පරාස කිබෙනවා. උදාහරණ වශයෙන් ඇමීන (-NH) ඛන්ඩවල බන්ධනවල ඇදීම් දර්ශනය වන්නේ නැනෝ මීටර 3100- 3300 වැනි පරාසයකයි. (C=O) ඛණ්ඩ දර්ශනය වන්නේ නැනෝ මීටර 1500 – 2400 දක්වා පරාසයකයි… විවිධ ලෝහමය මූලද්‍රව්‍යවලට බන්ධනය වූ ඛණ්ඩ සමහර විට මෙම පරාස වලින් පිටතට පනින අවස්ථාත් ඇති නිසායි මම පරාසය වැඩිපුර දැක්වූයේ….

ඉතින් හෙට මේ විශ්ලේෂණය කළ යුතුයි…. දැන් රෑ වෙලා.. ගෙදර යන්න ඕන…

හෙට හමුවෙමු…………………………

%d bloggers like this: